Monday, October 17, 2011

පොඩ්ඩන් ගැන ලොකුවට හිතූ අපේ ටයි මාමා


ටයි මහත්තයාගේ නික්ම යාම ගැන ගොඩක් සටහන් මම දැක්කා. ඇත්තටම එතුමාගේ නික්මීම අහලා දුකෙන් ඇඬුවේ අපේ ඇතුලේ ඉන්න පුංචි ළමයාමයි. අපි හැමෝගෙම ළමා කාලය ටයි මහත්තයගෙන් තොරව මතක් කරන්න බෑ.
ටයි මහත්තයාගේ කාටූන් සහ හඬ කැවීම් ගැන ආදරයෙන් මතක් කරපු හැම කෙනෙක්ම වර්තමාන කාටූන් සහ හඬ දෙකැවි වැඩසටහන්වල ගුණාත්මක බව ගැනත් කතා කරල තිබුණ. ඒ ගැන මට හිතෙන දේ ලියන්න ඕනෙ කියල මම හිතුවා. මොකද ඇත්තටම මේ අදහස මගේ හිතේ ඇතිවී තිබුණේ ටයි මහත්තයාගේ නික්මීමටත් කලින්.මොකද මම තාමත් කාටූන් රසිකයෙක්. දැන්නම් බොහෝ දුරට කාල වේලාවව නැති නිසා බලන්න වුනේ නැති වුණත් ඉඩ ලැබුණොත් බලනවා.
ඉස්සර අපි රූපවාහිණියෙන් නරඹපු, පිස්සු පූසා, සෝරෝ,වලස් මාමා ඇතුළු කාටූන්, යවෙස් ලූ මිනිසා, නෝත්‍රදාමයේ කුදා, නාසරතයේ ජේසුස්,සුරඟන කතා කරලිය වගේ හඬ දෙකැවි වැඩසටහන් වගේම සිංහල උපසිරැසි යෙදූ වැනි වැඩසටහන් වලට සමාන කරන්න අද තියෙන කිසිම වැඩ සටහනකට බැරි බව කවුරුත් පිළිගන්නවනේ.
මම නම් දකින ප්‍රධානම කාරණය තමයි ටයි මහත්තයා ළමයෙක් කියන්නේ කවුදැයි හඳුනාගෙන සිටීම. ඒ වගේම ඔහු ළමයින් අවතක්සේරු කළේ නෑ. ළමයාගේ තේරුම් ගැනීමේ හැකියාව අවතක්සේරු කළේ නෑ.අනෙක් පසින් රට දැය සමය වගේම හෙළ බස අවතක්සේරු කළේ නෑ.


අද තියෙන වැඩසටහන් අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදමුකෝ.එකක් තමයි අතුල රන්සිරිලාල් මහතා හෙවත් ටයි මහත්තයාගේ අග්‍ර ගෝලයාගේ කණ්ඩායම. අනෙක් කොටස බොහෝවිට සුනෙත් හා ගාමින්ද ප්‍රමුඛත්වය ගන්නා සිරස හඬ කැවීමේ කණ්ඩායම.(මෙතනදි මම විශේෂයෙන් ස්වර්ණවාහිණිය හා ස්වාධීන රූපවාහිණිය නොසලකා හරිනවා.ඒ ගැන කතා කිරීමත් ඵලක් නැති දෙයක් නිසා).


