Saturday, December 29, 2012

සුභ උපන්දිනයක් සිහින කුමාරයාණෙනි!


අද හුඟක් දේවල් කතා කරන්න පුළුවන් දවසක්. සෑහෙන දවසක් දුක් විඳලා අර ඉන්දියානු යුවතිය මියගිහින්. ඒ වගේම තමයි වැඩිය ක්‍රිකට් ලෝලියෙක් නොවෙන මගේ ආදරයට ලක්වුණු ටෝනි ග්‍රෙග්ගේ සමුගැනීම. ඒත් ඒ දේවල් එකක්වත් කතා නොකර අද මම මේ ගැන කතා කරන කොට අතලොස්සක් වෙන මගේ බ්ලොග් පාඨකයො මාත් එක්ක තරහවෙයි. ඒත් මම අද ලියනවා.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සිහින කුමාරයෙක්. අපිට කලින් පරම්පරාවේ කෙනෙක් වුනත්(රසික පරම්පරා නම් තුනක් මම හිතන්නෙ )අදටත් ඔහුට කොයි තරම් දෙනෙක් ආදරේද කියලා යූ ටියුබ්, ෆේස්බුක් ආදී වෙබ් අඩවි වලට ලැබෙන රසික ප්‍රතිචාර වලින් පේනවා. මට මතකයි මම මුලින්ම ඔහු රඟපාපු චිත්‍රපටියක් දැක්කෙ ජාතික රූපවාහිනිය හරහා. ඒ මැතිවරන දවසක විකාශය වුනු ආරාධනා චිත්‍රපටියෙන්. වයස අවුරුදු අටක් හෝ නමයක් තරම් පුංචි කාලෙදිත් මම කල්පනා කළේ මේ තරම් ලස්සන මනුස්සයො වෙන ඉන්නවද කියලා. එතකොට මම ඔහුගෙ නම දන්නෙ නෑ.
ඇත්තටම මම ඔහුගෙ නම දැනගත්තෙ ස්වාධීන රූපවාහිණියෙ විකාශය වුණු " රාජේශ් ඛන්නා චිත්‍රපටි උළෙල" නිසා. "ආරාධනා", "අමර් ප්‍රේම්" , "කටී පතන්ග්",හා "ආනන්ද්" වගේ චිත්‍රපටි නරඹපු ඕනෑම කෙනෙක් ඔහුගේ අපූරු රංගනයට අකමැති වෙන්න විදිහක් නෑ.
ජීවිතේ කියන්නෙ හැමදාම එක විදිහට රැඳෙන දෙයක් නෙවෙයි. සැප- දුක, යස- අයස, ලාභ - අලාභ, නින්දා - ප්‍රසංසා හැමදේම වෙනස් වෙන සුළුයි. ඒ බව තේරුම් නොගත්තොත් ජීවිතේ දුෂ්කර වෙන එක නවත්තන්න බෑ. ජීවිතේ යථාර්ථයෙන් හැංගෙන්න වෙනත් දේවල් වල පිහිට පතන එක තවත් වැරදීම් ගණනාවක ආරම්භය වෙන එකත් නවත්තන්න බෑ. අසමාන රූපයකට, මිල මුදල් වලට, ජනාදරයට, කීර්තියට වඩා වටින්නෙ ජීවිතේ ගැන තත්වාවබෝධය.
සමහර විට ඔහු ඉක්මනින් යන්න ගියේ අන්තිම මොහොතෙදි හරි මේ දේවල් තේරුම් අරගෙන වෙන්න ඇති කියලා මම හිතනවා.
සුභ උපන්දිනයක් සිහින කුමාරයා! නිවන් දකිනා ජාති දක්වා ප්‍රඥාවන්ත, වාසනාවන්ත ජීවිතයක් හිමිවේවා!



(මම ලියපු සටහන් වලින් හොඳටම සයිකො සටහන මේක වෙන්න ඇති. ඒකට කමක් නෑ. :)  )