Wednesday, December 29, 2010

ග්‍රේෂන් ආනන්ද කලාකරුවාට නිවන් සුව පතමි.


ප්‍රවීණ කලා ශිල්පී ග්‍රේෂන් ආනන්ද මහතා අභාවප්‍රාප්ත වූ බව රූපවාහිණියෙන් දුටුවහම හිතට දොඩම් කටුවක් ඇනුණ වගේ අමුතු වේදනාවක් දැනුණා. ඔහුගේ අභාවයත් සමඟ සිංහල සිනමාවේ එක පරිච්ඡේදයක්ම අවසන් වෙනවා නේද කියලා මට හිතුණා.

ජෝතිපාලයන්ට පස්සේ ලංකාවෙ බිහිවුණු හොඳම සිනමා හඬ පෞරුෂය ඔහු බවයි මගේ විශ්වාසය. සිනමාවේ හොඳ හඬක් වෙන්න විශිෂ්ඨ ගායකයෙක් වීම ප්‍රමාණවත් නෑ. ඒකට ධී ශක්තියත් අවශ්‍යයි. විශේෂයෙන්ම පෙරදිග ඉන්දියානු ශෛලියේ වාණිජ චිත්‍රපටිවල (හින්දි, සිංහල, දෙමළ,මලයාලම්, තෙලිඟු, පකිස්ථානු ආදී..) අදාල නළුවා හෝ නිළියගේ රුව ගායකයා හෝ ගායිකාවගේ හඬට ගැලපුනොත් තමයි සාර්ථක වෙන්නේ. රාෆි, කිශොර්, ජෝතිපාල ආදී සාර්ථක පසුබිම් ගායකයන්ට දක්ෂතාවයක් තිබුනා අදාල නළුවා අනුව කටහඬ වෙනස් කරගන්න.

ජෝතිපාලයන්ගේ හඬ ආනන්ද ජයරත්න, තිස්ස විජේසුරෙන්ද්‍ර,ගාමිණී ෆොන්සේකා,විජය කුමාරණතුංග ආදී දැවැන්තයන්ට ගැලපුනේ යම්සේද, ග්‍රේෂන් ආනන්දගේ හඬ සනත් ගුණතිලක හා ජීවන් කුමාරණතුංග ආදී පසුකාලීන ශිල්පීන්ට අපූරුවට ගැලපුනා. ඔහු ගැයූ "සිහින අහසේ වසන්තේ, තරුයායේ ඈතින් ඈතට දිදුළන,සතුට පත හිතා මතා, අම්මා පෙව් කිරි කඳුලින්" වැනි ගීත අදටත් එකසේම ජනප්‍රියයි.

ඒවගේම තමයි ඔහු තමන්ගේ ගුරුවරයා වූ සරත් දසනායකයන්ගේ මඟ අනුගමනය කරමින් සිංහල සිනමා ගීතයට ස්වීය තනු නිර්මාණය කරන්න දායක වුණා. බටහිර ආරට සමීප සරල සුගම ස්වීය තනු නිර්මාණ තුලින් ඔහු සංගීත ක්ෂේත්‍රය ඔපවත් කළා."ඈත දුරක දෑස පාවෙලා, හිම කඳු යහනේ " වැනි ගීත ඒ සඳහා සාක්ෂි සපයනවා.

ඔහු පිළිබඳව අදින් පසු බොහෝ ගුණ කථන ඇහේවි. ජීවත් වුණ කාලෙදි කවදාවත් අගය නොකරපු අයත් ඔහුව අගය කරාවි.ඒවා අමුතු දේ නෙවෙයි. ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැනත් අපි නොදැන හිටපු ගොඩක් දේ දැනුයි මතුවෙන්නේ. ඒත් දුක තමයි නෞෂාඩ් කෙනෙක්, රෝශන් කෙනෙක් එහෙම නැත්නම් ඒ. ආර් රහුමාන් කෙනෙක් තරම් දුර යන්න විභවයක් ඇතුව මතුවෙන අයව අඳුනා ගන්නකොට ඔවුන් ලබන්න පුළුවන් උපරිම කරදර විඳලා වෙන්වෙලා ගිහිල්ලත් ඉවර වීම.

