Friday, September 2, 2016

ඔබට සතුටුයිද දැන්?

හිතන්න ඔබට කෙනෙක් ඉතාම වටිනා දෙයක් දෙනවා.අපි හිතමු ඒ මැණිකක් කියලා. ඔබ ඒ දේ වෙනුවෙන් ඔබේ මුළු ජීවිත කාලෙම කැප කරනවා. ඔබේ නින්ද, ධනය, සමහර විටකදි ඔබේ සතුට පවා කැප කරනවා. තමන්ගේ ඇහැක් වගේ පරිස්සම් කරනවා.හොර හතුරන්ගෙන් විතරක් නෙමෙයි ඉතාම සියුම් සීරීමකින් පවා ඔබ ඒ දේ රැක ගන්නවා.කිසිම ඇද පළුද්දක් නැති ඒ වස්තුවේ වටිනාකම දිහා බලලා ඔබ සතුටු වෙනවා. නැති බැරි වෙච්ච කාලෙක ඔබට හයියට තියෙන්නෙ ඒ වස්තුවේ වටිනා කම කියලා හිතනවා. ඔබේ දහදිය මහන්සිය පල දරයි, දවසක ඒ වස්තුවෙන් සැනසීම උදාවෙයි කියලා හිතෙනවා. හරියටම අවුරුදු 14 කට පස්සෙ , අර දුන්න කෙනාම ඇවිත් ඒ වස්තුව ඔබෙන් එක පාරටම අරන් යනවා. ඔබට මොනවා හිතේවිද?

ඔබ ඒ වස්තුව දීලා ආපහු ගත්තු කෙනාට ප්‍රිය වචනයෙන් කතා කරයිද? මට මේක මේ අවුරුදු ගාණට පරිස්සම් කරන්න දුන්නා කියා ඔහුට හෝ ඇයට ප්‍රශංසා කරයිද?

Tuesday, June 14, 2016

පිංගුත්තර විනිස

(පහත ඡායාරූපයේ ඇති කවියට පිළිතුරකි.)


නොරිසි නම් පිරිමියෙකු සතු එඩිය              පෙන්වලා
 දමා එන්නට තිබුණෙ සිප් හලේ                 රඳවලා
 නැතොත් සරණක් ලැබෙන සේ තැනක     රඳවලා
 වෙන්ව යන්නට තිබුණෙ ගරු සරුව          පෙන්වලා

 නොහැකියාවේ තරම වසන් කරගනු          රිසින්
මඟ මියෙන සේ වසන් කරන සේ දන         ඇසින්
 දිඹුල නංවා කටුද අතුරවා සැම                 දෙසින්
පලා යන්නේද හරි හමන් මිනිසෙකු           විසින්?

 උගත් සැම ශිල්පයන් වෙතත් සැම           අභිබවා
යෙදුම නොඋගත් බැවින් උදැල්ලට           පණ පොවා
 පොළොව කොටමින් දිවිය සරි කරන       විට පවා
 නොආවෙද පසු පසින් කරපු පවු               රෑ දිවා

 තමන් බැරි කම වසා ඇඳුරිඳුට දොස්          තබා
 සිරි අතැර කාලකන්නිය සමඟ ගොස්        එදා
 අද පැමිණ නිදොස් බව අයදිතත් මැද        සබා
 තවත් එහි වරද පිංගුත්තරගෙ අත             තමා..


මේ ගීතයේ පෙර වාදනයේ රථවාහන හඬ අපූරුවට නිරූපණය වෙනවා.

Wednesday, June 8, 2016

තොල් පැටළුනු හැටි....

