Monday, October 17, 2011

හීනයක් නිසා යාළුවෙක් මියයාම (මරා ගැනීම )

මේ කතාවත් හීන හා හීන ඵලාපල වලට සම්බන්ධයි. මම කිව්වනේ මම එච්චර හීන ඵලාපල ගැන දන්නෙ නෑ කියලා.ඒත් මම ප්‍රත්‍යක්ෂයෙන් විශ්වාස කරන හීන ඵලාපල දෙකක් තියෙනවා.මම හිතන්නේ හීන ඵලාපල එක එක්කෙනාට වෙනස් වෙනවත් ඇති.(මොකද මම ඕනෙ තරම් හීනෙන් මගේ දත් විතරක් නෙවෙයි ඇසුත් ගලෝගෙන තියෙනවා.)
ඒත් හීනෙන් වතුර දැක්කොත් අනිවාර්යෙන් හෙම්බිරිස්සාවක තරම වත් සෙම් කලබලයක් වෙනවාමයි. ඒ වගේම තමයි, කවුරුහරි කෙනෙක් විශේෂිතව හිනාවෙවී හොඳ සනීපෙන් හිටියොත් (විශේෂිත කිව්වෙ එ හීනෙට අදාලත්වයක් නැති විදිහට.ඒක තේරෙන්නෙත් හීනෙන්ම තමයි ) ඒක ඒ පුද්ගලයාට හොඳ නෑ.(ඇත්තම කිව්වොත් මෙච්චර කාලෙකට ඒ විදිහට දැකපු අය මැරුණා)
ඉතින් මම ළඟදි දැක්කා මං අඳුරන කෙනෙක් ඒ විදිහට හිනා වෙවී ඉන්නවා. දැන් මගේ හිතට මාර විදියට අවුල්.එදා දවසෙම මගේ ඔළුවෙ වැඩ කරන්නෙම ඕක විතරයි.මේක කිව්වොත් ඉතින් අහපු මනුස්සය හිනා වෙනවා මිසක් වෙන මොකක්ද? ඒත් ඉතින් නොකියත් බෑ.ඇරත් දැකපු කෙනාගෙ හැටියට නිකම් යාලුවෙක්ට වගෙ"මම අද ඔයාව හීනෙන් දැක්කා " කියන්නත් බෑ.(කිව්වොත් මගේ මොලේ කචල් කියලා හිතයි )අන්තිමට වටෙන් ගොඩෙන් පරිස්සම් වෙන්න කියල කිව්වා.
එදාම මහ පුදුම විදිහට මගේ කකුල තුවාල වුණා. පුදුම විදිහට කියලා කිව්වේ ඇයි දන්නවද? මම ගමන් කළේ ඉතාම හිමින් ඒ වගේම සාමාන්‍ය විදිහට කකුල වැදුණනම් වැදෙන්න ඕනෙ සෙරෙප්පුව නැත්තම් මහපට ඇඟිල්ලේ නියපොත්ත.මේ ඔක්කොම බේරලා කකුලේ මහපට ඇඟිල්ල පොලොවෙන් අඟලක් වත් උඩට නො ආපු යකඩයක වැදිලා සෙන්ටිමීටරයක විතර පැල්මක් ඇතිවුණා.
මගේ මොළේ මොනතරම් අර හීනෙ සීරියස් අරගෙන තිබුණද කිව්වොත් දැන් මං වටේ ඉන්න අනිත් ඔක්කොම බයවෙලා ඉඳිද්දී මං විතරක් සතුටෙන් ඉන්නවා.මොකද මට හිතෙන්නෙම දැන් මේ සිද්ධවෙච්ච අරුම පුදුම දේ නිසා අර හීනෙ ප්‍රතිඵලය වෙනස් වෙන්න ඇති කියලා (හරි හරි මනෝ විද්‍යාඥයෙක් නම් කියයි ඉතින් ඒ අපි අපේ මනසට බියක් ඇති වුණාම මඟහරවා ගැනීම සඳහා ගන්න උපක්‍රම කියලා). ඉතින් ලේ ගලන කකුල හෝදන්නෙවත් නැතුව ලේ ගලද්දිම මම පාරෙ යනවා.
මෙහෙම යනකොට මගේ යාලුවෙක් මට කතාවක් කියනවා. කා ගැනද? මම අර හීනෙන් දැකපු පුද්ගලයා ගැන.මේ කතාව මීට කලින් මම අහල තිබ්බා වගේ මතකයක් මට තිබුණා. ඒකෙ ඒතරම් විශේෂයක් තිබුණෙ නෑ. ඒත් මේ යාළුවා මේක කියපු විදිහට මට බොහොම තදින් දැනුණා.මොකද ඔහු මගේ ලෝකෙ වීරයෙක් වගේ කෙනෙක්.කතා කළත් හරවත් යමක් ගැන කතා කරපු කෙනෙක්.කාලෙකින් මම දැකපු හොඳ හරවත් මනුෂ්‍යයෙක්.
ඒ අදහස් වල තියෙන රසවත් කම නිසාම මම ඔහුට චැට් කරලා වද දෙන සිරිතක් තිබුණා.මොකද මොකක් හරි මාතෘකාවක් ගැන කතා කරන්න පටන්ගත්තොත් ඒ මාතෘකාව ඉවරවෙද්දි හිතන්න දෙයක් ඉතුරුවෙනවා.අනිත් එක ඔහු මට වඩා හුඟක් වයසින් වගේම දැනුමෙනුත්, බුද්ධියෙනුත් ප්‍රඥාවෙනුත් උසස් කෙනෙක්.මාත් එක්ක කතාකිරීම ඔහුට කිසිම ඵලක් නැති දෙයක් වුනත් ඔහු කතාකළා.
අන්තිමට එදා මම මෝඩයෙක් වගේ කතා කරන අතරතුර අර යාළුවා කිව්ව කතාව ඔහුට කියන්න ගියා.ඒ චැට් එක තනිකරම මහ බහුබූතයක් කියලා මට තේරුණේ පස්සේ වතාවක නැවත චැට් එක කියවලා බලද්දි.
ඒත් ඒ වෙනකොට මම මගේ යාළුවෙක් වෙමින් හිටපු කෙනෙක්ව නැතිකරගෙන ඉවරයි.ඔහුගේ වයසත් මට සාපේක්ෂව ඔහු ඉන්න තැනත් ,ආදී කරුණු බහුතරයක් නිසා ඒ සිද්ධවුණු මෝඩකම නැවත හදන්න බෑ. අනිත් එක ඒ කාරණයෙන් පස්සෙ මිසක් ඉස්සෙල්ලා මට හිතුණෙ නෑනෙ මිත්‍රත්වයක් නැත්තම් මම වගේ සාපේක්ෂව පොඩි ළමයෙක් එක්ක කතා කරලා කාලෙ නාස්ති කරගන්නවට වඩා ඔහුට හුඟක් වැඩ තියෙන්න ඇති කියලා.
අන්තිමට කොහොම හරි හීනෙ ඇත්ත වුනා. පුද්ගලයා නොමැරුණත් ඒ තුල හිටිය මගේ යාලුවා නැවත නො එන්නටම මියැදුණා කියලයි මම හිතන්නෙ.
යාළුවෙක් තරහ වීම දරන්න පුළුවන්. ඒත් තමන්ගෙම වැරැද්ද නිසා මේ විදිහට යාළුවෙක් නැතිවීම මොනතරම් සිත් වේදනාවක්ද කියලා මට දැනුණා
සතියක් විතර කාලයක් මම කිසිම දෙයක් කතා නොකර හිටියා.ඒ කාලය තුළ මම පුදුමාකාර විදිහට පසුතැවුණා.ඒත් අන්තිමේදි මම හිත හදාගත්තා.නැවත වතාවක් මම ඒ වරද කරන එකක් නෑ.දෙයක් කතාකරන්න කලින් මම සියවරක් හිතාවි.
ඒත් ඒ නැතිවුණු මිත්‍රත්වය නැවත ඇති නොවෙනවා වගේම,ඒක ඇති කරන්න ගන්න කිසිම පියවරක් නිසා එතුමා වගේ කෙනෙක් මගේ ජීවිතයෙන් සදහටම ඈත් කරගන්න මට වුවමනාවක් නෑ.මොනවා වුනත් යාලුවා මැරිලා හරි පුද්ගලයා ජීවත් වීම ගැන මම සතුටු වෙනවා.දැන් අධ්‍යාපනික කටයුත්තක් වගේ බොහොම නිල කාර්යයන් සඳහා පමණයි මම චැට් කරන්නෙ. ඒත් නොකරම බැරි වුණොත් විතරයි.නැත්නම් මම දුරකථනය පාවිච්චි කරනවා.
ඔන්න ඕක තමයි මම මෙතුවක් දැකපු නරකම ප්‍රතිඵලය උදා කරපු හීනය. ඒත් ඒක කරගත්තෙ මම ම තමයි.