ඔහු නොපිළිගන්නා සංකල්පයක් වුණත් මගේ දැනීම අනුව මම මෙහෙම ප්‍රාර්ථනා කරනවා.

"කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා!"

ලකී පොලිසි ගිය හැටි

ලකී ගිය සඳුදා වෙනකම් හිතාගෙන හිටියෙ පොලිසියක පස් පාගන්නෙ නැති වෙන්න ජීවත් වෙනව කියලයි.ඒත් ඉතින් මක් කරන්නද? දෛවය තමයි. ගිය සඳුදා දවල් වරුවම ගතකළේ පොලිසියේ. මෙහෙම දෙයක් සිද්ධ වෙන්න හේතුවුණේ මොකක් කියලද හිතන්නේ? මෙන්න මේක සාවධානව කියවන්නකෝ.

අපි පා ගමනක් ලෑස්ති කළා. නෑ! නෑ! විරෝධතා පා ගමනක් නෙවෙයි.පොඩි අහිංසක වැඩක්. 28 වෙනි අඟහරුවාදා BRC පිටියේ පවත්වපු අපේ ක්‍රීඩා උත්සවයේ සමාරම්භය වෙනුවෙන් කරපු මේ වැඩේට 100-200 වගේ පිරිසක් සහභාගි වෙන නිසා ඉටින් පොලිසියෙන් අවසර ගන්න ඕන නේ.සමරු කලාපය වෙනුවෙන් කකුල් ගෙවෙනකන් ඇවිදල ඇවිදල ඒක යන්තම් ඉවර වුණා විතරයි. ස්වකැමැත්තෙන් ඉල්ලන් කෑවෙ නැත්ද හොඳවයින් කටුවක්?

පොලිසියෙන් අවසර ගන්න ලියුම ටයිප් කරල ඉවරවෙල මම ඒකේ කොපියකුත් අරන් ගෙදර ගියේ හවස් වුනු හින්දා.ආයතනයෙන් ලියුම බම්බලපිටිය පොලිසියට භර දුන්න කියල ආරංචිය ලැබුනු නිසා මාත් ඉතින් වැඩේ හරි කියල සැනසිල්ලෙන් හිටියා කියමුකෝ. සඳුදා උදේ මෙන්න කියනවා නාගරික රථවාහන කොට්ඨාශයේ පොලිස් අධිකාරී තුමාට ලියුම දෙන්නලු. එක්ක යන්න කවුරුත් ඇත්තෙත් නෑ. ඒ මදිවට පන්තියට සාමාන්‍යයෙන් ඇඳගෙන යන ටී ෂර්ට් එකයි කලිසමයි පිටින් මේ වගේ වැඩකට යන්න පුලුවන්ද? ඒත් ඉතින් පහුවදා තියෙන උත්සවේ අල වෙන්න දෙන්න බෑනේ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැග්ග පානදුර- පිටකොටුව බස් එකක. බැස්සා ලංකා බැංකු නගර කාර්යාලය ළඟින්.නගර කාර්යාලයෙන් අඳුරන මූනක් එලියට ආවොත් ඉතින් තනියෙන් එහෙ මෙහෙ යනව කියලා කෙලින්ම ගෙදරට ආරංචිය යන බව දන්න නිසා ඉක්මනට ඒ හරියෙන් පැනගෙන පොලිස් මූලස්ථානයට ගියා.

ඔන්න ඉතින් ගියාම තමයි දන්නේ මේ කියල තියෙන්නේ පොලිස් මූලස්ථානේ නෙවේ රථ වාහන මූලස්ථානෙ කියලා. පොලිස් මූලස්ථාන නිලධාරීන් හරිම සුහදශීලී පිරිසක්.ඔවුන් ඉතාම සැලකිල්ලෙන් යුතුව නිවැරදි පාර පවා කියා දුන්නා.කොටින්ම කියනවනම් ඇතුල් වෙන තැන ඉන්න නිලධාරියා පවා ඉතාම සැලකිල්ලෙන් මගේ වැඩේ හරිගියාද අහලා විස්තරය කිව්වම 103 බස් එක හරවන තැනත් පෙන්නල දුන්නා. ඒ අතරෙ වැඩිදුර රස්තියාදුව වලක්වාගන්න මම අපේ මාමාට කතා කළා. රාජකාරිය අතරෙ වුණත් මාමා ඉක්මනට රථවාහන අංශයට කතා කරල පොලිස් අධිකාරීතුමා සීට් එකේ ඉන්න බව කියලා ඉක්මනට යන්න කිව්ව.මමත් කියපු විදිහටම 103 බස් එක ඕල්කොට් මාවතෙන් මිහිඳු මාවතට හරවපු ගමන් එන පළමුවෙනි නැවතුමේ බසයෙන් බැහැල රථ වාහන මූලස්ථානයට ගියා.

