Showing posts with label ජීවිත වීර චාරිකා. Show all posts
Showing posts with label ජීවිත වීර චාරිකා. Show all posts

Thursday, November 22, 2012

රහ වැටුණු බූට් එක!


විචාරක මහත්තයාගේ වෝටර් පොලිෂ් පාඩම දැකපු දවසේ ඉඳලාම පෙරුම් පුරාගෙන හිටපු මේ වැඩේ අන්තිමට ඉෂ්ඨ වුණේ ගිය සිකුරාදාය. අපරාදේ කියන්න බෑ අපේ තාත්තාත් ඉත සිතින්ම මේ වැඩේට උදව් කළේය. අවුරුදු පහළොවකින් මෙපිට පොලිෂ් කඳුලක් නොදුටු සපත්තු දෙකක් දීමෙන් නොනැවතී පැයක් විතර උත්සාහ කරලාත් ටෝ එක පොලිෂ් වෙන්නේ නැති කොට, පොලිෂ් කරන විදිහ පෙන්නා හොඳ සහයෝගයක්ද දුන්නේය. ඒත් ඉතින් එහෙම පැය ගානක් පොලිෂ් කරපු සපත්තු දෙක යන්තම් ලස්සනට දිස්නෙ වැටුණාම, "අපොයි ඔය මදි, තව පොලිෂ් ලේයර් එකක් එන්න ඕනෙ! කියා අර දිස්නය සම්පූර්ණ නැතිවන පරිදි තව පොලිෂ් තට්ටුවක් ඇතිල්ලූ විට නම් සංසාරේ කලකිරුණි. අන්තිමේදී සැලකිය යුතු තරම් හොඳට දිස්නෙ වැටුණත් තාත්තා නම් කියන්නේ තව මදි කියලාය. ඒත් සෑහෙන කාලෙකින් පොලිෂ් නොකෙරුව නිසා මේ ගාන හොඳය. අන්තිමේදී හිතට මාර සතුටක් දැනුණි. මේ දවස් වල මගේ ප්‍රධාන අවධානය සපත්තුය.ළඟ අහල පහළ යන අයගේත් සපත්තු දෙස බලා ඒවායේ වර්ගය හඳුනා ගැනීමට මෙන්ම, එය වෝටර් පොලිෂ් කළහැකි සපත්තු දෙකක්ද යන්න ගැන මගේ ප්‍රධාන අවධානය යොමුවේ.
වෝටර් පොලිෂ් ගැන මෙන්ම සපත්තු වර්ග ගැනත් කියාදුන් විචාරක මහතාට මෙන්ම සහයෝගය දුන් තාත්තාටද බෙහෙවින්ම ස්තුතියි!

 ඒ වගේම "බූට් පොලිෂ්" චිත්‍රපටියෙ මේ සිංදුවත් මතක් වුණා. බලන්නකො සීදේවි පොඩි එවුන් නේද? අනිත් එක තමයි මේ ගීතය දකිද්දි මගේ දෙනෙතට කඳුලක් එන එක තාම නැවතිලා නෑ. ඉන්දියානු නිදහස් අරගලයේ හොඳම පැතිකඩක් මෙතන තියෙනවා කියලා මට හිතෙනවා. හිඟා කාලා හොයන සල්ලි ගොඩකට වඩා සුළුවෙන් හෝ තමන්ගෙ මහන්සියෙන් උපයාගෙන කන එක උදාරයි කියලා දරුවන්ගේ හිත්වලට ඇතුල් කරන්න කොච්චර හොඳ විදිහක්ද නේද?http://www.youtube.com/watch?v=0UtTlh2kK7M

Tuesday, May 29, 2012

ඔබට......




