Saturday, November 26, 2011

බරණ ගණිතයා සහ මුදලිවරු


මෙන්න මගේ (නෙවෙයි ආතාගේ) කයි කතන්දර පොතෙන් තවත් කතාවක්.
රාජාධිරාජසිංහ කාලෙයේ බරණ ගණිතයා නම් ප්‍රසිද්ධ කවියෙක් දකුණු පළාතේ සිටියේය. කව් බැඳීමෙහි මෙන්ම නැකැත් ශාස්ත්‍රයෙහිද මොහු ඉතා හපනෙකි.පහත් යැයි සම්මත ගෝත්‍රයක උපන් නමුත් මේ දක්ෂ කම් නිසා කවුරුත් ඔහුට ගරු කළෝය. වස් කව් කීමෙහි ද සමත් නිසා කවුරුත් ඔහුට බිය වූහ. සැබවින්ම බරණ ගණිතයා හෙළ බසට උපකාර කළ හොඳ උගතෙකි.
දිනක් බරණ ගණිතයා යම් කිසි වුවමනාවකට මුදලි වලව්වට ගියේය. ඒ කාලේ මුදලිවරු දැනටත් වඩා අභිමානයෝය. ගණිතයා යනවිට මුදලි තැන තවත් උසස් මිතුරන් කීප දෙනෙකු සමඟ කමින් බොමින් ප්‍රීති වෙමින් සිටියේය. ගණිතයා දුටු මුදලි තැන,
"හා මේ ගණිතයාත් ඇවිත් ඉන්නේ, බොහොම හොඳයි ආ වෙලාව " කියමින් ගණිතයා දෙසට හැරී,
"කියාපිය ගණිතයෝ අපට ස්තුති කවියක්" යැයි කීවේය.
බරණ ගණිතයා කවියක් කීවේය. මුදලි තැනත් ඔහුගේ මිතුරෝත් ඉතා සතුටුව ගණිතයාට තෑගි බෝග දී යැව්වේය. ගණිතයාගේ කවිය මෙසේය,

පෙර රැස නඟා පළහා අන්තිම රාසී
නොමරැස සිටි ගහන් දස එක් වන රාසී
යුග රැස වන් දනෝ එකතුව කර පෑසී
පස රැස ලෙසින් විකුමෙන් බස් දෙති වාසී

පෙර රැස- මේෂ රාශිය -මේසය
අන්තිම රැස- මීන රාශිය - මාළු
නොම රැස- රාහු -රා (රාහුගේ සංකේතය මෙයින් වෙනස් ය )
දස එක්වන රාසි-කුම්භ රාශිය - කළය
යුග රැස - වෘෂභ රාශිය - ගොනා
පස රැස- සිංහ රාශිය- සිංහයා

මේ සියල්ල එක් කළ විට කවියේ තේරුම මෙයයි'
මාළු පුළුස්සා මේසේ උඩ තබාගෙන කළයක රා පුරවාගෙන, කකා බිබී ගොනුන් වැනි මිනිසුන් පිරිසක් සිංහයන් මෙන් උදාරම්ව කතා කර කර සිටිති යන්නය.

7 comments:

  1. දැන් භාෂාවෙන් කියනවා නම් "නියමම බුල්ට් එකක්" :)) මෙයා නේද ග්‍රහ යුද්දේ වෙලාවේදී කුණ්ඩලාභරණේ වැටෙන තැන හරියටම හොයා ගත්තෙත් ???

    ReplyDelete
  2. කවියෙ තෙරුම දාපු හන්දා හොඳට ගියා නැත්නම් ඕකත් තෙරෙන්නෙ නැහි ගොඩට දාන්න තිබුනා ...

    ReplyDelete
  3. බරණ ගණිතයා නියම පොරක්නෙ.

    [කවියෙ තේරුම දාපු හින්ද හොඳට ගියා]

    ReplyDelete
  4. ඒ කාලේ හිටපු මිනිස්සු අතරේ ඔය වගේ අරුම පුදුම දක්ෂතා තිබ්බ අය හිටියා කියල මමත් අහල තියෙනවා
    ගණිතයානම් මාර ඩයල් එකක්..
    කවියේ තේරුම දාල තියෙන නිසා හොඳයි
    නැත්නම් ඉතින් බඩුම තමා...

    ReplyDelete
  5. හැබැයි ඉතින් ඔච්චර පොඩි කවියකින් අච්චර ලොකු තේරුමක් කියවෙනවද? සංකේත ටිකනම් තියනවා..

    අනික ඔකනට හරියටම එන්න ඔනේ ''රු'' ද? ''රැ'' ද?

    ReplyDelete
  6. ඉතාම වටිනා කවියක්.මේ කවිය මාහට අසන්නට ලැබුනේ 60 දශකයේ මුල් භාගයේ.ඒ කාලය වනවිට මා අ.පො.ස.(සා.පෙළ) විභායට පෙනී සිටීමට සූදානම්.අපේ පවුලේ ලඟම හිතවතෙක් ව සිටි "පරවාහැර වී.ටී.අමරසේන නම් අති දක්ෂ ජෝතිෂ්‍යඥ මාමා කෙනෙක් තමා තේරුමත් සමග මේ කවිය කියා දුන්නෙ.ඒ අනුව බැලුවාම මෙහි ඉදිරිපත් කර ඇති කවියේ සදොස් තැන් කීපයක් තියෙනවා. මේ ගැන මා මෙහි සඳහන් කරන්නේ ඇද කුද සෙවීමේ අදහසින් නොවන බව කරුණාවෙන් සලකන්න.හුදෙක් මෙවන් වටිනා කවියක් සදොස් ලෙසින් සමාජගත වීම වැලැක්වීමටයි.
    කවියේ මුල් පදවැල මෙලෙසයි.
    "පෙර රැස නහා පලහා අන්තිම රාසී"
    පෙර රැස යනු පළමුවන රාශියයි.එනම් "මේෂ" වේ.මේෂ යනු එළුවාය."නහා" යනු මරලා යනුයි.ඒ අනුව එම වචන ටිකෙන් කියවෙන දෙය නම් "එළුවා මරලා" ලෙස ගම්‍ය වේ.පලහා අන්තිම රාසී යන්නේ තේරුම නිවැරදිව ඇත.ඒ මාළු පුලුස්සා ඇති බවයි.
    දෙවන පදවැල "නොමරැස ගහන් ලා දසඑක්වන රාසී"
    රාශියක් නැති ග්‍රහයා ලෙසින් සැලකෙන්නේ රාහු යි.රාහු යනු කෙනෙකුගේ සිහි විකල් කරන ග්‍රහයෙක් ලෙසින් සැලකේ.එම ග්‍රහයා දසඑක්වන රාශිය(කුම්භ)තුලට දමා ඇති බව කියවේ.කලයක් තුලට දාන්නේ දියරයකි.ඒ අනුව සිහි විකල් කරන දියරයක් ලෙස ගැනෙනුයේ "රා"බව ගම්‍ය වේ.(මෙය රාහු යන වචනයේ ඇති "රා"යන්න පමණක් ගැනීමට වඩා අර්ථවත්ය.ඉතිරි පද දෙක ගැන විස්තර අවශ්‍ය නොවේ.
    වෘෂභයින් වැනි මිනිසුන් එකතු වෙලා සිංහයින් මෙන් වහසි බස් දොඩවන අයුරු මැවිලා පෙනෙන අයුරු ......යි ඒ.

    ReplyDelete
    Replies
    1. ජයතිස්ස මාරඹගේ

      Delete