මූලස්ථායෙදි මම මුණගැහුණු පොලිස් අධිකාරී චූලා ඩි සිල්වා මහතාත් ඉතාම සුහදශීලී පොලිස් නිලධාරීවරයෙක්. බොරු පාට් මුකුත් නෑ. සාවධානව කන්දුන්නා. එතුමා කිව්ව බම්බලපිටිය පොලිසියෙන් ලිපියක් දෙන්න කියලා. ඒ කියන්නෙ මේ පා ගමනට විරුද්ධත්වයක් නෑ කියල.

ඒපාර මම නැවතත් ආයතනයට කතා කරල ලියුම ගේන්න කිව්ව කියමුකෝ. ස්ථානාධිපතිතුමා නැතුව ලියුම දෙන්න බෑ කියලා.මම නැවතත් අපේ මාමාට කතා කරගෙනම බම්බලපිටිය පොලිසියට ගියේ ප්‍රශ්නයක් වුණොත් කියලා. ඒත් බම්බලපිටිය පොලිසියෙ හිටපු වැඩ බලන ස්ථානාධිපතිතුමා (නීල් ගුණසේකර ) මහත්මයත් ඉතාම කාරුණික නියම පොලිස් නිලධාරී මහත්මයෙක්. එතුමා සියළුම ප්‍රශ්න ටික ලස්සනට නිරාකරණය කළා.
ඒ වගේම තමයි ඉතින් අපේ මාමාගේ යාළුවා ප්‍රිශාන් සිල්වා මහත්මයත්(බම්බලපිටිය රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමා.) ලොකු හයියක් වුණා.

මට පුදුමාකාර සතුටක් දැනුනා. සියලුම නිලධාරීන් මේ වගේ නම් කිසිම දැන හැඳුනුම් කමක් නැතිව උනත් ලංකාවේ පොලිස් ස්ථානයකට යන එක ප්‍රසන්න අත්දැකීමක් වෙනවා නොඅනුමානයි. (මේ කියන්නෙ වැරදිකරුවන්ට නෙවේ.)

මේ ලිපිය එම සියලුම නිලධාරීන් හට මල් මිටක් වේවා!

පොලිස් සේවය ගැන මා මෙන්ම අඩු දැනීමක් ඇතිව පසුවන අය සඳහා ඉදිරියේදී සවිස්තරාත්මක ලිපි පෙළක් බලාපොරොත්තුවන්න!

Sunday, December 19, 2010

ගෑණුන්ගෙන් ප්‍රවේශම් වනු (දෙවන කොටස )


