Showing posts with label ජීවිතාවබෝධය. Show all posts
Showing posts with label ජීවිතාවබෝධය. Show all posts

Wednesday, June 8, 2016

තොල් පැටළුනු හැටි....

එහෙත් හරි වැස්ස මෙහෙත් හෙම වෙන්ටැ... වැරදීම මිනිස් ගතියකි සමාව දීම දේව ගතියකි කියනවා නොවැ. සමහර වැරදි තියෙනවා ඒව වැරදි වලටත් වඩා ටැපලීම්...ටැපලීම් නිසා වෙන වැරදීම්. ලකී ටැපලීම් වලට දෙයියා. පහේ පන්තියෙදි විතර අපේ ශිෂ්‍යත්ව පන්තියෙ මිස් මට කිව්වෙ "ඩිංගි මහත්තයා" කියලා. ඉස්සර ඔය උපමා,රූඪි වලින් තරඟ තිබ්බම හරි උත්තරේ උඩින්ම දෙන්නෙ ලකී උනාට කලබල වැඩි කමට කියන්නෙ පටලවලා. "වහින තරමට ගොරවන්නෑ" "සපා කන බල්ලා නොබුරයි" වගේ...
ඔයිට අමතරව විලි ලැජ්ජා හිතෙන දිව පැටලිලිත් වෙලා තියෙනවා. ඉංග්‍රීසි සාහිත්‍ය පන්තියෙදි "Pride and Prejudice " නවකතාවෙ කොටසක් කියවන්න දුන්නා. ඒකෙ එක තැනක කතා නායිකාව වන එලිසබෙත්,දුෂ්ටයා වන විකම් එක්ක කතා කර කර ඉන්නකොට තරහ වැඩි කමට තමන්ගෙ තොල හපාගෙන නිෂ්ශබ්ද වෙනවා. හරිම උද්වේගකර අවස්ථාවක්. කියවන අපිටත් කේන්ති යනවා. ඒත් මම මේ කෑල්ල කියවනවත් එක්කම මුළු පන්තියම දෙදරුම් කන හිනාවක් ආවා. ඔළුව උස්සලා බලද්දි ටීචත් බඩ අල්ලගෙන හිනා වෙනවා. බැලින්නම් "She bit her lip" වෙනුවට මම කියවලා තියෙන්නෙ "He bit her lip" කියලා.

තවත් දවසක් මම බස් එකේ යනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ ලොකු බැනර් එකක් දාලා "උපත් පාලන සතිය" කියලා. මේ මොන මගඩියක්ද කියලා හිත හිතා ආපහු එන ගමන් ආයි පාරක් හොඳට බැලුවා. ඒ උපත් පාලන සතිය නෙවෙයි පලාත් පාලන සතිය. තවත් දවසක් බස් එකේ යනකොට බස් රථයේ පොඩි ස්ටිකර් එකක් අලවලා තියෙනවා "" (මාතෘ ප්‍රවාහන අමාත්‍යංශය ??) අනේ වාසනාවන් කියලා හිතාගෙන තව ටිකක් විපරමින් බැලුවාම ඒ "" (අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශය )

කියැවෙන පැටලීම් විතරක් නම් මදෑ, පැටලිලා ඇහෙන දේවලුත් එමට තියෙනවා. "ආදරයයි කරුණාවයි ගිනි වැටියයි මා සිත පාරයි" කිය කියා රුක්මණී දේවි පහන වටේ යනකොට මම හිතුවෙම අර පහනෙ රස්නෙ උහුල ගන්න බැරි කම තමයි ඒ කියන්නෙ කියන්නෙ.සෑහෙන කාලෙකට පස්සෙ තමයි දන්නෙ ඒ ගිනි වැටිය නෙවෙයි "හිමි බැතිය " තමයි එයාට වද දෙන්නෙ කියලා.(හැබැයි ලැජ්ජා වෙන්න දෙයකුත් නෑ. රොඩ්නි වර්ණකුල මහත්මයා දවසක් රූපවාහිණී වැඩසටහනක කියලා තියෙනවා එයාට ඒක ඇහුනෙ "ඉබි පැටියයි" කියලලු ) . රුක්මණී දේවියව වරදවා වටහා ගත්ත තව අවස්ථාවක් තමයි "මැවිලා පෙනේ විරූපේ". හැබැයි ඒකට නම් වරද මගෙ අතේ නෙමෙයි. අහලම බලන්නකෝ.

