Monday, October 29, 2012

දෙන්නම නොනසා නුඹ පලයන්නේ..(ගෑණු නුවණ)


මේ කතාව මතක් වුණේ ප්‍රහාරය බ්ලොග් එකේ තිබුණතොටත් සාදු මටත් සාදු" කියන පෝස්ට් එක දැකලා. ඒකට අපි දන්න කවිත් එකතු කරන්න කියලා තිබුණ හින්දා මුලින්ම ඔළුවට ආපු කවිය දාන්න යනකොටවිචාරක මහත්තයා ඒක දාලා. හැබැයි පොඩ්ඩක් විතර වෙනස් වර්ශන් එකක් නිසා මම දන්න කතාව වෙනම ලියන්න හිතුණා.ඔන්න එකෝමත් එක රටක(එහෙම කිව්වට ලංකාවෙ හරිද?) හිටියළු මනප්පු කියලා දක්ෂ කම්මල්කරුවෙක්. මෙයාව කවුරුත් හැඳින්නුවෙ මනා කියලා. සුමිත්ගේ කතාවේ වගේම මේ කතාවෙත් මූලික කොටස සමානයි. මෙතනදි අර අනියම් පුරුෂයා තමන්ගේ පැමිණීම මනාගේ බිරිඳට දන්නන්නෙ අසල තියෙන කෙසෙල් පඳුරක් හොලවලා.
ඉතින් එදත් සුපුරුදු පරිදි මේ මනුස්සයා අර කෙසෙල් පඳුරෙ කොළ ටික සද්ද කරලා තමන් ආපු බව දැන්නුවට මොකද එදා මනප්පු වෙනදට කලින් කම්මලේ වැඩ රාජකාරි ඉවර වෙලා ගෙදර ඇවිල්ලයි හිටියෙ. ඇඟපත සෝදගෙන කෑම කන්න සූදානම් වෙනකොටම කෙසෙල් පඳුරෙ කොළ හෙලවෙනවා ඇහිච්චි මනා පොඩ්ඩක් විමසිලිමත් වෙච්ච හැටි මනා ගෙ බිරිඳ දැක්කා. දැන්  එළියට නොගිහින් සැක නොහිතෙන විදිහට පණිවුඩේ දෙන ක්‍රමයක් කල්පනා කරපු බිරින්දෑ මේ වෙනකොට නින්ද ගිහින් හිටිය තමන්ගෙ අත දරුවව කොනිත්තලා අඬන්න සැලැස්සුවා. ඊළඟට ළමයව නළවන්න වගේ අතට ගත්තු ඈ මේ කවිය ගායනා කළා.
                                     "යකඩ මනා විත් මෙගෙයි සිටින්නේ
                                      සර සර ගා කුමටද සොලවන්නේ
                                      උඹත් නසාලා මාත් නසන්නේ
                                    දෙන්නම නොනසා උඹ පලයන්නේ"
පණිවුඩේ හරියටම සන්නිවේදනය වුණා. කෙසෙල් පඳුර ළඟ හිටපු තැනැත්තා හෙමින්ම මාරු වුණා. හැබැයි කනින් කොනින් මේ වෙනකොටත් ඇහෙමින් පැවතුණු දේවල් නිසා මනාට නම් යක්ෂාවේෂ වුණා. කමින් හිටපු බත්පතත් පැත්තක තියපු මනා
 "මොකක්ද බොල ඒ දැන් කී හරුපෙ- කාටද තී ඒ කීවෙ?" ගාලා නද දී ගෙන බිරිඳ ළඟට ආවා.
 ඒ ඇත්තිත් මොකුත් නොවුනා වගේ හිනාවෙලා කියනව,
 "ඇයි වදේ, මේ කවිය අහලා නැද්ද මීට ඉස්සර? මේක බිලී කොක්කෙ අමුණපු පණුවා මාළුවාට කියන කවියක්. මේකෙ තේරුම තමයි මගේ ඇඟ ඇතුලෙ යකඩ මනාවක් තියෙනවා. උඹ දැන් මේ ඇම ගිල්ලොත් උඹයි මායි දෙන්නම මැරෙනවා. ඒ නිසා මේ ඇම ගිලින්නැතුව පළයන් කියලා"

 මේ විදිහට කවියෙ තේරුම කියල දුන්නට පස්සෙ ආයිමත් මනාගෙ බිරින්දෑ කියාපි, "කොහෙද ඉතින් ඔහේ යකඩ එක්කම ඔට්ටු වෙන්න ඉගෙන ගත්ත මිසක් පතක පොතක තියෙන දෙයක් දන්නවයැ. නිකම් දරුවත් බය වුණා ඔහෙගෙ කෑගැහිල්ලට" කියලා.

