Showing posts with label කයි කතන්දර. Show all posts
Showing posts with label කයි කතන්දර. Show all posts

Saturday, November 26, 2011

බරණ ගණිතයා සහ මුදලිවරු


මෙන්න මගේ (නෙවෙයි ආතාගේ) කයි කතන්දර පොතෙන් තවත් කතාවක්.
රාජාධිරාජසිංහ කාලෙයේ බරණ ගණිතයා නම් ප්‍රසිද්ධ කවියෙක් දකුණු පළාතේ සිටියේය. කව් බැඳීමෙහි මෙන්ම නැකැත් ශාස්ත්‍රයෙහිද මොහු ඉතා හපනෙකි.පහත් යැයි සම්මත ගෝත්‍රයක උපන් නමුත් මේ දක්ෂ කම් නිසා කවුරුත් ඔහුට ගරු කළෝය. වස් කව් කීමෙහි ද සමත් නිසා කවුරුත් ඔහුට බිය වූහ. සැබවින්ම බරණ ගණිතයා හෙළ බසට උපකාර කළ හොඳ උගතෙකි.
දිනක් බරණ ගණිතයා යම් කිසි වුවමනාවකට මුදලි වලව්වට ගියේය. ඒ කාලේ මුදලිවරු දැනටත් වඩා අභිමානයෝය. ගණිතයා යනවිට මුදලි තැන තවත් උසස් මිතුරන් කීප දෙනෙකු සමඟ කමින් බොමින් ප්‍රීති වෙමින් සිටියේය. ගණිතයා දුටු මුදලි තැන,
"හා මේ ගණිතයාත් ඇවිත් ඉන්නේ, බොහොම හොඳයි ආ වෙලාව " කියමින් ගණිතයා දෙසට හැරී,
"කියාපිය ගණිතයෝ අපට ස්තුති කවියක්" යැයි කීවේය.
බරණ ගණිතයා කවියක් කීවේය. මුදලි තැනත් ඔහුගේ මිතුරෝත් ඉතා සතුටුව ගණිතයාට තෑගි බෝග දී යැව්වේය. ගණිතයාගේ කවිය මෙසේය,

පෙර රැස නඟා පළහා අන්තිම රාසී
නොමරැස සිටි ගහන් දස එක් වන රාසී
යුග රැස වන් දනෝ එකතුව කර පෑසී
පස රැස ලෙසින් විකුමෙන් බස් දෙති වාසී

පෙර රැස- මේෂ රාශිය -මේසය
අන්තිම රැස- මීන රාශිය - මාළු
නොම රැස- රාහු -රා (රාහුගේ සංකේතය මෙයින් වෙනස් ය )
දස එක්වන රාසි-කුම්භ රාශිය - කළය
යුග රැස - වෘෂභ රාශිය - ගොනා
පස රැස- සිංහ රාශිය- සිංහයා

මේ සියල්ල එක් කළ විට කවියේ තේරුම මෙයයි'
මාළු පුළුස්සා මේසේ උඩ තබාගෙන කළයක රා පුරවාගෙන, කකා බිබී ගොනුන් වැනි මිනිසුන් පිරිසක් සිංහයන් මෙන් උදාරම්ව කතා කර කර සිටිති යන්නය.

Thursday, October 20, 2011

දුෂ්ඨ ඇමතිවරුන්ගේ ඉරණම (සුරංගනා කතාවකි )

මේ කතාවත් කයි කතන්දර පොතෙන්ම තමයි.හැබැයි "අරිවන්දා" වගේ මගේ වචනයෙන් තමයි කියන්න යන්නේ.
ඔන්න එකමත් එක රටක රජෙකුට ඇමතියො හතර දෙනෙක් හිටියා.(ලංකාවෙද? අනේ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව කතාව කියවනවද?) ඉතින් මෙයින් තුන් දෙනෙක්ම කපටියො.එක ධාර්මික ඇමති කෙනයි හිටියෙ.එයා තමයි මහඇමති.(හතරෙන් එකක්වත් ධාර්මික නම් ඒක හොඳ රටක් කියලද කිව්වෙ?)


