Monday, April 2, 2012

පූටියාගේ කතන්දරේ අංක එක (බල්ලන්ට ආදරේ කරන අයටයි )


ඉස්සර මටයි අපේ නංගිටයි බළල්ලු පේන්න බෑ. ප්‍රධානම හේතුව තමයි බළල්ලු හරිම ආඩම්බරකාර සත්තු ජාතියක් වීම. ඒ වගේම තමයි අපේ ගෙදර වැඩියෙන්ම ඇති කළේ බල්ලො තමයි. අපේ නැන්දාච්චිට පුළුවන් කාලෙ නම් බළල්ලු ඇති කළා. ඒත් අපි බළල්ලු එක්ක වැඩි බජනයක් නෑ.
මේ ඔක්කොම වෙනස්වුනේ අපේ ලෑලි කාමරේ ඇතුලෙ කොහේද යන බැළලියක් පැටව් තුන්දෙනෙක් දැම්මහම. මේ පැටව් තුන්දෙනා යන්තම් ඇවිදින්න පුළුවන්කාලෙ වෙනකොට ලෑලි කාමරේ ලෑලි වලින් එහාට මෙහාට ඇවිදින් ඒ ගොල්ලන්ගෙ අම්මා කෑම හොයාගෙන එනකල් ඇවිද ඇවිද ඉන්නවා. හරියට පාට පාට වූල් බෝල තුනක් ඇවිදිනවා වගේ. අපිත් ඉතින් ළඟට කිට්ටුවෙලා බලාගෙන ඉන්නවා. මේ බැළලි මීට කළිනුත් අපේ ලෑලි කාමරේ පැටවු දාලා උන්ට ඇවිදින්න පුළුවන් කාලෙ වෙනකොට අපිට කරදර නොකර අරන් ගියා. ඒ නිසා අපේ අම්මා කැමති වුණේ නෑ අපි මේ බළල් පැටව් ළඟට වැඩිය කිට්ටු වෙනවට. මේ පැටව් තුන්දෙනාගෙන් දෙන්නෙක් හරිම ක්‍රියාශීලීයි. (පස්සෙ දැනගත්තා තුන්දෙනාම බැළලි පැටව් කියලා) කොහොම හරි එක බැළලි පැටියෙක් හිටියා හරිම කෙට්ටුයි, දුබලයි ඒ වගේම ලෙඩ පාටයි. අපි හරියට දුක් වුණා මේ බැළලි පැටියා මැරෙයි කියලා. ඒ නිසා අපි දෙන්නත් එක්ක අම්මගෙන් බැනුම් අහගෙන මේ පැටවුන්ට ලෑලි කාමරේ ඇතුලෙම කෑම දෙන්න පටන්ගත්තා. වැඩි සැලකිල්ල අර දුබලයාට. හැබැයි අපි හරි බයෙන් තමයි මේ වැඩේ කළේ. මොකද බළල් අම්මා නම් අපිව කොයි වෙලාවෙවත් විශ්වාස කළේ නෑ. අපෙන් පැටවුන්ට හානියක් නෑ කියලා දැනගත්තත් එයා අපි ගැන ඇහැ ගහගෙනමයි හිටියෙ. අපි කන්න දුන්නත් එයා ඒක කෑවෙ පැටව් ඉන්න පැත්තට හැරිලා පැටව් දිහා බලාගෙන. තවත් පුදුම වැඩක් තිබුණා. අපි මේ බැළලිට ගේ ඇතුලෙ කෑම දෙන්න බෑ. ඌ කන්නෙ නෑ. එළියටම අරන් ගිහින් දෙන්න ඕනෙ. පස්සෙ තමයි අපිට කාරණේ තේරුණේ. එයා තමන්ගෙ ස්වාමි පුරුෂයාගේ පංගුව දීලා මිසක් කන්න කැමති නෑ. මම පළවෙනි වතාවට තමයි බළල්ලු අතරේ එහෙම දෙයක් දැක්කෙ.