අනේ ඉතින් මනප්පුට හරියට ලැජ්ජා හිතුණා තමන්ගේ මොඩකම ගැන. ඒ වගේම හරි ආඩම්බරයි තමන්ගේ බිරින්දෑ මේ වගේ උගත් කෙනෙක් වෙච්ච එක ගැන. හැඩි දැඩි මනා මොඩ හිනාවක් පාලා ආයිම ගිහින් බත්පත අතට ගත්තෙ ආපහු නම් මේ ඉරිසියාකාර මිනිස්සු මොනවා කිව්වත් තමුන්ගෙ උගත් බිරිඳ සැක කරන්නෙ නෑ කියලා එක හිතින්ම හිතාගෙන.

Friday, October 26, 2012

බුදු දහමට අපහාස කරන අයට සිද්ධ වෙන දේ කුමක්ද?


මේ ලිපිය ලියන්න ඕනෙ කියලා හිතාගෙන හිටියත් කොහොම පටන්ගෙන කොහොම ලියන්නද කියලා මේ වෙනතුරුත් කිසිම අදහසක් නෑ. ලියන්නන් වාලෙ හිතට එන තරම ලියාගෙන යනවා.
මේ ළඟදි දවසක අපේ නංගිත් මාත් බස් රථයකට ගොඩ වෙනකල් කතාවක් දාගෙන හිටියෙ හරියට අවුරුදු ගානකින් දැක්කෙ නැති දෙන්නෙක් වගේ. ඇත්තටම ගෙදරදි වගේම යන එන ගමනුත් අපි දෙන්නට කතා කරන්න මෙච්චර දේවල් කොහෙන්ද මන්දා. සමහර වෙලාවට කාගෙන කාගෙන ගිහින් වලිග දෙක විතරක් ඉතුරු වෙනකල් කාගත්ත බළල්ලු දෙන්න වගේ වැඩකට නැති දේවල් වලට මිනී මරාගන්න අපි දෙන්නා තවත් වෙලාවකට ඇඳන් දෙකක් අල්ලගෙන ඔහේ කියෝ කියෝ ඉන්නවා බැනුම් අහනකල්ම. ඒ අතරතුරේ තමයි නංගි එයාට අහන්න ලැබුණු වීඩියෝ එකක් ගැන මාත් එක්ක කිව්වෙ. "දැන් ඉතින් අද දවස ඇතුලත අනිවාර්යෙන්ම ඔය වීඩියෝ එක බලන්න ලැබෙනවා" කියලා මම කියපු එක ඇත්ත වුණා. ගෙදර මාළු ඉව්වත් මාළුවාගේ ඔළුව බලන්න බැරි මම ඒ වීඩියෝ එක බලන්න නෙවේ හිතාගෙන හිටියෙ. ඒත් මූණු පොතේ තිබුණා "බෞද්ධ ධර්මයට අපහාස කරන අයට සිද්ධ වෙන දේ"  වගේ මාතෘකාවක් අඩංගු ලින්ක් එකක්. මේ ලින්ක් එක ක්ලික් කරලා නොදැනුවත්වම මම ගිහින් තිබුණෙ අර වීඩියෝ එකට.
ඒ වීඩියෝ එක නරඹපු මට මුළින්ම හිතුණෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය සකස් වෙලා තියෙන විදිහ ගැන. අර ගෑණු දරුවට උදව්වට යන එක පැත්තක තියලා ජංගම දුරකථනයක් අල්ලාගෙන ඉන්න හිතක් පහළ වෙන තැනට මිනිස්සුන්ව ගෙනාවේ චොරි වාහිණී ජනමාධ්‍ය මිසක් වෙන මොනවද? මේ වගේ දේවල් සමහර විට ඉහළ මිල ගනන් වලට විකිනෙනවා ඇති. ඒ නැති වුනත් ප්‍රසිද්ධිය.. ඒකම මදෑ. රටෙන් බාගයක් නළු නිළියෝ වෙච්ච වෙන රටවල් කීයක් තියේද දන්නෑ ලෝක සිතියමේ. මේත් ඒ මානසිකත්වයේම කොටසක් තමා.
ඊළඟ කාරණේ තමයි අර මම කියපු මාතෘකාව. "මාතා යථා නියං පුත්ථං - ආවුසා ඒක පුත්ථ මනු රක්ඛේ" කියලා හිතන්න පෙන්නල දීපු බුදු දහම අනුගමනය කරන කෙනෙකුට කවදාවත් මේ සිද්ධියේදි  "හොඳ වැඩේ" කියන්න හිතක් පහළ වෙන්න බෑ. බෞද්ධයෙක් වුනත් නොවුනත් අම්මා කෙනෙක්ගෙන් කිරි බීපු කෙනෙක්ට කොහොමවත් මේ වගේ සිද්ධියක් දිහා කම්පා නොවී බලන්න බෑ. බුදු දහම දහමක්. ඒක ආගමක් නෙවෙයි. පිළිපැදිය යුතු දහමක්. ඇදහිල්ලක් නොවේ. ඒත් සමහර වෙලාවට මූණු පොතේ සමහරු කතා කරන්නෙ බුදු හාමුදුරුවන්ටත් වඩා බෞද්ධ වෙලා. ඒ මදිවට  තමන්ගෙ ගෙදර පරිස්සම් කරගන්න බැරි කට්ටිය තමයි මූණු පොතේදි ජාතියේ වගේම ආගමේත් ගැලවුම් කාරයෝ වෙන්නෙ. හැබැයි මේ කට්ටිය බුදු හාමුදුරුවො දේශනා කරපු දේවල් ගැන දන්නවනම් අමතක වෙන්න විදිහක් නෑ "සද්ධර්මය විනාශ කරන අය බිහි වෙන්නෙ ශාසනය තුළින්මයි. පිටතින් නොවෙයි" කියලා උන්වහන්සේ දේශනා කරපු බව. ඒ කිව්වේ "භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා" කියන සිව්වනක් පිරිස ගැන. මේ සිද්ධියේ වින්දිතයෝ දෙන්නා වරදක් කළානම් ඒක ඒ අය ගෙනියාවි. ඒ වගේම මේ ගෙව්වේ දිට්ඨධම්ම වේදනීය කර්මයක්ද නැත්තම් වෙන කර්මයක්ද කියන්න තරම් කර්මය හා කර්ම ඵලය විභාග කරන නුවණක් මට නෑ. ඒත් මේ සිද්ධියේදි හොඳ වැඩේ කියන්න කට නැමිච්ච එකෙක්වත් බෞද්ධයො නෙවේ කියලා නම් මන් දන්නවා!

