Wednesday, March 20, 2013

නිදිමත සිල්වා!


විභාගයක් ඉවර වුණු ගමන්ම කෙරෙන සුපුරුදු චාරිත්‍රය නම් ගෙවල් දොරවල් අස් කිරීමය. එය මනසට විවේක දෙන කයට ව්‍යායාම දෙන, පවුලේ සමඟිය බිඳෙන, අම්මාගේ සිත සතුටු වෙන ප්‍රයෝජනවත් ක්‍රියාවකි. ඒ නිසා මෙවරද වෙනසක් කිරීමට හේතුවක් නැත. අපේ ගෙදර අස් කිරීමේදී අමාරුම වැඩේ වන්නේ පත්තර පොත් මිටි අස් කිරීමය. අප සියළු දෙනාම පොත්වලින් වැසී යතැයි බිය ගත් වේයන් සාමූහිකව කටයුතු කර වරක් දෙවරක්ම පොත් පස් කළහ. එහෙත් දැන් බය වෙන්නට කරුණක් නැත. ඉස්සර නම් ජාතික විකල්ප ආදී හැම පත්තරයක්මත් සඟරාවක්මත් මිලදී ගත් තාත්තා දැන් පත්තර මිලදී ගන්නේ නැත. ඒ ඒවායේ ගුණාත්මක බව ගැන කලකිරීමෙනි.

 පොත් පත්තර අස් කිරීම පටන් ගන්නා විට ලකී දාර්ශනික වෙයි. රැස් කිරීම ක්ලේශ උපදවන බවත්, අතීත කාමය කමකට නැති දෙයක් බවත් කල්පනා කරන ලකීට මේ පත්තර විසි කරන්නට සිතේ. ඒ සිතුවිල්ලෙන් පත්තර ගොඩ අස් කරන්නට පටන් ගත් කළ මුලින්ම අත තියන්නේ අම්මාගේ කාන්තා පුවත්පත් තොගයටය. එවිට අම්මා දිව එයි. අපේ නංගී අත්කම් කෙරෙහි නිපුනතාවක් දක්වන්නේ අම්මාගෙන් ලැබුණු උරුමයෙනි. එහෙත් ඔඩිට් යමින් චාටඩ්(චාටර් ?) වෙන්න මහන්සි වෙන නිසා නංගීට මේ දවස් වල ඒවාට වෙලාවක් නැත. කුඩා කල සිටම "අත් වැඩ = පරවැඩ" යැයි සිතූ නිසා ලකීට එහෙම හැකියාවකුත් නැත. මැහුම් අත්කම් තිබෙන කොළ දෙකක් පමණ ඉවත් කළ විට ඉතිරි වන මල් නවකතා ටික කිසිම දුකක් නැතිව දාර්ශණිකව අස් කළ පසු ඊළඟට එන්නේ අනිත් පුවත් පත්ය. ඒවාත් සුපුරුදු දාර්ශණික බවින්ම අස් කර දමමි. ලක්බිම පත්තරයට විශේෂ ඇල්මක් ඇති මම මානිගේ තීරුවත්, කාටූනයත් කපා වෙන්කර ඉතිරිවා වීසි කරන ගොඩට දමමි. දැන් ඇත්තේ මහා වේ ප්‍රහාරයෙන් ඉතිරි වූ සඟරා ටිකය.

 දර්ශණය කෙළවර වන්නේ එතැනිනි. රසවාහිණී, කල්පනා, වත්මන, ඉසුර, නවයුගය ආදී මේ සඟරා බොහොමයක් අපේ ගෙදරට පැමිණ ඇත්තේ මටත් කලිනි. යන්තම් අකුරු ගලපා ගන්නට පුළුවන් වූදා සිට මගේ හොඳම මිතුරන් වූයේද, අන්තර්ජාලය නැති කාලයේ සහ මවුබස පමණක් දත් කාලයේ මුළු ලෝකමය මා හට සමීප කළේද මේ සඟරාය.පරණ ඥාතියෙක් දුටු කලෙක මෙන් ආදරයක්ද, ලොව රසවත්ම ආහාරය දුටු කලෙක මෙන් ආහ්ලාදයක්ද ඇතිවෙයි. ඒ සඟරා යළි මට කතා කරනු මෙන් දැනෙයි.අන්තිමේදී මේ සඟරා නැවත කපුරු බෝල සමඟ පෙට්ටි තුළ ඇසිරෙන්නේ දුහුවිලි ගසා දැමීමෙන් අනතුරුවය.