කොහොම හරි මේ කියන කාලෙ සිංහල අවුරුද්දක් පහුවෙච්ච ගමන්ම වගේ. අර කවුරුත් කන්නැතුව අතින් අත යන කේක් තියෙනවනේ. අපි කළේ ඒ වගේ කේක් ගෙඩියක් අරගෙන කිරි වල පොඟවලා මේ බළල් පැටවුන්ට කන්න දෙන එක. ඇත්තටම ඒක කළේ අර ලෙඩ ගාණෙ ඉන්න බළල් පැටියා වෙනුවෙන්. අපේ හිත කියනවා මේ සතා අද හෝ හෙට මැරෙයි කියලා. කොටින්ම ඒ දවස්වල උදේ නැඟිට්ට ගමන්ම අපි හිතාගෙන යන්නෙ අනේ මේ සතා මැරිලද දන්නෙ නෑ කියලා. එයාගෙ ඇස්දෙක කහම කහ පාට කබ තට්ටුවකින් වැහිලා ඇස් ඇරගන්නත් බෑ. මම කරන්නෙ ප්‍රථමාධාර පෙට්ටියෙන් පුළුන් උස්සගෙන ගිහිලා ලාවට ඩෙටොල් මුසු කරපු වතුරෙන් කබ අයින් වෙන තුරුම පිහදාන එක. ටික දවසක් යද්දි සතා සනීප වුණා. හැබැයි තාමත් ඔතෑනියි. ඒත් අර අනිත් පැටව් දෙන්නා වයසටත් වඩා ක්‍රියාශීලියි. දවසක් අපි බලනකොට එයින් එක පැටියෙක් ළිඳේ වැටිලා මැරිලා. අනිත් පැටියාටත් මොකක් හෝ වෙනසක් තේරෙන්න ඇති. ඌත් එදා ඉඳලාම දුකින් ඉන්න බව පෙනුණා. දවසක් ඌ දොරක් අස්සෙන් රිංගන්න ගිහින් ආබාධිත වුණා. එයින් පස්සෙ මැරිලා ගියා. ඉතුරු වුණේ ඔතෑනියා විතරයි. සහෝදරියො දෙන්නම නැතිවෙච්ච ඔතෑනියාට අපේ අනුකම්පාව සහ අවධානය තදින්ම හිමිවුණා. අපි ආදරේට ඌට "චූටි පූසෝ - පූටි චූසෝ" කියන්න ගත්තා. චූටි පූස් කතාව හැලිලා ටික දවසක් යනකොට එයා පූටි චූස් වුණා. අන්තිමේදි ඒකත් කොට වෙලා "පූටි" වුණා. බළල්ලු අප්‍රිය කළ ගෙදරක නිත්‍ය සාමාජිකයෙක් වෙන්න පූටිට පුළුවන් වුණා. දැන් එයාගෙ සම්පූර්ණ නම කිව්වොත් "පූටි වික්‍රමසිංහ!"