එහෙත් හරි වැස්ස මෙහෙත් හෙම වෙන්ටැ... වැරදීම මිනිස් ගතියකි සමාව දීම දේව ගතියකි කියනවා නොවැ. සමහර වැරදි තියෙනවා ඒව වැරදි වලටත් වඩා ටැපලීම්...ටැපලීම් නිසා වෙන වැරදීම්. ලකී ටැපලීම් වලට දෙයියා. පහේ පන්තියෙදි විතර අපේ ශිෂ්‍යත්ව පන්තියෙ මිස් මට කිව්වෙ "ඩිංගි මහත්තයා" කියලා. ඉස්සර ඔය උපමා,රූඪි වලින් තරඟ තිබ්බම හරි උත්තරේ උඩින්ම දෙන්නෙ ලකී උනාට කලබල වැඩි කමට කියන්නෙ පටලවලා. "වහින තරමට ගොරවන්නෑ" "සපා කන බල්ලා නොබුරයි" වගේ...
ඔයිට අමතරව විලි ලැජ්ජා හිතෙන දිව පැටලිලිත් වෙලා තියෙනවා. ඉංග්‍රීසි සාහිත්‍ය පන්තියෙදි "Pride and Prejudice " නවකතාවෙ කොටසක් කියවන්න දුන්නා. ඒකෙ එක තැනක කතා නායිකාව වන එලිසබෙත්,දුෂ්ටයා වන විකම් එක්ක කතා කර කර ඉන්නකොට තරහ වැඩි කමට තමන්ගෙ තොල හපාගෙන නිෂ්ශබ්ද වෙනවා. හරිම උද්වේගකර අවස්ථාවක්. කියවන අපිටත් කේන්ති යනවා. ඒත් මම මේ කෑල්ල කියවනවත් එක්කම මුළු පන්තියම දෙදරුම් කන හිනාවක් ආවා. ඔළුව උස්සලා බලද්දි ටීචත් බඩ අල්ලගෙන හිනා වෙනවා. බැලින්නම් "She bit her lip" වෙනුවට මම කියවලා තියෙන්නෙ "He bit her lip" කියලා.

තවත් දවසක් මම බස් එකේ යනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ ලොකු බැනර් එකක් දාලා "උපත් පාලන සතිය" කියලා. මේ මොන මගඩියක්ද කියලා හිත හිතා ආපහු එන ගමන් ආයි පාරක් හොඳට බැලුවා. ඒ උපත් පාලන සතිය නෙවෙයි පලාත් පාලන සතිය. තවත් දවසක් බස් එකේ යනකොට බස් රථයේ පොඩි ස්ටිකර් එකක් අලවලා තියෙනවා "" (මාතෘ ප්‍රවාහන අමාත්‍යංශය ??) අනේ වාසනාවන් කියලා හිතාගෙන තව ටිකක් විපරමින් බැලුවාම ඒ "" (අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශය )

කියැවෙන පැටලීම් විතරක් නම් මදෑ, පැටලිලා ඇහෙන දේවලුත් එමට තියෙනවා. "ආදරයයි කරුණාවයි ගිනි වැටියයි මා සිත පාරයි" කිය කියා රුක්මණී දේවි පහන වටේ යනකොට මම හිතුවෙම අර පහනෙ රස්නෙ උහුල ගන්න බැරි කම තමයි ඒ කියන්නෙ කියන්නෙ.සෑහෙන කාලෙකට පස්සෙ තමයි දන්නෙ ඒ ගිනි වැටිය නෙවෙයි "හිමි බැතිය " තමයි එයාට වද දෙන්නෙ කියලා.(හැබැයි ලැජ්ජා වෙන්න දෙයකුත් නෑ. රොඩ්නි වර්ණකුල මහත්මයා දවසක් රූපවාහිණී වැඩසටහනක කියලා තියෙනවා එයාට ඒක ඇහුනෙ "ඉබි පැටියයි" කියලලු ) . රුක්මණී දේවියව වරදවා වටහා ගත්ත තව අවස්ථාවක් තමයි "මැවිලා පෙනේ විරූපේ". හැබැයි ඒකට නම් වරද මගෙ අතේ නෙමෙයි. අහලම බලන්නකෝ.