රන්සිරිලාල් මහත්තයාගේ කණ්ඩායම ටයි මහත්තයාගේ සම්ප්‍රදාය ඉහළින්ම රකින්න උත්සාහ කරනවා. නමුත් මම දකින ලොකුම අඩුපාඩුව තමයි උවමනාවට වඩා සදාචාරාත්මක වීම.මෙහෙම කිව්වට කලබල වෙන්න එපා. ඒකෙන් මම අදහස් කළේ මේකයි. උදාහරණයක් විදිහට රොබින් හුඩ් හි සිප ගැනීම් දර්ශණ තිබුණා මතකද? ටයි මහත්තයා කවදාවත් ඒවා කැපුවේ නෑ. ඒ වගේම පිස්සු පූසා ඇතුළු බොහෝ කාටූන් වල ප්‍රේමය, ආදරය ගැන අපූරු කතා කියනවා. සුරඟන කතා කරලිය ගැන හිතන්න.ටයි මහත්තයා නැතිව රන්සිරිලාල් මහත්තයා විතරක් සුරඟන කතා කරළිය හැදුවා නම් කොහොම වෙන්න තිබුණද කියලා අපි නිතර කතා වෙනවා. මේක ටයි මහත්තයාගේ මඟ යන්න හදන රන්සිරිලාල් මහත්තයට කරන දෝෂාරෝපණයක් නෙවේ.නමුත් පොඩි ළමයෙක් කියන්නෙ වැඩිහිටි සමාජයේ වෙන දේවල් ගැන ඇස් ඇරගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම පොඩි ළමයින්ට තමන්ගේම දෘශ්ටි කෝණයක් තියෙනවා.කොහොම නමුත් ටයි මහත්තයා හැම දේකම සීමාවක් දැනගෙන හිටියා වගේම බාල ප්‍රසිද්ධියට වඩා ගුණාත්මක භාවය ගැන හිතුවා.
රසාර වැඩසටහනයි දැන් අර විකාශය වන ටිකිරි පැය වගේ වැඩසටහනුයි ගැන හිතන්න.රසාරෙ හිටිය රූකඩ වැඩිහිටි චරිත. කතා කළේ වැඩිහිටිකමට ගැලපෙන විදියට.ළමයා කියන්නෙ අර වැඩිහිටි ලෝකෙට ඇතුල් වෙන්න ආසාවෙන් සිටින කෙනෙක්.ටයි මහත්තයා ඒ සැබෑ ළමයව තේරුම් ගත්තා. ඒ වගේම ළමයින් තුළ තිබෙන හාස්‍ය හඳුනාගැනීමේ රසය හඳුනාගත්තා.හරියටම අර "හරිම පුදුම ඉස්කෝලෙ" විදුහල්පති සොසාකු කොබයාෂි ගුරුතුමා වගේ.නමුත් දැන් පොඩි ළමයින්ට කරන වැඩසටහන් වල ඉන්නෙ කවුද? අලි වගේ වැඩුණු පිරිමි බහුරූ කෝලම් ඇඳුම් ඇඳගෙන හරියට මන්දබුද්ධික වෙලා වගේ තොල් පෙරල පෙරල බබාලා වගේ කතා කරනවා.ඒකෙ තියෙන ජුගුප්සා රසය අපිට වඩා පොඩි උන්ට දැනෙනවා.


සුනෙත් ගාමින්ද දෙන්නා මේ ළමයා තුළ ඉන්න වැඩිහිටියා හොඳට හඳුනාගෙන තියෙනවා.ඒ වගේම ඔවුන් තුළ තියෙන සියුම් ප්‍රහසන හැකියාව "අපි නොදන්න ලයිව්" තුළින් පෙන්නුවා වගේම මේ රටේ ඉන්න මෝඩ ප්‍රේක්ෂකයන්ට තමන්ටම හිනාවෙන්න හොඳ අවස්ථාවක් දුන්නා. ඒ වගේම ඔවුන්ගේ "සූර පප්පා" වැනි කාටූන් වලින් ඔවුන්ගේ නිර්මාණාත්මක බවත් පෙන්නලා දුන්නා.ඒත් ඒ නිර්මාණාත්මක සුන්දරත්වය සරල සුගම බස් වහරකට ගලපන්න තරම් දැනුමක් ඔවුන්ට නැති බවයි මට හිතෙන්නේ. ටයි මහත්තයාත් ජනප්‍රිය බස් වහර, ඉංග්‍රීසි වචන ආදිය නියම තැනදී යොදාගත්තා. නමුත් "ස්කූබි ඩූ" වගේ නිර්මාණවල භාෂා භාවිතය අන්තිමයි. නිසි හෙළ වදනක් නොමැති විටෙක ඒ සඳහා වදනක් නිමවන්නට තරම් භාෂා දැනීමක් ටයි මහත්තයට තිබුණා. නමුත් මේ අය අළුතින් ශබ්දකෝෂයට එකතු කරන්න හදන්නේ සක්ක පද.අනිත් කාරණේ සිරස ජනප්‍රියත්වය මිස ගුණාත්මක බව ගැන හැඟීමක් ඇති නාලිකාවක් නෙවෙයිනේ
මම අහල තියෙනවා එක අවස්ථාවක පිටපතේ තිබුණළු "නාසරතයේ ජේසුස් මම වෙමි" කියලා කියන්න. නමුත් මේක රූප රාමුවේ තොල් සෙලවීමට අනුරූප වුණේ නැතිලු.ටයි මහත්තයා එක්වරම "නාසරතයේ ජේසුස් මමයි" කියල රූපරාමුවටවත් ව්‍යාකරණයටවත් අනතුරක් නොකර එක වරම නිවැරදි කළාලු.
ඉතින් මගේ අදහස මේ දෙපැත්තම සමබර වුනොත් විතරයි නැවතත් ටයි මාමා කරපු තරම්ම ඉහළ නිර්මාණ බිහිවෙන්නේ.