සෑමදා දුටු දසුන් තුළ වුව ඇතිවුණා නව මිහිරියාවක්
එදිනෙදා සිදුවූ දෙයක වුව මතුකළා රස බර කතාවක්
දෙනෝදාහක් අතර සිටියද සිතට දැනෙනා හුදකලාවක්
සමඟ තනිවෙමි මුවඟ රඳවා හදවතින් නැගෙනා සිනාවක්

දින පුරාවට මනස වෙහෙසූ විඩාබර මතකයන් ගොන්නට
ඉසිඹුලන්නට එකම මොහොතක් ජීවිතය රිසි සේ විඳින්නට
මඟ බැලූයෙමි රුව දකින්නට නැතොත් කටහඬ හෝ අසන්නට
ඔබේ දෙනෙතින් ලොව දකින්නට ඔබේ සවනින් ලොව අසන්නට

දුර නොයා ළඟ නැවතුණත් ඒ පැමිණි මඟ සිත නිවාලයි
ඔබ සිටින තැන එදා වාගෙම අඳුර බිඳලන දවාලයි
පෙරදි දුටු ඇස වෙනස් වූ මුත් ඉතින් හද දුක් හමාරයි
හිමි නොවී අහිමිව ගියත් ඔබ ජීවිතය වී හමාරයි

Sunday, April 1, 2012

පංචායුධයේ රහස හෙළිවෙයි!


පංචායුධය අඳුනන්නැති කෙනෙක් ඉන්නවා කියලා මම නම් හිතන්නෙ නෑ.(නෑ නෑ පචායුධය නෙවෙයි හරි වචනේ, පංචායුධය තමයි ). අපි හැමෝම වගේ පංචායුධය පළඳලා තියෙනවනේ. ඒත් ඉතින් අපි කීයෙන් කීදෙනෙක් දන්නවද මේ පංචායුධයේ කොටලා තියෙන ආයුධ මොනවද කියලා? ෂිහ්! ලැජ්ජයි ලැජ්ජයි.... දන්නෙ නෑ? අනේ අනේ තියන්න වටින්නෙ නෑ නෙ! ඇත්තටම ගොඩක් දෙනාට රහසක් වෙලා තිබුණ මේ පංචායුධයේ ආයුධ වල රහස මීට අවුරුදු කීපයකට පෙර හෙළිදරව් කරගන්නට මට පුළුවන් වුණා. ඒක මට කියාදුන්නෙ අපේ අල්ලපු ගෙදර ශානි.

මේ මීට අවුරුදු පහකට විතර කලින් අපේ ශානි කෙලීට වයස අවුරුදු පහක් විතර කාලෙ වෙච්ච දෙයක්. ශානි නිතරම අපේ ගෙදර එනවා එයාගේ ඉංග්‍රීසි පන්තියෙ පාඩම් අහගන්න. මේ කාලෙ වෙනකොට ශානිගේ පොඩි මාමා එහෙම නැත්තම් අපේ ඉස්සරහ ගෙදර සමන්ත අයියගේ පුතා ඉපදිච්ච අළුත. පොඩි එකා මල්ලිට හරි ආදරෙයි. මොකද ඉතින් ශානිට එයාගෙම කියලා නංගියෙක් හම්බවුණේ වයස අවුරුදු අටකුත් පහුවෙලානේ. ඉතින් අපේ ගෙදර ආවම පාඩම් පැත්තක. මල්ලි ගැන විස්තර තමයි කියන්නේ.

කොහොම හරි දවසක් පාඩම් කියාදීම අපේ නංගිට සෙට් වුණා කියමුකෝ. මාත් බිම ඉඳන් මොකක්දෝ වැඩක් කරන ගමන් මේ දෙන්නගේ කතාවටත් ඇන්ටනාව දාගෙන ඉන්නවා. කතාව මල්ලිගෙන් පටන් අරන් මල්ලිගේ කරේ බඳින පංචායුධේ පැත්තට ගියා. ටිකක් වෙලා යනකොට කෙල්ල ෆුල් සීරියස් එකේ අපේ නංගිට මෙහෙම කියනවා. "අක්කෙ අක්කෙ මං දන්නවා පංචායුධේ මොනවද තියෙන්නෙ කියලා". ෂහ් මාර ළමයෙක්නෙ. අපි හිතුවට වඩා කෙල්ල මාර මීටරයක් නෙ.
අපේ නංගිත් ඉතින් කිව්වා "ආ කවුද අම්මද කියලා දුන්නෙ?කියන්නකො බලන්න. "

පොඩි එකා පටන්ගත්තා.... "හැන්ද, ගෑරුප්පුව, පිඟාන....". ළමයා කියාගෙන යනවා.අපි දෙන්නා හිනාව නවත්තගන්න බැරුව බිම පෙරළෙනවා. ඔන්න ඔහොමයි එදා අපි ශානිගෙන් පංචායුධයේ ආයුධ ගැන අළුත් අර්ථකථනයක් ඉගෙන ගත්තේ.