ඔන්න ඉතින් අර කපටියො තුන්දෙනාට මේ ධාර්මික මහඇමතිව පේන්න බෑ.ඉතින් මේ තුන්දෙනා එකතුවෙලා සය කන් මන්ත්‍රණයක් හෙවත් කුමන්ත්‍රණයක් දාලා රජයි මහඇමතියයි තරහ කරන්න කල්පනා කළා.
එහෙම කරලා රජතුමා මුණගැහෙන්න ගිහිල්ලා මෙහෙම කියනවා.


"දේවයන්වහන්ස,අපේ මහ ඇමතිතුමා කවි හදන්න හරිම දස්සයි.එතුමාට කියලා ඔබතුමාට සෙත් කවියක් සාදවා ගනු මැනවි"


පොතේ නැතුවට ඉතින් නැකැත්තත් මේ වැඩේ කොනක හිටියද දන්නෙ නෑ.
කොහොම හරි රජතුමත් ඉතින් මහ ඇමතිව දැක්ක ගමන්ම කතා කරල වැඩේ බාර දුන්නා.
මහ ඇමති විතරක් නෙවේ ඕන පොඩි එකෙක් දන්න දෙයක්නෙ රජ අණට පිටුපෑම මාරාන්තිකයි කියලා. හදිස්සියෙ හරි ඉබ්බෙක්ගෙන් පිහාටු අරන් එන්න කිව්වත් "බෑ" කියන වචනෙ නොකියා "එසේය මහරජතුමනි අපි කොහොම හරි ඕක කරමු" කියලා තමයි කියන්න ඕනෙ.
ඉතින් මේ ධාර්මික මහඇමතිතුමා "දේවයන්වහන්ස, මට දවසකට අවසර දුන මැනව" කියල කිව්වා.අවසරේ ලැබුණා.


දැන් මහඇමති ගෙදර ගිහිල්ල කල්පනා කරනවා කරනවා මුකුත් නෑ ඔළුවට එන්නෙ.වත්තට ගියා. මොන? ඒත් නෑ කවි සංකල්පනාවක් අහලකටවත් ආවේ. ඔහොම ගිහින් ගිහින් දන්නෙම නැතුව මහඇමතිතුමා නැවතුණේ කැලේ.
කැලේ ගහක් මුල ඉඳගෙන, පන්හිඳත් අතේ තියාගෙන හිත හිතා ඉන්න මහඇමතිතුමා දැක්ක කුළු මීමෙක් තමන් ඉන්න දිහාවට එනවා.බය වුණු මහඇමතිතුමා අර ගහට මුවාවුණා.
දැන් එහෙම මුවාවෙලා බලාගෙන ඉන්නවා.මේ කුළුමීමා තමන්ගේ ගමන නවත්තලා ළඟ තියෙන ගලක බෙල්ල අතුල්ලන්න ගත්තා.මහඇමතිතුමා හිතුවා වැඩේ හරි තමයි, මූ මේ ගලේ කර උලන්නෙ මට වරද්දන්න තමයි කියලා.
මහඇමතිතුමාට එකපාරටම කියැවුණා "කරගල ගගා එනවා මම නොදනිම්ද?" කියලා.
කොහොම උනත් මහඇමතිතුමාගේ වෙලාවට අර කුළුමීමා මහඇමතිතුමාව දැකලා තිබුණෙ නෑ.ඒ සතා උගේ පාඩුවේ වෙන අතක ගියා.
මහඇමතිතුමත් සැනසුම් සුසුමක් හෙලලා අර කවි පදෙත් පුස්කොලේ ලියාගෙන ගෙදර ගියා.ඒට පස්සෙත් කල්පනා කළා වෙන කිසිම කවියක් ඔළුවට ආවේ නෑ.