"රන් සමනල ජෝති ගෙ බාගේ" කිය කියා රන්ජන් රාමනායක ඩිලානි අබේවර්ධනත් එක්ක නටන සිංදුවක් ඉස්සර රූපවාහිණියෙ විකාශනය වුනා. මම හතර වසරෙ ඉන්න කාලෙ ගීයෙන් ගීය වටයකට ඕක කියන්න ගිහින් මට එහා පැත්තෙ හිටිය ලමයා මාර කින්ඩි හිනාවක් දාල කිව්වෙ නැද්ද "රන් සමනල ජෝඩුව වාගේ " කියලා. "ජෙනුයින් මන් වී" වගේ මඥ්ඥං වචනයක් සිංදුවක් මැද්දට දැම්මෙ කවුද  කියලා කාලයක් හිත හිතා හිටි මට කවුරු හරි කිව්වා ඒ තියෙන්නෙ "එනු ඉක්මන් වී - මා වෙත ලංවී" කියලා. "අපූර්ව සහෝදරර්ගල්" චිත්‍රපටියෙ "උන්න නෙනචේ" කියන ජනප්‍රිය ගීතය නිසා දමිළ භාෂාවෙනුත් සිංහල භාෂාවෙනුත් කඟවේනා ට කියන්නෙ එකම නම කියලයි මම හිතාගෙන හිටියෙ.මොකද මට ඒක ඇහුනෙම "කඟවේනා ආවේ" කියලයි..

ඒ ඔක්කොමත් හරි මේ ළඟදි ඉඳන් මේ ගතිය වැඩියි වගේ. වාහන ගන්න සුදුසු අය ගැන වැඩිහිටියෙක් කියපු වැදගත් කතාවක් මට පැටලිලා ඇහුණෙ වාහන ගන්න සුදුස්සොයි නුසුදුස්සොයි කියලා ජාති දෙකක් ඉන්නවා කියලනේ. ඒ මදිවට දොස්තරලා කියන්නේ අවලම් ජාතියක් කියලා ඇහුණා. ඒ මදිවට දේශපාලුවන්ගේ පදේට නොනටන නම්බුවට ගරු කරලා නිලයෙන් අයින් වෙන රාජ්‍ය නිලධාරී තුමෙක් ගැනත් ඇහුණා. දැන් නම් ඉතින් කන් දෙක බලවාගන්න කාලෙ හරි වගේ. මම මේ බයේ ඉන්නෙ කනේ අමාරුවක් නෙවේ මොලේ අමාරුවක් කියයි කියලා....ඒ නිසා මම මටම බූවල්ලෙන් තලාගෙන බලනවා ලෙඩේ හොඳ වෙයිද කියලා. බැරි වුනොත් නිට්ටාවට හොඳ වෙන්න බේතක් (මට ) ලැබෙයි වගේ.. 

Saturday, December 29, 2012

සුභ උපන්දිනයක් සිහින කුමාරයාණෙනි!


