Friday, October 26, 2012

බුදු දහමට අපහාස කරන අයට සිද්ධ වෙන දේ කුමක්ද?


මේ ලිපිය ලියන්න ඕනෙ කියලා හිතාගෙන හිටියත් කොහොම පටන්ගෙන කොහොම ලියන්නද කියලා මේ වෙනතුරුත් කිසිම අදහසක් නෑ. ලියන්නන් වාලෙ හිතට එන තරම ලියාගෙන යනවා.
මේ ළඟදි දවසක අපේ නංගිත් මාත් බස් රථයකට ගොඩ වෙනකල් කතාවක් දාගෙන හිටියෙ හරියට අවුරුදු ගානකින් දැක්කෙ නැති දෙන්නෙක් වගේ. ඇත්තටම ගෙදරදි වගේම යන එන ගමනුත් අපි දෙන්නට කතා කරන්න මෙච්චර දේවල් කොහෙන්ද මන්දා. සමහර වෙලාවට කාගෙන කාගෙන ගිහින් වලිග දෙක විතරක් ඉතුරු වෙනකල් කාගත්ත බළල්ලු දෙන්න වගේ වැඩකට නැති දේවල් වලට මිනී මරාගන්න අපි දෙන්නා තවත් වෙලාවකට ඇඳන් දෙකක් අල්ලගෙන ඔහේ කියෝ කියෝ ඉන්නවා බැනුම් අහනකල්ම. ඒ අතරතුරේ තමයි නංගි එයාට අහන්න ලැබුණු වීඩියෝ එකක් ගැන මාත් එක්ක කිව්වෙ. "දැන් ඉතින් අද දවස ඇතුලත අනිවාර්යෙන්ම ඔය වීඩියෝ එක බලන්න ලැබෙනවා" කියලා මම කියපු එක ඇත්ත වුණා. ගෙදර මාළු ඉව්වත් මාළුවාගේ ඔළුව බලන්න බැරි මම ඒ වීඩියෝ එක බලන්න නෙවේ හිතාගෙන හිටියෙ. ඒත් මූණු පොතේ තිබුණා "බෞද්ධ ධර්මයට අපහාස කරන අයට සිද්ධ වෙන දේ"  වගේ මාතෘකාවක් අඩංගු ලින්ක් එකක්. මේ ලින්ක් එක ක්ලික් කරලා නොදැනුවත්වම මම ගිහින් තිබුණෙ අර වීඩියෝ එකට.
ඒ වීඩියෝ එක නරඹපු මට මුළින්ම හිතුණෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය සකස් වෙලා තියෙන විදිහ ගැන. අර ගෑණු දරුවට උදව්වට යන එක පැත්තක තියලා ජංගම දුරකථනයක් අල්ලාගෙන ඉන්න හිතක් පහළ වෙන තැනට මිනිස්සුන්ව ගෙනාවේ චොරි වාහිණී ජනමාධ්‍ය මිසක් වෙන මොනවද? මේ වගේ දේවල් සමහර විට ඉහළ මිල ගනන් වලට විකිනෙනවා ඇති. ඒ නැති වුනත් ප්‍රසිද්ධිය.. ඒකම මදෑ. රටෙන් බාගයක් නළු නිළියෝ වෙච්ච වෙන රටවල් කීයක් තියේද දන්නෑ ලෝක සිතියමේ. මේත් ඒ මානසිකත්වයේම කොටසක් තමා.
ඊළඟ කාරණේ තමයි අර මම කියපු මාතෘකාව. "මාතා යථා නියං පුත්ථං - ආවුසා ඒක පුත්ථ මනු රක්ඛේ" කියලා හිතන්න පෙන්නල දීපු බුදු දහම අනුගමනය කරන කෙනෙකුට කවදාවත් මේ සිද්ධියේදි  "හොඳ වැඩේ" කියන්න හිතක් පහළ වෙන්න බෑ. බෞද්ධයෙක් වුනත් නොවුනත් අම්මා කෙනෙක්ගෙන් කිරි බීපු කෙනෙක්ට කොහොමවත් මේ වගේ සිද්ධියක් දිහා කම්පා නොවී බලන්න බෑ. බුදු දහම දහමක්. ඒක ආගමක් නෙවෙයි. පිළිපැදිය යුතු දහමක්. ඇදහිල්ලක් නොවේ. ඒත් සමහර වෙලාවට මූණු පොතේ සමහරු කතා කරන්නෙ බුදු හාමුදුරුවන්ටත් වඩා බෞද්ධ වෙලා. ඒ මදිවට  තමන්ගෙ ගෙදර පරිස්සම් කරගන්න බැරි කට්ටිය තමයි මූණු පොතේදි ජාතියේ වගේම ආගමේත් ගැලවුම් කාරයෝ වෙන්නෙ. හැබැයි මේ කට්ටිය බුදු හාමුදුරුවො දේශනා කරපු දේවල් ගැන දන්නවනම් අමතක වෙන්න විදිහක් නෑ "සද්ධර්මය විනාශ කරන අය බිහි වෙන්නෙ ශාසනය තුළින්මයි. පිටතින් නොවෙයි" කියලා උන්වහන්සේ දේශනා කරපු බව. ඒ කිව්වේ "භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා" කියන සිව්වනක් පිරිස ගැන. මේ සිද්ධියේ වින්දිතයෝ දෙන්නා වරදක් කළානම් ඒක ඒ අය ගෙනියාවි. ඒ වගේම මේ ගෙව්වේ දිට්ඨධම්ම වේදනීය කර්මයක්ද නැත්තම් වෙන කර්මයක්ද කියන්න තරම් කර්මය හා කර්ම ඵලය විභාග කරන නුවණක් මට නෑ. ඒත් මේ සිද්ධියේදි හොඳ වැඩේ කියන්න කට නැමිච්ච එකෙක්වත් බෞද්ධයො නෙවේ කියලා නම් මන් දන්නවා!

