Saturday, March 12, 2011

සොඳුරු කලාකරුවා යනු ...... (කරුණාරත්න අමරසිංහ මහතා වෙනුවෙනි )


මීට වසර ගණනකට පෙර එක්තරා දිනෙක මම ලංකාවෙහි ප්‍රකට පෞද්ගලික ආරෝග්‍යශාලාවකට ගියෙමි. ඒ ගිය ගමන අත්දැකීම් තුනක් නිසා මගේ මතකයේ සදාකාලිකව පවතී. ඉන් පළමුවැන්න නම් මරබියයි. දෙවැනි අත්දැකීම නම් මට නිසි ලෙස පහදාගත නොහැක්කකි. තුන්වන අත්දැකීම දෙවැන්න හා බැඳී පවතින සොඳුරු මිනිසෙකු ගැන මතකයකි.

එකල මම පාසැල් සිසුවෙක් වීමි. මා අධික ලෙස වෙහෙසටත් ආතතියටත් පත්ව සිටි මොහොතක මම අසනීප වීමි. බෙහෙත් ගන්නට ගිය විට මගේ රුධිර පීඩනය මැන බැලූ ඇපොතිකරි දොස්තර මහතා පැවසුවේ මගේ රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස වැඩි බවයි.

"අපොයි දෙයියනේ! මම සදාකාලික රෝගියෙකු වෙන්නයි යන්නේ" මා අසීමාන්තික මර බියකට පත්කළේ වෛද්‍යවරයා මගේ නැන්දා පසෙකට කැඳවා ඒ ගැන කියූ ආකාරයටය. මරණයට නියම කළ එකෙකු තුළ ඇතිවන හැඟීම ගැන පළමු වරට මට හැඟීමක් ඇතිවිය.

දෙවන හා තුන්වන අත්දැකීම් ලැබෙන්නේ සම්පූර්ණ පරීක්ෂාවක් සඳහා වෛද්‍ය වසන්ත හෙට්ටිආරච්ච් මහතා හමුවට යාමේදීය.

බියෙන් හෙම්බත් වී සිටි මම වෙන කිසිවක් ගැන සිතන්නට උත්සාහ කරමින් සිටියෙමි. ගමනට ගතවන මුළු කාලය තුලම බියෙන් ගතකර මගේ රුධිර පීඩනය තවත් වැඩිකරගනු වෙනුවට වෑන් රියෙහි පිටුපස ආසනයට හේත්තු වී යම්කිසි සුන්දර දෙයක් ගැන සිතන්නට වූ මට මතක් වූයේ එකල ලක්බිම පුවත්පතෙහි වූ මගේ ප්‍රියතම ලිපිය වූ අමර සැමරුම යි. ඒ සමඟම අද දක්වාත් මට විස්තර කළ නොහැකි යම් සිඩුවීමක් සිදුවිය. එය සිහිනයකට සමානය. මා නින්දට වැටුනා විය යුතුය. මා දුටුවේ මා අදාල ආරෝග්‍යශාලාවට ගොස් සිටින අයුරුයි.

මට මතක ඇති කාලයේ නම් කිසිම දිනෙක ඉන් පෙර මම එහි ගොස් නැත්තෙමි. එහෙත් මා දුටුවේ රතු පැහැ ආසන පේළියක් සහිත තැනක මගේ ප්‍රියතම ලිපියෙහි ලේඛකයා සිටින ආකාරයයි. මම ඔහු සමඟ කතා කරමින් සිටියෙමි. යළි පියෙවි ලොවට පැමිණි වහාම මම උත්සාහ කළේ මගේ ප්‍රියතම ලේඛකයා සමඟ කතාකරන්නට අවශ්‍ය තරම් කරුණු සිහියට නඟා ගැනීමයි. එය මා කළේ හුදෙක්ම අවධානය වෙනතක හරවා ගැනීම පිනිස පමණි.

එහි ඇතුළු වූ වහාම මා අධික ලෙස විමතියට පත් වීමි. ඒ මා මොහොතකට පෙර මනසින් දුටු පරිසරය සියයට සීයක්ම සමාන වූ නිසා පමණක් නොවේ. මා දුටු මගේ ප්‍රියතම ලේඛකයා ඒ දුටු ඇඳුමෙන්ම සැරසී එහි සිටීම නිසාය. එහෙත් අර මා දුටු සංවාදය සිදුවූයේ නම් මා අර මනසින් දුටු දර්ශනයේ නොසිටි වෙනත් කෙනෙකු නිසාය. ඇය අපේ පවුලේ හිතවතියකි. ඈ පැමිණ සිටියේ යටකී ලේඛකයාගේ රෝහල්ගත කර සිටි බිරිය බැලීම සඳහායි. ඇය සිදුකළ හැඳින්වීම නිසා අප අතර කතාබහ ආරම්භ විය.

එතුමා ඉතාම නිහතමානී විය. එසේම එතුමා බියට පත්ව සිටි මගේ සිත සැනසෙන අයුරින් කතා කළේය. ඒ දින ගණන තුල මගේ නිරෝගී බව තහවුරු වූයෙන් මම ඉතාමත් සතුටට පත් වුණෙමි. මා එහි පැමිණි අවසාන දිනයේ එතුමාගේ බිරිඳ දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන බව මට දැනගන්නට ලැබුණි.

එහෙත් එතුමා ඒ දින කීපය ගතකර තිබූ අයුරු මට දැන ගන්නට ලැබුනේ ඉන් මඳ කලකට පසු ලක්බිමෙහිම පළවූ ලිපියක් නිසාවෙනි. එතුමා ඒ දින ගණනම නිදාගෙන තිබුනේ එතරම් සැපපහසු නොවූ අර පුටුව උඩමය. එසේම දැඩි ජීවිත අවදානමක පසුවූ එතුමාගේ බිරිඳ එම රෝහලේදීම දින කිහිපයකට පසු අවසන් හුස්ම හෙලා තිබුනි. මගේ සිතේ එතුමා පිළිබඳව මහත් ගෞරවයක් හා පුදුමයක් ඇතිවිය.
අවදානමකදී හෝ කරදරයකදී මිනිසෙකු හැසිරෙන ආකාරය ඔහු පිළිබඳව මනින්නට ඇති හොඳම ක්‍රමයයි. මේ සුන්දර මිනිසාගේ හැසිරීම කිසිදා මගේ හිතින් නොමියෙන්නේ ඒ නිසාය.

සොඳුරු කලාකරුවාණෙනි, ඔබතුමා හට තව දිගු කලක් මෙම කලා අඹරෙහි යෙහෙන් බැබලෙන්නට දිරිය හා සවිය පතමි!

No comments:

Post a Comment