5 comments:

  1. ඒක ගැන ඒතරම් වදවෙන්න එපා... අනික හීනයක් නිසා කෙනෙකුට හානි වෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් අඩුයි මං දන්න විදියට...

    ReplyDelete
  2. @ Prasanna86K :
    නෑ මාළු යාලුවො මට හිතෙන්නේ ඒක හීනයක් හැටියටම තිබුණනම් ගොඩක් හොඳයි කියලා. නරක හීන කොච්චර තිබුණත් හීනයකට සම්බන්ධව මෙහෙම දෙයක් වුණු පළමුවෙනි වතාව. :)

    ReplyDelete
  3. මම නම් ඕවා පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නෑ. අපිට් හීන විදිහට පේන්නේ අපේ හිතේ තියන දේවල්මයි. අපි ඒ තරම් තදට නොහිතන දෙයක් උනත් ඒක යටි හිතේ තියෙනවා, ඉතිං පස්සේ ඒක කතාවක් වගේ අපිට හීනෙන් පේනවා. විභාගයක් ළං උනාම ඒක ෆේල් වීම හෝ පාස් වීම හීනෙන් පෙනීමත් ඒ වගේ දෙයක්!
    කොහොම උනත් අක්කා ඕවා විස්වාස කළාට ප්‍රශ්නයක් නෑ හැබැයි ඕනාවට වඩා හොඳ නෑ කියලයි මටනම් හිතෙන්නේ. :)

    ReplyDelete
  4. මම දවස් කීයක් හිනෙන් firewall config කරාද බං. අර හීන වල තේරැම් කියන එක්කුට ඒ හීන ටික කියල උගෙ ගොන් ආතල් බලන්න කර්මයක් නැනෙ

    ReplyDelete