Thursday, November 10, 2011

බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආගමක්ද? දර්ශණයක්ද? නැත්තම් ධර්මයක්ද?

හ්ම්ම්...අද පෝය දවස නිසා ඉතින් මං හිතුවා ටිකක් වෙනස් දෙයක් කතා කරන්න ඕනෙ කියලා. මේ කතාවට මුල් වුණේ අපේ පූස් සහෝදරයා දාලා තිබ්බ පෝස්ට් එකක්.
බුද්ධාගම කියන වචනය වැරදියි, බෞද්ධ දර්ශණය කියන වචනේ තමයි හරි කියලා තමයි ඒකෙන් කියලා තිබ්බෙ.ඒත් ඇත්තටම මට තේරෙන විදිහට නම් ඔය දෙකම වැරදියි.


ආගම කියන වචනේ නිරුක්තිය ගැන විවිධ මත තියෙනවා. ඒ කොහොම වෙතත් පොදුවේ ගත්තහම ආගමක් කියලා කියනකොටම චාරිත්‍ර වාරිත්‍ර විධි රාශියක්, වෙනම පූජනීය ස්ථාන,ඒ අනුව යන අනුගාමිකයෝ පිරිසක්, ආගමික උත්සව වගේ දේවල් රාශියක් තමයි ඔළුවට එන්නෙ.


දර්ශණයක් කියන්නෙ කාගෙහරි මතවාදයක්. ඒ මතවාදය පවතින්නෙ සබුද්ධික තර්කය උඩ ඒක තමයි කාලයෙන් කාලයට නොයෙක් දර්ශණ වලට තැන ලැබෙන්නේ.දර්ශණය කියන වචනයේ නිරුක්තිය ගත්තොත් ඒක බිඳිල තියෙන්නෙ.ප්‍රඥාවට ඇති කැමැත්ත වගේ තේරුමකින්.මගේ පෞද්ගලික වැටහීම අනුව ආගම වඩාත්ම කිට්ටුවෙන්නෙ දර්ශණයට. මොකද ආගමක් බොහෝවිට බිහිවෙන්නෙ කවුරු හරි ආගමික ශාස්තෲවරයෙක්ගෙ දර්ශණය පදනම් කරගෙන.
ඒත් බුදුරජාණන්වහන්සේගේ දේශනාව ආගමක්වත්, දර්ශණයක්වත් නෙවේ. ඒ ශ්‍රී මුඛ දේශනාවට සද්ධර්මය කියලයි කියන්නේ.


ධර්මය කියල කියන්නෙ ලෝක ස්වභාවයක්.බුදුරජාණන් වහන්සේ නමක් පහල වුණත් නැතත් ලෝකයේ ස්වභාවයක් තියෙනවා.ඒක වෙනස් වෙන්නෙ නෑ. නමුත් කාලයෙන් කාලයට මේ ස්වභාවය පිළිබඳ දැනීම වැහිලා යනවා.එහෙම වුණාම මිනිසත් බවක් ලැබුවත් මේ සංසාරයෙන් එතෙර වීමක් ගැන දැනුමක් ලබාගන්න බෑ. සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් පහළවෙලා දේශණා කරන්නේ උන්වහන්සේ ස්වයංභූ ඥානයෙන් අවබෝධ කරගන්නා මේ සත්‍යයයි.ඒක අර පුහුදුන් මනුෂ්‍යයෙක් තමන්ගේ බුද්ධියේ සීමාවට පෙනෙන ටිකෙන් ගොඩනඟන දර්ශණයකට වඩා සෑහෙන වෙනස්.ඒකමයි මේ ධර්මචක්‍රය කිසිම වෙලාවක ආපස්සට නොපෙරලෙන්නේ, කාටවත් "මෙන්න මෙතන වැරදියි, මේක අද කාලයට ඔබින්නේ නෑ" කියල වෙනස් කරන්න බැරි.