"රන් සමනල ජෝති ගෙ බාගේ" කිය කියා රන්ජන් රාමනායක ඩිලානි අබේවර්ධනත් එක්ක නටන සිංදුවක් ඉස්සර රූපවාහිණියෙ විකාශනය වුනා. මම හතර වසරෙ ඉන්න කාලෙ ගීයෙන් ගීය වටයකට ඕක කියන්න ගිහින් මට එහා පැත්තෙ හිටිය ලමයා මාර කින්ඩි හිනාවක් දාල කිව්වෙ නැද්ද "රන් සමනල ජෝඩුව වාගේ " කියලා. "ජෙනුයින් මන් වී" වගේ මඥ්ඥං වචනයක් සිංදුවක් මැද්දට දැම්මෙ කවුද  කියලා කාලයක් හිත හිතා හිටි මට කවුරු හරි කිව්වා ඒ තියෙන්නෙ "එනු ඉක්මන් වී - මා වෙත ලංවී" කියලා. "අපූර්ව සහෝදරර්ගල්" චිත්‍රපටියෙ "උන්න නෙනචේ" කියන ජනප්‍රිය ගීතය නිසා දමිළ භාෂාවෙනුත් සිංහල භාෂාවෙනුත් කඟවේනා ට කියන්නෙ එකම නම කියලයි මම හිතාගෙන හිටියෙ.මොකද මට ඒක ඇහුනෙම "කඟවේනා ආවේ" කියලයි..

ඒ ඔක්කොමත් හරි මේ ළඟදි ඉඳන් මේ ගතිය වැඩියි වගේ. වාහන ගන්න සුදුසු අය ගැන වැඩිහිටියෙක් කියපු වැදගත් කතාවක් මට පැටලිලා ඇහුණෙ වාහන ගන්න සුදුස්සොයි නුසුදුස්සොයි කියලා ජාති දෙකක් ඉන්නවා කියලනේ. ඒ මදිවට දොස්තරලා කියන්නේ අවලම් ජාතියක් කියලා ඇහුණා. ඒ මදිවට දේශපාලුවන්ගේ පදේට නොනටන නම්බුවට ගරු කරලා නිලයෙන් අයින් වෙන රාජ්‍ය නිලධාරී තුමෙක් ගැනත් ඇහුණා. දැන් නම් ඉතින් කන් දෙක බලවාගන්න කාලෙ හරි වගේ. මම මේ බයේ ඉන්නෙ කනේ අමාරුවක් නෙවේ මොලේ අමාරුවක් කියයි කියලා....ඒ නිසා මම මටම බූවල්ලෙන් තලාගෙන බලනවා ලෙඩේ හොඳ වෙයිද කියලා. බැරි වුනොත් නිට්ටාවට හොඳ වෙන්න බේතක් (මට ) ලැබෙයි වගේ.. 

Thursday, May 19, 2016

අඬහැරය....(මේ කමතට ගොඩවී යන්නයි....)

ලාභ අලාභ නින්දා ප්‍රශංසා යස අයස ආදී ලෙස අටලෝ දහම පෙරලෙන දිහා බොහොම සීරුවට බලාගෙන පොඩි සිසිර තාරක නින්දකට වැටිලා ඉන්නවා. මහ වැහි වැටෙනකොට මගේ කම්මැලි හිත ඒ ධ්‍යානෙන් එකපාරට මිදෙනවා. වළාකුලක හැංගිලා හිටපු ඉර දෙයියො ආපහු ලෝකෙ දිහා එබිකම් කරනකොට මටත් බ්ලොග් අවකාශෙට එබිකම් කරන්න හිතෙනවා. අවුරුදු තුනක් තිස්සෙ පුරන් වෙන්න ඇරපු කෙතක් වගේ මගේ බ්ලොග් අඩවිය පාළුවෙලා ගිහින්. දැන් ඉතින් වපුරන්න කාලෙ හරි කියලා හිතෙනවා.

