Monday, April 2, 2012

පූටියාගේ කතන්දරේ අංක එක (බල්ලන්ට ආදරේ කරන අයටයි )


ඉස්සර මටයි අපේ නංගිටයි බළල්ලු පේන්න බෑ. ප්‍රධානම හේතුව තමයි බළල්ලු හරිම ආඩම්බරකාර සත්තු ජාතියක් වීම. ඒ වගේම තමයි අපේ ගෙදර වැඩියෙන්ම ඇති කළේ බල්ලො තමයි. අපේ නැන්දාච්චිට පුළුවන් කාලෙ නම් බළල්ලු ඇති කළා. ඒත් අපි බළල්ලු එක්ක වැඩි බජනයක් නෑ.
මේ ඔක්කොම වෙනස්වුනේ අපේ ලෑලි කාමරේ ඇතුලෙ කොහේද යන බැළලියක් පැටව් තුන්දෙනෙක් දැම්මහම. මේ පැටව් තුන්දෙනා යන්තම් ඇවිදින්න පුළුවන්කාලෙ වෙනකොට ලෑලි කාමරේ ලෑලි වලින් එහාට මෙහාට ඇවිදින් ඒ ගොල්ලන්ගෙ අම්මා කෑම හොයාගෙන එනකල් ඇවිද ඇවිද ඉන්නවා. හරියට පාට පාට වූල් බෝල තුනක් ඇවිදිනවා වගේ. අපිත් ඉතින් ළඟට කිට්ටුවෙලා බලාගෙන ඉන්නවා. මේ බැළලි මීට කළිනුත් අපේ ලෑලි කාමරේ පැටවු දාලා උන්ට ඇවිදින්න පුළුවන් කාලෙ වෙනකොට අපිට කරදර නොකර අරන් ගියා. ඒ නිසා අපේ අම්මා කැමති වුණේ නෑ අපි මේ බළල් පැටව් ළඟට වැඩිය කිට්ටු වෙනවට. මේ පැටව් තුන්දෙනාගෙන් දෙන්නෙක් හරිම ක්‍රියාශීලීයි. (පස්සෙ දැනගත්තා තුන්දෙනාම බැළලි පැටව් කියලා) කොහොම හරි එක බැළලි පැටියෙක් හිටියා හරිම කෙට්ටුයි, දුබලයි ඒ වගේම ලෙඩ පාටයි. අපි හරියට දුක් වුණා මේ බැළලි පැටියා මැරෙයි කියලා. ඒ නිසා අපි දෙන්නත් එක්ක අම්මගෙන් බැනුම් අහගෙන මේ පැටවුන්ට ලෑලි කාමරේ ඇතුලෙම කෑම දෙන්න පටන්ගත්තා. වැඩි සැලකිල්ල අර දුබලයාට. හැබැයි අපි හරි බයෙන් තමයි මේ වැඩේ කළේ. මොකද බළල් අම්මා නම් අපිව කොයි වෙලාවෙවත් විශ්වාස කළේ නෑ. අපෙන් පැටවුන්ට හානියක් නෑ කියලා දැනගත්තත් එයා අපි ගැන ඇහැ ගහගෙනමයි හිටියෙ. අපි කන්න දුන්නත් එයා ඒක කෑවෙ පැටව් ඉන්න පැත්තට හැරිලා පැටව් දිහා බලාගෙන. තවත් පුදුම වැඩක් තිබුණා. අපි මේ බැළලිට ගේ ඇතුලෙ කෑම දෙන්න බෑ. ඌ කන්නෙ නෑ. එළියටම අරන් ගිහින් දෙන්න ඕනෙ. පස්සෙ තමයි අපිට කාරණේ තේරුණේ. එයා තමන්ගෙ ස්වාමි පුරුෂයාගේ පංගුව දීලා මිසක් කන්න කැමති නෑ. මම පළවෙනි වතාවට තමයි බළල්ලු අතරේ එහෙම දෙයක් දැක්කෙ.
කොහොම හරි මේ කියන කාලෙ සිංහල අවුරුද්දක් පහුවෙච්ච ගමන්ම වගේ. අර කවුරුත් කන්නැතුව අතින් අත යන කේක් තියෙනවනේ. අපි කළේ ඒ වගේ කේක් ගෙඩියක් අරගෙන කිරි වල පොඟවලා මේ බළල් පැටවුන්ට කන්න දෙන එක. ඇත්තටම ඒක කළේ අර ලෙඩ ගාණෙ ඉන්න බළල් පැටියා වෙනුවෙන්. අපේ හිත කියනවා මේ සතා අද හෝ හෙට මැරෙයි කියලා. කොටින්ම ඒ දවස්වල උදේ නැඟිට්ට ගමන්ම අපි හිතාගෙන යන්නෙ අනේ මේ සතා මැරිලද දන්නෙ නෑ කියලා. එයාගෙ ඇස්දෙක කහම කහ පාට කබ තට්ටුවකින් වැහිලා ඇස් ඇරගන්නත් බෑ. මම කරන්නෙ ප්‍රථමාධාර පෙට්ටියෙන් පුළුන් උස්සගෙන ගිහිලා ලාවට ඩෙටොල් මුසු කරපු වතුරෙන් කබ අයින් වෙන තුරුම පිහදාන එක. ටික දවසක් යද්දි සතා සනීප වුණා. හැබැයි තාමත් ඔතෑනියි. ඒත් අර අනිත් පැටව් දෙන්නා වයසටත් වඩා ක්‍රියාශීලියි. දවසක් අපි බලනකොට එයින් එක පැටියෙක් ළිඳේ වැටිලා මැරිලා. අනිත් පැටියාටත් මොකක් හෝ වෙනසක් තේරෙන්න ඇති. ඌත් එදා ඉඳලාම දුකින් ඉන්න බව පෙනුණා. දවසක් ඌ දොරක් අස්සෙන් රිංගන්න ගිහින් ආබාධිත වුණා. එයින් පස්සෙ මැරිලා ගියා. ඉතුරු වුණේ ඔතෑනියා විතරයි. සහෝදරියො දෙන්නම නැතිවෙච්ච ඔතෑනියාට අපේ අනුකම්පාව සහ අවධානය තදින්ම හිමිවුණා. අපි ආදරේට ඌට "චූටි පූසෝ - පූටි චූසෝ" කියන්න ගත්තා. චූටි පූස් කතාව හැලිලා ටික දවසක් යනකොට එයා පූටි චූස් වුණා. අන්තිමේදි ඒකත් කොට වෙලා "පූටි" වුණා. බළල්ලු අප්‍රිය කළ ගෙදරක නිත්‍ය සාමාජිකයෙක් වෙන්න පූටිට පුළුවන් වුණා. දැන් එයාගෙ සම්පූර්ණ නම කිව්වොත් "පූටි වික්‍රමසිංහ!"