9 comments:

  1. දවසක් උදේම මනුස්සයෙක් දුවගෙන එනවා අපේ ගෙදර.

    දන්නවද වැඩක් අර ගෑණියෙක් ඔලුව ගැලවිලා මැරිලා.

    ඒ ගෑණි මොකක්දෝ ආගමකලු. බුදු පිළිම වල ඔළු කඩ කඩා ගිහිල්ලාලු.

    ඉතින් ගමේ බෞද්ධ කට්ටිය එකතුවෙලා මුන්නස්සරම් ගිහින් මේ ගෑණිට සාප කළාලු.

    කාලි අම්මට කියලා සාප කරාලු. කපුවා කිව්වලු දවස් හතකින් බුදු හාමුදුරුවන්ටම කරපු දේ වෙයි කියලා.

    දැක්ක නේද? දවස් හතෙන් බෙල්ලෙන්ම ගියා.

    ඔය කතාව අහගෙන ගේ ඇතුළේ හිටපු මට හොඳටම හිනා ගියා.

    ReplyDelete
  2. මා ලකී ඔබ කොමෙන්ටුවක් දමපු නිසා නොවේ මේ ලියන්නේ. මා නිතරම හිතන දෙයක් තමා ලකී මිනිසුන් එක එක මතාන්තර (ආගම්, සමාජවාදය, කුල, ජාතින් වගේ) වලට එල්බ ගෙන ඉන්න හින්දා, ඇත්තටම අප අගය කරන්න ඕනේ මනුෂ්සත්වය අමතක කරන්නේ ඇයි කියලා.

    ReplyDelete
  3. රයිගම්, මා දන්නවා ඔබ අත්තම් ක්‍රමයට කමෙන්ට් නොකරන බව. ඒත් ඔබගේ කමෙන්ටුවක් දකින්නට ලැබීම සතුටක්. ඔබ විස්වාස කරයිද නොකරයිද දන්නේ නෑ. නමුත් මේ ගැන ඔබ ලියනු ඇතැයි මා තුළ බලාපොරොත්තුවක් තිබුණා. ඒ වගේම ලියුවාට පසුවත් ඔබේ අදහසත් දැන ගන්නට ඇත්නම් කියා හිතුණා. ඒත් ඔබගේ බ්ලොග් එක තුළ ඇඩ් දමන්නට මා කැමති නෑ. ඒ වගේම ඔබ මගේ බ්ලොග් සටහන් කියවතැයි මෙතෙක් කලක් මා දැන සිටියේත් නෑ.
    මිනිස්සු තමන්ම හදාගත් සීමා නිසා තමන්ම සිරගත වෙලා. මනුෂ්‍ය ස්වභාවය අනුව ඉදිරියට ඒ තත්වය වෙනස් වෙතැයි බලාපොරොත්තුවකුත් මට නෑ. නමුත් මා දන්නවා මිනිසත් බව අගයන කිහිප දෙනෙක් හෝ තවමත් මිහිපිට ඇති බව සහ ඔවුන්ට ලෝකය වඩා යහපත් තැනක් කළ හැකි බව!

