Friday, March 15, 2013

දින නැතත් දින පොතකි.


"මා ආදරණීය මගේ අම්මා වෙතටයි..." රේඩියෝ එකේ ගයන්නෙ ධනපාල උඩවත්ත මහත්මයා. සෙල්ලම් බඩුවකුත් තුරුළු කරගෙන ඉන්න මම රේඩියෝ එක ළඟටම යනවා. "අන්න කැප්ටන් මාමා ගෙ සිංදුව" මම අහගෙන ඉන්නෙ හරිම ආසාවෙන්. කැප්ටන් මාමා අපේ තාත්තාව බලන්න ආපු වෙලාවක මාව වඩාගෙන ගිහින් ජීප් එකේ ඇතුල පෙන්නනවා. ආව්! දිග තුවක්කු...ඇත්තම තුවක්කු. හයේ හතරෙ පුරුෂයෙක් වෙච්ච කැප්ටන් මාමා මේ තුවක්කු වලින් යුද්ධ කරන හැටි බලන්න ඇත්නම් කියලා හිතෙනවා...


අපේ ඉස්කෝලෙ ළඟට අම්මයි තාත්තයි දෙන්නම එනවා කිව්වා.මාව චිත්‍රපටියක් බලන්න එක්කගෙන යන්න.කොයි වගෙද දන්නෑ චිත්‍රපටි.. අවුරුදු අටක ළමයෙකුට කතාව තේරුම් ගිය හැටි ගැන මට අදත් පුදුම හිතෙනවා. ඒත් සත්තයි මට ඒ හමුදා නිලධාරියාගේ හැඟීම් තේරුණා. "මිහිපිට අඟළක් හිමි නැති මිනිහෙක්..." අමරදේවයන් ගයන කොට ඒ දැනුණු හැඟීම විස්තර කරන්න අදටත් මට වචන නෑ. ඒත් ඒ ගීතය එක පාරින්ම මට මතක හිටියා.කතාවෙ අන්තිම සටනෙදි හමුදා නිලධාරියගේ සිරුර ගස් දෙබලක එල්ලෙනවා. මම අවුරුදු පහ හයක්ම අයිස් චොක් අප්පිරියාවෙන් පෙළුණා.

හවසට ඉස්තෝප්පුවට රොක් වෙන පිරිසෙන් කවුරු නමුත් ආරංචිය ගෙනාවා. වැඩිහිටියන්ගේ මූණුවල තිබිච්ච හැඟීම මගේ හිතට ගෙනාවෙ පුදුම භීතියක්. මම දුවගෙන ගියේ නැන්දාච්චිගේ කාමරේට. කාමරේ කළුවරයි. එළියක් නැතුව බුදුන් වඳින සොල්දරේට නඟින්න බෑ. මම තරප්පුව පාමුල දණ ගහ ගත්තා. " අනේ දෙයියනේ! කොහොම හරි කොබ්බෑකඩුව මහත්තයා වගේ තව එක්කෙනෙක් එවන්න! ".....

කවුරු මොනවා කතා කළත් මගේ ඔළුවට ගියේ මෙච්චරයි. කැප්ටන් මාමා ආයි හමුදාවෙ නෑ. අස් කරලා..."බොරු චෝදනාවක්..." මගේ ආදරණීයම නෑදෑයා වෙන ලොකු ආතා කියනවා. "ඒත් වීඩියෝ එකක් තියෙනවනෙ" තාත්තා එහෙම කිව්වම මම පසුබානවා,පත්තරේ ගන්න තිබ්බ සල්ලි කැටේට දාලා ගුටි කාපු හැටි මතක් වෙලා. තාත්තාගෙන් සමාවක් නැති වැරදි දෙකයි ලෝකෙ තියෙන්නෙ....

අයියටයි අක්කටයි දෙන්නටම නිවාඩු. ඒ ගොල්ලො කොළඹ දිස්ත්‍රික්කෙ. කොටි ගහයි කියලා බයට මාස ගානක් නිවාඩු. අපරාදේ.. මටත් කොළඹ යන්නයි තිබුණෙ.

