Tuesday, October 18, 2011

අරිවන්දා..(දෛවය වලකන්නටම බැරි නිසා)

මේකත් ඔන්න අර කයි කතන්දර පොතේම කතාවක්. කියවන්න සතුටු අයට කියවල බලන්න පුළුවන්.
එක්තරා රජ කෙනෙකුට...මේ කතාව නම් ටිකක් දිගයි වගේ. ඉවසිල්ලෙන් කියවන්න වෙයි. මගේ වචනයෙන් ලිව්වොත් හොඳයි වගේ. ..
හරි.. එක්තරා රජ කෙනෙකුට දරුවන් වශයෙන් හිටියේ එකම දුවක් විතරයි. ඉතින් රජතුමා මේ කුමරිය ඉතාම ආදරෙන් හැදුවා.පරිවාර කාන්තාවන්ට අමතරව ඇගේ අත් පා මෙහෙවර සඳහා අරිවන්දා කියල කොල්ලෙකුත් හිටියා.
එක දවසක් කුමරිය උයන් කෙලියට යනකොට උයනේ එක තැනක විශාල පිරිසක් රැස්වෙලා ඉන්නව දැකපු කුමාරිකාව තොරතුරු හොයාගෙන එන්න අරිවන්දාව යැව්වා.අරිවන්දාත් තොරතුරු හොයාගෙන ඇවිත් කිව්වා දිවැස් ඇති තාපසයෙක් හිමාලයෙන් ඇවිත් මිනිස්සුන්ගේ අනාගතය ගැන කියන බව.
දැන් කුමාරිකාව අරිවන්දාව පිටත් කරල අරිනවා තමන්ගේ අනාගත ස්වාමි පුරුෂයා ගැන අහගෙන එන්න. හැබැයි මේ පාර ආපහු ආපු අරිවන්දා බයෙන් බිරන්තට්ටු වෙලා ඉන්නව මිස මොකුත් කියන්නෙ නෑ.
අන්තිමට කුමරිය තර්ජනය කළා "නොකිව්වොත් මරණවා" කියලා.


දැන් අරිවන්දා කියනවා "මට බයයි, ඒක කිව්වොත් මට දඬුවම් කරාවි"
"නෑ කියාපිය" කුමරිය වඩාත් කුතුහලයෙන් යුතුව කිව්ව.
"තාපසයා කිව්වෙ කුමරියගේ ස්වාමිපුරුෂයා වන්නේ මා යි කියලා"
කුමරියට අසූහාරදාහටම කේන්ති ගියා.
"බලපිය මුගෙ ආඩම්බර කතාවක හැටි" කියලා ලඟ තිබුණු පුටුවක් (ඒ කාලෙ තිබුණේ හොඳ බර ලී පුටු විතරනේ. ප්ලාස්ටික් පුටු නෑ නේ.)අරගෙන අරිවන්දාගේ ඔළුවටම දමලා අතෑරියා.

හොඳ වෙලාවට අරිවන්දා දුවන්න ලෑස්ති වෙච්ච ගමන්මයි හිටියෙ.ඒ නිසා ඔළුව පැළුනත් පණ බේරාගෙන දුවලා ගියා. ඒ දුවපු දිවිල්ල නැවතුනේ ගම් ගානක් ඈතට ගිහිලයි.
මෙහෙම සෑහෙන දුරක් ගිය අරිවන්දා බඩගින්න උහුලා ගන්න බැරුව විශාල මාළිගාවකට ගොඩවැදුණා කෑම ටිකක් ඉල්ලන්න හිතාගෙන. ඒත් ඒ විශාල මාලිගාවෙ කවුරුත් පේන්න හිටියෙ නැති නිසා අරිවන්දා මාළිගේ ඇතුලටම ගමන් කළා.මාළිගාවෙ කාමරයක් ඇතුළෙ හිටපු මහළු මිනිසෙක්ව අරිවන්දාට දකින්න ලැබුණා. මේ මනුස්සයාගේ මුළු ශරීරයම කුණුවෙලා දුඟද හමනවා.


"මම මේ නුවර සිටුවරයෙක්, මට මේ කුෂ්ට රෝගය හැඳුණා. බොහොම වෙදකම් කළ නමුත් එන්ට එන්ටම වැඩිවුණා.ඇඟ කුණු ගඳ ගහන්නට වුණාමයි වෙද්දු කීවේ සනීප කරන්නට බැරිය, මේක බෝවෙන රෝගයක්ය කියලා. පිළිකුලත් බයත් නිසා මගේ අඹුදරුවෝත් වැඩකාරයෝත් උන්ට අහුවුණු දේත් රැගෙන මග ඇර ගියා.දැන් කුණු පණු කකා ඉන්න මට වතුර පොදක්වත් නැතිව මැරෙන්ටයි වෙලා තියෙන්නේ" කියලා අර මනුස්සයා අඬන්න ගත්තා.
දැන් අරිවන්දට හරිම දුකයි.අරිවන්දා බොහොම කරුණාවෙන් අර මනුස්සයාට සැලකුවා.බේත් කොළ කොටල ඇඟේ ගැල්වුවා. අන්තිමට සාත්තුවේ හොඳ කම නිසාම සුවවුණු මේ සිටුතුමා අරිවන්දාව පුතෙක් හැටියට බාරගෙන නීති ප්‍රකාරව තමන්ගේ මුළු ධනයම පැවරුවා.


