Monday, July 15, 2013

වීරයෙකු ලෙස නික්ම ගිය සහස්‍රකයේ දුෂ්ටයා!

මම හින්දි සිනමා ලෝලියෙක්මි.  හින්දි සිනමාවේ විචිත්‍රවත් බවට සහ අනන්‍යතාවයට මම ඉතා ප්‍රිය කරමි. එහෙත් එයින් මා ඕනෑම හින්දි චිත්‍රපටියක් නරඹන බව නොකියවේ. ලංකාවේ මෙන් නොව ඉන්දියාවේ සිනමාව සිනමා කර්මාන්තයකි. හොඳින් සංවිධිත ඉන්දියානු සිනමා කර්මාන්තයෙන් යැපෙන්නෝ බොහෝය. විවිධ භාෂා වශයෙන්, කලාත්මක හා වාණිජ වශයෙන් ආදී ලෙසින් සැම දෙසට විහිදී ඇති එතුලින් ගලන්නේ ඉන්දියාවේ ජීව රුධිරය නොවේ නම් යටත් පිරිසෙයින් එරට ශක්තිජනක පානයයි. නළු නිළියන්ගේ පිළිම කිරි වලින් නහවන ඔවුන්ට පුද පූජා පවත්වන, ඔවුන් සැබෑ ජීවිතයේදී වීරයන් කරන ඉන්දීය ජනතාවට සිනාසෙන්නට මට නොහැකිය. දේශපාලනය ගැන කිසිත් නොදන්නා රන් සමනලයයින්, පබා ලා අනර්කලීලා පාර්ලිමේන්තු යැවූ ලංකාවේ ජනතාව ඉන් වෙනස් වන්නේ මෙහි සිනමා කර්මාන්තයක් නැති නිසා මිස ඒ මානසිකත්වයෙන් බැහැර වී සිටින නිසා නොවේ.
ඉන්දීය වට්ටෝරු සිනමාව හෙවත් ජනප්‍රිය වාණිජ සිනමාව මුළු සිනමා කර්මාන්තයේම පදනමයි. වීරයා සහ පෙම්වතිය, දුෂ්ටයා, කවටයා, සහායකයා යන චරිත වලට සිංදු කිහිපයක් සහ සටන් ජවනිකා කිහිපයක් දමා පත අට එකට සිඳවා ගැනීමෙන් මේවා තැනෙයි. (මේ පදම අල්ලා ගැනීම සිතන තරම් පහසු නැති බව හින්දි අනුකාරක දේශීය සිනමාවෙන් පැහැදිලි වේ)
කෙසේ වෙතත් මේ වට්ටෝරු සිනමාවේ දුෂ්ටයාට හිමිවන්නේ ඉතා වැදගත් තැනකි. වීරයා වීරයෙකු වන්නේ දුෂ්ටයා නිසාය. නියම දුෂ්ට නළුවා බොහෝ විට රංග පෞරුෂයෙන් වීරයා අභිභවන බව මගේ හැඟීමයි. ප්‍රේම් චොප් රා, රාසා මුරාද්, අම් රිෂ් පූරි, මදන් පූරි, කේ කේ මෙනන්, ගුල්ෂන් ග්‍රෝවර් මෙන්ම ෂාරුක් ඛාන් වැනි නළුවන් නිරූපණය කළ දුෂ්ට චරිත අපේ මතකයෙන් ගිලිහී නොයන්නේ එබැවිනි.
මේ අතර සිටි ප්‍රධානම චරිතය පසු ගිය දා නික්ම ගියේය. ඔහුගේ රංග පෞරුෂය කෙතෙක් වීද යත් සිනමාව තුල ඔහු හැඳින්වුණේ "කළු රත්තරන්(Black Gold)"  හා සහශ්‍රකයේ දුෂ්ටයා (Villain of the millennium) යනුවෙනි. ඒ වෙන කිසිවෙක් නොව ප්‍රාන් කිශන් සිකන්ද් ය. නැතහොත් "ප්‍රාන්" ය. ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම නළුවෙක් ලෙස ඔහු හැඳින්වීමට මා පසුබට නොවෙමි. ඒ වසර අනූ තුනක් වූ ඔහුගේ ජීවිතයෙන් වසර හැත්තෑම්වට වැඩි කාලයක් සිනමාවේ රැඳී සිටීම නිසා නොවේ. එක් බැල්මකින්, මුහුණේ ඉරියව්වක් මදකින් වෙනස් කිරීමෙන් හැඟීම් ප්‍රකාශනයට ඔහු තුල වූ දක්ෂතාවය නිසාය.