ළමයාගෙ වැරැද්දක් නෑ. ඒ ටික පේන්නෙ ඒ වගේනෙ. ඇරත් අද කාලෙ "කඩුව, තෝමරය, හක්ගෙඩිය, දුන්න, පාරාවලල්ල" වගේ දේවල් කවුද අඳුනන්නේ? අනේ මම දැකලත් නෑ පාරාවලල්ල. තෝමරය කියන්නෙ හෙල්ලට කියල තමයි මට නම් තේරුණේ. අනිත් එක එක එක පංචායුධ එක එක විදිහයි.මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය ලියපු Some Customs and Superstitions Associated with the Childbirth in Sri
Lankan Sinhalese Society (ශ්‍රී ලාංකික සිංහල ජන සමාජයේ දරු උපත් හා බැඳුණු ඇතැම් චාරිත්‍ර හා විශ්වාස )
කියන මේ ලිපියෙ තියෙන විදිහට නම් කඩුව,හෙල්ල,දුන්න, කෙටේරිය හා පළිහ තමයි මේ ආයුධ ටික. ඒත් සුළබව දකින්න ලැබෙන පංචායුධ වල තෝමරය වෙනුවට තියෙන්නෙ තිශූලයක්. තව හක්ගෙඩිය සහ පාරාවලල්ලත් තියෙනවා.
දැන් ඉතින් ඉක්මනට තියෙන තැනකින් පංචායුධේ එළියට අරන් ආයුධ ටික බලලා මටත් කියන්නකෝ.

Thursday, November 24, 2011

පැමිණෙන්නටත් පෙර නික්මෙන්නට වේද?

දෙයියනේ කියලා විභාගෙ ප්‍රතිඵල මම හීනෙකින්වත් නොහිතපුවා. ඉතින් හිතාගත්තා "මේ මරණින් ගැලවුණි නම් හීල් බතට අත නොතියම්" කියලා. සිංහල වචනයක් තියෙන්නේ "narrow escape" කියලා. ඒකෙ තේරුම ලෙසටම දැනුණා. ඒ මදිවට හොයපල්ලකො real client කෙනෙක් ප්‍රොජෙක්ට් එකට. මේ ඔක්කොම ජනවාරි 13 වෙනකොට ඉවර කරගන්නත් එපෑ. ඉතින් හිතාගත්තා කාලෙකට මූණුපොත ගූග්ල් ප්ලස්,බ්ලොග් සටහන් වගේ ඒවා වර්ජනය කරන්න ඕනෙ කියලා. ඒ වුණාට කරුමෙ කියන්නේ අනිත් දෙකම කෙසේ වෙතත් බ්ලොග් සටහන් නම් මගේ ඔළුවෙ ඕසෙට පිරෙනවා මේ දවස් වල.
"වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන්" කිව්වා වගේ මෙච්චර කාලයක් කවදාවත් මගේ ඔළුවට ලියන්න හිතුණෙ නැති ඒවා දැන් හිතෙනවා.ගහක් කොලක් දැක්කත් ඒක ගැන බ්ලොග් එකක් ලියන්න හිතෙනවා.අනිත් එක ඉතින් වැඩිය කමෙන්ට් නොකළට සහ ලැබෙන සුළු විරාමයකදි කම්මැලි කමට ගූගල් එකවුන්ට් එකට ලොග් නොවී ඇනෝ කමෙන්ට් දැම්මට, දවසට තුන් හතරවතාවක් කැරකිලා එන මාර අයියගෙ, විසිතුරුගේ,නාලක සර් ගේ, දේවා ගේ, ජනූ අක්කගේ ආදී මහා දිග ලැයිස්තුවකගේ බ්ලොග් ටික නොබලා ඉන්නෙ කොහොමද කියලා මගේ හිත පෙරළි කරනවා.
මම නම් බ්ලොග් අවකාශයේ එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නෙවේනේ. අනිත් එක ලියන්නෙත් අවාරෙට පොල් වැටෙනවා වගේනේ. ඉතින් මම නැති අඩුව කාටවත් දැනෙන එකක් නෑ. ඒත් මට නම් හුඟක් දැනේවි. ජීවිතේ හුඟක් දේවල් මේ වගේ තමයි.දුරස් වෙනවා කියලා දැනෙන කොට තමයි තේරෙන්නේ මෙච්චර ළං වෙලා තිබුණද කියලා.
අනිත් එක මේ බ්ලොග් අවකාශය නිසා ආත්ම ගාණකින් ඉගෙනගන්න තියෙන ජීවිත අත්දැකීම් ඉගෙන ගන්න ලැබෙනවා.අර මාර අයියගේ, නෝටි මල්ලිගේ කතා කියවලා දවස් ගානක් ගිහිල්ලත් මගේ ඔළුවෙ හක්කලං කරනවා.
අනේ මන්දා මොකද කරන්නේ කියලා?
යනවද? ඉන්නවද? යනවද? ඉන්නවද?