වෙන දෙයක් වෙච්චාවේ කියලා අර කවි පදේම හතර පාරක් ලියාගෙන පහුවදා උදේ රාජසභාවට ගියා.
දැන් අර කපටි ඇමතියො බලාගෙන ඉන්නවා සෙත් කවියක් නැතුව ඇවිත් මහඇමතිතුමා රාජ උදහසට ලක්වෙනකල්.මහඇමතිතුමා රජ්ජුරුවන්ට වැඳ නමස්කාර කරලා සෙත් කවිය තියෙන පුස්කොලේ දුන්න විතරයි මේ කට්ටියගේ මූණු හරියට කරත්තෙට අහුවුණු කජුලෙලි වගේ වුණා.
රජතුමාත් බොහොම සතුටින් කවිය අරගෙන කියෙව්වා.


"කරගල ගගා එනවා මම නොදනිම්ද
කරගල ගගා එනවා මම නොදනිම්ද
කරගල ගගා එනවා මම නොදනිම්ද
කරගල ගගා එනවා මම නොදනිම්ද"



දැන් ඉතින් මේකෙ තේරුම රජතුමාට තේරුණෙත් නෑ.අර ඇමතියන්ට තේරුණෙත් නෑ. ඒත් මහඇමති ඉස්සරහ තමන්ගේ නොදැනුවත්කම එළිවෙයි කියලා ඒ බව කියන්න ගියෙත් නෑ.
ඒ වෙනුවට මෙයාල කියනවා. "අපූරු යමක බන්ධනය(කාව්‍ය රචනා ක්‍රමයක්) රජතුමනි" කියල.
රජතුමාටත් මේ කවිය අපූරුවට පාඩම් හිටියා.
මෙහෙම කාලයක් ගතවුණා.දැන් අර ඇමතියන්ට හිතුණ රජතුමාටත් වැඩේ දෙන්න ඕනෙ කියලා.(හරිනෙ ඉතින්, අර කියමනකුත් තියෙන්නෙ ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නෙ කියලා.මුලින් මහඇමතිට වැඩේ දෙන්න හැදුවා ඒ මනුස්සය මේගොල්ලන්ට වඩා හොඳ හින්ද.දැන් රජතුමාට.)මෙහෙම කරල කරණවෑමියත් හවුල් කරගෙන උපායක් ඇටෙව්ව.
රජතුමාගේ කෙස් රැවුල් කපනකොට හිමින් සීරුවේ බෙල්ල කපන්න.(පස්සෙ අධිකරණයේදි අත්වැරැද්දක් කියල ඔප්පුකරන්න හිතාගෙන වෙන්නැති )
ඉතින් දැන් නියම කරගත්ත දිනය උදාවුණා.දැන් කරණවෑමියා සුපුරුදු පරිදි දැලිපිහිය මුවහත් කරන්න ගලගානවා.
රජතුමාටත් නිකමට වගේ තමන්ට පාඩම් වෙලා තිබුණු සෙත් කවිය කියැවුණා.
"කරගල ගගා එනවා මම නොදනිම්ද" කියලා කියනකොටම කරණවෑමියා හිතුවා තමන්ගේ මේ උපාය රජතුමාට අහුවුණා කියලා.හතරවෙනි පදේ කියනකොටම කරණවෑමියා වෙව්ලමින් රජු ළඟ බිමවැටිල පාපොච්චාරණය කළා.
රජතුමා අර දුෂ්ඨ ඇමතිවරුන්ට මරණ දඬුවම නියමකරල කරණවෑමියා සේවයෙන් පහකරල අර තමන්ගේ ජීවිතෙ බේරපු මහඇමතිතුමාට තෑගිබෝග සම්මාන දුන්න කියලා කතාව ඉවරකළාම, සුරංගනා කතාවක් කිව්ව කියල මට බනිනව එහෙම නෙවේ ඕං.
මේ පොතෙ තිබුණු හැටි!