මේ අවුරුදු තුනට ගොඩක් දේවල් වෙනස් වුනා. කාලයක් හිත රිදවපු දේවල් මිහිරි මතක බවට පත්වෙනවා. ජීවිතේ සමහර දේවල් නොලැබී යාම වාසනාවක් කියල හිතෙන්න පටන් ගන්නවා.ජීවිතේ දිහා බලන විදිහ කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ජීවිතේ සුන්දරද මෙතරම් කියලා හිතෙනවට වඩා ජීවිතේ කොයි තරම් විචිත්‍රද කියලා හිතෙනවා. සැප දුක දිහා උපේක්ෂාවෙන් බලන්න ටිකෙන් ටික ඇහැ සකස් වෙන හැටි මටම දැනෙනවා.

මගේ ලෝකෙ වීරවරිය වුණු මගේ ආච්චි අම්මා අවුරුදු අනූ පහක් ආයු වළදලා ජීවිතෙන් සමුගන්නවා. බලාපොරොත්තු නොවුණු දෙයක් නොවුනත් මගේ හිත පුංචි කෑලි ලක්ෂ ගාණකට කැඩිල යන හැටි මට දැනෙනවා. නෑදෑ කමකට වැඩි යාළු කමකින් ජනූ අක්කා අපේ දිහාවෙ එනවා. වැඩ කටයුතු බහුල වෙලාවක උනත් මං වෙනුවෙන් කැප කරපු ඒ පුංචි කාලය මට හරියට දැනෙනවා. අවමංගල උත්සවය දවසෙ සෙනඟ ගොඩ පීරාගෙන මතුවෙන දිනේෂා අක්කා මගේ අත් දෙකෙන් අල්ලගන්නවා . මෙච්චර වෙලාවක් තිස්සෙ නොතිබුණු හයියක් මගේ හිතට එනවා. ඥාති මිත්‍ර කම් ගැන මානව සබඳතා ගැන  මගේ ඇහැ අළුත් වෙනවා.

අපි ගත කරන අවසාන දින ගණන කියලා දැනෙනකොට ඇස් දෙකෙන් වැටෙන කඳුළු නවත්තන්න මම ආච්චි අම්මටගෙ පිටට තුරුළු වෙලා ඉන්නවා.අවුරුදු අනූ පහක් ගිහින් දුර්වල වුනත් මම කියන ගණන් ආච්චි අම්මා මනෝමයෙන් එකතු කරනවා. ගුත්තිලයේ සුරඟන වැනුම මටත් වඩා අගේට ගායනා කරනවා. ඒ අතරේ තමන්ම හදපු විහිළු කවිත් කියනවා."මම ගියාම ඔයා තමයි තනිවෙන්නෙ " හැමදේම අතරෙ ඇගේ මුවින් පිට වෙනවා. දරු මුණුපුරෝ සේරම වට කරගෙන කැත කුණු ඇදලා ආදරෙන් බලාගත්තත් "ඔයා විතරයි මට ආදරේ" කියල ඇගේ මුවින් කියවෙනවා. උදේ රස්සාවට ගිහින් හවස ගෙදර එන මගෙ අතින් කෙරෙන යුතුකම් කොටස හරිම සීමිතයි. "කොටන් අදින අලි යි පෙරහැරේ යන අලි යි කියලා ජාති දෙකක් ඉන්නවනේ " අනිත් අයගෙ ඒ විහිළුව ඇතුලේ නෝක්කාඩුවක් තියෙනවා.

නොහිතූ නොපැතූ වෙලාවක එක පාරටම මගේ ජීවිතයට කෙනෙක් ලං වෙනවා. මං තනි නොවෙන්න ආච්චි අම්මා වග බලාගත්තා කියලා මට හිතෙනවා. මම ප්‍රාර්ථනා කරපු හැමදේම ඒ විදියටම දැනගෙන හිටියෙ ඇය විතරමයි කියලා මම දන්නවා. ඒ සියළු දේ අඩුවක් නැතුව තියෙන කෙනෙක් වෙන කාට වත් හොයලා දෙන්න බෑ කියලා මම දන්නවා.අපේ ගිවිසුමත් ඇයට මතක ඇතියි කියලා මම හිතනවා. ආච්චි අම්මා නික්මිලා හරියටම අවුරුද්දක් ගිය තැන අපි විවාහ වෙනවා. ජීවිතය වී හමාරයි කියලා හිතපු දේවල් එහෙම නෙවෙයි කියලා මම දැන් අත්දැකීමෙන් දන්නවා. ඒ දේවල් එහෙම සිදු නොවුණු එක කොපමණ හොඳද කියලා හිතෙනවා. ලෞකික මට්ටමෙන් අත්හැරීම සහ අළුත් වීම ගැන වෙනස් මානයකින් බලන්න මම පුරුදුවෙනවා. ගේහසිත ප්‍රේමයක තිබෙන ගැඹුරුබව දැනෙන්න ගන්නකොට පරම්පරා ගණනක දෙමව්පියන්ගේ කැපකිරීම් වගකීම් ගැන අමුතුවෙන් හිතන්න පෙළඹෙනවා.

ජීවිතය දිහා බොහොම අපූරු විදියට බලන අළුත් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි මට ලැබෙනවා. ඉංග්‍රීසි,දමිළ,හින්දි,ජර්මන් භාෂා වතුර වගේ කතා කළ හැකි තාත්තා සක්‍රීය බෞද්ධයෙක්. ජීවිතේ විඳිමින් තාමත් අළුත් දේ ඉගෙන ගනිමින් ඉන්න තාත්තා හොඳ කලාත්මක ඇහැක් තියෙන කෙනෙක්. පීඩනය යටතේ දියුණු වෙන හැටි තාත්තා ආදර්ශයෙන්ම කියා දෙනවා.ඉගෙන ගැනීමට මගේ හිතේ තියෙන ආශාව නව මානයකට යනවා. කොළඹ පවුලක සැපට හැදුණු අම්මා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක් වෙනවා. හිතේ කුහක කමක් ගෑවිලාවත් නැති කියන දේ හයියෙන්ම මූණටම කියන අම්මා මට සරල කම දිහා නැවත වතාවක් බලන්න කියා දෙනවා.

වතාවක් ලකීට ගුරුවරයෙකු නොපැමිණි පන්තියක් ලැබෙනවා. විෂය සම්බන්ධීකරණය කරන පුද්ගලයා මගේ මූණටම කියනවා "අදට මොනවහරි කරලා දාන්න" කියලා. නමුත් දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න අකමැති වෙන මම මගේ කාර්යභාරයෙන් එහා ගිහින් අදාල විෂය අමුතුවෙන් ඉගෙන ගෙන මුළු ශාඛාවෙන්ම ඒ විෂය දන්නා දෙවැනියා වෙනවා. නොසිතූ ලෙස ඒ නිසාම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ දරුවන්ට උගන්වන්නට ඉඩ ලැබෙනවා පමණක් නෙවෙයි ඒ හරහා මා හට අනන්‍යතාවක් ගොඩනැගෙනවා.නිවසේ සිටම මගේ ආර්ථිකය ගොඩ නගාගන්නට මට පිටිවහලක් ලැබෙනවා

ලකී වාසනාවන්තයි කියලා හැමෝම කියනවා. නමුත් ලකී වාසනාවන්ත වෙන්නෙ භෞතික දේවල් වලින් විතරක් නෙමෙයි කියලා ලකී දන්නවා. ලකී හැමවිටම අලුතින් යමක් ඉගෙන ගන්නවා. ලකීට කල්‍යාණ මිත්‍රයෝ ලැබෙනවා. ලකී වැරදීම් වලින් ඉගෙන ගන්නවා අළුත් වෙනවා. මම වෙනුවෙන් වගේම මගේ ඒ කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙන් මම ආයිමත් ලියනවා. ඉස්සර වගේම සුපුරුදු ලෙංගතුකමෙන් ගුණ අගුණ දක්වන්න කියලා ඉල්ලා හිටිනවා