Saturday, April 16, 2011

කුරේ ආතාගේ ඖෂධ මාෆියාව



මේ දවස්වල අපේ මක්සූද් මහත්මයා තමන්ගේ රසික පිටුවේ දාලා තියෙනවා ඉන්දියාවේ පාසල් ළමුන්ට අයඩින් පෙති ගැනීම අනිවාර්ය කරන්න ඕනෙද? කියලා. මේකට ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා දැක්කා. ඒ කමෙන්ට් වලින් ඉන්දියාවේ ඖෂධ ප්‍රතිපත්තිය ගැන රසිකයන් අතර කතිකාවතක් ඇතිවෙලා තියෙනවා. ඇත්තටම මේ තත්වය ඉතින් ලංකාවටත් පොදුයි නේ. අනිත් කාරණය තමයි අපේ දෙරටේම ඉන්න මිනිස්සුන්ගේ අක්‍රමවත් ඖෂධ භාවිතය. හුඟක් බටහිර රටවල නම් පැරසිටමෝල්, ඇස්ප්‍රින් වගේ ඖෂධ හිතුමනාපේ ගන්න බෑ. පිළිගත් වෛද්‍යවරයෙක්ගෙන් නිර්දේශයක් ඕනෙමයි. නවසීලන්තයේ නීති කොච්චර තදද කිව්වොත් තමන් වෛද්‍යවරයෙක් වුනත් තමන්ටම ප්‍රතිකාර කරගැනීම නීතියෙන් තහනම්. අනේ ඒකට අපේ රටේ උදවිය.. අපේ රටේ ඉන්න රටේ වෙද්දු දොස්තරටත් වඩා දන්නවනේ. "ඩොක්ටර් මට ටිකක් ඔළුව රිදෙනවා, සෙම ගතියත් තියෙනවා, මම කෝට්‍රිම් පෙත්තකුයි, පිරිටන් පෙත්තකුයි ගත්තට කමක් නෑ නේද?" කියල බේතත් දොස්තරටම කියල තමයි නවතින්නේ. ඖෂධීය ලොසින්ජර, වේදනා නාශක, නිදි පෙති, කැස්ස පැණි ආදී මෙකී නොකී විදි වලට නිදහසේ විකිණෙන සමහර ඖෂධ වර්ග වෙනත් රටවල නම් මේ විදිහට හිතුමතේ පාවිච්චි කරන්න බෑ. මේ ආසියාතිකයන්ගේ වැරදි ඖෂධ භාවිතයත් ඖෂධ මාෆියාවෙම එක පැතිකඩක්ලු නෙ.