Tuesday, October 18, 2011

අරිවන්දා..(දෛවය වලකන්නටම බැරි නිසා)

මේකත් ඔන්න අර කයි කතන්දර පොතේම කතාවක්. කියවන්න සතුටු අයට කියවල බලන්න පුළුවන්.
එක්තරා රජ කෙනෙකුට...මේ කතාව නම් ටිකක් දිගයි වගේ. ඉවසිල්ලෙන් කියවන්න වෙයි. මගේ වචනයෙන් ලිව්වොත් හොඳයි වගේ. ..
හරි.. එක්තරා රජ කෙනෙකුට දරුවන් වශයෙන් හිටියේ එකම දුවක් විතරයි. ඉතින් රජතුමා මේ කුමරිය ඉතාම ආදරෙන් හැදුවා.පරිවාර කාන්තාවන්ට අමතරව ඇගේ අත් පා මෙහෙවර සඳහා අරිවන්දා කියල කොල්ලෙකුත් හිටියා.
එක දවසක් කුමරිය උයන් කෙලියට යනකොට උයනේ එක තැනක විශාල පිරිසක් රැස්වෙලා ඉන්නව දැකපු කුමාරිකාව තොරතුරු හොයාගෙන එන්න අරිවන්දාව යැව්වා.අරිවන්දාත් තොරතුරු හොයාගෙන ඇවිත් කිව්වා දිවැස් ඇති තාපසයෙක් හිමාලයෙන් ඇවිත් මිනිස්සුන්ගේ අනාගතය ගැන කියන බව.
දැන් කුමාරිකාව අරිවන්දාව පිටත් කරල අරිනවා තමන්ගේ අනාගත ස්වාමි පුරුෂයා ගැන අහගෙන එන්න. හැබැයි මේ පාර ආපහු ආපු අරිවන්දා බයෙන් බිරන්තට්ටු වෙලා ඉන්නව මිස මොකුත් කියන්නෙ නෑ.
අන්තිමට කුමරිය තර්ජනය කළා "නොකිව්වොත් මරණවා" කියලා.


දැන් අරිවන්දා කියනවා "මට බයයි, ඒක කිව්වොත් මට දඬුවම් කරාවි"
"නෑ කියාපිය" කුමරිය වඩාත් කුතුහලයෙන් යුතුව කිව්ව.
"තාපසයා කිව්වෙ කුමරියගේ ස්වාමිපුරුෂයා වන්නේ මා යි කියලා"
කුමරියට අසූහාරදාහටම කේන්ති ගියා.
"බලපිය මුගෙ ආඩම්බර කතාවක හැටි" කියලා ලඟ තිබුණු පුටුවක් (ඒ කාලෙ තිබුණේ හොඳ බර ලී පුටු විතරනේ. ප්ලාස්ටික් පුටු නෑ නේ.)අරගෙන අරිවන්දාගේ ඔළුවටම දමලා අතෑරියා.

හොඳ වෙලාවට අරිවන්දා දුවන්න ලෑස්ති වෙච්ච ගමන්මයි හිටියෙ.ඒ නිසා ඔළුව පැළුනත් පණ බේරාගෙන දුවලා ගියා. ඒ දුවපු දිවිල්ල නැවතුනේ ගම් ගානක් ඈතට ගිහිලයි.
මෙහෙම සෑහෙන දුරක් ගිය අරිවන්දා බඩගින්න උහුලා ගන්න බැරුව විශාල මාළිගාවකට ගොඩවැදුණා කෑම ටිකක් ඉල්ලන්න හිතාගෙන. ඒත් ඒ විශාල මාලිගාවෙ කවුරුත් පේන්න හිටියෙ නැති නිසා අරිවන්දා මාළිගේ ඇතුලටම ගමන් කළා.මාළිගාවෙ කාමරයක් ඇතුළෙ හිටපු මහළු මිනිසෙක්ව අරිවන්දාට දකින්න ලැබුණා. මේ මනුස්සයාගේ මුළු ශරීරයම කුණුවෙලා දුඟද හමනවා.