අද හුඟක් දේවල් කතා කරන්න පුළුවන් දවසක්. සෑහෙන දවසක් දුක් විඳලා අර ඉන්දියානු යුවතිය මියගිහින්. ඒ වගේම තමයි වැඩිය ක්‍රිකට් ලෝලියෙක් නොවෙන මගේ ආදරයට ලක්වුණු ටෝනි ග්‍රෙග්ගේ සමුගැනීම. ඒත් ඒ දේවල් එකක්වත් කතා නොකර අද මම මේ ගැන කතා කරන කොට අතලොස්සක් වෙන මගේ බ්ලොග් පාඨකයො මාත් එක්ක තරහවෙයි. ඒත් මම අද ලියනවා.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සිහින කුමාරයෙක්. අපිට කලින් පරම්පරාවේ කෙනෙක් වුනත්(රසික පරම්පරා නම් තුනක් මම හිතන්නෙ )අදටත් ඔහුට කොයි තරම් දෙනෙක් ආදරේද කියලා යූ ටියුබ්, ෆේස්බුක් ආදී වෙබ් අඩවි වලට ලැබෙන රසික ප්‍රතිචාර වලින් පේනවා. මට මතකයි මම මුලින්ම ඔහු රඟපාපු චිත්‍රපටියක් දැක්කෙ ජාතික රූපවාහිනිය හරහා. ඒ මැතිවරන දවසක විකාශය වුනු ආරාධනා චිත්‍රපටියෙන්. වයස අවුරුදු අටක් හෝ නමයක් තරම් පුංචි කාලෙදිත් මම කල්පනා කළේ මේ තරම් ලස්සන මනුස්සයො වෙන ඉන්නවද කියලා. එතකොට මම ඔහුගෙ නම දන්නෙ නෑ.
ඇත්තටම මම ඔහුගෙ නම දැනගත්තෙ ස්වාධීන රූපවාහිණියෙ විකාශය වුණු " රාජේශ් ඛන්නා චිත්‍රපටි උළෙල" නිසා. "ආරාධනා", "අමර් ප්‍රේම්" , "කටී පතන්ග්",හා "ආනන්ද්" වගේ චිත්‍රපටි නරඹපු ඕනෑම කෙනෙක් ඔහුගේ අපූරු රංගනයට අකමැති වෙන්න විදිහක් නෑ.
ජීවිතේ කියන්නෙ හැමදාම එක විදිහට රැඳෙන දෙයක් නෙවෙයි. සැප- දුක, යස- අයස, ලාභ - අලාභ, නින්දා - ප්‍රසංසා හැමදේම වෙනස් වෙන සුළුයි. ඒ බව තේරුම් නොගත්තොත් ජීවිතේ දුෂ්කර වෙන එක නවත්තන්න බෑ. ජීවිතේ යථාර්ථයෙන් හැංගෙන්න වෙනත් දේවල් වල පිහිට පතන එක තවත් වැරදීම් ගණනාවක ආරම්භය වෙන එකත් නවත්තන්න බෑ. අසමාන රූපයකට, මිල මුදල් වලට, ජනාදරයට, කීර්තියට වඩා වටින්නෙ ජීවිතේ ගැන තත්වාවබෝධය.
සමහර විට ඔහු ඉක්මනින් යන්න ගියේ අන්තිම මොහොතෙදි හරි මේ දේවල් තේරුම් අරගෙන වෙන්න ඇති කියලා මම හිතනවා.
සුභ උපන්දිනයක් සිහින කුමාරයා! නිවන් දකිනා ජාති දක්වා ප්‍රඥාවන්ත, වාසනාවන්ත ජීවිතයක් හිමිවේවා!



(මම ලියපු සටහන් වලින් හොඳටම සයිකො සටහන මේක වෙන්න ඇති. ඒකට කමක් නෑ. :)  )

Thursday, November 1, 2012

සල්ලි....?( අවාසනාවට ඇත්ත කතාවක්...) - සත්‍ය සිදුවීමකි

මේක ටිකක් පරණ කතාවක්. මේක මූණු පොතේ නෝට් එකක් විදිහට දාලා තිබුණත් බ්ලොග් එකේ දාලා තිබුණේ නෑ. හේතුවක් මතක් කරගන්නත් බෑ. කොහොම හරි සෑහෙන කාලෙකින් බ්‍රහස්පතින්දා හවස විවේකයක් ලැබුණු නිසා මේ සටහන බ්ලොග් එකට දාන්න හිතුවා.

