Saturday, January 14, 2012

සිහිනය මිය නොයා යුතුය


බේත් නොවැටුණොත් හරියට උණ ගතියට ඇඟ රත්වෙත
ඒ වුණාට එහෙම කියල - කොයි විදිහෙන් නවතින්නද?
ඉඳගත්තා මැෂිම ළඟින්- කොටමි අකුරු එක පිට එක
මූණු පොතට ගිහින් වරෙන් මූඩ් එකත් හැදිල එන්න.
අමුත්තක් දැනෙනවා.. හෙම්බිරිස්සාවෙ හැටි
නෑ! නෑ!! නෑ!! අමතක වුණා වගේ මොකක් හරි
කාගෙද අද උපන්දිනේ? මූණු පොතේ එහෙම නැතේ!
එහෙනම් වෙනින් මුකුත්? කෝ බලන්න අද කවදද?
දා හතරක් ගෙවී ගිහින්- ජනේරුවත් මහළුවෙමින්
දා හතර...දා හතර...දා හතර....සේකර!
ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් දුන්නා ඊයේ- තාමත් නෑ වගෙ ඒකෙ වගක්
ව්භාගෙ අතළඟ තව වැඩ කට උඩ- මළ කවියෙක් හට කුමට ඉඩක්?
ඔව්! සේකර මැරිලා තමයි! මේ කොම්පියුටර් යුගේ තමයි!
ඒත්,
පුංච් කාලෙ පොත් රාක්කෙ හිටපු මගේ හිතවතාය
ඉස්කෝලෙ පුස්තකාලෙ සැඟවී උන් රසවතාය
මං ටික ටික ලොකුවෙනකොට අළුතෙන් කියවන්නට වුණු
කියවන්නට කියවන්නට අළුතෙන් පදරුත් මතුවුණු....
සමනොළ ගිර පදනම් කර එකමුතු වී ලොවම දිනන
ප්‍රියන්තගේ නව ලෝකය සිහිනෙන් මැවුවේ ඔහුමය
"අවුරුදු තිහකට පළමුව- පැවති සුරංගනා කතා සැබෑ වෙවී
ඉතිහාසයේ පස් අතරින් පණ ඉපදී මතු වී" එන
ලෝකය ගැන මට මුලින්ම සිහින ගෙනාවේ ඔහුමය...
පරම්පරා දෙකක් පුරා තව ලයනල් ගේ යුගයයි...
පරගැති භාවයේ අවජාතක උරුමය උරුම.
සේකර නම් මිය ගොසින්ය - ලෝ දහමට උරුම ලෙසට
එනමුදු.. සිහිනය මිය නොයා යුතුය...
අළුත් ලොවක් වෙනුවෙන් වන සිහිනය පණ ලැබිය යුතුය.
සමනොළ ගිරි හිස සිඹගෙන හිරු වඩිනා හැම දිනකම
දෙනෝ දහක් තව අළුතෙන් ඒ සිහිනය දැකිය යුතුය.