Saturday, January 14, 2012

සිහිනය මිය නොයා යුතුය


බේත් නොවැටුණොත් හරියට උණ ගතියට ඇඟ රත්වෙත
ඒ වුණාට එහෙම කියල - කොයි විදිහෙන් නවතින්නද?
ඉඳගත්තා මැෂිම ළඟින්- කොටමි අකුරු එක පිට එක
මූණු පොතට ගිහින් වරෙන් මූඩ් එකත් හැදිල එන්න.
අමුත්තක් දැනෙනවා.. හෙම්බිරිස්සාවෙ හැටි
නෑ! නෑ!! නෑ!! අමතක වුණා වගේ මොකක් හරි
කාගෙද අද උපන්දිනේ? මූණු පොතේ එහෙම නැතේ!
එහෙනම් වෙනින් මුකුත්? කෝ බලන්න අද කවදද?
දා හතරක් ගෙවී ගිහින්- ජනේරුවත් මහළුවෙමින්
දා හතර...දා හතර...දා හතර....සේකර!
ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් දුන්නා ඊයේ- තාමත් නෑ වගෙ ඒකෙ වගක්
ව්භාගෙ අතළඟ තව වැඩ කට උඩ- මළ කවියෙක් හට කුමට ඉඩක්?
ඔව්! සේකර මැරිලා තමයි! මේ කොම්පියුටර් යුගේ තමයි!
ඒත්,
පුංච් කාලෙ පොත් රාක්කෙ හිටපු මගේ හිතවතාය
ඉස්කෝලෙ පුස්තකාලෙ සැඟවී උන් රසවතාය
මං ටික ටික ලොකුවෙනකොට අළුතෙන් කියවන්නට වුණු
කියවන්නට කියවන්නට අළුතෙන් පදරුත් මතුවුණු....
සමනොළ ගිර පදනම් කර එකමුතු වී ලොවම දිනන
ප්‍රියන්තගේ නව ලෝකය සිහිනෙන් මැවුවේ ඔහුමය
"අවුරුදු තිහකට පළමුව- පැවති සුරංගනා කතා සැබෑ වෙවී
ඉතිහාසයේ පස් අතරින් පණ ඉපදී මතු වී" එන
ලෝකය ගැන මට මුලින්ම සිහින ගෙනාවේ ඔහුමය...
පරම්පරා දෙකක් පුරා තව ලයනල් ගේ යුගයයි...
පරගැති භාවයේ අවජාතක උරුමය උරුම.
සේකර නම් මිය ගොසින්ය - ලෝ දහමට උරුම ලෙසට
එනමුදු.. සිහිනය මිය නොයා යුතුය...
අළුත් ලොවක් වෙනුවෙන් වන සිහිනය පණ ලැබිය යුතුය.
සමනොළ ගිරි හිස සිඹගෙන හිරු වඩිනා හැම දිනකම
දෙනෝ දහක් තව අළුතෙන් ඒ සිහිනය දැකිය යුතුය.

8 comments:

  1. 14 වෙනිදා සේකර මහත්තයාගේ උපන්දිනේ දෑ.
    මම දන්නෙත් අදමයි නේ.


    මේ මගේ පලවෙණිම පැමිණීමයි. දිගටම කියවන්න එන්නම් :)

    ReplyDelete
  2. වටිනා මිනිහෙක් ගැන වදගත් මතක් කිරීමක්. ඔබට මගේ ප්‍රණාමය ඒ මතක් කිරීමට.

    ReplyDelete
  3. අපි ඉස්කෝලෙ යන කාලෙ, මහගමසේකර මහත්මය මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලෙ ගුරුවරයෙක්. මම 'ෆොරිජින් සිකරෙට්' පෝස්ට් එකේ සඳහන් කල චිත්‍රපටයෙ, කථාව ලියල තිබුනෙ මහගමසේකර මහත්මය මට මතක විධියට.

    ReplyDelete
  4. @මධුරංග :නෑ නෑ උපන්දිනේ නෙවෙයි. තිස් හය වෙනි අනුස්මරණය. එතුමා අභාවප්‍රාප්ත වෙලා වසර තිස් හයක් ගතවෙනවා.

    @වෙද ගෙදර මහ වෙදනා :ඇත්තටම කවදා හරි රට වෙනස් කරන්න පුළුවන් දැක්මක් ඇති පරම්පරාවක් බිහිවෙන්නම ඕනෙ. සේකර වගේ දැක්මක් ඇති කලාකරුවො අද හිඟයි.

    @Observer :හ්ම්ම්... පරසතුමල් එකේ පිටපත නම් එතුමාගෙද ගාමිණී ෆොන්සේකා මහත්තයාගෙද කියන්න මට මතක නෑ ඔබා මාමෙ, ඒත් අර "පරවුණු මල් වල සුවඳ අතීතේ", "සඳකත් පිනි දිය දියවී ගලනා" වගේ ඒ චිත්‍රපටියෙ තිබුණු ලස්සනම ගීත ටික නම් සේකරයන්ගේ තමයි. (අපොයි ඔබතුමාගෙ ෆොරිජින් සිගරට් කතන්දර! ඕව නොකිව්වොත් ඔබා මාමාට නින්ද යන්නෙත් නෑ නෙ ;) )

    ReplyDelete
  5. උපන් දිනේ හරි අනුස්මරණය හරි .. රටේ හිටපු පැරණි ලේඛකයො මතක් කරල මෙහෙම ලියන එකත් ලොකු දෙයක් නේ.
    ඒකට ඔබට ස්තූති කරන්න ඕන.
    මමත් මේ මේකට ආපු පළවෙනි වතාව.

    ReplyDelete
  6. මට මතක විධියට අධ්‍යක්ෂණය ගාමිණි ෆොන්සේකා සහ කතාව මහගමසේකර 100% ෂුවර් නං නෑ

    ReplyDelete
  7. මේක මතක් කළාට ස්තුතියි... සේකරගෙ කවි සින්දුවලට මාත් කැමතියි... විශේෂයෙන්ම ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයට....

    සේකර මහත්තයගෙ නෝනයි දුවල දෙන්නයි නම් මුණ ගැහිලා කතා බහ කරලා තියෙනවා... දුවල දෙන්නට තිබුනෙත් හරිම ලස්සන නම් දෙකක්... දෙන්නම විශ්වවිද්‍යාල ආචාර්යවරියො.... දැන් නම් කොහොමද දන්නෙ නෑ...

    ReplyDelete
  8. බොහොම ස්තුතියි මතක් කිරීමට...
    ඒ වගේ මිනිස්සු ගැන විස්තර පත්තර වල, ටීවී වලවත් යනවා හරි අඩුයිනේ මේ කාලේ

    ReplyDelete