කලින් කතාවට දාපු ගාන අඩු වුනාට වාචික ප්‍රතිචාර හරියට තිබ්බා. මෙන්න අනිත් කතාව. මේ කතාවෙ කතා නායකයාගේ අනන්‍යතාවය රකින්න ඕනෙ නිසා නම් ගම් මුකුත් නොදාන බව කරුණාවෙන් සලකන්න. මේ සිද්දියෙ කතා නායකයා අපේ ගමේ කෙනෙක්.සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් වෙන මේ පුද්ගලයා තමන්ගේ අළුත්ම මෝටර් බයිසිකලයෙන් ගියේ බඩු තොගයක් ලොකු මුදලාලි කෙනෙකුට බාර දෙන්න.මුදලාලි ගෙදර නොහිටපු නිසා මෙයා බඩු ටික බාර දීලා ගනුදෙනු හමාර කරලා මුදලාලි මුණගැහෙන්න රැඳිලා හිටියා.අන්තිමට බලාගෙන ඉඳලා ඉඳලා උගුර කටත් වේලිලා.ඒත් මුදලාලි නෑ. මෙයා තීරණය කලා ළඟම තියෙන කඩේට ගිහින් තේ කෝප්පයක් බොන්න.ඒ කඩේ තිබුණෙ ටිකක් දුර.ඉතින් මෙයා තමන්ගේ මෝටර් බයිසිකලයෙන් තමයි ගියේ. කඩේ තේ බොනකොට එතන තව තරුණියකුත් හිටියා.මෙයා කඩේට ඇවිත් ටික වෙලාවකින් අර තරුණිය පිටවෙලා ගිහින් තියෙනව. ටික වෙලාවක් කඩේ ගතකරපු අපේ කතා නායකය නැවත වතවක් අර මුදලාලිගේ ගෙදරට එන්න පිටත් වුනා. අතරමඟ ටිකක් පාළු හරියකදි අර කඩේ ළඟ හිටපු යුවතිය මෙයාගෙ මෝටර් බයිසිකලයට අත දැම්මා. "මේ හරිය පාලු නිසා යන්න බයයි. අර කඩේ ළඟ නැවතුණේ ඒකයි. ඒත් එතන හිටිය අය එච්චර හරි නෑ වගේ. මේ පාලු හරිය ඉවර වෙනකල් මාව ගිහින් දාන්න පුළුවන්ද?" කියලා මේ යුවතිය අහනකොට අපේ කතානායකයා අනුකම්පාවෙන් මෙයාව තමන්ගේ මෝටර් බයිසිකලයට නග්ගා ගත්තෙ තමන්ටත් අම්මා, සහෝදරියො ඉන්න නිසා. ඒත් වැඩි දුරක් යන්න ඉස්සෙල්ලා සිද්ධවුනේ අර චිත්‍රපටි වල වෙන ජාතියෙ වැඩක්. මෙයාට දැනුනා තමන්ගේ බෙල්ලේ මොකක් හරි ස්පර්ශ වෙනවා. "බෙල්ල හොල්ලන්න එපා වැඩ වරදී" කියන සද්දෙට මොකුත් හිතගන්න කලින්ම මෙයා දැක්කා තමන්ගේ බෙල්ලට තියපු දැලි පිහිය. ආත්මානුකම්පාවටයි දුකටයි දෙකටම වැඩිය උදව්වක් කරන්න ගිය මෝඩ කම ගැන ඇතිවෙච්ච කේන්තියට මෙයාට ඇඬුණා. ඒත් කරන්න දෙයක් නෑ නෙ. මෙහෙම යනකොට එක තැනකදි මෙයාට අණ ලැබුණා ඉස්සරහ තියෙන හන්දියකින් හරවන්න. එතනින් හරවනවත් එක්කම මේ මංකොල්ලකාරිය බයිසිකලයෙන් බැස්සා. බහිනකොට මෙතෙක් වෙලා බෙල්ලට එල්ල කරපු දැලි පිහිය පොඩ්ඩක් එහෙමෙහෙ වෙලා හෙල්මට් එකේ ස්ථානගත වෙනවා මෙයාට තේරුණා.ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තු ඔහු අර කෙල්ලට තමන්ගේ වැලමිටෙන් වැරෙන් පහරක් එල්ල කළා. පහර කාගෙන ඇය බිම වැටෙනකොටම තමන්ගේ අළුත්ම මෝටර් සයිකලයටයි, ඇඩ්‍රිනලින් වලටයි පිං සිද්ධ වෙන්න ඔහු වේගයෙන් ඇවිත් නැවතුණේ ගෙදරම තමයි.

මේ වගේ සිද්ධි නිසා සමාජයේ කාන්තාවන්ට තියෙන තැන නැතිවෙනවා විතරක් නෙවෙයි මනුස්සකමට තවත් කෙනෙකුට උදව්වක් කරන්නත් බය හිතෙනවා.

ප.ලි : එකක් දාල යන්න. ඉංග්‍රීසි හරි සිංහල හරි ඕන එකක් කමක් නෑ.

Sunday, December 5, 2010

ගෑණුන්ගෙන් ප්‍රවේශම් වෙනු!!