ලකීට නම් හොඳ ඖෂධ ප්‍රතිපතියක් තියෙනවා නොවැ. ලකීට පොඩි කාලෙ ඉඳලම පැරසිටමෝල් පෙත්තක් පොවාගන්න ගියත් ගෙදර මිනිස්සු දස වද විඳින්න ඕනේ. මේ වැඩේ නිසා සමහර වෙලාවල මම මදි නොකියන්න මට්ටු වෙලා තියෙනවා. මං පුංචි කාලේ අපේ ගමේ හිටියා කුරේ ආතා කියලා කෙනෙක්. එයා ගෝනියක් අරගෙන දවල්ට අපේ ගේ ඉස්සරහින් යනවා. අපේ ගෙදර අය මාව බය කරලා තිබුනේ එයා ගෝනි බිල්ලෙක් කියලා. ඔයාල දැකලා තියෙනවද රූපවාහිණියේ තේමා ගීතය ("නෑදෑයෝ අපි නෑදෑයෝ") ඉස්සර විකාශය වෙද්දි අර ජනප්‍රිය රූපරාමුවක් තිබුනේ වැවක ඔරු පදිමින් මල් නෙලන ගැමියෙක්. අන්න එයා තමයි කුරේ ආතා කියන්නේ. ඉතින් ඕනෙම මහ රෑක මම මගේ බේත් වේල ප්‍රතික්ෂේප කරමින් පෙරලි කරනකොට තාත්තා බයිසිකලයෙන් යනවා කුරේ ආතාව එක්ක එන්න. ඒ අහිංසක මනුස්සයත් ඕනෙ රෑක ඇඳන් ඉන්න අමුඩෙ පිටින් හරි තාත්තත් එක්ක එනවා. එයා මිදුලට සම්ප්‍රාප්ත වෙනවත් එක්කම කොච්චර එපා කරපු තිත්ත බේතක් උනත් (විශේෂයෙන්ම කැල්පෝල්) එක උගුරට ගිලෙනවා.ඉතින් අපේ කුරේ ආතත් ඖෂධ මාෆියාවේ කොටසක්ද මන්දා?

මේ හැඟීමට නමක් දෙන්නට ඔබට හැකිදැයි බලන්න!




මගේ ජීවිතයේ මේ දිනවල විශාල පෙරළියක් ඇතිවී ඇතැයි මට සිතේ. මා දකින සෑම දෙයක් දෙසම මම වෙනස් ආකාරයකින් බලන්නට උත්සාහ දරමි. එය හිතාමතා සිදුවන්නක් නොවේ.මම විටෙක මගේ දෙනෙත පියාගෙන ලෝකය විඳින්නට උත්සාහ දරමි.වර්ණ හැඩතල නොහඳුනන ලෝකයක් ගැන සිතාගන්නට උත්සාහ කරමි. එහෙත් පෙර පුරුදු හැඩතල හා වර්ණ ඇති නිසා දෑස් පියාගත්තද ඔවුන් විඳින අත්දැකීම මට නොලැබෙන බව මම දනිමි. මේ හැඟීම අතිශය සංකීර්ණ එකකි. එය මානය,ශෝකය,විශ්මය වැනි සියල්ලම කැටිකරගත් එකකි.

උසස් ජාතික ඩිප්ලොමාව( Edexcel HND in computing) හදාරණ අපගේ මිතුරු මිතුරියන් පිරිසත් අපගේ ගුරුතුමියත් නිසාම ඔවුන්ගේ ව්‍යාපෘතියට සම්බන්ධ වූවා මිස එහි යනතෙක්ම මට කිසිදු විශේෂිත හැඟීමක් ඒ පිළිබඳ නොතිබිණි. එහෙත්එහි ගිය තැන් පටන්ම මගේ සිත ආගන්තුක හැඟීම් සමූහයකින් වෙලෙන්නට පටන් ගති. රත්මලාන නගරයේ පිහිටි තම දැකුම්කළු ගාම්භීර පාසැල් ගොඩනැඟිල්ල දෑසින් දකින්නට ඒ දරු දැරියන්ට පිනක් නැත. අප විසින් ඔවුන් වෙනුවෙන් පැවැත්වූ ඒඅපූරු අවුරුදු උත්සවය ඔවුන්ට වඩා අපූරු වූයේ අපට යැයි හඟිමි.

අප අසලින්ම ඇවිද යන ඔවුන් කිසිම සුදු සැරයටියක් නැතිව අපව සංජානනය කර ගන්නේ අප සිත තුළ මහත් විශ්මයක් දනවමිනි. තාලයක් වාදනය වන සැනින් ගීතය හඳුනාගන්නා ඔවුන්ගේ තියුණු කන් වලට ස්වර තාල වරදින්නේ නැත. "අකුරට යන්නට කම්මැලි හිතිලා" ගීතය ගැයූ දෙවන ශ්‍රේණියේ උගන්නා මිහිරි හඬැති දියණිය මා හැඬවූයේ නිරායාසයෙනි.
එදින ඔවුන්ගේ පාසැලේ මේ වාරයේ අවසාන දිනයයි. උත්සවය නිම වන්නට මඳකට පෙර බාලිකාවන් කිහිප දෙනෙකු පාට ඇඳුමින් සැරසී ගමන් මළු පිටේ එල්ලාගෙන සිටින්නේ මන්දැයි උපන් කුහුල සංසිඳුනේ යගුලියක බර සිතට එක්කරමිනි. දෙමාපියන්ගේ හව්හරණ නොලබන ඔවුන්හට වාරයක් පුරා පාසැල ලබාදුන් සෙවණද නිවාඩුව සඳහා අහෝසි වන බවත් ඔවුන් රජයේ ළමානිවාසයක භාරයට පත්වන බවත් දැනගැනීමෙන් දැනුණු කම්පනයේ නින්නාදය මේ ලියන මොහොතේදීත් මම අත් විඳිමි.