රාජ් කපූර්, කිශෝර් කුමාර්, දේව් ආනන්ද්, දිලිප් ආදීන් ගේ සිට අමිතාබ්, රාජේශ් දක්වා දශක ගණනාවක වීරයන් බිහිකිරීමට ඔහුගේ දායකත්වය අති මහත්ය. ඔහුගේ ප්‍රසිද්ධිය හා ජන අප්‍රියත්වය කෙතෙක්ද යත් දශක ගණනක් යනතුරු ඉන්දීය දරුවන්ට ප්‍රාන් යන නම නොතැබීමට දෙමව්පියෝ වග බලාගත්හ. එසේම එදා මෙදා තුර වැඩිම මුදලක් ලැබූ දුෂ්ට නළුවා ඔහුය. ඔහු ලැබූ මුදල සැම විටම පාහේ වීරයා අබිභවා සිටීම විශේෂ කරුණකි. එය වෙනස් වූයේ එක්ම එක වීරයෙකු සඳහා පමණි. ඒ රාජේශ් ඛන්නා ය. චිත්‍රපටියක් ප්‍රචාරණයේදී වීරයාගේ නම තරමටම ඔහුගේ නමද ප්‍රචාරය විය. චිත්‍රපටියෙහි රංගන ශිල්පීන්ගේ නම් ප්‍රචාරය වූ පසු අවසානයට "සමඟින් ප්‍රාන්" යන තේරුම දෙන " ..And Pran" යන කොටස භාවිත කෙරුණේ එහි වැදගත්කම මනාව හෙලි කරමිනි. ප්‍රාන් ගේ ජීවිත කතාව ඇතුලත් චරිතාපදාන කෘතිය And Pran ලෙස නම් කෙරී ඇත්තේ එබැවිනි.
කෙසේ වෙතත් ප්‍රාන් රඟපා ඇත්තේ දුෂ්ට චරිත පමණක් නොවේ. ආදරණීය පියෙකු, වැඩිහිටියෙකු, යුක්ති ගරුක පොලිස් නිලධාරියෙකු ආදී සුදු චරිතද සම්භාව්‍ය ගණයේ නිර්මාණවල චරිතාංග නළුවෙකු ලෙසද ආදී පුළුල් පරාසයක ඔහුගේ චරිත නිරූපණයන් විහිදී තිබිණි.ඒ අතරිනුත් හාස්‍ය මතු කිරීමේදී ඔහු විකට නළුවන් අබිභවා කැපී පෙනුනි.( ඔහුත් කිශෝර් කුමාර් රුත්  රඟපෑ චිත්‍රපටියක් නම් සිනාව සහතිකයි.)

උපතින්ම උගත් ධනවත් පවුලක උපත ලැබූ ප්‍රාන් සැබෑ ජීවිතයේ නම් ඉතා වැදගත් මහත්මා ගුණ ඇති පුද්ගලයෙකු ලෙස ප්‍රකටය. ඔහු හැඳින්වෙන්නේ "Soft Speaking gentleman" ලෙසය.එසේම ක්‍රීඩාව පිළිබඳ දැඩි ලැදියාවක් තිබූ දක්ෂ ක්‍රීඩයකයෙකු වූ ප්‍රාන් අසහාය මතක ශක්තියක් තිබූ කෙනෙකු ලෙස හැඳින්වේ. ඔහු ඉතා දීර්ඝ දෙබස් ඛන්ඩ වුව වරක් බැලූ පමණින් මතක සිටින කෙනෙකි. වරක් අමිතාබ් භච්චන් සඳහන් කර තිබුණේ කැමරා සහ ආලෝක උපකරණ සූදානම් කරගන්නා තෙක් ගතවන විනාඩි කිහිපයේදී පිටු ගණනක දෙබස් එක් වරක් පමණක් කියවන ඔහු ඉන් අනතුරුව එකදු වචනයක් හෝ නොපටලා කියන්නට තරම් දක්ෂ වූ බවය.
හැකි කළ ඉතා ඉහළ ආදායමක් ලැබූවත් තම ජීවිත පැවැත්මෙහි වැරදි නිසා ජීවිතේ අවසානය අසරණව හඬමින් ගතකරන්නට වූ බොහෝ නළු නිළියන් මෙන් නොව වීරයෙකු ලෙස ජීවත් වූ ප්‍රාන්, සාර්ථක සමබර ජීවිතයක් ගතකර සිය දරුවන් මුණුපුරන් මෙන්ම මී මුණුපුරන් ද අතර සතුටින් ගතකළ වසර අනූ තුනක ජීවත කාලය අවසන් කර වීරයෙකු ලෙස නික්ම ගියේය.
සිනමා නළුවෙකුට පිදෙන ඉහළම සම්මානය වන "දාදාසහබ් ඵාල්කේ" සම්මානයෙන් පවා පිදුම් ලැබූ ප්‍රාන් ඉන්දියානු සිනමාවේ සැබෑ වීරයෙක් බව මගේ හැඟීමයි.
ප්‍රාන් ඔබට සුභ ගමන්!

