Saturday, March 12, 2011

මගේ හිත රිදී තිබේ! (කාටවත් ඵලක් නැති කතාවක්)


කුඩා කළ පටන්ම මා හට මිතුරන් සිටින්නේ අතේ ඇඟිලි ගණනටය. ආශ්‍රය කරන, සුහදශීලී පිරිස කොතෙක් සිටියද මගේ මිතුරන් වන්නේ එයින් ඉතා සුළු ගණනක් පමණකි. එසේ යම් කෙනෙකු මිතුරෙකු ලෙස සැලකූ පසු ඒ මිතුරු කම ලෙහෙසියෙන් බිඳෙන එකක් නොවේ. එසේම මිතුරු කමේ එකම සුදුසු කම මිතුරුකම පමණක්ම යැයි මම සලකමි.අපගේ සියලු ප්‍රබලතා මෙන්ම දුබලතා සඳහාද කීර්තිය මෙන්ම අපකීර්තිය සඳහාද බුද්ධිමත් කම් මෙන්ම මෝඩ කම් සඳහාද එහි ඉඩ තිබේ.බලය වත් පොහොසත්කම් උගත්කම් එයට කොහෙත්ම අදාල නොවේ. මගේ මිතුරන් කුලකය ගැන දන්නා අය එය දනිති.

ඒ නිසා මම පෞද්ගලිකව මුහුණට හමුවී නැති අය මගේ මුහුණු පොතට ඇතුලත් කර නොගැනීමේ ප්‍රතිපත්තියක මෑතක් වනතුරුම සිටියෙමි. එහෙත් මේ නිවාඩු කාලයේදී මගේ මිතුරියක කියූ දෙයක් නිසා මම ඒ ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට කල්පනා කලෙමි. එහි පළමු පියවර ලෙස මම එක් නව ඉල්ලීමක් මගේ මිතුරියකගේ මිතුරෙකුට යැවූ අතර මා වෙත මින් පෙර පැමිණ පොරොත්තු ලැයිස්තුවේ තිබූ ඉල්ලීම් අතුරින් දෙකක් පිළිගතිමි

මින් කී පලමු පුද්ගලයා කෙරෙහි මගේ සිතේ යම් ප්‍රමාණයක පැහැදීමක් තිබුණි. ඒ ඔහු සොයන ලියන දේ පිළිබඳවය. සතියකට වරක් කියවන්නට ලැබෙන දේ අනුව ඔහු සුන්දර අදහස් ඇති සොයුරෙකු වනු ඇතැයි හැඟීමක් විය. ඒ නිසා මා විසින් අනුගමනය කරන සාමාන්‍ය රීති වලින් බැහැර ගොස් මම වත් පොතෙහි පලමුවෙන් සංවාදය ඇරඹුවෙමි. එහෙත් එහිදී මා ඔහුව සැලකුවේ යහලුවෙකුගේ යහලුවෙක් ලෙස විනා ඔහුගේ පාඨකයෙකු ලෙස නොවේ. මා සිතන ලෙස මට වැරදුණේ එතනය.

ඔහු එයට සැබැවින්ම අකමැති විනිද නැතහොත් ආඩම්බර කාරයෙකුදැයි මට තවම වටහා ගන්නට නොහැකිය. නොදන්නා කෙනෙකු විසින් යහළුවෙකුට මෙන් අමතනු ලැබීමෙන් ඔහුට රිදුනා වන්නට ඇතැයි මම සිතුවෙමි. එහෙයින්ම ඒ වරද නිවැරදි කළ හැකිදැයි බලන්නට මම උත්සාහ කළෙමි. එහෙත් අළුත් සිංහලෙන් කියතොත් කිසි දිනෙක නොවූ පරිදි නෝන්ඩි වන්නට මට වුවමනා නැත.

එහෙයින් මගේ බාල සොයුරෙකුගේ වයසේ පසුවන ඔහුගෙන් ප්‍රසිද්ධියේ සමාව අයදිමින් මම නිහඬ වෙමි.

එහෙත් මගේ සිත රිදී ඇත.
මිනිසෙකු සමඟ සන්නිවේදනය කිරීම මෙතරම් අපහසු යැයි මා සිතුවේ නැත.

4 comments:

  1. මූණුපොතේ චැට් කරනකොට තියන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපි කියන දේ අනිත් කෙනා තේරුම් ගන්න විදිහ වෙනස් වීම. උදාහරණයක් විදිහට "මම යනවා" කියල කිව්වොත් ඒක කියන්න පුළුවන් විදි කීපයක් තියනවා. තරහෙන් කියන්න පුළුවන් , ආදරෙන් කියන්න පුළුවන්, අකමැත්තෙන් වගේ කියන්න පුළුවන්......... ඔය වගේ නොයෙක් විදිහට කියන්න පුළුවන්. ඒත් මූණුපොතේ දී අපි කරන්නේ ටයිප් කරන එක. ඒත් අනිත් කෙනා ඒ ටයිප් කරන එක කියවලා තේරුම් ගන්නේ වෙනම විදිහකට.

    ඔයදේ බොහෝ දුරට වෙන්නේ අපි අඳුරන්නේ නැති අයත් එක්ක චැට් කරනකොටයි. මොකද අපි අඳුරන අය දන්නෙවා අපේ කතා විලාශය. ඒත් අපිව දන්න්නේ නැති අයට ඒ පිළිබඳව වැටහීමක් නෑ.

    ReplyDelete
  2. Saho ooka gena echchara hithanna epa..Eya terum ganiwe kaa athinda weradi wenne neththe minissu athin wena weradi dekkama mewa monada kiyala hitala Samaawa gaththanam amataka karala danna... පූසා kiyapuwata mamath ekagai...

    ReplyDelete
  3. @පූසා,Anonymous;
    ඒක ඇත්ත තමයි. ඒත් මනුස්සයෙකුට තවත් මනුස්සයෙක් වෙනුවෙන් සහකම්පනය කියල දෙයක් ඇතිවෙන්න ඕනනේ. මට තේරෙන හැටිද මන්දා ඒත් අපේ පූස් මල්ලියා දවසක් දෙකක් මූණටම මුණගැහිලා අඳුරන්නේ නෑ වගේ ගියා නේද? ;)
    එතකොට මම ඔයා එක්ක තරහ වෙනවද? මේ වෙලාවෙ මොකක් හරි හේතුවක් තියෙනවනේ ඒ ප්‍රතිචාරය සඳහා. මම හිතන්නේ මම ඒක තේරුම් ගත්තා කියලයි. මගේ යාළුවට කතාකරල මං ගැන විස්තර අහන්න පුලුවන් කෙනාට මොකද බැරි මාත් එක්ක කෙලින්ම චැට් කරන්න. මේක පැහැදිලි ආඩම්බර කම කියලා මට හිතෙන්නේ ඒකයි. කොහොම හරි ජීවිත අත්දැකීම් පොතට තවත් එකක් එකතුවුණා කියලා මම හිත හදා ගන්නවා!

    ReplyDelete
  4. ඔහොම රිදෝ ගන්න ගියොත්නං හිතේ කෑලිත් නැතිව යයි... ගනන් ගන්න එපා.

    ReplyDelete