Saturday, April 16, 2011

සුප්පම්මා සහ අපේ අම්මා

සමහර මිනිස්සුපොදු දේපල ගැන දක්වන ආකල්පය ගැන නම් ඇත්තටම දු
ක හිතෙනවා. විශේෂයෙන්ම වැසිකිලි භාවිතයේදී. මම ඉගෙනුම ලබන පෞද්ගලික අධ්‍යාපන ආයතනයේදී අත්දකින්නට සිදුවුණු දෙයක් නිසා තමයි මේ කතාව මගේ මතකයට ආවේ. අපේ ආයතනය පිරිසිදු කරන්න ලංකාවේ ප්‍රකට ආයතනයකින් සේවයේ යොදවල තියෙනවා. මේ කාන්තාවන් තමන්ගේ කාරිය ඉතාමත් අපූරුවට ඉෂ්ට කරනවා. වැසිකිලි ආදිය ඉතාමත් පිරිසිදුව තියාගන්න මේ අය වගබලාගන්නවා පමණක් නෙවෙයි ඉතාමත් ප්‍රිය මනාප ලෙසත් හැසිරෙනවා.ඒ නිසා ඔවුන් සමඟ වචනයක් දෙකක් හුවමාරු කරගන්න අපි අමතක කරන්නේ නෑ.

එක්තරා දවසක මම වැසිකිලිය ළඟට යනකොටම අවට හිටිය අයගේ මුහුණුවලින්ම මට පෙනුණා වැසිකිලියේ තත්වය අවුල් බව.කතාව දැනගත්ත ගමන්ම මම ඉක්මනට අර "ඇන්ටි"ව හොයාගෙන ගියා.කොමෝඩ් එක පාවිච්චි කරන්න නොදන්නා කමටත් වඩා හිතාමතාම ඒක නොහොඹිනා විදිහට පාවිච්චි කරපු බව තමයි අපි කාගෙත් අදහස උනේ. ආයේ හංගන්නේ මොකටද, මේ කියවන අය අතරත් ඕනේ තරම් ඇතිනේ පොදු වැසිකිලියකට හියාම අප්පිරියාවට ඒක උඩ නැගලා හරි බාගෙට ඉඳගෙන හරි ශරීර කෘත්‍ය කරන අය. ඇත්තටම මේ වගේ අය නිසා තමයි ඒවගේ අප්‍රසන්න තත්ව ඇතිවෙන්නේ.

ඊට පහුවෙනිදා යනකොටත් අර ඇන්ටි අපිව දැක්ක ගමන්ම කිව්වේ කලින් දවසේ වගේම සිද්ධියක් සිද්ධවෙලා තිබ්බ බව. ඇය නිරීක්ෂණය කරලා තිබුණා මොන පන්තිවල අය අතින්ද මේක සිද්ධවෙන්නෙ කියල. ඇත්තටම කියන්නත් කනගාටුයි අනිත් දේවල් මදිවට ජල කරාමයේ කරකවන හිස චොකලට් පදාසයකින් වැහිලා ගිහිල්ලා තිබුණා.

මට පුදුම කණගාටුවක් ඇතිවුණා. මා ඉගෙනුම ලැබූ පාසැලේ පිරිසිදු කිරීම් කටයුතු කලේ සුප්පම්මා කියල දෙමළ ජාතික කාන්තාවක්. මගේ විදුහල්පතිනිය "ජිනසේන මැඩම්" නිතරම අපිට දුන්නු අවවාදයක් තමයි "සුප්පම්මාත් අම්මා කෙනෙක් කියලා හිතන්න" කියන කාරණය. දාහක් වැල්වටාරම් අවවාද සහ වැසිකිලි භාවිතය ගැන පනවන නීති වලට වඩා ඒ කාරණය අපිව සංවේදී කළා. අද මේ කාරණයේදීත් අර "ඇන්ටි" කාගේහරි අම්මා කෙනෙක් නේද කියලා හිතනකොට මට පුදුම දුකක් ඇතිවෙනවා. කිසිම පුද්ගලයෙක් ආසාවෙන් තෝරා නොගන්නා රැකියාවක් වුනත් ඒ කාරිය කිසිම නොරිස්සුමක් නොපෙන්වා අකුරටම කරන ඇය අතින් සිදුවන සේවය ගැන සංවේදී නැති මිනිස්සුන්ගේ මනුස්සකම මහ ප්‍රශ්නාර්ථයක්. අද නව යෞවනයේ පසුවෙන මේ අය හෙට සමාජයේ පෙම්වතියන්,බිරින්දෑවරු,අම්මලා උනාම ඇතිවන තත්වය හිතාගන්නත් බය හිතෙනවා නේද?

3 comments:

  1. තව කෙනෙක් ගැන හිතන්නේ නැති කාලකණ්නි!

    ReplyDelete
  2. මොනවා කියන්නද නේද? අපේ ඉස්කෝලේ ඔය වැඩේ කරන්න හිටියේ සේරු ආච්චි කියලා දෙමළ කෙනෙක්. ඇයව සිහිවුනා

    ReplyDelete
  3. සමාජයේ පහළ මට්ටම කියල හඳුන්වන එකට අයිති ඔය මිනිස්සු නැත්නම් වෙන දේවල බලා ගන්න පුලුවන්.

    ReplyDelete