20 comments:

  1. විශිෂ්ඨ නළුවකු පිළිබඳ අගනා ලිපියක්...

    මමත් බොහෝම කැමති දුෂ්ඨයෙක් තමයි ප්‍රාන්.. අනිත් කෙනා අම්රිෂ් පූරී...

    ReplyDelete
    Replies
    1. මගෙත් ප්‍රියතම දුෂ්ටයො දෙන්නා. තව අර රාජේශ් ඛන්නාගෙ දුෂ්ටයාට ඇට් කරපු ප්‍රේම් චොප්රා සහ මදන් පූරි(අම්රිෂ් පූරි ගෙ අයියා) ඒ දෙන්නත් මරු.

      Delete
  2. ලකී කාලෙකින් වටිනා ලිපියක් එක්ක. මමත් ඔබත් එක්ක එකඟයි. උදේම අපේ විචාරක තුමත් මේ ගැන ලියා තිබ්බා. මොකෙන් බේරුනත් ඉන්දියාව අපේ අසල් වැසියා වීමෙන් අපිට බේරෙන්න බැහැ විතරක් නෙමෙයි ඉන්දියා මහා සංස්කෘතියේ එන ඇබ්බැහි වලින් බේරෙන්නත් බැහැ. හිංදි සිනමාව ඉන් එකක්.

    විශිෂ්ඨයාට ඔහුගේ පැතුම අනුව කැමති ආකාරයකින් සහනය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් වෙදමහත්තයා. කාලයේ ගැටළුවක්ද කාල කළමනාකරණයේ ගැටලුවක්ද මන්දා මේ දවස් වල ටිකක් කාර්යබහුල වෙලා.
      ඇත්තටම අපි නොදැනුවත්වම ඉන්දියානු මහා සංස්කෘතියෙන් බොහෝ දේ අරගන්නවා. හැබැයි ඒ ගන්න දේවල් පොඩ්ඩක් තෝරා බේරා ගන්න නම් වෙනවා. නැත්තම් හොටු පෙරාගෙන අඬන "ඒක් සාස් භී කබී බහූ ථි ) මෙහෙට "මහගෙදර වෙලා එයියැ නේද?

      Delete
  3. මමත් 'ආසා දුෂ්ඨයෙක් ' තමයි.... පෙනුම වගේම හඬේත් තිබ්බ ඒ ගතිය මම හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා මේ පැත්තෙ එන පළවෙනි වතාව නේද? ඇත්තටම මට පුදුම දුකක් හිතුණා ඔහු මිය ගිය වෙලාවෙ.

      Delete
  4. ඔහුගේ නික්මීම මා තුළ දැඩි කම්පනයක් ඇති කල නිසා මමත් ඔහු වෙනුවෙන් ලිපියක් ලිව්වා. ඔබේ මේ ලිපිය මා ඉහළින්ම අගය කරනවා. ඔහු වැනි ශ්‍රේෂ්ඨ නළුවන්ගේ අඩුව පුරවන්නේ කව්දැයි කියා වරෙක සිතෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ලිපිය කියෙව්වා. කමෙන්ට් එක නිවී සැනසිල්ලේ දාන්නයි බලා ඉන්නෙ. :)

      Delete
  5. ඒ දවස්වල අම්රිෂ් පූරී ගුටි කනව බලන්න ආසයි :D

    ReplyDelete
    Replies
    1. පවු නැද්ද අප්පා! එක කතාවක එයා වීරයටත් ඉන්නවා මං දැකලා තියේ!