හැබැයි ඉතින් අපි කවුරුත් තේරුම් ගන්නේ තම තම නැණ පමණට නේ. ඒ නිසා බුදුදහම එක්කම බෞද්ධාගමක් ගොඩනැඟිලා තියෙනවා.ඒක වරදක් නෙවෙයි.(හැබැයි ඉතින් සමහර කට්ටිය බුදුදහම මාකට් කරන්න ගිහිල්ලා, බුදුහාමුදුරුවන්ටත් වඩා බෞද්ධ වෙලා කරන විගඩම් ගැන වෙනම කතා කරන්න ඕනේ. )

ඔන්න මට කියන්න හිතුණ දේ මම කිව්වා. වෙලාවක් කාරිය එහෙම තියෙනවනම් ඔයාලගේ අදහසුත් එකතු කරමුකෝ බලන්න.
හැබැයි ඒ ඔක්කොටම වඩා හොඳයි ලියන මාත් ඇතුළුව අපි ඔක්කොම වාද කරන එක පැත්තක දාලා, වචන වල තේරුම් හොයනකල් ගිහිල්ල බුදුහාමුදුරුවෝ දේශණා කරපු ධර්මයෙන් බිඳක් හරි ප්‍රායෝගිකව ක්‍රියාවට නැඟුවනම්, නැද්ද මං කියන්නේ?

9 comments:

  1. මගේ තේරුමේ හැටියට මම කියන්නෙ බෞද්ධ දර්ශනය කියල , කොහොම උනත් මෙන්න මේ කැල්ල තමයි වැදගත්ම

    // ප්‍රායෝගිකව ක්‍රියාව //

    ReplyDelete
  2. මගේ තේරුමේ හැටියට මම කියන්නෙ බෞද්ධ දර්ශනය කියල , කොහොම උනත් මෙන්න මේ කැල්ල තමයි වැදගත්ම

    // ප්‍රායෝගිකව ක්‍රියාව //

    ReplyDelete
  3. බුදුහාමුදුරුවන්ටත් වඩා බෞද්ධ වෙන්න හදන කට්ටිය නම් සෑහෙන්න ඉන්නවා. ඔය එක්කෙනෙක් මාර්ගඵලත් ලබලා තියෙන්නේ.
    දර්ශනයද ,ආගමද හොයනවට වඩා තමන් නිවරදි මගේ ගමන් කරන එක තමා වඩා උතුම්.
    හොඳ ලිපියක්.

    ReplyDelete
  4. ඔබේ අදහස හරි කියලයි මමත් හිතන්නේ... හැම මොහොතෙම අප සමඟ තියෙන ධර්මය තම තම ණැන පමනින් අවබෝධ කර ගන්න ඕනේ උපදෙස් තමයි අපිට බුදුහාමුදුරුවෝ පෙන්නල දුන්නේ...

    ReplyDelete
  5. මා බ්ලොග් අඩවියක බුද්ධ ධර්මය පිළිබඳ කියවූ ඉතාම නිවැරදි ලිපියක්. ඔබගේ අදහස් මගේ අදහස් සමග බොහෝ දුරට ගැලපෙනවා. මමත් හිතන්නේ ප්‍රායෝගිකව මාරගය තුල ගමන් කිරීමයි බුදු දහම කියන්නේ. සද්ධර්මය ලොවට පහදාදුන් උතුමා තමයි සිද්ධාර්ථ ගෞතමයානන් වහන්සේ. එතුමා මේ ධර්මයේ නිර්මාතෘ නෙමෙයි. ඒක එතුමාම දේශනා කර තිබෙනවා. බුදු දහම කියන්නේ ස්වභාව ධර්මයේ නියාම ධරමයන්ගේ යථා ස්වභාවයයි.

    ReplyDelete
  6. අතීතයේ පටන්ම මෙය අපේ මිනිසුන් හැඳින්වුවේ ධර්මය නැත්නම් දහම ලෙසය. එය පවත්වාගෙන යනුයේ බුදු සසුන යනුවෙන් හැඳින්වුණු කළ්‍යාණ මිත්‍රත්වය මත පදනම් වූ පද්ධතිය ඔස්සේය. අනුරාධපුර යුගයේ සිටම බෞද්ධයෝ බුදු සසුනේ(ආගමේ නොවේ) පැවැත්ම තහවුරු කිරීමට කටයුතු කළහ. ආගම යන වහර යටත්විජිත යුගයේ මිෂනාරි ආගමිකයන් විසින් හඳුන්වාදෙනු ලැබූවක් බව දැකිය හැකිය.