 පී.බී අල්විස් පෙරේරා කිවිදුන්ගේ මේ කවිය එසේ අස් කිරීමේ සැසියකදී නැවත වරක් මුණ ගැසුණි. එය හුදී ජන පහන් සංවේගය සඳහා මෙසේ ඉදිරිපත් කරමි. උපුටා ගැනීම 1957 ජුලි මස පළවූ රසවාහිණී සඟරාවෙනි. සඟරාවේ මිල රුපියල් 75කි. මෙහි "සිල්වා" යනු මහා ගත්කතු ඩබ්ලියු. ඒ. ද සිල්වා මහතාය.

දවසක් හලාවත සිට අප රසික                     ගඟ
නැග දුම් රියක කොළඹට එන අතර             මඟ
නැවතුම් පොළකදී මිනිහෙක් රියට               නැඟ
හිඳ ගත්තේය සිල්වා සිටි අසුන                    ළඟ

එය රෑ දුම් රියයි නිදිමත ගතිය                    ඇති
සිල්වා සිටින මැදිරිය තුළ එළිය                 නැති
එහි ආ අමුත්තා පොත් කියවුමට                රුති
දැක්විය මදක් දනවත් වෙළඳකුගෙ             ගති

විදුලිය පහන එහි පැත්තක තිබු                 දල්වා
ගෙරි  ගඳ සුරුට්ටුවකුත් දෙතොලෙහි        එල්වා
කියවයි පොතක් ඔහු අසුනේ කොන        අල්වා
මොනවා කරන්නද දැන් නිදිමත               සිල්වා

දුම් රිය දුවයි මහ හඬ දී මත                     පීලි
නංවයි සුරුට්ටුව ගඳ දුම් පෙළ                 පාලි
මොනවද නොනිදමින් මොහු කියවන      හෑලි
සිතුවත් දිගට පොත කියවයි                    මුදලාලි

"තමුසෙගෙ කබල් පොත හින්දා මගෙ       නින්ද
වැලකෙයි පහන නිවමින් නොනිදනු         මන්ද? "
සිල්වා ඇසූ විට කෝපය හිස                   බැන්ද
තරමක් රිදුණි මුදලාලිට රස                     වින්ද

"කලිසම් කාරයන් හට සිංහල               පොතක
රස විඳගන්න බැරි එක පූරුවෙ             පවෙක
මහත්තයෝ මේ පොත කියවා               මිසක
මොනවා වෙතත් නිදියන්නට නම්        නොහැක"

කී මුදලාලි ඇස යළි පොතෙහිම            ගැසුණේ
"ඔය පොත කිමද" සිල්වාගෙන්            පිළිවිසුණේ
"මේ පොත හිඟන කොල්ලා පිළිතුරු    ඇසුණේ
දිග ඇදුණේය සිල්වා නිහඬව               අසුනේ"

16 comments:

  1. අපූරු සටහනක් ලකී. යුග දෙකේ වෙනස පේනවා නේද?

    ReplyDelete
  2. මට මතක විදියට ඔය කතාව කිබ්බා රදළ පිළිරුව පොතේ හැදින්වීමේ...

    අස් කිරිල්ල මතක් වෙනකොට මට හචිං යනවා.. හපොයි..... මම නම් කොහොමත් දාර්ශනික තමයි... සියල්ල කුණු ගොඩට.. ගෙදරදි නම් වැඩේ ෂේප්.. ඒත් මෙහෙදි නම් එකතු කරන බාස්ලා දෙන්නෙක් ඉන්න නිසා මම කිසි දෙයක් විසිකරන්නේ නෑ... එයාලට එකතු කරගන්නම කියලා තියලා තියනව.. හි හි....

    මං මේ කල්පනා කළේ මාත් ඔය ගැන කතාවක් ලිව්වා කියලා... ලිව්වා තමයි... හි හි

    ReplyDelete
  3. ලොකු ලේඛකයන්ටත් කට උත්තර නැති වෙලාවක් එනවා එහෙනම්..!!