"මම මේ නුවර සිටුවරයෙක්, මට මේ කුෂ්ට රෝගය හැඳුණා. බොහොම වෙදකම් කළ නමුත් එන්ට එන්ටම වැඩිවුණා.ඇඟ කුණු ගඳ ගහන්නට වුණාමයි වෙද්දු කීවේ සනීප කරන්නට බැරිය, මේක බෝවෙන රෝගයක්ය කියලා. පිළිකුලත් බයත් නිසා මගේ අඹුදරුවෝත් වැඩකාරයෝත් උන්ට අහුවුණු දේත් රැගෙන මග ඇර ගියා.දැන් කුණු පණු කකා ඉන්න මට වතුර පොදක්වත් නැතිව මැරෙන්ටයි වෙලා තියෙන්නේ" කියලා අර මනුස්සයා අඬන්න ගත්තා.
දැන් අරිවන්දට හරිම දුකයි.අරිවන්දා බොහොම කරුණාවෙන් අර මනුස්සයාට සැලකුවා.බේත් කොළ කොටල ඇඟේ ගැල්වුවා. අන්තිමට සාත්තුවේ හොඳ කම නිසාම සුවවුණු මේ සිටුතුමා අරිවන්දාව පුතෙක් හැටියට බාරගෙන නීති ප්‍රකාරව තමන්ගේ මුළු ධනයම පැවරුවා.


සිටුතුමා මියගියාට පස්සේ සිටු තනතුර උරුම වෙච්ච මේ කුමාරයගේ හැබෑ නම් දැන් කවුරුත් දැන්නෙ නෑ.(හරියට අනේපිඬු සිටුතුමාගේ මුල් නම සුදත්ත කියලා මිනිස්සු දැන හිටියේ නෑ වගේ). කුමාරයා ප්‍රසිද්ධ "පින්වත් සිටුතුමා" කිව්වමයි.
මේ සිටුවරයා අර කලින් තමන් සේවය කළ රජ මාළිගාව ඉදිරිපිටම ඉඩමක් අරන් පදිංචි වුණා.
රජතුමාගේ ඇසට මේ කඩවසම් සිටු කුමාරයා හරියට රසඳුනක් වගේ.ඇයි දුවට? මේ දෙන්නම දන්නේ නෑ මේ අරිවන්දා කියලා.බොහොම කෙටිකාලෙකින්ම තමන්ගේ ගුණයහපත්කමින් වගේම ධනවත් කමින් මුළු ප්‍රදේශයේම කීර්ති ගෝසාව පතුරපු මේ කුමාරයාව විවාහ කරගන්න රජ කුමරියත් හීන මවනවා. රජතුමාත් මේක දැනගෙන බොහොම සතුටු වෙලා විවාහ යෝජනා ඇරියා. සිටු කුමාරයාත් කැමති වුණා.
ඉතින් දැන් රන් රස වාගේ ප්‍රෙමෙන් බැඳී ජීවත් වෙන මේ යුවලට ලස්සන පින්වත් පුතෙකුත් උපන්නා. දවසක් සිටුතුමා තමන්ගේ දේවියට කතා කරලා හිස කසන්න කියලා කිව්වා.දේවිය හිස කසන අතරේ අර පරණ තුවාල කැලළ (ඔව් අර පුටුවෙන් ගහපු එක තමයි ) අතට දැනුණා.දැනිලා ඒගැන විමසුවා. එතකොට සිටුතුමා මේ කවිය කියනවළු,


කලකදි ළඳේ මම බොහො දුක් වින්දාය
කලකදි ළඳේ මම සිටු සැප වින්දාය
කලකදි ළඳේ නුඹ මට පෙම් බැන්දාය
දැනගන් ළඳේ මම නම් අරිවන්දාය.


මගෙන් අහන්න එපා ඊට පස්සේ මොකද වුණේ කියලා. ඒ ටික පොතේ නම් නෑ. මාත් නොයෙක් උපකල්පන ගොඩනඟල තියෙනවා. ඔයාලත් ඔයාලගේ උපකල්පන තියේනම් මාත් එක්ක බෙදා ගන්න.
ඔයාල කුමාරි නම් මොකද කරන්නේ? ඔයාලා රජතුමා නම් මොකද කරන්නේ? අරිවන්දත් අර ගම්පෙරලියෙ පියල් වගේ කියල තමයි මට නම් හිතෙන්නේ. මිනිහා ඔය රජ මාළිගේ ඉස්සරහින්ම ඉඩමක් ගත්තේ මොකටද නැත්තම්?