    බුදු දහම සංසාර දුකින් මිදීම සඳහා වූ පිළිවෙතකි. එය තුල දාර්ශනික කරුණු සහ වෙනත් විෂයන්ට අදාල කරුණු දැකිය හැකි වුවද හුදු දර්ශනවාදයකට ලඝු කළ නොහැකිය. දාර්ශනිකයන්ගේ මූලිකම උපකරණ වන තර්කනය අනුමානය ආදියට මේ පිළිවෙතෙහි එතරම් තැනක් නැත.

    ReplyDelete
  7. බුදු හාමුදුරුවෝ දේශනා කලේ ලෝකයේ සෑම කෙනෙකුටම පොදු වූ සැමදාම ලෝකයේ පවතින ධර්මතාවයන්, ඒ කියන්නෙ ලෝකයේ පවතින්නා වූ සත්‍යයෙන්ම සිදුවන, අපට කැමති වුවත් අකැමැති වුවත් මුහුණ දීමට සිදුවන සත්‍යයන් සමූහයක්. ඒ තමයි පටිච්ච ස්මුප්පාදය හා චතුරාර්ය සත්යය ධර්මයන්. මේ වන තෙක් ඒක ධර්මයක් වශයෙන් හඳුන්වන්න පුලුවන්. ලෝකයේ අන්ත දෙකින්, අත්ත කිලමතානු සහ කාම සුඛල්ලිකාන යෝග සත්‍යය නොදැනීම නිසා කෙනෙක් අනුගමනය කරන්න පුලුවන්. ඒ දෙක අනුගමනය නොකර මේ බියකරු සසරෙන් මිදීමට අනුගමනය කලයුතු පිලිවෙතක් බුදු රජාණන් වහන්සේ දේශනා කලා. ඒ කොටස ආගමක් වශයෙන් හඳුන්වන්න පුලුවන්. උන්වහන්සේ පුරා අවුරුදු හතලිස් පහක් තිස්සෙ දේශනා කලෙත් එකම ධර්මයයක්. එක එක තැනැත්තාට අවබෝධ වන පරිද්දෙන් එකම ධර්මය උන්වහන්සේ දේශනා කලා. ධර්මයත් ආගමත් වෙනස් වශයෙන් හඳුනා ගන්න මෙයින් පුලුවන් බව මගේ විශ්වාසයයි. බුදු රජාණන් වහන්සේගේ ජීවිතය දෙස බැලුවාම උන්වහ්න්සේගේ ජීවිතයෙන් අපට මාහැඟි උදාහරණ ගන්න පුලුවන්. මම ගන්න හොඳට්ම උදාහරණය තමයි උන්වහන්සේ කිසා ගෝතමීට සහ පටාචාරා ට සලකපු හැටි. මගේ වෘත්තීය ජීවිතයට ඒවා තදින් බලපෑවා. උන්වහ්න්සේ ඒ දෙදෙනාට දැක්වූ කරුණාව සහ ඔවුන්ගේ අවබෝධය හරි මගට ගත් හැටි ඉතාම ප්‍රසංසනීයයි. ඒ වගේ තැන්වල ඇති ආදර්ශ ගත්තම උන්වහන්සේ දර්ශණවාදියෙක්. ඔබට තෙරුවන් සරණයි.

    ReplyDelete
  8. වෙද මහත්තයා, පැතුම්,සරත් මහත්තයා සහ බුවා ඇතුළු කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි.

    (මම නම් හිතුවෙ අර අන්තිමට එකතු කරපු කොටස නිසා කවුරුත් කමෙන්ට් කරන එකක් නෑ කියලා :) ).
    ඇනෝ ලා දෙන්නා ඇතුළුව හැමෝම පාහේ වැදගත් ඌන පූරණ පවා එක් කරලා තිබීම ගැන සතුටුයි.(ශිෂ්ඨ සම්පන්න ඇනෝ ලා හරිම අඩුයි නේ.)

    ReplyDelete
  9. මිනිසුන් තමන්ගේ ආගම වෙනුවෙන් ධනය, ශ්‍රමය, කාලය වැය කරති, තර්ක විතර්ක කරති, සටන් පවා කරති. එහෙත් නොකරන්නේ ආගමට අනුව ජීවත් වීමයි... කියලා කියමනක් මම හුඟාක් කාලෙකට ඉස්සර මුතුහර සඟරාවේ දැක්කා

    ReplyDelete