Friday, June 22, 2012

ඇයි නුඹ නාඳුනන මට මේ හද රිදුම?



දැන හැඳුනුමක් නොවුනත් කිසිදිනක අපේ
අදටත් සිහිව නෙතඟට කඳුලක්ම නැඟේ
නො එනා බවම දනිතත් යළි කිසිම දිනේ
පිළිගන්වනු කෙලෙස ඒ බව හිතට මගේ

අළුතින් යමක් ලියු විට නිතරම පැමිණ
යළි යළි බලන විට ලත් පිළිතුරු ගණන
ඒ අතරෙහි ඔබේ නම ඇති යැයි සිතෙන
නිශ්ඵල සිතුවිල්ල නැත පහ වී තවම

සමහර විටදි නව ලියුමක් ඇතෙයි සිතා
විටින් විට වැදී ඔබෙ අඩවියට ඉතා
දුක් වෙමි එකම තැන නැවතී තිබෙනු බලා
"ඇයි නාඳුනන මට මේ හද රිදුම?" සිතා

පෙර යම් දිනකදිත් අපි හමුවෙලා ඇති
මතු යම් දිනකදිත් අපි හමු නොවෙනු නැති
කියලා එන්න බැරි කියලා යන්න බැරි
පුදුමයි ඉතින් මේ අරුමැති සසර සැරි