බොරු හතක් ඇති කවිය

අද මම හිතුවා ටිකක් වෙනස් විදිහේ බ්ලොග් සටහනක් තියන්න. ඇත්තම කිව්වොත් මේ කියන්න යන කතාව මගේ කතාවක් නෙවෙයි. මේක මම කුඩා කාලේ ඉතා ආසාවෙන් කියවපු පොතක්.නම "කයි කතන්දර". කතෘගේ නමක් නම් නෑ පේන්න. ඒත් මේ පොත ප්‍රකාශයට පත් කරල තියෙන්නේ "විද්‍යානන්ද යන්ත්‍රාලය,පිටකොටුව,කොළඹ".පිටු ගණන 38 යි. මිල රුපියල් 1.25 යි.මේ පොතේ අයිතිකරු අපේ ආතා බවත් මතක තියාගන්නෝනැ හොඳද? මේ පොතේ අපූරු කතා ගොඩක් තියෙනවා. ඒවා නිකම් ජනකතා රසකතා වගේ දේවල්. ඉතින් මම මේ කතා ගේන්නේ පොතේ පිළිවෙලට නම් නෙවේ. මෙන්න පළමුවන කතන්දරය.
"කතන්දර සභාවට පැමිණි ඔබ සැම අප ඉතා ආදරයෙන් පිළිගනු ලබනවා. අපි අද කියන්නට යන්නේ...බොරු හතක් ඇති කවිය ගැනයි"...

බොරු හතක් ඇති කවිය


ලෝකුරු නයිදේ නම් තැනැත්තා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කවිකාර මඩුවේ සිටි කවීන්ගෙන් එකෙකි.කවිකාර මඩුවට කවීන් රැස්කරවා, නොයෙක් කව් සින්දු කියවා ප්‍රීතිවීම රජුගේ සිරිතකි.
දිනක් කවීන් රැස්ව සිටින විට රජතුමා හදිසියෙන්ම කතාකොට
"බොරු හතක් ඇති කවියක් කියාපල්ලා. කිවු අයට තෑගි ලැබේ" යැයි කීය.
සෙස්සෝ නිශ්ශබ්දව සිටියෝය. ලෝකුරු නයිදේ නැගිට,

"කිලි කුණු නැති වඳිගෙ පුතෙක්-ඇඳගෙන නිල් වලා කඩක්
මිරිඟු දියෙන් ස්නානය කර-පැළඳ දිඹුල් මල් වඩමක්
තුරඟ අඟින් රතය තනා-අඹරා ඉබි ලොමින් යොතක්
කුහුඹු අගින් රතය තනා-දැක්කිය සුරපුරට උදක්"


යන කව කීවේය.

සමහර විට කාට හරි මේකෙ තේරුම නොතේරුණොත් කියලා ඔන්න මම පැහැදිලි කරන්නම්.

1.වඳ ගැහැණු කෙනෙක්ට පුතෙක් ඉන්න බෑනේ
2.මිරිඟුව වතුර වගේ පේන මායාවක් නිසා ඒකේ නාන්නත් බෑ
3.දිඹුල් කියන ගසේ ගෙඩි මිස මල් හට නොගන්නා බවයි පිළිගැනීම
4.අස්සයන්ට අං නෑ, ඒ නිසා ඒවායින් රථයක් හදන්නත් බෑ
5.ඉබ්බන්ට ලොම් නැති නිසා ඒවායෙන් කඹයක් අඹරන්නත් පුළුවන් කමක් නෑ
6.කූඹින්ටත් අං නෑ.
7.ඒවගේම තමයි පණපිටින් සුරපුරට යන්නත් බෑ (ඒ ඒ ඒවා ඔට්ටු නෑ.මම නෙවේනේ පොත ලිව්වේ. ඉතින් ගුත්තිල පඬිතුමා පණ පිටින් දිව්‍යලෝකෙ ගිය කතාව කියපු අයගෙන් අහගන්න.)