7 comments:

  1. රස පූස් කතාවක්.....!

    අපේ ගෙදරත් ඉස්සර ඉඳන්ම බල්ලන්ගෙනුයි පූසන්ගෙනුයි අඩුවක් තිබුනේ නෑ.... කොයි වෙලාවෙත් ගෙදර බල්ලෝ දෙතුන් දෙනෙකුයි පූසො පස් හය දෙනෙකුයි හිටියා.....!

    අපේ ගෙදර හිටපු මහ පූසිට අපේ නැන්දා දාල තිබුනු නම තමයි "ලේඩි මාව්". මොකද ඌ ඤාව් කියනවට වැඩියෙන් කියන්නෙ මාව් කියලායි...!

    ලේඩි මාව් කොහොමත් මාස හය හතකට සැරයක් පැටව් දුසිම් භාගයක් විතර දානවා...! ඉතින් අපේ වැඩේ ටිකක් ලොකු වෙනකොට කාට හරි දීලා දාන එක තමයි. ඉතුරු වෙන සෙට් එක ඔය අහල පහල ගෙවල් වලටයි යන්න එන්න පුරුදු වෙලා ඒ ගෙවල් වලින්ම පෙලවහක් කරගෙන එහෙම්මම බින්න බහිනවා......!

    ReplyDelete
  2. මතක් කරන්න එපා පූසො නං. මටනං පේන්න බැරි සත්තු ජාතියක්.

    ReplyDelete
  3. ලස්සන පූස් කතාවක්..අපේ අයියලගෙ ගෙදර පූසො විමානයක්...එක සැරයක් 14 දෙනෙක් හිටියා..පැටවුන්ට නම් දමලා දමලා එක පූස් පැටියෙක් හිටියා ඌට දමන්න නමක් හිතා ගන්ඩ බෑ..ඌව මුලින් හෙව්වෙ කෝ මේ අනික් පූසා කියලා.. අන්තිමේ නම දැම්මා "අනිකා" කියලා..

    ReplyDelete
  4. හදවතින් ලියපු කතාවක්. ජය!ඔක්කොම හොඳයි, මේ කමෙන්ට් දාන්න මීට ලේසියි මේක පෝස්ට් එක යටින් දැම්ම නම්...

    henryblogwalker the Dude

    ReplyDelete
  5. අපේ පොඩ්ඩො දෙන්නාත් සතුන්ට හරීම ආදරේයි. අපි ලංකාවෙ ඉන්න කොට මෙ දෙන්නාට හුරතල් සතුන් හැටියට බල්ලෝ, පුසෝ , මාළු, එහෙම හිටියා.[ කරදරේ වැ‍ටුන ලේන් පැටියෙක් හා උණ හපුළු පැටියෙකුත් හිටියා.] නමුත් දැන් ඒ දෙන්නාටම[විශේෂයෙන් චුටි පුතාට] එ වාසනාව නෑ මොකද මෙ රටෙ බල්ලන් ඇති කිරිම තහනම්, පුසන් හා මාළු නම් කමක් නෑ හැබැයි එයාට එකත් කරන්න බෑ මොකද හැම අවුරුද්දෙම අන්තිම මාස එකහමාරේ අපි ලංකාවට යනවා වැකේෂන් එකට. එතකොට ඒ සතුන්ව බලා ගන්න, කන්ඩ දෙන්න කෙනෙක් නෑ.

    අනික් පොඩ්ඩා නම් ඉගෙන ගන්නෙ යුරොපිය රටක නිසා එයාට තහනම්ක් නෑ නමුත් එයාටත් හොස්ටල් එකේ එවා කරන්න බෑනේ. එත් එයාට ඔනෑ තරම් හුරතල් සතුන් අල්ලන , කතා කරන්න චාන්සස් තියෙනවා යුනි එකෙන් එලියට ගියාම එයාගේ මල්ලිට ලැබෙන්නේ නැති.

    DJ

    ReplyDelete
  6. මට පූසා කියන සතා නම් හරිම අප්පිරියයි. බල්ලෝ නම් ඒ අතින් බලද්දී හොඳයි. ඒත් බල්ලා එක්ක වුණත් හිතවත්කම් අතේ දුරින්

    ReplyDelete
  7. අපේ ගෙදරත් පූසො හිටියෙ නෑ. මේ ලඟදි එක්කෙනෙක් ඇවිත් බලෙන්ම පදිංචිවෙලා පැටවුනුත් දැම්මා. එලෙව්වට ගියෙත් නෑ. දැන් හරියට එයාගෙ ගෙදර අපි කුලියට ඉන්නවා වගේ.

    ReplyDelete