Thursday, November 1, 2012

සල්ලි....?( අවාසනාවට ඇත්ත කතාවක්...) - සත්‍ය සිදුවීමකි

මේක ටිකක් පරණ කතාවක්. මේක මූණු පොතේ නෝට් එකක් විදිහට දාලා තිබුණත් බ්ලොග් එකේ දාලා තිබුණේ නෑ. හේතුවක් මතක් කරගන්නත් බෑ. කොහොම හරි සෑහෙන කාලෙකින් බ්‍රහස්පතින්දා හවස විවේකයක් ලැබුණු නිසා මේ සටහන බ්ලොග් එකට දාන්න හිතුවා.

කාලෙකට පස්සෙ ආපහු පුරුදු තැනට.... අම්මෝ දැනෙන සනීපෙ... විවේකාගාරෙ ඇතුලෙ එන මී ගඳත් සුවඳයි වගේ. සතියක්ම ගෙදර ඉන්නකොට තමයි වැඩ කිරීමේ වටිනාකම තේරුණේ.උදේ පාන්දරම කාලෙකින් මුණගැහුණු යාළුවොත් එක්ක පාතරාසයට වගකියන්න හදනකොටම....
ටොක් ටොක් ටොක්.... ග්‍රැෆික් චාමර මල්ලි කතා කරනවා...
 "මේ කවුද බිට් එක ගැන අහන්න ඇවිල්ලා..."
මාත් ඉතින් ඔලුව දාලා බැලුවා.. කාන්තාවක්...
"පොඩ්ඩක් ඉන්න"..
ටක් ගාල අතහෝදගෙන වැඩකරු වගේ ගියේ හරියට බිට් එකෙ අයිතිකාරයා මම වගේ. කෝ මේ දමින්ද සර් නෑ නෙ තාම ඇවිල්ලා. අපිම යන්න ඕනෙ.
"බිට් එකට රෙජිස්ටර් වෙන්න...?"
"අහ් එන්න, මම කියාදෙන්නම්..."
හරි හොඳයි. උදේ කරන්න පන්තියකුත් නැති එකෙ. වෙබ් අඩවියට ගිහිල්ල සම්පූර්ණ ක්‍රියාකාරීත්වය පහදලා දීලා, ඔක්කොම අමතර විස්තර කියලා දීලා, විස්තර පත්‍රිකාව බාගත කිරීමෙන් නොනැවතී පුරවලත් දීලා තව ඊ මේල් ලිපිනයක් හදන හැටිත් කියාදීලා... හරි ශෝක්.
මොකක්ද පොඩි අවුලක් වෙලා පුරවපු පත්‍රිකාවෙ පිටපතක් ගන්න බැරිවුණා කියමුකො. "කමක් නෑ. හවස දොළහමාරෙන් ඉස්සෙල්ල එන්නකො.ඊට පස්සෙ මට පන්තියක්"අන්තිමට මෙයා ගිහින් ටික වෙලාවකින් මට පිටපතක් ගන්න පුළුවන් වුනා
.මේ මනුස්සයගේ පන්තිය තිබුනෙ පාරෙන් එහා පැත්තේ බිල්ඩින් තුනෙන් එකක.ඉතින් මොකටද මේ මනුස්සයව රස්තියාදු කරන්නෙ කියලා මම ඒ පැත්තට යනකොට පන්තියටම මේ අයදුම් පත්‍රයයි, බැංකුවට ගෙවන්න තියෙන ගෙවීම් පත්‍රිකායි අරගෙන ගියා.
ඔක්කොම ටික පැහැදිලිව විස්තර කරලා.ආයි ආයිත් විස්තර කරලා යන්න හැරුණා...
"කොහොමද එතකොට චාර්ජර්ස්?"
ඇයි හත්වලාමේ මෙච්චර වෙලා විස්තර කලේ....
"ඔය බෑන්ක් ස්ලිප් හතරම පුරවලා...."
"නෑ ඔයාගෙ චාර්ජර්ස්?..."
.
.
.
.
 මට දැනුණු හැඟීම කියන්න වචන නෑ..."ආණ්ඩුවෙ කන්තෝරුවකද වැඩ කළේ?.." අහන්න කටට ඇවිල්ලත් බොහොම අමාරුවෙන් නවත්තගෙන කාරුණිකව පැහැදිලි කිරීමක් කළේ, මේ ප්‍රශ්නය පිටිපස්සෙ සමාජ ඛේදවාචකයක් තියෙනවා කියලා මතක් වෙච්ච නිසා.එයාට එයාගැන ලැජ්ජා හිතුණා... මට අපි හැමෝම ගැන දුක හිතුණා....