Monday, July 15, 2013

වීරයෙකු ලෙස නික්ම ගිය සහස්‍රකයේ දුෂ්ටයා!

මම හින්දි සිනමා ලෝලියෙක්මි.  හින්දි සිනමාවේ විචිත්‍රවත් බවට සහ අනන්‍යතාවයට මම ඉතා ප්‍රිය කරමි. එහෙත් එයින් මා ඕනෑම හින්දි චිත්‍රපටියක් නරඹන බව නොකියවේ. ලංකාවේ මෙන් නොව ඉන්දියාවේ සිනමාව සිනමා කර්මාන්තයකි. හොඳින් සංවිධිත ඉන්දියානු සිනමා කර්මාන්තයෙන් යැපෙන්නෝ බොහෝය. විවිධ භාෂා වශයෙන්, කලාත්මක හා වාණිජ වශයෙන් ආදී ලෙසින් සැම දෙසට විහිදී ඇති එතුලින් ගලන්නේ ඉන්දියාවේ ජීව රුධිරය නොවේ නම් යටත් පිරිසෙයින් එරට ශක්තිජනක පානයයි. නළු නිළියන්ගේ පිළිම කිරි වලින් නහවන ඔවුන්ට පුද පූජා පවත්වන, ඔවුන් සැබෑ ජීවිතයේදී වීරයන් කරන ඉන්දීය ජනතාවට සිනාසෙන්නට මට නොහැකිය. දේශපාලනය ගැන කිසිත් නොදන්නා රන් සමනලයයින්, පබා ලා අනර්කලීලා පාර්ලිමේන්තු යැවූ ලංකාවේ ජනතාව ඉන් වෙනස් වන්නේ මෙහි සිනමා කර්මාන්තයක් නැති නිසා මිස ඒ මානසිකත්වයෙන් බැහැර වී සිටින නිසා නොවේ.
ඉන්දීය වට්ටෝරු සිනමාව හෙවත් ජනප්‍රිය වාණිජ සිනමාව මුළු සිනමා කර්මාන්තයේම පදනමයි. වීරයා සහ පෙම්වතිය, දුෂ්ටයා, කවටයා, සහායකයා යන චරිත වලට සිංදු කිහිපයක් සහ සටන් ජවනිකා කිහිපයක් දමා පත අට එකට සිඳවා ගැනීමෙන් මේවා තැනෙයි. (මේ පදම අල්ලා ගැනීම සිතන තරම් පහසු නැති බව හින්දි අනුකාරක දේශීය සිනමාවෙන් පැහැදිලි වේ)
කෙසේ වෙතත් මේ වට්ටෝරු සිනමාවේ දුෂ්ටයාට හිමිවන්නේ ඉතා වැදගත් තැනකි. වීරයා වීරයෙකු වන්නේ දුෂ්ටයා නිසාය. නියම දුෂ්ට නළුවා බොහෝ විට රංග පෞරුෂයෙන් වීරයා අභිභවන බව මගේ හැඟීමයි. ප්‍රේම් චොප් රා, රාසා මුරාද්, අම් රිෂ් පූරි, මදන් පූරි, කේ කේ මෙනන්, ගුල්ෂන් ග්‍රෝවර් මෙන්ම ෂාරුක් ඛාන් වැනි නළුවන් නිරූපණය කළ දුෂ්ට චරිත අපේ මතකයෙන් ගිලිහී නොයන්නේ එබැවිනි.
මේ අතර සිටි ප්‍රධානම චරිතය පසු ගිය දා නික්ම ගියේය. ඔහුගේ රංග පෞරුෂය කෙතෙක් වීද යත් සිනමාව තුල ඔහු හැඳින්වුණේ "කළු රත්තරන්(Black Gold)"  හා සහශ්‍රකයේ දුෂ්ටයා (Villain of the millennium) යනුවෙනි. ඒ වෙන කිසිවෙක් නොව ප්‍රාන් කිශන් සිකන්ද් ය. නැතහොත් "ප්‍රාන්" ය. ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම නළුවෙක් ලෙස ඔහු හැඳින්වීමට මා පසුබට නොවෙමි. ඒ වසර අනූ තුනක් වූ ඔහුගේ ජීවිතයෙන් වසර හැත්තෑම්වට වැඩි කාලයක් සිනමාවේ රැඳී සිටීම නිසා නොවේ. එක් බැල්මකින්, මුහුණේ ඉරියව්වක් මදකින් වෙනස් කිරීමෙන් හැඟීම් ප්‍රකාශනයට ඔහු තුල වූ දක්ෂතාවය නිසාය.