මේක අපේ ගෙදර ඇත්තො මූණ දීපු සිද්ධියක්. ගිය සතියේ දවසක මම ගෙදර හිටියෙ නැති වෙලාවක තමයි මේක වෙලා තියෙන්නෙ. අපේ ගෙදරට ඇවිත් තියෙනවා හොඳ මහත දෙහෙත ඇති ගෑණු පරාණ දෙකක්.ඇවිත් අපේ අම්මට කියල තියෙනවා ඒ ගොල්ලො වතුර නිසා උන් හිටි තැන් නැතිවෙලා ඉන්නෙ ඒ නිසා අඳින්න පුළුවන් පරණ ඇඳුම් තියෙනවනම් දෙන්න කියල. අපේ අම්මගෙ හිත පොඩ්ඩක් ඇත්තම් උණුවෙනවනෙ.ඇරත් මේ දවස් වල ගංවතුරෙන් වෙච්ච හානියෙ හැටියට ඉතින් එහෙම දෙයක් කිව්වම පිළිගන්න අමාරුවකුත් නැති නිසා අම්මා ඇඳුම් ටිකක් දෙන්න කියලා ගෙට ගියාලු. මේ අතර මේ කට්ටියට අර සයිස් එකේම තව ගෑණු දෙන්නෙක් එකතු උනාලු. දැන් මෙයාල සැරින් සැරේ අලුත් ඉල්ලීම් වගේකුත් එකතු කරනවලු, "කන්න දෙයක් දෙන්න", "සල්ලි කීයක් හරි දෙන්න" ආදී විදිහට.මේ අතරෙ තාත්ත මේ වැඩේ බලාගෙන ඉඳලා ළඟට ඇවිත් අර කට්ටියගෙන් ඉන්න තැන ඇහුවලු. ඒ පාර මෙයාලා පන්සලක නමක් කියලා. ඊ ළඟට තාත්ත ඇහුවලු මොන හේතුව නිසාද පන්සලට ආවෙ කියලා. මෙයාලා සුපුරුදු උත්තරේ දීල තියෙනවා "වතුර නිසා" කියල. තාත්තා ආයිම ඇහුවලු මොන වතුරද කියල.ඒ ගමන එක්කෙනෙක් කිව්වලු "මූදු වතුර" කියලා. ඒ එක්කම අනිත් එක්කෙනා "ගං වතුර" කිව්වලු. (අපේ තාත්තා එක පාරටම පුටුවෙන් නැඟිට්ට විදියට ගෑණු දෙන්නා තුන්දෙනා බයවෙන්න ඇත්තෙ කොහොමද කියල හිතාගන්න පුළුවන් ඉතින් තාත්තව දැකලා තියෙන අයට තමයි.) ඊට
.පස්සේ මෙතන නායිකාව වගෙ හිටපු කෙනගෙ සංඥාවට අනිත් අයත් නැඟිටලා පිටවෙලා ගිහින්.
හැබැයි ලස්සන වැඩේ කියන්නේ මෙයාලගෙ යාචක කම ආගිය අතක් නෑලු.ගේට්ටුවෙන් පිටවෙනකොටම ඒකත් ගිහිල්ලා.
පස්සේ ආරංචි වෙච්ච විදියට මෙයාලා එක්තරා කොල්ල කල්ලියක්.හදිසියේ හරි අම්මා විතරක් තනියම හිටිය නම් මෙයාල ගේ සුද්ද කරනවා. මේ සිද්ධිය අපේ තාත්තා තව කෙනෙක් එක්ක කිව්වම ඒ මනුස්සයා තවත් මාර කතාවක් තමයි කියලා තියෙන්නෙ. ඒක ඊළඟ දවසේ කියන්නම් කො.

