Wednesday, December 29, 2010

ග්‍රේෂන් ආනන්ද කලාකරුවාට නිවන් සුව පතමි.


ප්‍රවීණ කලා ශිල්පී ග්‍රේෂන් ආනන්ද මහතා අභාවප්‍රාප්ත වූ බව රූපවාහිණියෙන් දුටුවහම හිතට දොඩම් කටුවක් ඇනුණ වගේ අමුතු වේදනාවක් දැනුණා. ඔහුගේ අභාවයත් සමඟ සිංහල සිනමාවේ එක පරිච්ඡේදයක්ම අවසන් වෙනවා නේද කියලා මට හිතුණා.

ජෝතිපාලයන්ට පස්සේ ලංකාවෙ බිහිවුණු හොඳම සිනමා හඬ පෞරුෂය ඔහු බවයි මගේ විශ්වාසය. සිනමාවේ හොඳ හඬක් වෙන්න විශිෂ්ඨ ගායකයෙක් වීම ප්‍රමාණවත් නෑ. ඒකට ධී ශක්තියත් අවශ්‍යයි. විශේෂයෙන්ම පෙරදිග ඉන්දියානු ශෛලියේ වාණිජ චිත්‍රපටිවල (හින්දි, සිංහල, දෙමළ,මලයාලම්, තෙලිඟු, පකිස්ථානු ආදී..) අදාල නළුවා හෝ නිළියගේ රුව ගායකයා හෝ ගායිකාවගේ හඬට ගැලපුනොත් තමයි සාර්ථක වෙන්නේ. රාෆි, කිශොර්, ජෝතිපාල ආදී සාර්ථක පසුබිම් ගායකයන්ට දක්ෂතාවයක් තිබුනා අදාල නළුවා අනුව කටහඬ වෙනස් කරගන්න.

ජෝතිපාලයන්ගේ හඬ ආනන්ද ජයරත්න, තිස්ස විජේසුරෙන්ද්‍ර,ගාමිණී ෆොන්සේකා,විජය කුමාරණතුංග ආදී දැවැන්තයන්ට ගැලපුනේ යම්සේද, ග්‍රේෂන් ආනන්දගේ හඬ සනත් ගුණතිලක හා ජීවන් කුමාරණතුංග ආදී පසුකාලීන ශිල්පීන්ට අපූරුවට ගැලපුනා. ඔහු ගැයූ "සිහින අහසේ වසන්තේ, තරුයායේ ඈතින් ඈතට දිදුළන,සතුට පත හිතා මතා, අම්මා පෙව් කිරි කඳුලින්" වැනි ගීත අදටත් එකසේම ජනප්‍රියයි.

ඒවගේම තමයි ඔහු තමන්ගේ ගුරුවරයා වූ සරත් දසනායකයන්ගේ මඟ අනුගමනය කරමින් සිංහල සිනමා ගීතයට ස්වීය තනු නිර්මාණය කරන්න දායක වුණා. බටහිර ආරට සමීප සරල සුගම ස්වීය තනු නිර්මාණ තුලින් ඔහු සංගීත ක්ෂේත්‍රය ඔපවත් කළා."ඈත දුරක දෑස පාවෙලා, හිම කඳු යහනේ " වැනි ගීත ඒ සඳහා සාක්ෂි සපයනවා.

ඔහු පිළිබඳව අදින් පසු බොහෝ ගුණ කථන ඇහේවි. ජීවත් වුණ කාලෙදි කවදාවත් අගය නොකරපු අයත් ඔහුව අගය කරාවි.ඒවා අමුතු දේ නෙවෙයි. ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැනත් අපි නොදැන හිටපු ගොඩක් දේ දැනුයි මතුවෙන්නේ. ඒත් දුක තමයි නෞෂාඩ් කෙනෙක්, රෝශන් කෙනෙක් එහෙම නැත්නම් ඒ. ආර් රහුමාන් කෙනෙක් තරම් දුර යන්න විභවයක් ඇතුව මතුවෙන අයව අඳුනා ගන්නකොට ඔවුන් ලබන්න පුළුවන් උපරිම කරදර විඳලා වෙන්වෙලා ගිහිල්ලත් ඉවර වීම.

ඔහු නොපිළිගන්නා සංකල්පයක් වුණත් මගේ දැනීම අනුව මම මෙහෙම ප්‍රාර්ථනා කරනවා.

"කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා!"

2 comments:

  1. එල පොරක් මචං...
    ඔහු සමුගත් බව දැනගත් මොහොතෙ...
    මා හටත් සියුම් වෙදනාවක් ඇතිවුනි...
    මදුවිතට වැඩිපුර ලොල් නොවුනනං ...
    තව කාලයක් සංගීත අඔරෙ දිලෙන්න තිබුනා...
    මොකද..නුගෙගොඩ පැත්තෙ ඉන්න නිසා..මං එපිළිබඳව දනිම්...
    මොනාවුනත් ඔහු කලාලොවෙ දැවැන්තයෙක්.....

    ReplyDelete
  2. සංගීත ලොවෙ නොමියෙන මිනිසා ග්‍රේෂන් ආනන්ද කලාකරුවාට නිවන් සුව පතමි.

    ReplyDelete