Thursday, October 20, 2011

දුෂ්ඨ ඇමතිවරුන්ගේ ඉරණම (සුරංගනා කතාවකි )

මේ කතාවත් කයි කතන්දර පොතෙන්ම තමයි.හැබැයි "අරිවන්දා" වගේ මගේ වචනයෙන් තමයි කියන්න යන්නේ.
ඔන්න එකමත් එක රටක රජෙකුට ඇමතියො හතර දෙනෙක් හිටියා.(ලංකාවෙද? අනේ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව කතාව කියවනවද?) ඉතින් මෙයින් තුන් දෙනෙක්ම කපටියො.එක ධාර්මික ඇමති කෙනයි හිටියෙ.එයා තමයි මහඇමති.(හතරෙන් එකක්වත් ධාර්මික නම් ඒක හොඳ රටක් කියලද කිව්වෙ?)


ඔන්න ඉතින් අර කපටියො තුන්දෙනාට මේ ධාර්මික මහඇමතිව පේන්න බෑ.ඉතින් මේ තුන්දෙනා එකතුවෙලා සය කන් මන්ත්‍රණයක් හෙවත් කුමන්ත්‍රණයක් දාලා රජයි මහඇමතියයි තරහ කරන්න කල්පනා කළා.
එහෙම කරලා රජතුමා මුණගැහෙන්න ගිහිල්ලා මෙහෙම කියනවා.


"දේවයන්වහන්ස,අපේ මහ ඇමතිතුමා කවි හදන්න හරිම දස්සයි.එතුමාට කියලා ඔබතුමාට සෙත් කවියක් සාදවා ගනු මැනවි"


පොතේ නැතුවට ඉතින් නැකැත්තත් මේ වැඩේ කොනක හිටියද දන්නෙ නෑ.
කොහොම හරි රජතුමත් ඉතින් මහ ඇමතිව දැක්ක ගමන්ම කතා කරල වැඩේ බාර දුන්නා.
මහ ඇමති විතරක් නෙවේ ඕන පොඩි එකෙක් දන්න දෙයක්නෙ රජ අණට පිටුපෑම මාරාන්තිකයි කියලා. හදිස්සියෙ හරි ඉබ්බෙක්ගෙන් පිහාටු අරන් එන්න කිව්වත් "බෑ" කියන වචනෙ නොකියා "එසේය මහරජතුමනි අපි කොහොම හරි ඕක කරමු" කියලා තමයි කියන්න ඕනෙ.
ඉතින් මේ ධාර්මික මහඇමතිතුමා "දේවයන්වහන්ස, මට දවසකට අවසර දුන මැනව" කියල කිව්වා.අවසරේ ලැබුණා.


දැන් මහඇමති ගෙදර ගිහිල්ල කල්පනා කරනවා කරනවා මුකුත් නෑ ඔළුවට එන්නෙ.වත්තට ගියා. මොන? ඒත් නෑ කවි සංකල්පනාවක් අහලකටවත් ආවේ. ඔහොම ගිහින් ගිහින් දන්නෙම නැතුව මහඇමතිතුමා නැවතුණේ කැලේ.
කැලේ ගහක් මුල ඉඳගෙන, පන්හිඳත් අතේ තියාගෙන හිත හිතා ඉන්න මහඇමතිතුමා දැක්ක කුළු මීමෙක් තමන් ඉන්න දිහාවට එනවා.බය වුණු මහඇමතිතුමා අර ගහට මුවාවුණා.
දැන් එහෙම මුවාවෙලා බලාගෙන ඉන්නවා.මේ කුළුමීමා තමන්ගේ ගමන නවත්තලා ළඟ තියෙන ගලක බෙල්ල අතුල්ලන්න ගත්තා.මහඇමතිතුමා හිතුවා වැඩේ හරි තමයි, මූ මේ ගලේ කර උලන්නෙ මට වරද්දන්න තමයි කියලා.
මහඇමතිතුමාට එකපාරටම කියැවුණා "කරගල ගගා එනවා මම නොදනිම්ද?" කියලා.
කොහොම උනත් මහඇමතිතුමාගේ වෙලාවට අර කුළුමීමා මහඇමතිතුමාව දැකලා තිබුණෙ නෑ.ඒ සතා උගේ පාඩුවේ වෙන අතක ගියා.
මහඇමතිතුමත් සැනසුම් සුසුමක් හෙලලා අර කවි පදෙත් පුස්කොලේ ලියාගෙන ගෙදර ගියා.ඒට පස්සෙත් කල්පනා කළා වෙන කිසිම කවියක් ඔළුවට ආවේ නෑ.