කාලෙකට පස්සෙ ආපහු පුරුදු තැනට.... අම්මෝ දැනෙන සනීපෙ... විවේකාගාරෙ ඇතුලෙ එන මී ගඳත් සුවඳයි වගේ. සතියක්ම ගෙදර ඉන්නකොට තමයි වැඩ කිරීමේ වටිනාකම තේරුණේ.උදේ පාන්දරම කාලෙකින් මුණගැහුණු යාළුවොත් එක්ක පාතරාසයට වගකියන්න හදනකොටම....
ටොක් ටොක් ටොක්.... ග්‍රැෆික් චාමර මල්ලි කතා කරනවා...
 "මේ කවුද බිට් එක ගැන අහන්න ඇවිල්ලා..."
මාත් ඉතින් ඔලුව දාලා බැලුවා.. කාන්තාවක්...
"පොඩ්ඩක් ඉන්න"..
ටක් ගාල අතහෝදගෙන වැඩකරු වගේ ගියේ හරියට බිට් එකෙ අයිතිකාරයා මම වගේ. කෝ මේ දමින්ද සර් නෑ නෙ තාම ඇවිල්ලා. අපිම යන්න ඕනෙ.
"බිට් එකට රෙජිස්ටර් වෙන්න...?"
"අහ් එන්න, මම කියාදෙන්නම්..."
හරි හොඳයි. උදේ කරන්න පන්තියකුත් නැති එකෙ. වෙබ් අඩවියට ගිහිල්ල සම්පූර්ණ ක්‍රියාකාරීත්වය පහදලා දීලා, ඔක්කොම අමතර විස්තර කියලා දීලා, විස්තර පත්‍රිකාව බාගත කිරීමෙන් නොනැවතී පුරවලත් දීලා තව ඊ මේල් ලිපිනයක් හදන හැටිත් කියාදීලා... හරි ශෝක්.
මොකක්ද පොඩි අවුලක් වෙලා පුරවපු පත්‍රිකාවෙ පිටපතක් ගන්න බැරිවුණා කියමුකො. "කමක් නෑ. හවස දොළහමාරෙන් ඉස්සෙල්ල එන්නකො.ඊට පස්සෙ මට පන්තියක්"අන්තිමට මෙයා ගිහින් ටික වෙලාවකින් මට පිටපතක් ගන්න පුළුවන් වුනා
.මේ මනුස්සයගේ පන්තිය තිබුනෙ පාරෙන් එහා පැත්තේ බිල්ඩින් තුනෙන් එකක.ඉතින් මොකටද මේ මනුස්සයව රස්තියාදු කරන්නෙ කියලා මම ඒ පැත්තට යනකොට පන්තියටම මේ අයදුම් පත්‍රයයි, බැංකුවට ගෙවන්න තියෙන ගෙවීම් පත්‍රිකායි අරගෙන ගියා.
ඔක්කොම ටික පැහැදිලිව විස්තර කරලා.ආයි ආයිත් විස්තර කරලා යන්න හැරුණා...
"කොහොමද එතකොට චාර්ජර්ස්?"
ඇයි හත්වලාමේ මෙච්චර වෙලා විස්තර කලේ....
"ඔය බෑන්ක් ස්ලිප් හතරම පුරවලා...."
"නෑ ඔයාගෙ චාර්ජර්ස්?..."
.
.
.
.
 මට දැනුණු හැඟීම කියන්න වචන නෑ..."ආණ්ඩුවෙ කන්තෝරුවකද වැඩ කළේ?.." අහන්න කටට ඇවිල්ලත් බොහොම අමාරුවෙන් නවත්තගෙන කාරුණිකව පැහැදිලි කිරීමක් කළේ, මේ ප්‍රශ්නය පිටිපස්සෙ සමාජ ඛේදවාචකයක් තියෙනවා කියලා මතක් වෙච්ච නිසා.එයාට එයාගැන ලැජ්ජා හිතුණා... මට අපි හැමෝම ගැන දුක හිතුණා....