සිටුතුමා මියගියාට පස්සේ සිටු තනතුර උරුම වෙච්ච මේ කුමාරයගේ හැබෑ නම් දැන් කවුරුත් දැන්නෙ නෑ.(හරියට අනේපිඬු සිටුතුමාගේ මුල් නම සුදත්ත කියලා මිනිස්සු දැන හිටියේ නෑ වගේ). කුමාරයා ප්‍රසිද්ධ "පින්වත් සිටුතුමා" කිව්වමයි.
මේ සිටුවරයා අර කලින් තමන් සේවය කළ රජ මාළිගාව ඉදිරිපිටම ඉඩමක් අරන් පදිංචි වුණා.
රජතුමාගේ ඇසට මේ කඩවසම් සිටු කුමාරයා හරියට රසඳුනක් වගේ.ඇයි දුවට? මේ දෙන්නම දන්නේ නෑ මේ අරිවන්දා කියලා.බොහොම කෙටිකාලෙකින්ම තමන්ගේ ගුණයහපත්කමින් වගේම ධනවත් කමින් මුළු ප්‍රදේශයේම කීර්ති ගෝසාව පතුරපු මේ කුමාරයාව විවාහ කරගන්න රජ කුමරියත් හීන මවනවා. රජතුමාත් මේක දැනගෙන බොහොම සතුටු වෙලා විවාහ යෝජනා ඇරියා. සිටු කුමාරයාත් කැමති වුණා.
ඉතින් දැන් රන් රස වාගේ ප්‍රෙමෙන් බැඳී ජීවත් වෙන මේ යුවලට ලස්සන පින්වත් පුතෙකුත් උපන්නා. දවසක් සිටුතුමා තමන්ගේ දේවියට කතා කරලා හිස කසන්න කියලා කිව්වා.දේවිය හිස කසන අතරේ අර පරණ තුවාල කැලළ (ඔව් අර පුටුවෙන් ගහපු එක තමයි ) අතට දැනුණා.දැනිලා ඒගැන විමසුවා. එතකොට සිටුතුමා මේ කවිය කියනවළු,


කලකදි ළඳේ මම බොහො දුක් වින්දාය
කලකදි ළඳේ මම සිටු සැප වින්දාය
කලකදි ළඳේ නුඹ මට පෙම් බැන්දාය
දැනගන් ළඳේ මම නම් අරිවන්දාය.


මගෙන් අහන්න එපා ඊට පස්සේ මොකද වුණේ කියලා. ඒ ටික පොතේ නම් නෑ. මාත් නොයෙක් උපකල්පන ගොඩනඟල තියෙනවා. ඔයාලත් ඔයාලගේ උපකල්පන තියේනම් මාත් එක්ක බෙදා ගන්න.
ඔයාල කුමාරි නම් මොකද කරන්නේ? ඔයාලා රජතුමා නම් මොකද කරන්නේ? අරිවන්දත් අර ගම්පෙරලියෙ පියල් වගේ කියල තමයි මට නම් හිතෙන්නේ. මිනිහා ඔය රජ මාළිගේ ඉස්සරහින්ම ඉඩමක් ගත්තේ මොකටද නැත්තම්?

5 comments:

  1. දෙවනි පාරත් ඔළුව පලන්න ඇති..අහන්න දෙයක් නෑ......

    ReplyDelete
  2. මම කුමාරි වුනානම්,

    කලකදී හිමි මා කුමරිය වූවාය
    කලකදී හිමි මා නුඹ හට තැලුවාය
    කලකදී හිමි වන්නට මේ දෙස ආවාය
    සමාවන් හිමි නුඹට මේ මා වැන්දාය

    කියලා අනේ සොරි අනේ ඒ කාලේ වෙච්චි එව්වා දැන් මොකටද, ඔයා හරිම සෝයිනේ අනේ කියලා බොන්න මොනවා හරි හදලා ගෙනැල්ලා දීලා, අර ඔළුව පලපු කැලලට තෙල් ටිකක් දාලා අතගානවා......... හි හි

    ReplyDelete
  3. හනේ ඉතින් මට නම් හිතෙන්නෙ ඇයි මේතරම් ගුටිකාලත් ආයෙත් මේ කුමාරිවම හොයාගෙන ආවෙ කියලා...(සුවර් එකටම හොඳටම ඔළුව පැලෙනන්නැති)

    ReplyDelete
  4. එක්තරා රජ කෙනෙකුට දරුවන් වශයෙන් හිටියේ එකම දුවක් විතරයි. ඉතින් සිටුතුමා මේ කුමරිය ඉතාම ආදරෙන් හැදුවා.

    ReplyDelete
  5. ඉරණම්කාරයා කරණම් ගගහා එනවා කියන්නේ ඕකට තමා :))

    ReplyDelete