Tuesday, October 18, 2011

බොරු හතක් ඇති කවිය

අද මම හිතුවා ටිකක් වෙනස් විදිහේ බ්ලොග් සටහනක් තියන්න. ඇත්තම කිව්වොත් මේ කියන්න යන කතාව මගේ කතාවක් නෙවෙයි. මේක මම කුඩා කාලේ ඉතා ආසාවෙන් කියවපු පොතක්.නම "කයි කතන්දර". කතෘගේ නමක් නම් නෑ පේන්න. ඒත් මේ පොත ප්‍රකාශයට පත් කරල තියෙන්නේ "විද්‍යානන්ද යන්ත්‍රාලය,පිටකොටුව,කොළඹ".පිටු ගණන 38 යි. මිල රුපියල් 1.25 යි.මේ පොතේ අයිතිකරු අපේ ආතා බවත් මතක තියාගන්නෝනැ හොඳද? මේ පොතේ අපූරු කතා ගොඩක් තියෙනවා. ඒවා නිකම් ජනකතා රසකතා වගේ දේවල්. ඉතින් මම මේ කතා ගේන්නේ පොතේ පිළිවෙලට නම් නෙවේ. මෙන්න පළමුවන කතන්දරය.
"කතන්දර සභාවට පැමිණි ඔබ සැම අප ඉතා ආදරයෙන් පිළිගනු ලබනවා. අපි අද කියන්නට යන්නේ...බොරු හතක් ඇති කවිය ගැනයි"...

බොරු හතක් ඇති කවිය


ලෝකුරු නයිදේ නම් තැනැත්තා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කවිකාර මඩුවේ සිටි කවීන්ගෙන් එකෙකි.කවිකාර මඩුවට කවීන් රැස්කරවා, නොයෙක් කව් සින්දු කියවා ප්‍රීතිවීම රජුගේ සිරිතකි.
දිනක් කවීන් රැස්ව සිටින විට රජතුමා හදිසියෙන්ම කතාකොට
"බොරු හතක් ඇති කවියක් කියාපල්ලා. කිවු අයට තෑගි ලැබේ" යැයි කීය.
සෙස්සෝ නිශ්ශබ්දව සිටියෝය. ලෝකුරු නයිදේ නැගිට,

"කිලි කුණු නැති වඳිගෙ පුතෙක්-ඇඳගෙන නිල් වලා කඩක්
මිරිඟු දියෙන් ස්නානය කර-පැළඳ දිඹුල් මල් වඩමක්
තුරඟ අඟින් රතය තනා-අඹරා ඉබි ලොමින් යොතක්
කුහුඹු අගින් රතය තනා-දැක්කිය සුරපුරට උදක්"


යන කව කීවේය.

සමහර විට කාට හරි මේකෙ තේරුම නොතේරුණොත් කියලා ඔන්න මම පැහැදිලි කරන්නම්.

1.වඳ ගැහැණු කෙනෙක්ට පුතෙක් ඉන්න බෑනේ
2.මිරිඟුව වතුර වගේ පේන මායාවක් නිසා ඒකේ නාන්නත් බෑ
3.දිඹුල් කියන ගසේ ගෙඩි මිස මල් හට නොගන්නා බවයි පිළිගැනීම
4.අස්සයන්ට අං නෑ, ඒ නිසා ඒවායින් රථයක් හදන්නත් බෑ
5.ඉබ්බන්ට ලොම් නැති නිසා ඒවායෙන් කඹයක් අඹරන්නත් පුළුවන් කමක් නෑ
6.කූඹින්ටත් අං නෑ.
7.ඒවගේම තමයි පණපිටින් සුරපුරට යන්නත් බෑ (ඒ ඒ ඒවා ඔට්ටු නෑ.මම නෙවේනේ පොත ලිව්වේ. ඉතින් ගුත්තිල පඬිතුමා පණ පිටින් දිව්‍යලෝකෙ ගිය කතාව කියපු අයගෙන් අහගන්න.)

7 comments:

  1. පට්ට කවිය ....
    දැන් 1.25 ට පොතක් තියා ටොපියක්වත් ගන්න පුලුවනෑ ........

    ReplyDelete
  2. අගේ ඇති කවියක් නේ...

    ReplyDelete
  3. ඔය පොත් පරිස්සං කරලා තියාගන්න ...අනගතේ ඕවා අහන්න දකින්න ලැබෙන්නේ නෑ නේ ..... එළ කවිය.....

    ReplyDelete
  4. අගෙයි අගෙයි!

    ReplyDelete
  5. අපූරු පොතක් වගෙයි.......

    ReplyDelete
  6. ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියන්නේ ඒකනේ. දැන් කාලේ මේ වගේ හොඳ හොඳ කතා තියෙන පොත් හොයාගන්නවත් නැහැනේ

    ReplyDelete
  7. කිලිකුණු නැති වැදිගෙ පුතෙක් ඇඳගෙන සුදු වළා කඩක්
    මිරිඟු දියෙන් නානය කර පැළඳ දිඹුල් මල් කළඹක්
    එරඹ හරින් රථය තනා අඹරා ඉබි ලොමින් යොතක්
    තුරඟ අඟින් කෙවිට තනා දැක්කිය සුරපුරට උදක්.

    ReplyDelete