    ReplyDelete
  4. සහතික ඇත්ත. වුනදේට හොඳ වැඩේ කියන්න පුළුවන්කම නෑ බෞද්ධයෙකුට

    ReplyDelete
  5. to Anonymous #1 said...

    කටින් කට එන කොට කපුටො හත් දෙනෙක් වමනෙ කතාවක්.... මේකත් ඒවගේ තමා...

    පුලුවන්ද ඔයා ඹය කියපු සිද්ධිය ඇත්ත කියල ඔප්පු කරන්න... ??

    මෝඩ බෞද්ධයොත් ඉන්නවා.. ඒත් ඔයා තරම් මෝඩ නෑ එයාලත්..

    බොරදියේ මාලුබාන කෙනෙක් ඔයා..// ඒ ගෑණි මොකක්දෝ ආගමකලු.//

    ඔයත් ඒකෙම නේද හොරගෙඩියා...

    ReplyDelete
  6. ජුසේතුමාට
    ඕක ඇත්තම ඇත්ත. බොරු කියන්න මට කිසිම උවමනාවක් නෑ. පිළිගන්නවානම් පිළිගන්න. මේ පෝස්ට් එකේ කියලා තියෙන්නෙත් ඒ වගේ කතා කියන කට්ටිය ගැනනෙ. මම දන්න දේ කිව්වම ඔයාට මාව මෝඩයා වුනා මදිවාට මාව බව්තීස්ම කරන්නත් ඇවිත්. ඔයාට අබ ඇටයක මොලයක් තියෙනවානම් තේරෙයි මම වෙනත් ආගමක කෙනෙක් වුනානම් මනුස්සයෙක් ඔය වගේ දෙයක් කියන්න එයිද? මම කිව්වෙ මට ඇහුන ටික.

    ReplyDelete
  7. ලකී රාජ කියනව වගේ බුදු දහම ආරක්ෂා කර ගන්න වෙලා තියන්නේ මේ කපටි ආරක්ෂකයින්ගෙන්.

    ReplyDelete
  8. මගේ බ්ලොගයේ දැන්වීම් දාලා ඔබට ඇතිවන යහපතක් නැහැ ලකී. අප මේ ජනමාධ්‍ය උඩ ඉඳලා පහලට හැදේවි යයි බලාගෙන හිටියට හරි යන්නේ නැහැ. මෙවැනි ප්‍රවුර්ති රසකර බලන්න කාණ්ඩයක් ඉන්න තාක් කල් ඔවුන් මේවා සල්ලි දීල අරන් පළ කරාවි. මා නම් ලකී, එවැනි මාර්තෘකා සහිත ඒවා ඔබන්නේ නැහැ. (කොහොමද ඔබගේ කොමෙන්ටු වලට පිළිතුරු ලෙස කොමෙන්ටුවක් දාන්නේ?)

    ReplyDelete
  9. මේ වීඩියෝ එක ගැන මම දැනගත්තෙත් මේක කියවලා. දැන් එහෙම තත්වයක් තමයි ඇති වේගන එන්නෙ.
    ඇත්තම කිව්වොත් ආගමෙන් අපිව ඈත් කරන්නෙ විවිධ බලවේග. මට දළදා මාලිගාවට යනවා කිව්ව ගමන් මතක් වෙන්නෙ පොලිස් චෙක් පොයින්ට් එක, සර්ච් කිරිල්ල වගේ දේවල්.
    තවත් තැන්වල බලෙන් වගෙ සම්මාදම් එකතු කිරිලි.
    බුද්ධාගමත් මාත් අතර හරීයට මුර භටයො ඉන්නවා මගෙන් බුද්ධාගම බේරා ගන්න.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete