Thursday, January 31, 2013

පර්සිගේ ඇඟිල්ල - උපදේශාත්මක කතා පිංච


කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්න හිතුවා. පාළුවට ඇරලත් බෑනෙ බොලේ. ඒත් ඉතින් ලකී ඔහෙ තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමති හොඳ ළමයෙක් නිසා ඔය රයිගම ලා වගේ බර සාර මාතෘකා ගැන කතා කරන්න දන්නෙත් නෑ. ඒ වෙනුවට මම තීරණය කළා බාල තරුණ මහළු කාටත් එක වගේ වැදගත් වන උපදේශ කතාවක් ගේන්න. මේ ටිකේම මම බලපු චිත්‍රපටිවල තිබුණා වාක්‍යයක්. ඉතින් මාත් හිතුවා මම ලියන කතාවටත් එහෙම දැම්මොත් ටිකක් ගතියක් එයි කියලා.
ඔන්න එහෙනං කතාව පටන්ගන්නයි යන්නෙ!
(මෙහි එන සියළු චරිත පරිකල්පනයෙන් ප්‍රබන්ධිත ඒවා වන අතර, සුජීවත් හෝ මියගිය යම් පුද්ගලයෙකුට සමාන කමක් දක්වයි නම් එය සපුරා අහඹු සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න.)
ඔන්න එකමත් එක රටක එකමත් එක පාසැලක ප්‍රධාන ශිෂ්‍ය නායක වුණේ පර්සි කියලා ලමයෙක්. පර්සි කොහොමත් චන්ඩියෙක් බව දන්න නිසාදෝ කවුරුත් පොඩ්ඩක් පරිස්සමෙන් තමයි වැඩ කළේ. මොනවා කළත් විදුහල්පති හාමුදුරුවො පර්සිට හොඳ චරිත සහතිකයකුත් දීලා තිබුණෙ. බුද්ධාගම විෂයටත් පර්සිට ලකුණු හොඳට තිබුණා. පර්සි හරිම වාසනාවන්ත දරුවෙක්. එයාගෙ අයියලා මල්ලිලා ඔක්කොම එයාට හරියට උදව් කරනවා. ඒ විතරක්යැ, ඉස්කෝලෙ හිටිය සංගීතෙට, නාට්‍ය වලට, ක්‍රීඩාවලට දක්ෂ කට්ටිය එහෙමත් හරියට පර්සිට ආදරෙයි. කලින් වතාවක් ප්‍රධාන ශිෂ්‍ය නායක වෙලා ඉඳලා ව/ල මධ්‍ය මහා විද්‍යාලෙට ගිය රිචඩ් අයියත් එක්ක තරහ කට්ටියටත් පර්සිට වඩා හොඳ කෙනෙක් හිටියෙම නෑ. ඒ විතරක් නෙවෙයි මෙච්චර කාලෙකට හැම එකාටම කොකම් කර කර හිටිය සූරියසේකර ට හොම්බ රිවට් වෙන්නම ගහපු නිසාත් තව කට්ටියක් සද්ද නැතුව හිටියා. අඩුම ගානෙ පර්සි ඒ ගොල්ලන්ගෙ කෑම පෙට්ටි වලින් කෑම අරන් කෑවත් මුකුත් කිව්වෙ නෑ.
හැබැයි පර්සිටත් ඉතින් ප්‍රශ්න නැතුවම නෙවෙයි. මේ ළඟදි ඉඳන් පර්සිට තේරුණා ශිෂ්‍ය නායක මණ්ඩලේ විනය මණ්ඩලේ ප්‍රධානියා එන පොට හොඳ නැති බව. තමන්ගෙම යෝජනාවෙන් පත්වෙච්ච ශ්‍රියාණි මෙහෙම දෙයක් කරයි කියලා හීනෙන් වත් නොහිතපු පර්සිට හීන් දාඩිය දැම්මෙ, තමන්ගේ ප්‍රධාන ශිෂ්‍ය නායක කමටත් ලොකු තර්ජනයක් තියෙන බව දැනුණු නිසාමයි. අන්තිමේ පර්සි තමන්ගේ හිතවත් කට්ටියට කතා කරලා මේ ගැන කිව්වා. වටු වැද්දගෙ දැළ ඔසවාගෙන ගිය වටුවො ටික වගේ එකමුතුව වැඩ කරලා ශ්‍රියාණිව එළවලා දාන්න  කතිකා කරගත්තා. කතිකා කරගත්ත හැටියටම කෙරුණා කියමුකො.දැන් ඔන්න පර්සිට ආරංචි වෙනවා කට්ටිය තැන තැන කසු කුසු ගානවා. සමහරු නම් පර්සිගේ මූණටමත් මේ ගැන කිව්වා. දැන් තත්වෙ ටිකක් උණුසුම්. දවසක් විද්‍යා පන්ති කාමරේදි මේ ගැන කතාවක් ඇදිලා ආවා. විද්‍යාව ගුරුතුමා මේ ප්‍රශ්නෙ දිහා හොඳ විමසිල්ලෙනුයි හිටියෙ. පන්තියෙ රණ්ඩුවකට සැරසෙන බව දැන ගත්ත ගුරුතුමා පර්සිව පන්තිය ඉස්සරහට කැඳෙව්වා. අනිත් අයත් දැන් කට ඇරගෙන බලාගෙන ඉන්නවා.
පන්තියෙ බිත්තියෙ ලොකු හිලක් තිබුණා. ගුරුතුමා පර්සිගෙ  ඇඟිල්ල අතින් අල්ලලා හයියෙන් අර හිල දිහාට තල්ලු කළා. පර්සිත් සද්ද නැතුව හිටියා. ගුරුතුමා හිල ළඟදි ළමයින්ගෙන් අහනවා " මේ යන වේගෙන්ම ගියා නම් ඇඟිල්ලට මොනවා වෙයිද? " කියලා. "මුකුත් වෙන්නෑ සර්, ඇඟිල්ල හිල ඇතුලට යනවා" ළමයි කිව්ව.
ඊළඟට ආයිමත් පර්සිගෙ අතින් ඇදලා ගත්ත ගුරුතුමා අර වේගෙන්ම කිසිම පළුද්දක් නැති බිත්තිය පැත්තට ඇඟිල්ල අරන් ගියා. බය වෙච්ච පර්සි ඇඟිල්ල ඇදල ගත්තා. "මොකද පර්සි?" ගුරුතුමා පුදුමෙන් වගෙ ඇහුවා. "සර්ත් මාර කතාවක් නෙ කියන්නෙ. මේ බිත්තියෙ වැදුනොත් මගෙ ඇඟිල්ල කඩලා යයි" පර්සි කිව්වා.
ගුරුතුමා හිනා වුණා.
"දැක්කද, පළුද්දක් නැති තැනට කවුරුත් ඇඟිල්ල දාන්නෙ නෑ. ඒ නිසා පළුද්දක් නැති වෙන්න වැඩ කරන එක හොඳයි පස්සෙ නාහෙන් අඬනවට වඩා! " පන්තියෙ එවුන් කට වහ ගත්තා.