රාජ් කපූර්, කිශෝර් කුමාර්, දේව් ආනන්ද්, දිලිප් ආදීන් ගේ සිට අමිතාබ්, රාජේශ් දක්වා දශක ගණනාවක වීරයන් බිහිකිරීමට ඔහුගේ දායකත්වය අති මහත්ය. ඔහුගේ ප්‍රසිද්ධිය හා ජන අප්‍රියත්වය කෙතෙක්ද යත් දශක ගණනක් යනතුරු ඉන්දීය දරුවන්ට ප්‍රාන් යන නම නොතැබීමට දෙමව්පියෝ වග බලාගත්හ. එසේම එදා මෙදා තුර වැඩිම මුදලක් ලැබූ දුෂ්ට නළුවා ඔහුය. ඔහු ලැබූ මුදල සැම විටම පාහේ වීරයා අබිභවා සිටීම විශේෂ කරුණකි. එය වෙනස් වූයේ එක්ම එක වීරයෙකු සඳහා පමණි. ඒ රාජේශ් ඛන්නා ය. චිත්‍රපටියක් ප්‍රචාරණයේදී වීරයාගේ නම තරමටම ඔහුගේ නමද ප්‍රචාරය විය. චිත්‍රපටියෙහි රංගන ශිල්පීන්ගේ නම් ප්‍රචාරය වූ පසු අවසානයට "සමඟින් ප්‍රාන්" යන තේරුම දෙන " ..And Pran" යන කොටස භාවිත කෙරුණේ එහි වැදගත්කම මනාව හෙලි කරමිනි. ප්‍රාන් ගේ ජීවිත කතාව ඇතුලත් චරිතාපදාන කෘතිය And Pran ලෙස නම් කෙරී ඇත්තේ එබැවිනි.
කෙසේ වෙතත් ප්‍රාන් රඟපා ඇත්තේ දුෂ්ට චරිත පමණක් නොවේ. ආදරණීය පියෙකු, වැඩිහිටියෙකු, යුක්ති ගරුක පොලිස් නිලධාරියෙකු ආදී සුදු චරිතද සම්භාව්‍ය ගණයේ නිර්මාණවල චරිතාංග නළුවෙකු ලෙසද ආදී පුළුල් පරාසයක ඔහුගේ චරිත නිරූපණයන් විහිදී තිබිණි.ඒ අතරිනුත් හාස්‍ය මතු කිරීමේදී ඔහු විකට නළුවන් අබිභවා කැපී පෙනුනි.( ඔහුත් කිශෝර් කුමාර් රුත්  රඟපෑ චිත්‍රපටියක් නම් සිනාව සහතිකයි.)

උපතින්ම උගත් ධනවත් පවුලක උපත ලැබූ ප්‍රාන් සැබෑ ජීවිතයේ නම් ඉතා වැදගත් මහත්මා ගුණ ඇති පුද්ගලයෙකු ලෙස ප්‍රකටය. ඔහු හැඳින්වෙන්නේ "Soft Speaking gentleman" ලෙසය.එසේම ක්‍රීඩාව පිළිබඳ දැඩි ලැදියාවක් තිබූ දක්ෂ ක්‍රීඩයකයෙකු වූ ප්‍රාන් අසහාය මතක ශක්තියක් තිබූ කෙනෙකු ලෙස හැඳින්වේ. ඔහු ඉතා දීර්ඝ දෙබස් ඛන්ඩ වුව වරක් බැලූ පමණින් මතක සිටින කෙනෙකි. වරක් අමිතාබ් භච්චන් සඳහන් කර තිබුණේ කැමරා සහ ආලෝක උපකරණ සූදානම් කරගන්නා තෙක් ගතවන විනාඩි කිහිපයේදී පිටු ගණනක දෙබස් එක් වරක් පමණක් කියවන ඔහු ඉන් අනතුරුව එකදු වචනයක් හෝ නොපටලා කියන්නට තරම් දක්ෂ වූ බවය.
හැකි කළ ඉතා ඉහළ ආදායමක් ලැබූවත් තම ජීවිත පැවැත්මෙහි වැරදි නිසා ජීවිතේ අවසානය අසරණව හඬමින් ගතකරන්නට වූ බොහෝ නළු නිළියන් මෙන් නොව වීරයෙකු ලෙස ජීවත් වූ ප්‍රාන්, සාර්ථක සමබර ජීවිතයක් ගතකර සිය දරුවන් මුණුපුරන් මෙන්ම මී මුණුපුරන් ද අතර සතුටින් ගතකළ වසර අනූ තුනක ජීවත කාලය අවසන් කර වීරයෙකු ලෙස නික්ම ගියේය.
සිනමා නළුවෙකුට පිදෙන ඉහළම සම්මානය වන "දාදාසහබ් ඵාල්කේ" සම්මානයෙන් පවා පිදුම් ලැබූ ප්‍රාන් ඉන්දියානු සිනමාවේ සැබෑ වීරයෙක් බව මගේ හැඟීමයි.
ප්‍රාන් ඔබට සුභ ගමන්!