
ඉතින් එදත් සුපුරුදු පරිදි මේ මනුස්සයා අර කෙසෙල් පඳුරෙ කොළ ටික සද්ද කරලා තමන් ආපු බව දැන්නුවට මොකද එදා මනප්පු වෙනදට කලින් කම්මලේ වැඩ රාජකාරි ඉවර වෙලා ගෙදර ඇවිල්ලයි හිටියෙ. ඇඟපත සෝදගෙන කෑම කන්න සූදානම් වෙනකොටම කෙසෙල් පඳුරෙ කොළ හෙලවෙනවා ඇහිච්චි මනා පොඩ්ඩක් විමසිලිමත් වෙච්ච හැටි මනා ගෙ බිරිඳ දැක්කා. දැන් එළියට නොගිහින් සැක නොහිතෙන විදිහට පණිවුඩේ දෙන ක්‍රමයක් කල්පනා කරපු බිරින්දෑ මේ වෙනකොට නින්ද ගිහින් හිටිය තමන්ගෙ අත දරුවව කොනිත්තලා අඬන්න සැලැස්සුවා. ඊළඟට ළමයව නළවන්න වගේ අතට ගත්තු ඈ මේ කවිය ගායනා කළා.
"යකඩ මනා විත් මෙගෙයි සිටින්නේ
සර සර ගා කුමටද සොලවන්නේ
උඹත් නසාලා මාත් නසන්නේ
දෙන්නම නොනසා උඹ පලයන්නේ"
පණිවුඩේ හරියටම සන්නිවේදනය වුණා. කෙසෙල් පඳුර ළඟ හිටපු තැනැත්තා හෙමින්ම මාරු වුණා. හැබැයි කනින් කොනින් මේ වෙනකොටත් ඇහෙමින් පැවතුණු දේවල් නිසා මනාට නම් යක්ෂාවේෂ වුණා. කමින් හිටපු බත්පතත් පැත්තක තියපු මනා
"මොකක්ද බොල ඒ දැන් කී හරුපෙ- කාටද තී ඒ කීවෙ?" ගාලා නද දී ගෙන බිරිඳ ළඟට ආවා.
ඒ ඇත්තිත් මොකුත් නොවුනා වගේ හිනාවෙලා කියනව,
"ඇයි වදේ, මේ කවිය අහලා නැද්ද මීට ඉස්සර? මේක බිලී කොක්කෙ අමුණපු පණුවා මාළුවාට කියන කවියක්. මේකෙ තේරුම තමයි මගේ ඇඟ ඇතුලෙ යකඩ මනාවක් තියෙනවා. උඹ දැන් මේ ඇම ගිල්ලොත් උඹයි මායි දෙන්නම මැරෙනවා. ඒ නිසා මේ ඇම ගිලින්නැතුව පළයන් කියලා"
මේ විදිහට කවියෙ තේරුම කියල දුන්නට පස්සෙ ආයිමත් මනාගෙ බිරින්දෑ කියාපි, "කොහෙද ඉතින් ඔහේ යකඩ එක්කම ඔට්ටු වෙන්න ඉගෙන ගත්ත මිසක් පතක පොතක තියෙන දෙයක් දන්නවයැ. නිකම් දරුවත් බය වුණා ඔහෙගෙ කෑගැහිල්ලට" කියලා.
අනේ ඉතින් මනප්පුට හරියට ලැජ්ජා හිතුණා තමන්ගේ මොඩකම ගැන. ඒ වගේම හරි ආඩම්බරයි තමන්ගේ බිරින්දෑ මේ වගේ උගත් කෙනෙක් වෙච්ච එක ගැන. හැඩි දැඩි මනා මොඩ හිනාවක් පාලා ආයිම ගිහින් බත්පත අතට ගත්තෙ ආපහු නම් මේ ඉරිසියාකාර මිනිස්සු මොනවා කිව්වත් තමුන්ගෙ උගත් බිරිඳ සැක කරන්නෙ නෑ කියලා එක හිතින්ම හිතාගෙන.