Monday, April 2, 2012

පූටියාගේ කතන්දරේ අංක එක (බල්ලන්ට ආදරේ කරන අයටයි )


ඉස්සර මටයි අපේ නංගිටයි බළල්ලු පේන්න බෑ. ප්‍රධානම හේතුව තමයි බළල්ලු හරිම ආඩම්බරකාර සත්තු ජාතියක් වීම. ඒ වගේම තමයි අපේ ගෙදර වැඩියෙන්ම ඇති කළේ බල්ලො තමයි. අපේ නැන්දාච්චිට පුළුවන් කාලෙ නම් බළල්ලු ඇති කළා. ඒත් අපි බළල්ලු එක්ක වැඩි බජනයක් නෑ.
මේ ඔක්කොම වෙනස්වුනේ අපේ ලෑලි කාමරේ ඇතුලෙ කොහේද යන බැළලියක් පැටව් තුන්දෙනෙක් දැම්මහම. මේ පැටව් තුන්දෙනා යන්තම් ඇවිදින්න පුළුවන්කාලෙ වෙනකොට ලෑලි කාමරේ ලෑලි වලින් එහාට මෙහාට ඇවිදින් ඒ ගොල්ලන්ගෙ අම්මා කෑම හොයාගෙන එනකල් ඇවිද ඇවිද ඉන්නවා. හරියට පාට පාට වූල් බෝල තුනක් ඇවිදිනවා වගේ. අපිත් ඉතින් ළඟට කිට්ටුවෙලා බලාගෙන ඉන්නවා. මේ බැළලි මීට කළිනුත් අපේ ලෑලි කාමරේ පැටවු දාලා උන්ට ඇවිදින්න පුළුවන් කාලෙ වෙනකොට අපිට කරදර නොකර අරන් ගියා. ඒ නිසා අපේ අම්මා කැමති වුණේ නෑ අපි මේ බළල් පැටව් ළඟට වැඩිය කිට්ටු වෙනවට. මේ පැටව් තුන්දෙනාගෙන් දෙන්නෙක් හරිම ක්‍රියාශීලීයි. (පස්සෙ දැනගත්තා තුන්දෙනාම බැළලි පැටව් කියලා) කොහොම හරි එක බැළලි පැටියෙක් හිටියා හරිම කෙට්ටුයි, දුබලයි ඒ වගේම ලෙඩ පාටයි. අපි හරියට දුක් වුණා මේ බැළලි පැටියා මැරෙයි කියලා. ඒ නිසා අපි දෙන්නත් එක්ක අම්මගෙන් බැනුම් අහගෙන මේ පැටවුන්ට ලෑලි කාමරේ ඇතුලෙම කෑම දෙන්න පටන්ගත්තා. වැඩි සැලකිල්ල අර දුබලයාට. හැබැයි අපි හරි බයෙන් තමයි මේ වැඩේ කළේ. මොකද බළල් අම්මා නම් අපිව කොයි වෙලාවෙවත් විශ්වාස කළේ නෑ. අපෙන් පැටවුන්ට හානියක් නෑ කියලා දැනගත්තත් එයා අපි ගැන ඇහැ ගහගෙනමයි හිටියෙ. අපි කන්න දුන්නත් එයා ඒක කෑවෙ පැටව් ඉන්න පැත්තට හැරිලා පැටව් දිහා බලාගෙන. තවත් පුදුම වැඩක් තිබුණා. අපි මේ බැළලිට ගේ ඇතුලෙ කෑම දෙන්න බෑ. ඌ කන්නෙ නෑ. එළියටම අරන් ගිහින් දෙන්න ඕනෙ. පස්සෙ තමයි අපිට කාරණේ තේරුණේ. එයා තමන්ගෙ ස්වාමි පුරුෂයාගේ පංගුව දීලා මිසක් කන්න කැමති නෑ. මම පළවෙනි වතාවට තමයි බළල්ලු අතරේ එහෙම දෙයක් දැක්කෙ.
කොහොම හරි මේ කියන කාලෙ සිංහල අවුරුද්දක් පහුවෙච්ච ගමන්ම වගේ. අර කවුරුත් කන්නැතුව අතින් අත යන කේක් තියෙනවනේ. අපි කළේ ඒ වගේ කේක් ගෙඩියක් අරගෙන කිරි වල පොඟවලා මේ බළල් පැටවුන්ට කන්න දෙන එක. ඇත්තටම ඒක කළේ අර ලෙඩ ගාණෙ ඉන්න බළල් පැටියා වෙනුවෙන්. අපේ හිත කියනවා මේ සතා අද හෝ හෙට මැරෙයි කියලා. කොටින්ම ඒ දවස්වල උදේ නැඟිට්ට ගමන්ම අපි හිතාගෙන යන්නෙ අනේ මේ සතා මැරිලද දන්නෙ නෑ කියලා. එයාගෙ ඇස්දෙක කහම කහ පාට කබ තට්ටුවකින් වැහිලා ඇස් ඇරගන්නත් බෑ. මම කරන්නෙ ප්‍රථමාධාර පෙට්ටියෙන් පුළුන් උස්සගෙන ගිහිලා ලාවට ඩෙටොල් මුසු කරපු වතුරෙන් කබ අයින් වෙන තුරුම පිහදාන එක. ටික දවසක් යද්දි සතා සනීප වුණා. හැබැයි තාමත් ඔතෑනියි. ඒත් අර අනිත් පැටව් දෙන්නා වයසටත් වඩා ක්‍රියාශීලියි. දවසක් අපි බලනකොට එයින් එක පැටියෙක් ළිඳේ වැටිලා මැරිලා. අනිත් පැටියාටත් මොකක් හෝ වෙනසක් තේරෙන්න ඇති. ඌත් එදා ඉඳලාම දුකින් ඉන්න බව පෙනුණා. දවසක් ඌ දොරක් අස්සෙන් රිංගන්න ගිහින් ආබාධිත වුණා. එයින් පස්සෙ මැරිලා ගියා. ඉතුරු වුණේ ඔතෑනියා විතරයි. සහෝදරියො දෙන්නම නැතිවෙච්ච ඔතෑනියාට අපේ අනුකම්පාව සහ අවධානය තදින්ම හිමිවුණා. අපි ආදරේට ඌට "චූටි පූසෝ - පූටි චූසෝ" කියන්න ගත්තා. චූටි පූස් කතාව හැලිලා ටික දවසක් යනකොට එයා පූටි චූස් වුණා. අන්තිමේදි ඒකත් කොට වෙලා "පූටි" වුණා. බළල්ලු අප්‍රිය කළ ගෙදරක නිත්‍ය සාමාජිකයෙක් වෙන්න පූටිට පුළුවන් වුණා. දැන් එයාගෙ සම්පූර්ණ නම කිව්වොත් "පූටි වික්‍රමසිංහ!"