      Delete
  6. සුපිරි දක්ෂයෙකු වෙනුවෙනු ලියු අපුරුම සටහනේ මුල් කොටස එයිටත් වඩා තදින් හිතට අල්ලලා ගියා.

    ReplyDelete
  7. හින්දි සිනමාවේ කොතැනකදිවත් දුෂ්ඨයෙක්ට මොහුට තරම් කැමැත්තක් ලැබිල නැතුව ඇති.

    හොද ලිපියක්..

    ReplyDelete
    Replies
    1. තව එක්කෙනෙක් හිටියා සෑම්. ඒ තමයි අම්රිෂ් පූරි. (අර මිස්ටර් ඉන්ඩියා එකේ "මොගැම්බෝ කුශ් හුආ" කියන්නෙ. :D තව දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ වගේ චිත්‍රපටිවලත් හිටියා. සුපිරි දුෂ්ටයෙක්. ඒත් එයා දෙදාහෙ ද කොහෙද නැතිවුණා.

      Delete
  8. මම ඉස්කෝලෙ යන්ට නැවතිලා හිටපු ගෙදර කිට්ටුව තමයි ඒ දවස්වල චිත්‍රා සහ ලොයිඩ් වාකිෂ්ඨ කලාකරුවන් දෙපල හිටියෙ. ප්‍රාන් කියල ඔවුන්ගෙ එක පුතෙක් හිටිය මට මතකයි.

    පෙම්වතා සහ පෙම්වතියගෙ දුෂ්ඨයා විදිහට ප්‍රාන් කොච්චර ජනප්‍රිය උනාද කිව්වොත් සැබෑ ජීවිතයෙ දුෂ්ඨයො හැඳින්වුනෙත් ප්‍රාන් කියලයි :)

    " අඩේ...අන්න බං අර නිල් ඉරි ටී ෂර්ට් එකක් ගහල ඉන්න එකා තමයි අජිතයගෙ ප්‍රාන්..වරෙං ඌට පොඩි සත්තමක් දාමු…."

    " මේ කැත වැඩ කරන්ඩ එපා බං..උඹ අර සංජීවයගෙ ලව් කේස් එකට ප්‍රාන් පාට් එකක් දාන්ඩ යනවලු නේද?අනේ....අල්ලල දාපං බං...."

    ස්තූතියි ලකී....ප්‍රතිභාපූර්ණ නළුවෙක් ගැන හෘදයාංගම සටහනක්...

    ReplyDelete
    Replies
    1. ඔය කියාපු ප්‍රාන් වාකිෂ්ඨ දැන් කාලෙකට කලින් ලොතරැයි දිනුම් ඇදෑම්වල නිවේදකයා හැටියටත්.. ටෙලි නාට්ටිය කිහිපයක නළුවෙක් හැටියටත් හිටියා කියලා මට මතකයි... චිත්‍රා වාකිෂ්ඨ කිව්වේ අපේ කෝප් කඩේ සොමි නෝනා නෙව...

      Delete
    2. ඒ ඉස්කෝලෙ කාලෙන් පස් සෙ මිනිහ දැක්කෙම නෑ මාරෙ මලේ. ඇඩ්වර්ටයිසිං වගෙ මොනවද කලා මම හිතන්නෙ කාලයක්...

      Delete
    3. ඒක නම් නියම කතාව. :D ප්‍රාන් වාකිශ්ඨ කාලයක් ස්වාධීන රූපවාහිණියෙ ප්‍රවෘත්ති කිව්වා. මම හිතන්නෙ ඔහු තාමත් ඉන්නෙ ස්වාධීන රූපවාහිණියෙ.

      Delete
  9. මට නම් ඒ නලුවව පෙන්නන්න බෑ.ඒත් ඉතින් ඔහුගෙ පෞද්ගලික ජිවිතය ගැන දැනගෙන හිටියෙ නෑ.
    මට ඔහුව අප්‍රිය වුනේ ඔහුගෙ දක්ශ රඟපෑම් නිසානෙ.
    මේ වගේ නලුවන් ගැන ලියවුන ඔබේ ලිපියත් අගය කරනවා.

    ReplyDelete
  10. කෝ අලුතෙන් මොකුත් ලියන්නේ නැද්ද ??

    ReplyDelete