Friday, September 3, 2010

මගෙ කවිය


ළා හිරුගෙ රන් කිරණ
නිල් ගොයම් දළු සිඹින
විටදි ඉපදෙයි එතන මගෙ කවිය - මගෙ කවිය

සුමුදු පෙණ කැටි ඉසෙන
නිල් සයුර වෙරළ මත
හැපෙන විට පැන නඟින මගෙ කවිය - මගෙ කවිය

පුදබිමක හද බැතින
වැඳ වැටෙන බැති සිතක
ළඟ රැදේ හැම විටක මගෙ කවිය - මගෙ කවිය

කම්හලක වැඩ බිමක
ගත සවිය පුද කරන
දිරිය සිතකට පුදමි මගෙ කවිය- මගෙ කවිය

Thursday, September 2, 2010

මම සහ මම

බ්ලොග් අඩවිය පටන් ගත්තට විභාගෙ නිසා කිසිම දෙයක් එකතු කරන්න බැරිවුණානේ. ඔන්න අද ඉඳලා නම් කොහොම හරි ලියනවා. මුලින්ම මම ගැන කියනවනම් මම ඉස්සර ගොඩක් පොත් කියවපු, ඒ වගේම නිතරම ලියපු කෙනෙක්. ඉස්කෝලෙ යන කාලෙ මම සාහිත්‍ය කටයුතු සඳහා ටිකක් විතර ප්‍රසිද්ධව හිටියා කියමුකෝ. හැබැයි මොනවා වුණාද මංදා කාලයත් එක්ක පොත් මගෙන් ඈත් වුණා. සිංහලෙන් බ්ලොග් ලියන කණ්ඩායමේ බ්ලොග් කියවනකොට මට ආයිමත් අළුත් පණක් එනවා. ඉතින් මමත් අද ඉඳන් ලියනවා. හැබැයි අර ඉස්සර වගේම ලියන්න ටිකක් කල් යයි. ඔයාලා මාව පිළිගනී කියලත් මාව ධෛර්යමත් කරයි කියලත් මම විශ්වාස කරනවා. හසිත සහෝදරයගේ සුභ පැතුමට බොහොම පින්. මගේ ලිවීම් වල ගුණදොස් ඕනෑම දෙයක් පෙන්නල දෙන්න. මට ඒවා හරිම වටිනවා.මම ඒවා සතුටින් භාරගන්නවා.

Tuesday, May 18, 2010

බ්ලොග් කරන්නට උදව් දුන්න හැමෝටම මගේ ප්‍රණාමය!

මේ බ්ලොග් එක නිල වශයෙන් විවෘත කරන්න කලින් මම කීප දෙනෙක්ට ස්තුති කරන්න ඕනේ. මුලින්ම මගේ ඕෂධ මල්ලිට. සිංහල ෆොන්ට් ටික හරියට ඉන්ස්ටෝල් වෙන්නෙ නැති වුනාම දුරස්ථව මගේ පරිගණකයට රිංඟලා ලොකු වැඩ ගොඩක් කරලා දුන්නෙ එයා තමයි.( කොහොමත් මගේ පරිගණකයත් අයිතිකාරයා වගේ තමයි. ලේසිම දේවල් තමයි අමාරු කරගන්නේ)
ඊළඟට මගේ ෆ්‍රෙන්තො සචිත්. එයා තමයි මේ යුනිකේත පරිවර්තකය හොයලා දුන්නේ.
ආයෙමත් මම කවදාවත් දැකලා නැති, නාඳුනන කසුන් නදීශන කියන බ්ලොග් ලේඛකයාට ස්තුති වෙන්න තමයි ටෙම්ප්ලේට් ටිකයි, සිංහල බ්ලොග් ගැනයි අවබෝධයක් ආවේ.
රශ්මිල මල්ලි තමයි මුලින්ම හොඳ නරක කියන්න එකතු වුනේ.

ඔයලා ඔක්කෝටම පිං සිද්ද වෙන්න මෙන්න මම බ්ලොග් කරන්නයි යන්නේ!
:)

Saturday, May 15, 2010

ලකී ගේ වාසනාවන්තම දවස !

බ්ලොග්කරණයට ආවට පස්සේ අද තමයි ලකී ගේ වාසනාවන්තම දවස! බ්ලොග් කරන්න ආසාවෙන් හිටියට සිංහල බ්ලොග් එකක් හදාගන්න හැටි ගැන අවබෝධයක් ආවෙ අද තමයි. ඒ කසුන්ගෙ බ්ලොග් එකට (http://kasuntec.blogspot.com/) පින් සිද්ද වෙන්න. ඔබට බොහොම පින් කසුන්!
මට තටු ලැබුනා වගේ දැනෙනවා!