Sunday, April 1, 2012

පංචායුධයේ රහස හෙළිවෙයි!


පංචායුධය අඳුනන්නැති කෙනෙක් ඉන්නවා කියලා මම නම් හිතන්නෙ නෑ.(නෑ නෑ පචායුධය නෙවෙයි හරි වචනේ, පංචායුධය තමයි ). අපි හැමෝම වගේ පංචායුධය පළඳලා තියෙනවනේ. ඒත් ඉතින් අපි කීයෙන් කීදෙනෙක් දන්නවද මේ පංචායුධයේ කොටලා තියෙන ආයුධ මොනවද කියලා? ෂිහ්! ලැජ්ජයි ලැජ්ජයි.... දන්නෙ නෑ? අනේ අනේ තියන්න වටින්නෙ නෑ නෙ! ඇත්තටම ගොඩක් දෙනාට රහසක් වෙලා තිබුණ මේ පංචායුධයේ ආයුධ වල රහස මීට අවුරුදු කීපයකට පෙර හෙළිදරව් කරගන්නට මට පුළුවන් වුණා. ඒක මට කියාදුන්නෙ අපේ අල්ලපු ගෙදර ශානි.

මේ මීට අවුරුදු පහකට විතර කලින් අපේ ශානි කෙලීට වයස අවුරුදු පහක් විතර කාලෙ වෙච්ච දෙයක්. ශානි නිතරම අපේ ගෙදර එනවා එයාගේ ඉංග්‍රීසි පන්තියෙ පාඩම් අහගන්න. මේ කාලෙ වෙනකොට ශානිගේ පොඩි මාමා එහෙම නැත්තම් අපේ ඉස්සරහ ගෙදර සමන්ත අයියගේ පුතා ඉපදිච්ච අළුත. පොඩි එකා මල්ලිට හරි ආදරෙයි. මොකද ඉතින් ශානිට එයාගෙම කියලා නංගියෙක් හම්බවුණේ වයස අවුරුදු අටකුත් පහුවෙලානේ. ඉතින් අපේ ගෙදර ආවම පාඩම් පැත්තක. මල්ලි ගැන විස්තර තමයි කියන්නේ.

කොහොම හරි දවසක් පාඩම් කියාදීම අපේ නංගිට සෙට් වුණා කියමුකෝ. මාත් බිම ඉඳන් මොකක්දෝ වැඩක් කරන ගමන් මේ දෙන්නගේ කතාවටත් ඇන්ටනාව දාගෙන ඉන්නවා. කතාව මල්ලිගෙන් පටන් අරන් මල්ලිගේ කරේ බඳින පංචායුධේ පැත්තට ගියා. ටිකක් වෙලා යනකොට කෙල්ල ෆුල් සීරියස් එකේ අපේ නංගිට මෙහෙම කියනවා. "අක්කෙ අක්කෙ මං දන්නවා පංචායුධේ මොනවද තියෙන්නෙ කියලා". ෂහ් මාර ළමයෙක්නෙ. අපි හිතුවට වඩා කෙල්ල මාර මීටරයක් නෙ.
අපේ නංගිත් ඉතින් කිව්වා "ආ කවුද අම්මද කියලා දුන්නෙ?කියන්නකො බලන්න. "

පොඩි එකා පටන්ගත්තා.... "හැන්ද, ගෑරුප්පුව, පිඟාන....". ළමයා කියාගෙන යනවා.අපි දෙන්නා හිනාව නවත්තගන්න බැරුව බිම පෙරළෙනවා. ඔන්න ඔහොමයි එදා අපි ශානිගෙන් පංචායුධයේ ආයුධ ගැන අළුත් අර්ථකථනයක් ඉගෙන ගත්තේ.

ළමයාගෙ වැරැද්දක් නෑ. ඒ ටික පේන්නෙ ඒ වගේනෙ. ඇරත් අද කාලෙ "කඩුව, තෝමරය, හක්ගෙඩිය, දුන්න, පාරාවලල්ල" වගේ දේවල් කවුද අඳුනන්නේ? අනේ මම දැකලත් නෑ පාරාවලල්ල. තෝමරය කියන්නෙ හෙල්ලට කියල තමයි මට නම් තේරුණේ. අනිත් එක එක එක පංචායුධ එක එක විදිහයි.මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය ලියපු Some Customs and Superstitions Associated with the Childbirth in Sri
Lankan Sinhalese Society (ශ්‍රී ලාංකික සිංහල ජන සමාජයේ දරු උපත් හා බැඳුණු ඇතැම් චාරිත්‍ර හා විශ්වාස )
කියන මේ ලිපියෙ තියෙන විදිහට නම් කඩුව,හෙල්ල,දුන්න, කෙටේරිය හා පළිහ තමයි මේ ආයුධ ටික. ඒත් සුළබව දකින්න ලැබෙන පංචායුධ වල තෝමරය වෙනුවට තියෙන්නෙ තිශූලයක්. තව හක්ගෙඩිය සහ පාරාවලල්ලත් තියෙනවා.
දැන් ඉතින් ඉක්මනට තියෙන තැනකින් පංචායුධේ එළියට අරන් ආයුධ ටික බලලා මටත් කියන්නකෝ.