Tuesday, May 8, 2012

කඩදාසි සුවඳ


තෙත් කැවු ටිෂූ කඩදාසි පැකට් එකක් තෑගි දුන්නම පොඩි දෙගිඩියාවක් දැනුණත් සන්තෝසෙන් බාරගත්තෙ මම කවදත් තෑගි වලට කැමති නිසා. යාළුවොන්ට ලේන්සු දුන්නම තරහ වෙනවා කියනවනෙ. දැන් ඉතින් වැඩි දෙනෙක් ලේන්සු වෙනුවට පාවිච්චි කරන්නෙ ටිෂූ නිසා තමයි ඉතින් පොඩි පහේ දෙගිඩියාවක් ආවෙ. ඔයවගේ තේරුමක් නැති දේවල් හිතන්න මම ඉතින් කවදත් දස්සයා නෙ.
කොහොම හරි පාවිච්චි කරන්නෙත් නෑ කියලා හිතාගත්ත ටිෂූ පෙට්ටිය එදාම කඩන්න වුණා. දැන් ඉතුරු ටිෂූ 9 යි.
පහුවදා කෙටි නිවාඩුවක් දාලා සුපුරුදු කොට්ට පුළුන් ගහ යට බස් නැවතුමට එනකොට කාන්තාවක් ටිකක් කලබලෙන් එහෙ මෙහෙ යනවා.බලනකොට මේ ගහ යටට එන බොහෝ දෙනෙක්ට වෙන දේම තමයි ඇයටත් වෙලා තියෙන්නෙ. ඔය කුරුළු වර්චස් නාන්න වෙන බව දන්න පුරුදුකාරයො නම් සාමාන්‍යයෙන් ගහ යට රැඳෙන්නෙ නෑ.
ඇය අත පිරිසිඳු කරගන්න වතුර ටිකක් හොයනවා. මොන වතුරද එතන. අනිත් එක මම අත්දැකීමෙන්ම දන්නවා ඔය වසුරු තලිය උඩට වතුර දැම්මහම වෙන වැඩේ. අර ටිෂූ පැකට් එක මගේ මතකයට ආවා. ඒත් එක්කම මහා ලෝබකමකුත් ආවා. මොකද ටිෂූ පැකට් එකෙ තියෙන්නෙ මූල්‍යමය වටිනාකමක් නෙවෙයි නෙ. මගේ ලෝබ හිත ජය ගන්නකොට අර කාන්තාව පාරෙ වැටිලා තිබුණු කොල කෑල්ලක් අතට අරගෙනත් තිබුණා. ටිෂූ කොල දෙක සලස්සපු සහනය මට ඇයගෙ මූණෙන්ම පෙනුණා. මගේ හිතටත් කියාගන්න බැරි තරම් සතුටක් දැනුණා. ඇය මට ස්තුති කරල ඊළඟ බසයට ගොඩවුණා. මට එකපාරටම සඳුන් සුවඳක් දැනුණා. මම හෙමින් සැරේ මගේ අත නාහෙ ගාවට ගෙනාවා. මගේ අත සඳුන් සුවඳයි. ඒ තෙත් කැවූ ටිෂූ කඩදාසි සඳුන් සුවඳ කවපුවා වුනත් ඊයෙ මට සඳුන් සුවඳ දැනුණෙ නෑ නෙ. ඇයි මේ වෙලාවෙම?

Monday, April 2, 2012

පූටියාගේ කතන්දරේ අංක එක (බල්ලන්ට ආදරේ කරන අයටයි )