ඩූඩ් සහ තිස්ස මහත්තයා වෙතටයි,


පහුගිය ටිකේම වැඩ අධික වෙලා තිබුණාට අමතරව ලකියා හිටියේ ලෙඩ ගානෙ. අන්තිමට තමයි ලකියා ලෙඩ වෙන්නත් ඈලි මෑලි වෙන්නත් තව පොඩ්ඩෙන් තට්ට බබෙක් වෙන්නත් හේතු වෙන්න තිබුණෙ යකඩ නැති කම කියලා හොයා ගත්තේ. දවස ගානෙ කන මලකඩ කාපු දිරච්ච පරාල ඇණ තොගේ දිහා බැළුවම ලකියාටම පුදුමයි මේ වෙච්චි අල කලංචිය.ඒත් ඉතින් මොනවා කරන්නද? උන්න හැටියට මළා මදෑ කියලා දැන් ඉතින් දවස ගානේ ලස්සන පෙති දෙකක් බොනවා.
පහුගිය ටිකේ ලියන්න තරම් හිතට වගේම ගතටත් පණක් තිබුනෙ නෑ. ඒත් මම ඉතින් පුරුදු පරිදි බ්ලොග් සංචාරයේ යෙදුණා. කමෙන්ට් දැම්මත් නොදැම්මත් මගේ ප්‍රියතම අඩවි වල කරක් ගහලා ආවා.ඔය අතරෙ තමයි මගේ ප්‍රියතම අඩවියක් වන හද ගී පොතේ තිස්ස මහත්තයාගෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් ආවෙ. ඒක නම් අදහගන්න බැරි පුදුමයක්.තිස්ස මහත්තයා මගේ කමෙන්ට් වලට උත්තර දීලා තිබ්බ හැටියට මූණු පොතේ මාව අඳුරගත්තෙ කොහොමද මන්දා? හිතට ලොකු සතුටක් දැනුනා. ඒ නිසා ආයිම වතාවක් මගේ මකුළු දැල් බැඳිච්ච අඩවියටත් ගියාම දැක්ක මේ කමෙන්ට් එක නිසා මගෙ ඇස් වලට කඳුළු ආවා!

Blogger Dude said...
ඇයි බං ලකී මේකෙ මොකුත් ලියන්නෙ නැත්තෙ? උඹට මොකුත් අවුලක්ද?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
October 4, 2012 9:33 PM







රයිගම ගේ විදිහට කිව්වොත් මගේ "පතෝල හොද්ද" ටත් කැමති කවුරු හරි ඉන්නවා වගේ! ඒකම මදෑ.
ඔන්න මම ආවා!