වෙන දෙයක් වෙච්චාවේ කියලා අර කවි පදේම හතර පාරක් ලියාගෙන පහුවදා උදේ රාජසභාවට ගියා.
දැන් අර කපටි ඇමතියො බලාගෙන ඉන්නවා සෙත් කවියක් නැතුව ඇවිත් මහඇමතිතුමා රාජ උදහසට ලක්වෙනකල්.මහඇමතිතුමා රජ්ජුරුවන්ට වැඳ නමස්කාර කරලා සෙත් කවිය තියෙන පුස්කොලේ දුන්න විතරයි මේ කට්ටියගේ මූණු හරියට කරත්තෙට අහුවුණු කජුලෙලි වගේ වුණා.
රජතුමාත් බොහොම සතුටින් කවිය අරගෙන කියෙව්වා.


"කරගල ගගා එනවා මම නොදනිම්ද
කරගල ගගා එනවා මම නොදනිම්ද
කරගල ගගා එනවා මම නොදනිම්ද
කරගල ගගා එනවා මම නොදනිම්ද"



දැන් ඉතින් මේකෙ තේරුම රජතුමාට තේරුණෙත් නෑ.අර ඇමතියන්ට තේරුණෙත් නෑ. ඒත් මහඇමති ඉස්සරහ තමන්ගේ නොදැනුවත්කම එළිවෙයි කියලා ඒ බව කියන්න ගියෙත් නෑ.
ඒ වෙනුවට මෙයාල කියනවා. "අපූරු යමක බන්ධනය(කාව්‍ය රචනා ක්‍රමයක්) රජතුමනි" කියල.
රජතුමාටත් මේ කවිය අපූරුවට පාඩම් හිටියා.
මෙහෙම කාලයක් ගතවුණා.දැන් අර ඇමතියන්ට හිතුණ රජතුමාටත් වැඩේ දෙන්න ඕනෙ කියලා.(හරිනෙ ඉතින්, අර කියමනකුත් තියෙන්නෙ ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නෙ කියලා.මුලින් මහඇමතිට වැඩේ දෙන්න හැදුවා ඒ මනුස්සය මේගොල්ලන්ට වඩා හොඳ හින්ද.දැන් රජතුමාට.)මෙහෙම කරල කරණවෑමියත් හවුල් කරගෙන උපායක් ඇටෙව්ව.
රජතුමාගේ කෙස් රැවුල් කපනකොට හිමින් සීරුවේ බෙල්ල කපන්න.(පස්සෙ අධිකරණයේදි අත්වැරැද්දක් කියල ඔප්පුකරන්න හිතාගෙන වෙන්නැති )
ඉතින් දැන් නියම කරගත්ත දිනය උදාවුණා.දැන් කරණවෑමියා සුපුරුදු පරිදි දැලිපිහිය මුවහත් කරන්න ගලගානවා.
රජතුමාටත් නිකමට වගේ තමන්ට පාඩම් වෙලා තිබුණු සෙත් කවිය කියැවුණා.
"කරගල ගගා එනවා මම නොදනිම්ද" කියලා කියනකොටම කරණවෑමියා හිතුවා තමන්ගේ මේ උපාය රජතුමාට අහුවුණා කියලා.හතරවෙනි පදේ කියනකොටම කරණවෑමියා වෙව්ලමින් රජු ළඟ බිමවැටිල පාපොච්චාරණය කළා.
රජතුමා අර දුෂ්ඨ ඇමතිවරුන්ට මරණ දඬුවම නියමකරල කරණවෑමියා සේවයෙන් පහකරල අර තමන්ගේ ජීවිතෙ බේරපු මහඇමතිතුමාට තෑගිබෝග සම්මාන දුන්න කියලා කතාව ඉවරකළාම, සුරංගනා කතාවක් කිව්ව කියල මට බනිනව එහෙම නෙවේ ඕං.
මේ පොතෙ තිබුණු හැටි!