Monday, October 17, 2011

සිහින රසිකයා

හීන ගැන කතා කරන්න හුඟක් දවසක ඉඳන් හිතා හිටියත් නොයෙක් හේතු නිසා ඒක මඟහැරුණා.ඇත්තටම මුලින්ම මේ හීන ගැන ලිපිය පළ කරන්න හිටියෙ ජනූ අක්කගේ මේ ලිපිය දැක්ක වෙලාවෙ. අද ලෙඩ ගානෙ ඉඳගෙන කරන්න වැඩක් නැති නිසා තැපැල් පෙට්ටිය අස්පස් කරනකොට තමයි ආයිම මතක් වුණේ.
හීන ගැන ඉතින් නොයෙක් අර්ථකථන තියෙනවනේ. මම නම් ඉතින් හීන ඵලාපල ගැන එච්චර තේරුමක් තියෙන කෙනෙක් නෙවෙයි.
මම හීන රසවිඳින්නේ මගේම ක්‍රමයකට(අනේ හැබෑට මම හිතාගෙන හිටියෙත් ඒක මටම ආවේණික විදිහක් කියලා ඒත් තව කට්ටිය ඉන්නවනේ.මෙන්න මේ ලිපියත් බලන්නකෝ.)
මම දකින හීන සම්පූර්ණයෙන්ම වර්ණ හීන.බ්ලැක් ඇන්ඩ් වයිට් නම් දැකලම නෑ. ඒ වගේම තමයි මම දැන් හීන දැකල කම්මර වෙලා ඉන්නෙ.(හරි හරි තෙම්පරාදු වෙලා කියන්නෙත් ඕකටම තමයි ඉතින්. අපි ගමේ ගොඩේ මිනිස්සු නොවැ ආයිබොවන්ඩ!) ඉතින් ගොඩක් වෙලාවට හීනෙ හසුරුවාගන්න විදිහ මම දන්නවා. හීනයක් දකිනකොට ඒ හීනෙ මට හොඳට දැනෙනවා.හීනෙන් දුවනවා කියන්නෙ ඉතින් මටත් හති..තුවාල උනොත් රිදෙනවා. කොච්චර අපූරුද කිව්වොත් අර සමහර අය කියනවනේ ඇස් පොඩි කළාම, කෙනිත්තුවාම හීනයක් නම් ඇහැරෙනවා කියලා, ඒක මට නම් හරියන්නෙ නෑ. හීන ඇතුලෙම ඒවගේ දේවල් ගොඩක් කරල තියෙනව මම.
අනිත් එක තමයි සමහර වෙලාවට කොටස් වශයෙන් හීන පේනවා.අන්න ඒක නම් හරිම මරු වැඩේ. ටෙලි නාට්‍යක ඊළඟ කොටස විකාශය වෙනකම් ඉන්නවා වගේ.තව සමහර ඒවා මැද්දෙදි කවුරුහරි මාව ඇහැරෙව්වොත් මම ආයි නිදාගන්නවා.එතකොට නවත්තපු තැන ඉඳලා පේනවා.(සමහර විට මීඩියා ප්ලේයර් හොයාගන්න ඇත්තෙත් මේ මම වගේ හීන දැකපු කෙනෙක්ද දන්නෙ නෑ)
ඊයෙ මම හීනෙන් ජුමාන්ජි සෙල්ලම් කළා. අද දවල් පිස්සු විද්‍යාඥයෙකුගෙන් ලෝකය බේරගන්න මාර සටනක් දුන්නා.ඇයි ඉතින් එක දිගට චිත්‍රපටි තුනක් බැලුවනේ.ඒ වගේ ඉතින් සමහර හීනවල හේතුව හිතාගන්න පුළුවන්.සමහර ඒවා දකින්නේ ඇයි කියලා හිතාගන්න බෑ.
තවත් සමහර හීන තියෙනවා නිතර දකින, උදාහරණයක් විදිහට මම හැමතිස්සෙම දකිනවා සර්පයෝ ගොඩක් මාව පන්නගෙන එනවා.(තාත්තා කියන්නෙ දෙවි දෝසෙද මොකක්ද එකක් කියලා. තවත් සමහර වෙලාවක මම අහසේ පියාඹනවා. නැත්තම් ගොඩක් වෙලාවට දකින්නෙ රෑ අහසේ අලංකාර එළි විහිදෙනවා.
තවත් සමහර තැන් මට පේන්නේ මටම ආවේණික විදිහට.ඒ වගේ එක තැනක් තමයි අපේ වත්ත පහළ. ඒක මට පේන්නේ දියඇළි තියෙන අඳුරු මහ කැලෑවක් වගේ.ඉවර වෙන්නෙ ලස්සන පරණ මාලිගාවකින්.
මොනවගේ හීනයක් වුනත් මම ඒක රස විඳිනවා.(අනිත් කාරණේ තමයි හීනවල ඉන්නෙ ඇත්ත මම නෙවේ. පිරිමි ළමයෙක් නේ.එයා හුඟක් වෙලාවට බය නැතුව මහ කරුවලෙත් පාපැදියකින් යන්නේ ඒකයි )
ඉස්සර නම් මම හිතුවේ මේ වගේ හීන පේන්නෙ මට බාගෙට පිස්සුද දන්නෙ නෑ කියල. ඒත් අර ලිපි ටිකයි ඒවයේ කමෙන්ට් ටිකයි දැක්කම මට ආපු සතුට....
ඒ වගේම තමයි සමහර නරක හීනත් තියෙනවා.දෙතුන් පාරක් හීනෙන් බයවෙලත් තියෙනවා. එකම එක පාරක් විතරක් එහෙම බයවෙලා කෑ ගහල තියෙනවා. ඒ පඹයෙක් මං පාරෙ එලවගෙන එනවා දැකලා.ඒත් මෙච්චර කාලෙකට මම දැකපු සවුත්තුම අවැඩදායීම හීනෙ දැක්කෙ ගිය මාසෙ.

ඔයාලත් මං වගේම හීන රසිකයෝද?

2 comments:

  1. අපුරු සිහිනයක්..!, මගේ සිහින කෙදිනක හෝ සපල වෙ යයි සිතුවද එය බොදවී යන දෙයක් බව මට සිතේ....

    ReplyDelete
  2. මං හීන දකින්නෙත් ඔය වගේම විදියකට තමා. මං ඒකට කියන්නේ වර්චුවල් හීන කියලා.

    මං නං දැකපු සවුත්තුම හීනේ, අපේ තාත්තා මගේ ඈඟට මැරිච්චි මකුලුවෙක්ගේ කුණක් දානව දැක්ක එක. ඉතිහාසේ පළවෙනි පාරට එදා මං කෑගහගෙන නැගිට්ටේ... වෙලාව දවල් දෙකට විතර ඇති...

    ReplyDelete