Wednesday, March 20, 2013

නිදිමත සිල්වා!


විභාගයක් ඉවර වුණු ගමන්ම කෙරෙන සුපුරුදු චාරිත්‍රය නම් ගෙවල් දොරවල් අස් කිරීමය. එය මනසට විවේක දෙන කයට ව්‍යායාම දෙන, පවුලේ සමඟිය බිඳෙන, අම්මාගේ සිත සතුටු වෙන ප්‍රයෝජනවත් ක්‍රියාවකි. ඒ නිසා මෙවරද වෙනසක් කිරීමට හේතුවක් නැත. අපේ ගෙදර අස් කිරීමේදී අමාරුම වැඩේ වන්නේ පත්තර පොත් මිටි අස් කිරීමය. අප සියළු දෙනාම පොත්වලින් වැසී යතැයි බිය ගත් වේයන් සාමූහිකව කටයුතු කර වරක් දෙවරක්ම පොත් පස් කළහ. එහෙත් දැන් බය වෙන්නට කරුණක් නැත. ඉස්සර නම් ජාතික විකල්ප ආදී හැම පත්තරයක්මත් සඟරාවක්මත් මිලදී ගත් තාත්තා දැන් පත්තර මිලදී ගන්නේ නැත. ඒ ඒවායේ ගුණාත්මක බව ගැන කලකිරීමෙනි.

 පොත් පත්තර අස් කිරීම පටන් ගන්නා විට ලකී දාර්ශනික වෙයි. රැස් කිරීම ක්ලේශ උපදවන බවත්, අතීත කාමය කමකට නැති දෙයක් බවත් කල්පනා කරන ලකීට මේ පත්තර විසි කරන්නට සිතේ. ඒ සිතුවිල්ලෙන් පත්තර ගොඩ අස් කරන්නට පටන් ගත් කළ මුලින්ම අත තියන්නේ අම්මාගේ කාන්තා පුවත්පත් තොගයටය. එවිට අම්මා දිව එයි. අපේ නංගී අත්කම් කෙරෙහි නිපුනතාවක් දක්වන්නේ අම්මාගෙන් ලැබුණු උරුමයෙනි. එහෙත් ඔඩිට් යමින් චාටඩ්(චාටර් ?) වෙන්න මහන්සි වෙන නිසා නංගීට මේ දවස් වල ඒවාට වෙලාවක් නැත. කුඩා කල සිටම "අත් වැඩ = පරවැඩ" යැයි සිතූ නිසා ලකීට එහෙම හැකියාවකුත් නැත. මැහුම් අත්කම් තිබෙන කොළ දෙකක් පමණ ඉවත් කළ විට ඉතිරි වන මල් නවකතා ටික කිසිම දුකක් නැතිව දාර්ශණිකව අස් කළ පසු ඊළඟට එන්නේ අනිත් පුවත් පත්ය. ඒවාත් සුපුරුදු දාර්ශණික බවින්ම අස් කර දමමි. ලක්බිම පත්තරයට විශේෂ ඇල්මක් ඇති මම මානිගේ තීරුවත්, කාටූනයත් කපා වෙන්කර ඉතිරිවා වීසි කරන ගොඩට දමමි. දැන් ඇත්තේ මහා වේ ප්‍රහාරයෙන් ඉතිරි වූ සඟරා ටිකය.

 දර්ශණය කෙළවර වන්නේ එතැනිනි. රසවාහිණී, කල්පනා, වත්මන, ඉසුර, නවයුගය ආදී මේ සඟරා බොහොමයක් අපේ ගෙදරට පැමිණ ඇත්තේ මටත් කලිනි. යන්තම් අකුරු ගලපා ගන්නට පුළුවන් වූදා සිට මගේ හොඳම මිතුරන් වූයේද, අන්තර්ජාලය නැති කාලයේ සහ මවුබස පමණක් දත් කාලයේ මුළු ලෝකමය මා හට සමීප කළේද මේ සඟරාය.පරණ ඥාතියෙක් දුටු කලෙක මෙන් ආදරයක්ද, ලොව රසවත්ම ආහාරය දුටු කලෙක මෙන් ආහ්ලාදයක්ද ඇතිවෙයි. ඒ සඟරා යළි මට කතා කරනු මෙන් දැනෙයි.අන්තිමේදී මේ සඟරා නැවත කපුරු බෝල සමඟ පෙට්ටි තුළ ඇසිරෙන්නේ දුහුවිලි ගසා දැමීමෙන් අනතුරුවය.

 පී.බී අල්විස් පෙරේරා කිවිදුන්ගේ මේ කවිය එසේ අස් කිරීමේ සැසියකදී නැවත වරක් මුණ ගැසුණි. එය හුදී ජන පහන් සංවේගය සඳහා මෙසේ ඉදිරිපත් කරමි. උපුටා ගැනීම 1957 ජුලි මස පළවූ රසවාහිණී සඟරාවෙනි. සඟරාවේ මිල රුපියල් 75කි. මෙහි "සිල්වා" යනු මහා ගත්කතු ඩබ්ලියු. ඒ. ද සිල්වා මහතාය.

දවසක් හලාවත සිට අප රසික                     ගඟ
නැග දුම් රියක කොළඹට එන අතර             මඟ
නැවතුම් පොළකදී මිනිහෙක් රියට               නැඟ
හිඳ ගත්තේය සිල්වා සිටි අසුන                    ළඟ

එය රෑ දුම් රියයි නිදිමත ගතිය                    ඇති
සිල්වා සිටින මැදිරිය තුළ එළිය                 නැති
එහි ආ අමුත්තා පොත් කියවුමට                රුති
දැක්විය මදක් දනවත් වෙළඳකුගෙ             ගති

විදුලිය පහන එහි පැත්තක තිබු                 දල්වා
ගෙරි  ගඳ සුරුට්ටුවකුත් දෙතොලෙහි        එල්වා
කියවයි පොතක් ඔහු අසුනේ කොන        අල්වා
මොනවා කරන්නද දැන් නිදිමත               සිල්වා

දුම් රිය දුවයි මහ හඬ දී මත                     පීලි
නංවයි සුරුට්ටුව ගඳ දුම් පෙළ                 පාලි
මොනවද නොනිදමින් මොහු කියවන      හෑලි
සිතුවත් දිගට පොත කියවයි                    මුදලාලි

"තමුසෙගෙ කබල් පොත හින්දා මගෙ       නින්ද
වැලකෙයි පහන නිවමින් නොනිදනු         මන්ද? "
සිල්වා ඇසූ විට කෝපය හිස                   බැන්ද
තරමක් රිදුණි මුදලාලිට රස                     වින්ද

"කලිසම් කාරයන් හට සිංහල               පොතක
රස විඳගන්න බැරි එක පූරුවෙ             පවෙක
මහත්තයෝ මේ පොත කියවා               මිසක
මොනවා වෙතත් නිදියන්නට නම්        නොහැක"

කී මුදලාලි ඇස යළි පොතෙහිම            ගැසුණේ
"ඔය පොත කිමද" සිල්වාගෙන්            පිළිවිසුණේ
"මේ පොත හිඟන කොල්ලා පිළිතුරු    ඇසුණේ
දිග ඇදුණේය සිල්වා නිහඬව               අසුනේ"