Showing posts with label හිතට හිතෙන කවි. Show all posts
Showing posts with label හිතට හිතෙන කවි. Show all posts

Tuesday, June 14, 2016

පිංගුත්තර විනිස

(පහත ඡායාරූපයේ ඇති කවියට පිළිතුරකි.)


නොරිසි නම් පිරිමියෙකු සතු එඩිය              පෙන්වලා
 දමා එන්නට තිබුණෙ සිප් හලේ                 රඳවලා
 නැතොත් සරණක් ලැබෙන සේ තැනක     රඳවලා
 වෙන්ව යන්නට තිබුණෙ ගරු සරුව          පෙන්වලා

 නොහැකියාවේ තරම වසන් කරගනු          රිසින්
මඟ මියෙන සේ වසන් කරන සේ දන         ඇසින්
 දිඹුල නංවා කටුද අතුරවා සැම                 දෙසින්
පලා යන්නේද හරි හමන් මිනිසෙකු           විසින්?

 උගත් සැම ශිල්පයන් වෙතත් සැම           අභිබවා
යෙදුම නොඋගත් බැවින් උදැල්ලට           පණ පොවා
 පොළොව කොටමින් දිවිය සරි කරන       විට පවා
 නොආවෙද පසු පසින් කරපු පවු               රෑ දිවා

 තමන් බැරි කම වසා ඇඳුරිඳුට දොස්          තබා
 සිරි අතැර කාලකන්නිය සමඟ ගොස්        එදා
 අද පැමිණ නිදොස් බව අයදිතත් මැද        සබා
 තවත් එහි වරද පිංගුත්තරගෙ අත             තමා..


මේ ගීතයේ පෙර වාදනයේ රථවාහන හඬ අපූරුවට නිරූපණය වෙනවා.

Tuesday, May 29, 2012

ඔබට......




සෑමදා දුටු දසුන් තුළ වුව ඇතිවුණා නව මිහිරියාවක්
එදිනෙදා සිදුවූ දෙයක වුව මතුකළා රස බර කතාවක්
දෙනෝදාහක් අතර සිටියද සිතට දැනෙනා හුදකලාවක්
සමඟ තනිවෙමි මුවඟ රඳවා හදවතින් නැගෙනා සිනාවක්

දින පුරාවට මනස වෙහෙසූ විඩාබර මතකයන් ගොන්නට
ඉසිඹුලන්නට එකම මොහොතක් ජීවිතය රිසි සේ විඳින්නට
මඟ බැලූයෙමි රුව දකින්නට නැතොත් කටහඬ හෝ අසන්නට
ඔබේ දෙනෙතින් ලොව දකින්නට ඔබේ සවනින් ලොව අසන්නට

දුර නොයා ළඟ නැවතුණත් ඒ පැමිණි මඟ සිත නිවාලයි
ඔබ සිටින තැන එදා වාගෙම අඳුර බිඳලන දවාලයි
පෙරදි දුටු ඇස වෙනස් වූ මුත් ඉතින් හද දුක් හමාරයි
හිමි නොවී අහිමිව ගියත් ඔබ ජීවිතය වී හමාරයි

Saturday, March 12, 2011

ඔබ මම සහ මගේ රැජිණ




ඔබට මා පෙම් කළ තරම් ඔබ නොදනිතත් ඇය එය දනී
ඔබ නිසා විඳි වේදනා ඔබ නොදනිතත් ඇය එය දනී
සඳ තරු වලට දුක කියා වැලපුණු මගේ හඬ ඈ හට ඇසී
මා වෙතට ඈ පැමිණි'යුරු ඔබ මෙන්ම හෙට මුළු ලොව දකී

මගේ හදවත ගැහෙන රිද්මය ඇගේ හද වෙණ පිරිමදී
එයින් නැගෙනා මිහිරි ස්වරයෙන් වසන්තය එයි නොමරැඳී
මගේ දෑසින් ලොව දකී ඈ- සැනසුමට එය වුව ඇතී
දැන් ඉතින් ඔබ පමා වැඩි යැයි පලක් නෑ ඔබ පසුතැවී

ඔබේ ලොව මෙන් ඇගේ ලොව එලි කරන්නේ රන් මසු නොවේ
සැමට පොදු හිරු සඳු නැගී ඇගෙ දිරිය ලෝකය ඔප වැටේ
සැනසුමයි සහනයයි අතරේ ගොඩනැගෙන හද මන්දිරේ
රැජිණියයි ඈ හෙට දිනේ සිට මතු මතුත් මගෙ ජීවිතේ.

Friday, September 3, 2010

මගෙ කවිය


ළා හිරුගෙ රන් කිරණ
නිල් ගොයම් දළු සිඹින
විටදි ඉපදෙයි එතන මගෙ කවිය - මගෙ කවිය

සුමුදු පෙණ කැටි ඉසෙන
නිල් සයුර වෙරළ මත
හැපෙන විට පැන නඟින මගෙ කවිය - මගෙ කවිය

පුදබිමක හද බැතින
වැඳ වැටෙන බැති සිතක
ළඟ රැදේ හැම විටක මගෙ කවිය - මගෙ කවිය

කම්හලක වැඩ බිමක
ගත සවිය පුද කරන
දිරිය සිතකට පුදමි මගෙ කවිය- මගෙ කවිය