ප.ලි : ටයි මාමා ගැන මතක් කරන වෙලාවේ ටයි මාමාට ඒ නිර්මාණ ඒතරම් ඉහළින් ඉටු කරන්න අතහිත දුන් හෙන්රි ජයසේන මහත්මයා වැනි ඒ කාලෙ රූපවාහිණියේ ඉහළම පුටු හෙබවූ අය වගේම,ගීත බොහොමයක් රචනා කළ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා, හඬ දෙකැවි ශිල්පීන් වූ ගැමුණු විජේසූරිය, ලෙස්ලි රාමනායක, ධර්ම ශ්‍රී මුණසිංහ වැනි අද අපි අතර නැති සියළු දෙනාවත් මතක් කරලා පින් දෙන එක අපේ යුතුකමක් කියලයි මම හිතන්නේ

6 comments:

  1. ගොඩක් ලොකු විග්‍රහයක් එකතු කරලා තියෙනවා...ටයි මාමා කියන්නෙ අපිව යස අගේට කියවපු කෙනෙක්...ඒ නිසාම තමයි අද මෙච්චර ලොකු වෙලත් ටයි මාමාගෙ කාටුවක් යනකොට..දුවන් ඇවිත් කට ඇරගෙන බලන් ඉන්නේ...ටයි මාමාට කවදාවත් අපිව දාලා යන්න බෑ..එතුමා අපේ හිත වල ජීවත් වෙයි..හරියටම..පිස්සු පූසා..දොස්තර හොද හිත අපේ ලෝකේ ජීවමානයි වගේ..

    ටයි මාමේ ඔබට නිවන් සුව...!!!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඇත්තමයි සහෝ, ඔහු කලාතුරකින් පහලවන අති විශිෂ්ටයෙක්..

    බුද්ධි මල්ලව
    http://thelifefeelit.blogspot.com/

    ReplyDelete
  4. අපි නොදන්නා live ළමා වැඩ සටහනක් නෙමෙය්. එක වැඩිහිටියන්ට හදපු සරල විනෝදාත්මක වැඩසටහනක් වැඩසටහනක්.

    ReplyDelete
  5. @anonymous :ඒක හරි, අ.ල කියන්නේ පොඩි ළමයින්ට හදපු එකක් නෙවෙයි.මම කිව්වේ ඒකෙන් සුනෙත් හා ගාමින්ද ඇතුළු අල කණ්ඩායමේ නිර්මාණශීලීත්වය පෙනුනා කියලා විතරයි. මොකද ඒක ඔය පේන තරම්ම සරල වැඩසටහනක් නෙවෙයි.හැබැයි ඕනම කෙනෙක්ට තමන්ගේ බුද්ධිමට්ටමෙන් ඒක රසවිඳින්න පුළුවන්.ඒක අර "අපි අනුන්ට හිනැහෙනවා-අනුන් අපිට හිනැහෙනවා" ජාතියෙ වැඩසටහනක්.

    ReplyDelete
  6. ළමයින්ව තේරුම්ගෙන, විනෝදයත් සමගම යහපත් වැඩිහිටියෙක් වෙන විදිහත් ටයි මාමා අපට කියා දුන්නා. ඔබ කියන්නා වගේ, ඒ මැදහත් මාවතේ යා හැකි පුරුකක් ඉන් ඉදිරියට බිහිව නැති හැඩයි.
    ටයි මාමාට යහපතක්ම වේවා.

    ReplyDelete