Monday, June 18, 2012

මම දැකපු හොඳම ගුරුතුමී

අළුත් ඉස්කෝලෙට ගිය අළුත අළුත් වැඩ කෑලි ගොඩක් තියෙන බව දැක්කම ලකීගේ සතුට ඉහවහා ගියා. අර සංගම් මේ සංගම් අර සෙල්ලම් මේ සෙල්ලම් රචනා තරඟ.. අම්මෝ තිබුණ දේවල්. ඉස්සර ඉස්කෝලෙ උදේ පාන්දරත් ඉස්කෝලෙ ඇරෙන කොටත් කිව්ව"Our father in heaven" යාඥාව වෙනුවට උදේට පන්සිල් අරන් හවසට යෝ වද තං පවරෝ මනු ජේසු කියන එකත් අමුතු දෙයක්. ලකී නං කවදත් කෝකත් යකඩ කටත් එක්කම කෑ ගහලා කියනවා. පෙළ පොත් ටිකයි අධ්‍යාපනෙයි කොහෙත් එකයි නොවැ. ලකීගෙ හිත ඇදිලා ගියේ අර වටේ තිබ්බ ආරළු බූරළු වලට. ආපු ගමන් සංගම් කීයකට බැඳුනද කියන්න අදටත් මතක නෑ.
කොහොම උනත් මං හය වසරට යනකොට අවුරුද්දෙන් හරි අඩකටත් වඩා ගෙවිල ගිහිල්ලා. ඉතින් සංගම් වලට බැඳෙන්න පුළුවන් උනාට තරඟ එහෙම වැඩි හරියකට ඉදිරිපත් වෙන්න බැරි වුණා. ඉතින් හත වසරෙදි තමයි ආයි මේ තරඟ වලට ඉදිරිපත් වෙන්න පුළුවන්.ලකීත් හිටියෙ දත කට මැදගෙන.
හැබැයි ලකීට පොඩි ලෙඩක් තිබුනා. ඒක ඉස්සර ඉස්කෝලෙදි වගේම මෙහෙදිත් තිබුණා. ඒ තමයි ලකී ගෙදර ගියාට පස්සේ ඉස්කෝලෙ ගෙනියපු පොත් ටික ආයි අතින් වත් නාල්ලපු එක. කවුරුත් ඒ ගැන මුකුත් ඇහුවෙ නැත්තෙ කෙහෙතා වගේ හැම වෙලාවෙම අතේ පොතක් තියන් හිටපු හින්දම නෙවෙයි.සාමාන්‍යයෙන් වාර විභාගෙකදි ලකුණු අනූවට අඩුවුණේ එහෙමත් වෙලාවක නිසා.එහෙම වුණේ ලකියා කියන්නෙ මාර සුපිරි වැඩකාරයෙක් නිසා කියලා එහෙම හිතනවනං අන්න ඔයාලට වැරදුණා.
ඒකට හේතුව ලකී හොඳ ගුරුවරු ලබන්න පින් කරලා තිබීම වගේම ඒ ගුරුවරු කියන දේවල් ඒ කියන වෙලාවට හොඳට අහලා තේරුම් ගන්න අවධානයකුයි නොතේරුණොත් ආයි ආයි අහලා හරි තේරුම් ගන්න ධෛර්යයකුයි තිබිච්ච එක.
(ඒත් පාඩම් කරන්න පුරුද්දක් නැතිවීම නිසා මට වෙච්ච සංගෙදිය මම පස්සෙ වෙලාවක කියන්නම් කො )
කොහොම හරි හත වසරෙදි මාත් ඉතින් දත කට මැදගෙන හිටියා සාහිත්‍ය තරඟ වලට යන්න.මේ තරඟ වලින් ප්‍රථම හා දෙවෙනි ස්ථාන ගන්න අයට විතරයි කොට්ඨාශ තරඟ වලට ඉදිරිපත් වෙන්න පුළුවන්.මේ කියන දවසෙ තරඟ වලට වෙන් කරලා තිබුණෙ උදේම කාලච්ඡේද දෙක වගේ තමයි මතක.
මේ කාලච්ඡේද දෙකේ තිබුණේ ගණිතය. සුපුරුදු පරිදිම කලින් දවසෙ පොත අතින් නාල්ලපු ලකීට මතක නැති වුණා ගෙදර වැඩ. කොහොමත් ගෙදර වැඩ කියලා ජාතියක් ලකීට තිබුණෙ නෑ. ඒවා සංශෝධනය වෙන්න ඕනෙ ඉස්කෝලෙ උදේ පාන්දර කරන වැඩ කියලා. (ආයිමත් කියන්නෙ මේක පම්පෝරියක් වත් හපන්කමක් වත් විදිහට නෙවෙයි කියන්නෙ. අදටත් මම මේ ගැන දුක් වෙනවා.)
දැන් අපේ පන්තිභාර හිටපු රුද්‍රාණි මිස් සමාන්තර පන්ති අටටම යමින් තරඟයට එන්න කියලා නිවේදනය නිකුත් කරනවා. රුද්‍රාණි මිස් තමයි සිංහල විෂය භාරව හිටියෙ. ඒ නිසා අපේ පන්තියේ තිබුණු තරඟයෙන් දිනලා ශ්‍රේණි තරඟයට යන මා ගැන ලොකු බලාපොරොත්තුවක් මිස් ගෙ හිතෙත් තියෙන්නැති. කිව්වට මොකද ඔය ගුරුවරු අතරත් පොඩි තරඟයක් නැතුවයැ.
මට එන්න කියලා රුද්‍රාණි මිස් එන්න කිව්ව්ම මාත් ඉතින් ටක් ගාලා නැඟිටලා එන්න ලෑස්ති වුණා කියමුකො. ඔන්න එතකොටම අපේ ගණිතය භාර ගුරුතුමිය පද්මා මිස් මට කියනවා "ගෙදර වැඩ කරපු පොත මට දීලා යන්න" කියලා. මට තරු විසි වුණා. රුද්‍රාණි මිසුත් බලාගෙන ඉන්නවා. මම ඉතින් හිස් පොත ගෙනිහින් පද්මා මිස් අතට දුන්නා. පොත දිහා බලපු පද්මා මිස් ගෙ මූණෙ වැහි වළාකුළක්. ඒ වළාකුලින් හෙණ ගැහුවෙ "මේ ටික ඉවර කරල මිසක් පන්තියෙන් යන්න දෙන්නෙ නෑ." කියලා බොහොම ස්ථිරසාර කටහඬින් කියද්දි. රුද්‍රාණි මිස්ටත් කරන්න දෙයක් නෑ."අනේ පද්මා, ඔන්නොහෙ අදට විතරක් එන්න දෙන්න" කියලා ඉදිරිපත් වෙච්ච ඉල්ලීමත් බොහොම සුහද විදිහට ප්‍රතික්ෂේප වුණා.
අනික් එවුන්ගේ මූණු දිහා බලන්නට ලැජ්ජා හිතුණු නිසා පොළොවෙ සිමෙන්තියෙ පාට කඩතොලු ගාණ එහෙම ගණන් කර කර ආපහු මේසෙට ගිය මම එක හුස්මට ගණන් ටික හදලා ඉවර කරල ආපහු පොත අරන් මිස් ගාවට දිව්වා. හැබැයි ඇත්තම කියන්න, ඒ වෙනකොට මගේ කිසිම විශ්වාසයක් තිබුණෙ නෑ මිස් යන්න දෙයි කියලා.මම හිතුවෙ මට දඬුවමක් විදිහට මේ ටිකේ හරි වැරදි බලන කල්ම ඉන්න වෙයි කියලා.ඒත් පද්මා මිස් හිනාවෙලා "දැන් ගිහින් එන්න" කිව්වම මගේ හිතේ ඇතිවුනේ හරි සංකීර්ණ හැඟීමක්.
පරක්කුවෙලා නමුත් මම තරඟෙට ඉදිරිපත් වුණා.ඊළඟ දවසෙ ගණන් පාඩම වෙලාවෙදි ගෙදර වැඩ පොත පෙන්නන්න මිස් ළඟට යනකොට මිස් හිනාවෙලා මෙහෙම කිව්වා "මේ බලන්න, ඔයාගෙ අත් අකුරුත් ලස්සනයි. හිතට ගත්තොත් ඔයා මේ හැමෝටම වඩා දක්ෂයි"
වෙන කෙනෙක් නම් රට ගිනි තියාගෙන, දකින දකින වෙලාවට මාව පාච්චල් කරන්න, මට විෂය නෙවෙයි ලෝකෙත් එපා කරවන්න හේතුවක් කරගන්න තිබුණු ප්‍රශ්නෙ පද්මා මිස් විසඳුව් එහෙමයි. ගොඩක් දෙනෙක්ට මිස් උගන්නන වේගෙ වැඩියි වගේ, මිස් සැරයි වගේ ප්‍රශ්න තිබුණත් මම ඉස්කෝලෙන් අයින් වෙනතුරුත් දැකපු හොඳම ගුරුතුමිය වුණේ පද්මා මිස්.