    ReplyDelete
  4. මේක කියවන්ඩ පටං ගත්තු තැන ඉඳල ඉවර වෙනකල්ම මගෙ මූනෙ ඇඳිච්ච හිනාව මැකුණෙ නෑ..
    ඔය ටික ඔහොමම මාත් කරන හන්ද ඒකෙ තියෙන ආනන්දය දන්නව.
    පරණ නවයුගය සඟරා විතරක් නෙවෙයි ගුවන් විදුල සඟරාව විතරක් නෙවෙයි අර තාත්තලගෙ කාලෙ පුංචිත්තගෙ කතාවයි බූයි බබයි කතාව, යෝදයගෙ කතාව එහෙම ගිය පරණම පරණ මිහිර පත්තරත් මං අරන් තියල තියෙනව.
    දැන් අපේ ගෙදරට පත්තර ගේන්නෙ අපේ නෑනන්ඩි. මං ඒකෙ වැඩියෙන්ම කැමති අර ඕපාදූප, හරුප තියෙන පොඩි පත්තර කෑල්ලට. අර රසඳුන,මීවිත කිය කිය තියෙන්නෙ. ආං ඒකට.ඇයි දන්නවද? ඒකෙ පිටු බත් එක ඔතන්ඩ නියම ගාණට තියෙනව.ඉතුරුව ගොඩ ගහල තියන් ඉන්නව අවුරුද්දට ගිනි දෙවියට පූජා කරන්ඩත් හිතයි.. ගොඩගහගෙන නිකං ගෙදර ඉඩ යනව විතරයි.
    හැබැයි අපේ ගෙදර තියෙන පරණ විදුසර පත්තර ටිකයි, සමුදුර පත්තර ටිකටයි නං එහෙම දෙයක් කරන්ඩ මං හිතන්නෙවත් නෑ.

    ඔය අපිටත් වඩා වයස පත්තර සඟරා අපිට ඇහැටවත් දකින්ඩ ලැබුණෙ අපේ තාත්තල ඕවට ආදරේ කරපු හන්දනෙ...අපි අද මෙහෙම අන්තර්ජාලයේ ලියන අකුරුවලට ඒවගෙනුත් මහ සම්මාදමක් වෙලා තියෙනව නෙ.
    එහෙම බැලුවාම ඒවත් එක්ක අපේ තියෙන්නෙ මහ පුදුම බැඳීමක්!
    ඉතිං දාර්ශනික නොවී ඕව පුලුවං කාලයක් පරිස්සං කරල අරං තියන එක තමා හොඳ නගේ.

    ReplyDelete
    Replies
    1. මොකද බං ජනුවො උඹ ලකීට නගේ කිව්වෙ මුගෙ ලිංග විපර්යාසයක්වත් වුනාද?

      ඒයි අර පත්තර විසි කරන්න එපා බං.

      ලකී උඹටත් කියන්නෙ, ඔය ටික දාන්න කබඩ් එකක්වත් අරගෙන ඔන්න ඔහෙ අරන් තියාපං. මම ඉල්ලුවත් දෙන්නත් එපා. :D

      Delete
    2. @ජනූ : හා ජනූ අයියෙ! :P
      සමුදුර නම් සෑහෙන ප්‍රමාණයක් වේ ප්‍රහාරයෙන් විනාස වුණා නෙ. තාම විදුසරට අතවත් තිබ්බෙ නෑ. ඒ අනිත් පත්තරේ තමයි කවදාවත් විසි කරන්න තියා හිතන්නත් බැරි. මිහිර පත්තර ගැන කියනකොට මතක් වුණේ.අපේ තාත්තගෙත් "උදය" කියලා අපූරු සඟරා ටිකක් තිබුණා. මතක් වෙනකොටත් දුකයි! :(
      @ඩූඩ්: අපෝ නෑ. ඒවා වීසි කරන්නෙ මම මැරිලා ඉපදුනොත් තමයි. හැබැයි මේ වේයන්ගෙන් තමයි බේරගන්නම අමාරු. සාමාන්‍ය වේයන්ටත් වඩා වැරදිලාවත් කිරි වේයොන්ට අහුවුනොත් නම් දවසින්ම පස්. :(

      Delete
  5. පැරණි සිංහල කවියක ඇති සරල බව සහ රසවත් බව රස වින්දෙමි. බොහොම ස්තුතියි.

