මේ දවස්වල අපේ මක්සූද් මහත්මයා තමන්ගේ රසික පිටුවේ දාලා තියෙනවා ඉන්දියාවේ පාසල් ළමුන්ට අයඩින් පෙති ගැනීම අනිවාර්ය කරන්න ඕනෙද? කියලා. මේකට ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා දැක්කා. ඒ කමෙන්ට් වලින් ඉන්දියාවේ ඖෂධ ප්‍රතිපත්තිය ගැන රසිකයන් අතර කතිකාවතක් ඇතිවෙලා තියෙනවා. ඇත්තටම මේ තත්වය ඉතින් ලංකාවටත් පොදුයි නේ. අනිත් කාරණය තමයි අපේ දෙරටේම ඉන්න මිනිස්සුන්ගේ අක්‍රමවත් ඖෂධ භාවිතය. හුඟක් බටහිර රටවල නම් පැරසිටමෝල්, ඇස්ප්‍රින් වගේ ඖෂධ හිතුමනාපේ ගන්න බෑ. පිළිගත් වෛද්‍යවරයෙක්ගෙන් නිර්දේශයක් ඕනෙමයි. නවසීලන්තයේ නීති කොච්චර තදද කිව්වොත් තමන් වෛද්‍යවරයෙක් වුනත් තමන්ටම ප්‍රතිකාර කරගැනීම නීතියෙන් තහනම්. අනේ ඒකට අපේ රටේ උදවිය.. අපේ රටේ ඉන්න රටේ වෙද්දු දොස්තරටත් වඩා දන්නවනේ. "ඩොක්ටර් මට ටිකක් ඔළුව රිදෙනවා, සෙම ගතියත් තියෙනවා, මම කෝට්‍රිම් පෙත්තකුයි, පිරිටන් පෙත්තකුයි ගත්තට කමක් නෑ නේද?" කියල බේතත් දොස්තරටම කියල තමයි නවතින්නේ. ඖෂධීය ලොසින්ජර, වේදනා නාශක, නිදි පෙති, කැස්ස පැණි ආදී මෙකී නොකී විදි වලට නිදහසේ විකිණෙන සමහර ඖෂධ වර්ග වෙනත් රටවල නම් මේ විදිහට හිතුමතේ පාවිච්චි කරන්න බෑ. මේ ආසියාතිකයන්ගේ වැරදි ඖෂධ භාවිතයත් ඖෂධ මාෆියාවෙම එක පැතිකඩක්ලු නෙ.
ලකීට නම් හොඳ ඖෂධ ප්‍රතිපතියක් තියෙනවා නොවැ. ලකීට පොඩි කාලෙ ඉඳලම පැරසිටමෝල් පෙත්තක් පොවාගන්න ගියත් ගෙදර මිනිස්සු දස වද විඳින්න ඕනේ. මේ වැඩේ නිසා සමහර වෙලාවල මම මදි නොකියන්න මට්ටු වෙලා තියෙනවා. මං පුංචි කාලේ අපේ ගමේ හිටියා කුරේ ආතා කියලා කෙනෙක්. එයා ගෝනියක් අරගෙන දවල්ට අපේ ගේ ඉස්සරහින් යනවා. අපේ ගෙදර අය මාව බය කරලා තිබුනේ එයා ගෝනි බිල්ලෙක් කියලා. ඔයාල දැකලා තියෙනවද රූපවාහිණියේ තේමා ගීතය ("නෑදෑයෝ අපි නෑදෑයෝ") ඉස්සර විකාශය වෙද්දි අර ජනප්‍රිය රූපරාමුවක් තිබුනේ වැවක ඔරු පදිමින් මල් නෙලන ගැමියෙක්. අන්න එයා තමයි කුරේ ආතා කියන්නේ. ඉතින් ඕනෙම මහ රෑක මම මගේ බේත් වේල ප්‍රතික්ෂේප කරමින් පෙරලි කරනකොට තාත්තා බයිසිකලයෙන් යනවා කුරේ ආතාව එක්ක එන්න. ඒ අහිංසක මනුස්සයත් ඕනෙ රෑක ඇඳන් ඉන්න අමුඩෙ පිටින් හරි තාත්තත් එක්ක එනවා. එයා මිදුලට සම්ප්‍රාප්ත වෙනවත් එක්කම කොච්චර එපා කරපු තිත්ත බේතක් උනත් (විශේෂයෙන්ම කැල්පෝල්) එක උගුරට ගිලෙනවා.ඉතින් අපේ කුරේ ආතත් ඖෂධ මාෆියාවේ කොටසක්ද මන්දා?