Saturday, April 16, 2011

මේ හැඟීමට නමක් දෙන්නට ඔබට හැකිදැයි බලන්න!




මගේ ජීවිතයේ මේ දිනවල විශාල පෙරළියක් ඇතිවී ඇතැයි මට සිතේ. මා දකින සෑම දෙයක් දෙසම මම වෙනස් ආකාරයකින් බලන්නට උත්සාහ දරමි. එය හිතාමතා සිදුවන්නක් නොවේ.මම විටෙක මගේ දෙනෙත පියාගෙන ලෝකය විඳින්නට උත්සාහ දරමි.වර්ණ හැඩතල නොහඳුනන ලෝකයක් ගැන සිතාගන්නට උත්සාහ කරමි. එහෙත් පෙර පුරුදු හැඩතල හා වර්ණ ඇති නිසා දෑස් පියාගත්තද ඔවුන් විඳින අත්දැකීම මට නොලැබෙන බව මම දනිමි. මේ හැඟීම අතිශය සංකීර්ණ එකකි. එය මානය,ශෝකය,විශ්මය වැනි සියල්ලම කැටිකරගත් එකකි.

උසස් ජාතික ඩිප්ලොමාව( Edexcel HND in computing) හදාරණ අපගේ මිතුරු මිතුරියන් පිරිසත් අපගේ ගුරුතුමියත් නිසාම ඔවුන්ගේ ව්‍යාපෘතියට සම්බන්ධ වූවා මිස එහි යනතෙක්ම මට කිසිදු විශේෂිත හැඟීමක් ඒ පිළිබඳ නොතිබිණි. එහෙත්එහි ගිය තැන් පටන්ම මගේ සිත ආගන්තුක හැඟීම් සමූහයකින් වෙලෙන්නට පටන් ගති. රත්මලාන නගරයේ පිහිටි තම දැකුම්කළු ගාම්භීර පාසැල් ගොඩනැඟිල්ල දෑසින් දකින්නට ඒ දරු දැරියන්ට පිනක් නැත. අප විසින් ඔවුන් වෙනුවෙන් පැවැත්වූ ඒඅපූරු අවුරුදු උත්සවය ඔවුන්ට වඩා අපූරු වූයේ අපට යැයි හඟිමි.

අප අසලින්ම ඇවිද යන ඔවුන් කිසිම සුදු සැරයටියක් නැතිව අපව සංජානනය කර ගන්නේ අප සිත තුළ මහත් විශ්මයක් දනවමිනි. තාලයක් වාදනය වන සැනින් ගීතය හඳුනාගන්නා ඔවුන්ගේ තියුණු කන් වලට ස්වර තාල වරදින්නේ නැත. "අකුරට යන්නට කම්මැලි හිතිලා" ගීතය ගැයූ දෙවන ශ්‍රේණියේ උගන්නා මිහිරි හඬැති දියණිය මා හැඬවූයේ නිරායාසයෙනි.
එදින ඔවුන්ගේ පාසැලේ මේ වාරයේ අවසාන දිනයයි. උත්සවය නිම වන්නට මඳකට පෙර බාලිකාවන් කිහිප දෙනෙකු පාට ඇඳුමින් සැරසී ගමන් මළු පිටේ එල්ලාගෙන සිටින්නේ මන්දැයි උපන් කුහුල සංසිඳුනේ යගුලියක බර සිතට එක්කරමිනි. දෙමාපියන්ගේ හව්හරණ නොලබන ඔවුන්හට වාරයක් පුරා පාසැල ලබාදුන් සෙවණද නිවාඩුව සඳහා අහෝසි වන බවත් ඔවුන් රජයේ ළමානිවාසයක භාරයට පත්වන බවත් දැනගැනීමෙන් දැනුණු කම්පනයේ නින්නාදය මේ ලියන මොහොතේදීත් මම අත් විඳිමි.

ඔවුන්ට අවැසි අනුකම්පාව නොවන බව මම දනිමි. සියළුම ඉන්ද්‍රියයන් හොඳින් පිහිටි අපට වඩා ඔවුන් ලෝකය ජයගෙන ඇත. කිසිදා නොපෙනෙන දෙනෙත ගැන වද වීමක් හෝ තැවුල් සිතක් නැති ඔවුහූ තමන්ගේම ක්‍රමයකට ලෝකය දකිති. ජීවිතය සතුටින් විඳිති. එකිනෙකා කෙරෙහි බැඳෙති. උපකාර කරගනිති. එහෙයින්ම ඔවුන් දැකීමෙන් මගේ සිතට දැනෙන හැඟීම් පුංජයට කිව හැකි නමක් සොයමි.

3 comments:

  1. http://goo.gl/GUdxb

    ReplyDelete
  2. සාගරය බදු ව්ශ්ව කොශයෙන් වත් සොයාගන්නට නොහෑකි නමක් වනු නොඅනුමානය

    ReplyDelete
  3. ඔබට ගොඩක් පින් සහෝ...අපි අව0කව හොද යමක් කරල එකෙන් කෙනෙක් ඇත්තටම සතුටු උනාම දැනෙන හැඟීම විස්තර කරන්න තනි වචනයක් නම් මදි... .මම හැමදාම වගේ බ්ලොග් 1 චෙක් කලාට අළුත් ලිපියක් දාලා තිබ්බෙ නෑ කාලෙකින් අද බලද්දි 3ක්ම දාලා එල එල...දිගටම ලියන්න...ඔබට ජය

    ReplyDelete