අපේ තරිඳු මහ හයියෙන් අඬනවා. මහ බැංකුවෙළු  එයාගේ තාත්තා වැඩ කරන්නෙ.තාත්තට කරදරයක් වෙලා ද දන්නෑළු. මහ බැංකුවට බෝම්බ ගහලළු... පව් එයා.

"Where are you going - My pretty maid" මේ උදේ කියා දීපු සිංදුවනෙ. දැන් කීපාරක් මේක කිව්වද? කෝවිල ගාව බෝම්බයක් තියලලුනෙ.සිස්ටර් හදන්නෙ අපිව කලබල නොවී තියාගන්න. අනේ මම නම් කලබල වෙන්නෙ නෑ. ඒත් මේ සිංදුවනම් දැන් ඇති. අනිත් එක ගෙදර අයටත් හොඳ වැඩේ. වටේම තියන මිනී පෙට්ටි සාප්පු වලට පොඩි සයිස් පෙට්ටි දාහක් හදලා තියාගන්න කියලා තියෙද්දිත් අපිව ඉස්කෝලෙ එවනවා.

හැමදාම ඉතින් යුද්ධ විස්තර අරවා මේවා. දැන් ඉතින් ජීවිතේට හුරු වෙලා.ටීවී එකේ පෙන්නන මිනී දකින එක ඉස්සර විතර අමාරු නෑ. එදිනෙදා දේවල් නෙ.

කැප්ටන් මාමා මියගිහින්.අපි මළගෙදර ගියා. ඉස්කෝලෙන් එක පාරයි ගෙදරින් එක පාරයි. "මිනිය තියන්න වෙනම පෙට්ටියක් හදන්න වුණාළු. දොස්තරලගේ නොසැලකිල්ල. අර ඉන්නෙ කිට්ටු ගෙ අම්මළු."...

යුද්ධෙ දිනුවා... හුරේ...අපි රතිඤ්ඤා පත්තු කරනවා....

අපේ ගෙවල් පැත්තෙ මල්ලි කෙනෙක් හමුදාවට බැඳිලා. " කොච්චර වුනත් යුද්ධෙ ඉවර නිසා දැන් බයක් නෑ නෙ."

"මේජර් නම් ටිකක් අමාරු කාරයෙක්.." කට්ටිය කලින්ම මට අනතුරු අඟවනවා. මට මොකෝ. අද විතරනෙ මම යන්නෙ. පපුවෙන් පහළ සම්පූර්ණයෙන්ම පණ නැතත් මේජර් තට්ටු තුනක් උඩට එන්නෙ හිතේ හයියෙන් සහ එයාගෙ සඟයන්ගෙ වාරුවෙන්. අනිත් අයවත් ප්‍රබෝධවත්ව තියාගන්න තරම් ප්‍රභල පෞරුෂයක් තියෙන මේජර් මුස්ලිම් ජාතිකයෙක්. ටිකෙන් ටික අපි කතාවට වැටෙනවා." මේජර් මාත් එක්ක තරහ වෙයි ද දන්නෑ. ඒත් යුද්ධෙන් පස්සෙ රට යන අත...."මගේ මතය මම කියනවා.  "අගවිනිසුරුටත් එහෙම වෙච්ච කොට අපි ගැන කවර කතාද?" මේජර් එහෙම කියලා හිනාවුණා. මාත් අමාරුවෙන් හිනාවුණා.

අපේ ගෙවල් පැත්තෙ මඟුල් ගෙයක්. රෑ දෙකට විතර අපිට ඇහැරුණේ මහා ගුටි කෙලියක සද්දෙට.පහුවදා රොයිටර් සේවයෙන් ලැබුණු පුවත
 " අර අහවලාගෙ පුතා ආමි එකේනෙ. එයාට යුද්ධෙන් පස්සෙ උපහාරයක් එහෙමත් පැවැත්තුවනෙ. දැන් එයා ආමි එකෙන් පැනලා ඇවිල්ලා. උපහාර තියපු එකට ගිය වියදම් ගැන කුල කියලා තමයි රණ්ඩුව පටන් අරන් තියෙන්නෙ.මේ ආමි කාරයො තමයි කරන තරමක් අපරාධ කරන්නෙ..."  "