ඔවුන්ට අවැසි අනුකම්පාව නොවන බව මම දනිමි. සියළුම ඉන්ද්‍රියයන් හොඳින් පිහිටි අපට වඩා ඔවුන් ලෝකය ජයගෙන ඇත. කිසිදා නොපෙනෙන දෙනෙත ගැන වද වීමක් හෝ තැවුල් සිතක් නැති ඔවුහූ තමන්ගේම ක්‍රමයකට ලෝකය දකිති. ජීවිතය සතුටින් විඳිති. එකිනෙකා කෙරෙහි බැඳෙති. උපකාර කරගනිති. එහෙයින්ම ඔවුන් දැකීමෙන් මගේ සිතට දැනෙන හැඟීම් පුංජයට කිව හැකි නමක් සොයමි.

Wednesday, December 29, 2010

ලකී පොලිසි ගිය හැටි

ලකී ගිය සඳුදා වෙනකම් හිතාගෙන හිටියෙ පොලිසියක පස් පාගන්නෙ නැති වෙන්න ජීවත් වෙනව කියලයි.ඒත් ඉතින් මක් කරන්නද? දෛවය තමයි. ගිය සඳුදා දවල් වරුවම ගතකළේ පොලිසියේ. මෙහෙම දෙයක් සිද්ධ වෙන්න හේතුවුණේ මොකක් කියලද හිතන්නේ? මෙන්න මේක සාවධානව කියවන්නකෝ.

අපි පා ගමනක් ලෑස්ති කළා. නෑ! නෑ! විරෝධතා පා ගමනක් නෙවෙයි.පොඩි අහිංසක වැඩක්. 28 වෙනි අඟහරුවාදා BRC පිටියේ පවත්වපු අපේ ක්‍රීඩා උත්සවයේ සමාරම්භය වෙනුවෙන් කරපු මේ වැඩේට 100-200 වගේ පිරිසක් සහභාගි වෙන නිසා ඉටින් පොලිසියෙන් අවසර ගන්න ඕන නේ.සමරු කලාපය වෙනුවෙන් කකුල් ගෙවෙනකන් ඇවිදල ඇවිදල ඒක යන්තම් ඉවර වුණා විතරයි. ස්වකැමැත්තෙන් ඉල්ලන් කෑවෙ නැත්ද හොඳවයින් කටුවක්?

පොලිසියෙන් අවසර ගන්න ලියුම ටයිප් කරල ඉවරවෙල මම ඒකේ කොපියකුත් අරන් ගෙදර ගියේ හවස් වුනු හින්දා.ආයතනයෙන් ලියුම බම්බලපිටිය පොලිසියට භර දුන්න කියල ආරංචිය ලැබුනු නිසා මාත් ඉතින් වැඩේ හරි කියල සැනසිල්ලෙන් හිටියා කියමුකෝ. සඳුදා උදේ මෙන්න කියනවා නාගරික රථවාහන කොට්ඨාශයේ පොලිස් අධිකාරී තුමාට ලියුම දෙන්නලු. එක්ක යන්න කවුරුත් ඇත්තෙත් නෑ. ඒ මදිවට පන්තියට සාමාන්‍යයෙන් ඇඳගෙන යන ටී ෂර්ට් එකයි කලිසමයි පිටින් මේ වගේ වැඩකට යන්න පුලුවන්ද? ඒත් ඉතින් පහුවදා තියෙන උත්සවේ අල වෙන්න දෙන්න බෑනේ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැග්ග පානදුර- පිටකොටුව බස් එකක. බැස්සා ලංකා බැංකු නගර කාර්යාලය ළඟින්.නගර කාර්යාලයෙන් අඳුරන මූනක් එලියට ආවොත් ඉතින් තනියෙන් එහෙ මෙහෙ යනව කියලා කෙලින්ම ගෙදරට ආරංචිය යන බව දන්න නිසා ඉක්මනට ඒ හරියෙන් පැනගෙන පොලිස් මූලස්ථානයට ගියා.

