Saturday, November 26, 2011

දෙසැම්බර් දානයට ආ පිටස්තරයා


ඊයෙ අපේ ගෙදර සාංඝික දානමය පිංකම පැවැත්වුණා. මේ පිංකම අවුරුදු 36ක් තිස්සේ නොකඩවාම සෑම දෙසැම්බර් මාසෙකම පැවැත්වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මේ පිංකමට කියන්නේ "දෙසැම්බර් දානය" කියලා. 1975 දෙසැම්බර් මාසයේ මියගිය අපේ ආතාට පිං පැමිණවීම ප්‍රධාන කරගෙන පැවැත්වෙන මේ දානමය පිංකම මේ මාසයේ ටිකක් කලින් ගන්න සිද්ධවුණා පෞද්ගලික කරුණු කාරණා නිසා.
මේ දෙසැම්බර් දානය පූජා බුද්ධියෙන් සිද්ධ කරන එකක් වුනත් මට නම් මේ දානය හරිම ප්‍රහර්ශයක්. මම උපදිනකොටත් මේ දානය පවුලේ සම්ප්‍රදායක් වෙලා සෑහෙන කාලයක් ගතවෙලා. දානයට සති ගණනක් තියා ගෙවල් දොරවල් අස්පස් කිරීම්, ඒවාට උදව් වෙන්නට එන අසල්වාසීන් සහ ඥාතීන්, ඒ අයට කෙරෙන සංග්‍රහ කටයුතු ආදියත් එක්ක මේ දානය පුංචි දවස්වල ඉඳලාම මගේ හිතේ ඇති කළේ සංස්කෘතිකමය වටිනාකමක් තියෙන උත්සවයක් වගේ හැඟීමක්.
දන්න කියන කාලේ ඉඳලම දානයට සක්‍රීයව සහභාගි වුණු මට මේ පාර නම් දානය දවස වෙනකල්ම දානය දෙනවා කියන හැඟීම ආවෙම නෑ. මොකද උදේ පාන්දරම ගෙදරින් පිටවෙලා රෑ වෙලා ගෙදර එන මට කිසිම කටයුත්තකට සහභාගි වෙන්න සිද්ධ නොවුණු නිසා.දානය දවසට කලින් දවසේ කෙටි නිවාඩුවක් සහ දානය දවසට යන්තම් නිවාඩුවක් අනුමත කරගත්තත් අනිත් දවස් වලට(සති අන්තයේවත් ) ආසාවට ඉවරයක් ලැබුනෙ නෑ.
ඒ නිසාමද මන්දා මට නිකන් පිටස්තරයෙක් වගේ හැඟීමක් ඇතිවුණා. කොහොම හරි මේ පාරත් අසල්වාසීන්ගේ සහයෝගය ඉහලින්ම ලැබුණා.ඒත් මම ඒකාලෙ දැකපු මූණු කොච්චරක් වෙනස් වෙලාද? ඇසිලින් ආච්චි, ඉස්සරහ ගෙදර මහම්මා, සිරිල් ආතා වගේ මූණු ආයෙ නො එන්නම ගිහින්. අපේ නැන්දාච්චිත් නැතිවෙලා මේ මාසෙට අවුරුදු 10ක් පිරිලනේ. ඒ දවස්වල පොඩි ළමයි විදිහට දානෙට සහභාගි වුණු, ලොකු අය වැඩ කරද්දි අපිත් එක්ක සෙල්ලම් කරපු කමණි අක්කලාට දැන් දරුවොත් ඉන්නවා.කාලය නොනැවතීම යනවා. තව ටික කාලෙකින් මේ එකම සංස්කෘතික අවස්ථාව මොන විදිහට පරිණාමය වෙයිද? පිටස්තරයෙක් වුණු මට කල්පනා වෙනවා.
දානය දීලා පැන් වඩන වෙලාවෙත් පිටස්තරයාට කල්පනා වුණේ දැන් මේ පින් දෙන අය කොහේ ඇත්ද කියලයි. සමහර විට මේ අය පොඩි ළමයි හෝ වැඩිහිටියෝ විදිහට මෙතනම ඉන්නවා ඇත්ද කියලා මට හිතුණා.ඒ වගේම අපේ කලින් ජන්මයේ ඥාතීනුත් අපිට තාමත් මේ වගේ පින් දෙනවද දන්නෙ නෑ. ඒත් අපි ඒ අයව පාර තොටකදි දැක්කත් අඳුනා ගනීද? අද අපි අපේ පවුල් වලට බැඳිලා ඉන්න විදිහටම අපි ඒ පවුල් වලටත් බැඳිලා ඉන්න ඇති. ඒ අයව දාලා එන්න බෑ කියලා හිතන්න ඇති. සමහර විට ඒ ගෙවල්වල අය තාමත් අපි වෙනුවෙන් අඬනවා ඇති.
සංසාරයම මහ පුදුමයි නේද කියලා පිටස්තරයාට හිතුණා. අපි ඉන්නෙ මොන තරම් මායාවකද? ඒත් ආයිම මේ ජීවිතේ පුරුදු කටයුතු එක්ක මුහු වෙනකොට මේ කාරණය අපිට අමත වෙනවා නේද කියලත් මට ඒ එක්කම හිතුණා.

4 comments:

  1. ලකී අය්යගෙ බ්ලොග් එක අදයි දැක්කෙ. සමාවෙන්න ඕන මට....
    හරි ලස්සනට ලියලත් තියනව. කොහොම උනත් අපි නිතරම ඉන්නේ අතීතයෙමයි නේද .. අපි නිතරම අතීතයත් එක්ක වර්ථමානය සසඳනවා...ඇත්තටම මේ මායාකාරී ලෝකයක්.

    ReplyDelete
  2. මගේ මතය නම් දින හතේ දානය විතරයි පින් දීමට නම් දිය යුත්තේ. තුන් මාසය කමක් නැහැ. ඒත් ඉන් එහාට වැඩක් නැහැ නේද? ඔබගේ ලිපියෙන්ම එය පේනවා. ඒත් අපේ පවුලෙත් දානයක් තිබෙනවා අනාදිමත් කාලයක සිට කරගෙන එන. මමත් ඒ ගැන සිතන්නේ පවුලේ අය හමුවෙන තවත් එක් සංස්කෘතික පවුලේ චාරිත්‍රයක් ලෙසයි.

    ReplyDelete
  3. තම තමන්ගේ සංස්කෘතික දායාදයන් මේ විදිහට අනික් පරම්පරාවට දායාද කරන්න සිද්ධ වෙන මේ වගේ කටයුතු නම් හරියට වටිනවා.

    අවුරුදු 36 ක් කියන්නේ සුලුපටු ගානක්ද :)

    ReplyDelete
  4. අපිත් අවුරුද්දකට සැරයක් දානයක් දෙනව ඔක්කොම මලගිය ඥාතීන් සහ හිතවතුන් සිහි කරල, ඒක ඇත්තටම දැන් කාලෙකින් හමු නොවන නෑදෑයෝ,යාළුවො එකතු වෙන අවස්ථාවකුත් වෙලා

    ReplyDelete