    ReplyDelete
  6. අස් කිරීම් ගැන කිව්වොත්...මම නම් ඉපදිලා ඉන්නෙම අස් කරන නැකතකද කොහෙද.. කොච්චර මහන්සිවෙලා ගෙදර ආවත් ඔක්කෝම පැත්තකින් තියලා අසකරන එක තමා මගෙ රාජකාරිය. ..

    මටත් ඔය පත්තර සඟරා එකතු කරන පිස්සුව තියෙනවා. පරන ඒවා කෙසේ වෙතත් ගත්තට කියවන්න බැරි උන පත්තර . පස්සෙ බලනවා කියලා තියලා තියෙනවා.

    කවි ටික නම් පංකාදුයි.. අර පොත කියවාපු මන්ස්සයා දන්නවානම් පොතේ අයිතිකාරයා කවුද කියලා කියාවි " බොගේ උලව් පොත තමා මේ කියවන්නේ " කියලා...හි හි හී

    ReplyDelete
  7. ඇත්තටම සුපිරිම කවි ටික :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. සුන්දර කවි ටිකක් නියමයි නියමයි..

    ReplyDelete
  9. ලස්සන පෙරවදන සහ කවි පන්තිය .

    ReplyDelete
  10. මේ කවි පංතියෙන් කියවෙන කතාව කතාව්ක් විදිහටම කියවලා තියෙනවා :)

    ReplyDelete
  11. විස්තරෙත් ලස්සනය්. පරණ කවියත් ලස්සනය්. පොඩි වැරද්දක් වෙලා 1957 දී නවයුගය සඟරාව රුපියල් නෙවෙය් ශත 75 ය්

    ReplyDelete
  12. රසවාහිණී, නවයුගය සඟරා මතක් කළාට ස්තුතියි මලේ. ඒකට දවස නිවසෙන් ගහපු ශ්‍රී සඟරාවත් එකතු වෙන්න ඕනෑ. අපිව පොත් ගුල්ලන් බවට පත් කළෙත්, ලෝකය දකින්න කවුලු විවෘත කරලා දුන්නෙත් ඒ සඟරා තමයි. අපේ ගෙදර තිබුනු ඒ සඟරාවලට වැඩේ දුන්නෙත් වේයොම තමයි.

    ReplyDelete
  13. මමත් එහෙම තමයි. එන්න එන්න මේසෙ උඩ, ස්‍ටුල් එක උඩ,කබඩ් උඩ, ඇතුලෙ සඟරා, පත්තර, පොත් ගොඩ ගැහෙනවා. අන්තිමට කාඩ්බෝඩ් පෙට්ටිවලට දාල ඇඳන් යට තියනවා. පස්සෙ අරන් බලනකොට සැහෙන වේයො කාලා.
    " රසවාහිණී, කල්පනා, වත්මන, ඉසුර, නවයුගය ආදී මේ සඟරා බොහොමයක් අපේ ගෙදරට පැමිණ ඇත්තේ මටත් කලිනි. යන්තම් අකුරු ගලපා ගන්නට පුළුවන් වූදා සිට මගේ හොඳම මිතුරන් වූයේද, අන්තර්ජාලය නැති කාලයේ සහ මවුබස පමණක් දත් කාලයේ මුළු ලෝකමය මා හට සමීප කළේද මේ සඟරාය."


    හරියටම මං කීව වගේ ලියල තියෙන්නෙ.ඇයි ශ්‍රී සඟරාව?

    ReplyDelete
  14. මේ වෙනකල් මම මේක කියවල තිබ්බෙ නෑ. ඔයා මට බ්ලොග් එක එවල තිබ්බෙත් නෑ නේ... අපි කියවයි කියලද...? හි හී....

    කොහොම උණත්............. රසවින්දා ඔයාගෙ ලිපිය... ලස්සනයි. ආකර්ෂණීයයි... සුභපැතුම්... තවත් ඔබතුමියගේ රචනාවන් කියවීමේ උවමනාවෙන් බලා සිටිනවා.

    ReplyDelete