ඔන්න ඉතින් ගියාම තමයි දන්නේ මේ කියල තියෙන්නේ පොලිස් මූලස්ථානේ නෙවේ රථ වාහන මූලස්ථානෙ කියලා. පොලිස් මූලස්ථාන නිලධාරීන් හරිම සුහදශීලී පිරිසක්.ඔවුන් ඉතාම සැලකිල්ලෙන් යුතුව නිවැරදි පාර පවා කියා දුන්නා.කොටින්ම කියනවනම් ඇතුල් වෙන තැන ඉන්න නිලධාරියා පවා ඉතාම සැලකිල්ලෙන් මගේ වැඩේ හරිගියාද අහලා විස්තරය කිව්වම 103 බස් එක හරවන තැනත් පෙන්නල දුන්නා. ඒ අතරෙ වැඩිදුර රස්තියාදුව වලක්වාගන්න මම අපේ මාමාට කතා කළා. රාජකාරිය අතරෙ වුණත් මාමා ඉක්මනට රථවාහන අංශයට කතා කරල පොලිස් අධිකාරීතුමා සීට් එකේ ඉන්න බව කියලා ඉක්මනට යන්න කිව්ව.මමත් කියපු විදිහටම 103 බස් එක ඕල්කොට් මාවතෙන් මිහිඳු මාවතට හරවපු ගමන් එන පළමුවෙනි නැවතුමේ බසයෙන් බැහැල රථ වාහන මූලස්ථානයට ගියා.

මූලස්ථායෙදි මම මුණගැහුණු පොලිස් අධිකාරී චූලා ඩි සිල්වා මහතාත් ඉතාම සුහදශීලී පොලිස් නිලධාරීවරයෙක්. බොරු පාට් මුකුත් නෑ. සාවධානව කන්දුන්නා. එතුමා කිව්ව බම්බලපිටිය පොලිසියෙන් ලිපියක් දෙන්න කියලා. ඒ කියන්නෙ මේ පා ගමනට විරුද්ධත්වයක් නෑ කියල.

ඒපාර මම නැවතත් ආයතනයට කතා කරල ලියුම ගේන්න කිව්ව කියමුකෝ. ස්ථානාධිපතිතුමා නැතුව ලියුම දෙන්න බෑ කියලා.මම නැවතත් අපේ මාමාට කතා කරගෙනම බම්බලපිටිය පොලිසියට ගියේ ප්‍රශ්නයක් වුණොත් කියලා. ඒත් බම්බලපිටිය පොලිසියෙ හිටපු වැඩ බලන ස්ථානාධිපතිතුමා (නීල් ගුණසේකර ) මහත්මයත් ඉතාම කාරුණික නියම පොලිස් නිලධාරී මහත්මයෙක්. එතුමා සියළුම ප්‍රශ්න ටික ලස්සනට නිරාකරණය කළා.
ඒ වගේම තමයි ඉතින් අපේ මාමාගේ යාළුවා ප්‍රිශාන් සිල්වා මහත්මයත්(බම්බලපිටිය රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමා.) ලොකු හයියක් වුණා.

මට පුදුමාකාර සතුටක් දැනුනා. සියලුම නිලධාරීන් මේ වගේ නම් කිසිම දැන හැඳුනුම් කමක් නැතිව උනත් ලංකාවේ පොලිස් ස්ථානයකට යන එක ප්‍රසන්න අත්දැකීමක් වෙනවා නොඅනුමානයි. (මේ කියන්නෙ වැරදිකරුවන්ට නෙවේ.)

මේ ලිපිය එම සියලුම නිලධාරීන් හට මල් මිටක් වේවා!

පොලිස් සේවය ගැන මා මෙන්ම අඩු දැනීමක් ඇතිව පසුවන අය සඳහා ඉදිරියේදී සවිස්තරාත්මක ලිපි පෙළක් බලාපොරොත්තුවන්න!