ඉස්සර මටයි අපේ නංගිටයි බළල්ලු පේන්න බෑ. ප්‍රධානම හේතුව තමයි බළල්ලු හරිම ආඩම්බරකාර සත්තු ජාතියක් වීම. ඒ වගේම තමයි අපේ ගෙදර වැඩියෙන්ම ඇති කළේ බල්ලො තමයි. අපේ නැන්දාච්චිට පුළුවන් කාලෙ නම් බළල්ලු ඇති කළා. ඒත් අපි බළල්ලු එක්ක වැඩි බජනයක් නෑ.
මේ ඔක්කොම වෙනස්වුනේ අපේ ලෑලි කාමරේ ඇතුලෙ කොහේද යන බැළලියක් පැටව් තුන්දෙනෙක් දැම්මහම. මේ පැටව් තුන්දෙනා යන්තම් ඇවිදින්න පුළුවන්කාලෙ වෙනකොට ලෑලි කාමරේ ලෑලි වලින් එහාට මෙහාට ඇවිදින් ඒ ගොල්ලන්ගෙ අම්මා කෑම හොයාගෙන එනකල් ඇවිද ඇවිද ඉන්නවා. හරියට පාට පාට වූල් බෝල තුනක් ඇවිදිනවා වගේ. අපිත් ඉතින් ළඟට කිට්ටුවෙලා බලාගෙන ඉන්නවා. මේ බැළලි මීට කළිනුත් අපේ ලෑලි කාමරේ පැටවු දාලා උන්ට ඇවිදින්න පුළුවන් කාලෙ වෙනකොට අපිට කරදර නොකර අරන් ගියා. ඒ නිසා අපේ අම්මා කැමති වුණේ නෑ අපි මේ බළල් පැටව් ළඟට වැඩිය කිට්ටු වෙනවට. මේ පැටව් තුන්දෙනාගෙන් දෙන්නෙක් හරිම ක්‍රියාශීලීයි. (පස්සෙ දැනගත්තා තුන්දෙනාම බැළලි පැටව් කියලා) කොහොම හරි එක බැළලි පැටියෙක් හිටියා හරිම කෙට්ටුයි, දුබලයි ඒ වගේම ලෙඩ පාටයි. අපි හරියට දුක් වුණා මේ බැළලි පැටියා මැරෙයි කියලා. ඒ නිසා අපි දෙන්නත් එක්ක අම්මගෙන් බැනුම් අහගෙන මේ පැටවුන්ට ලෑලි කාමරේ ඇතුලෙම කෑම දෙන්න පටන්ගත්තා. වැඩි සැලකිල්ල අර දුබලයාට. හැබැයි අපි හරි බයෙන් තමයි මේ වැඩේ කළේ. මොකද බළල් අම්මා නම් අපිව කොයි වෙලාවෙවත් විශ්වාස කළේ නෑ. අපෙන් පැටවුන්ට හානියක් නෑ කියලා දැනගත්තත් එයා අපි ගැන ඇහැ ගහගෙනමයි හිටියෙ. අපි කන්න දුන්නත් එයා ඒක කෑවෙ පැටව් ඉන්න පැත්තට හැරිලා පැටව් දිහා බලාගෙන. තවත් පුදුම වැඩක් තිබුණා. අපි මේ බැළලිට ගේ ඇතුලෙ කෑම දෙන්න බෑ. ඌ කන්නෙ නෑ. එළියටම අරන් ගිහින් දෙන්න ඕනෙ. පස්සෙ තමයි අපිට කාරණේ තේරුණේ. එයා තමන්ගෙ ස්වාමි පුරුෂයාගේ පංගුව දීලා මිසක් කන්න කැමති නෑ. මම පළවෙනි වතාවට තමයි බළල්ලු අතරේ එහෙම දෙයක් දැක්කෙ.
කොහොම හරි මේ කියන කාලෙ සිංහල අවුරුද්දක් පහුවෙච්ච ගමන්ම වගේ. අර කවුරුත් කන්නැතුව අතින් අත යන කේක් තියෙනවනේ. අපි කළේ ඒ වගේ කේක් ගෙඩියක් අරගෙන කිරි වල පොඟවලා මේ බළල් පැටවුන්ට කන්න දෙන එක. ඇත්තටම ඒක කළේ අර ලෙඩ ගාණෙ ඉන්න බළල් පැටියා වෙනුවෙන්. අපේ හිත කියනවා මේ සතා අද හෝ හෙට මැරෙයි කියලා. කොටින්ම ඒ දවස්වල උදේ නැඟිට්ට ගමන්ම අපි හිතාගෙන යන්නෙ අනේ මේ සතා මැරිලද දන්නෙ නෑ කියලා. එයාගෙ ඇස්දෙක කහම කහ පාට කබ තට්ටුවකින් වැහිලා ඇස් ඇරගන්නත් බෑ. මම කරන්නෙ ප්‍රථමාධාර පෙට්ටියෙන් පුළුන් උස්සගෙන ගිහිලා ලාවට ඩෙටොල් මුසු කරපු වතුරෙන් කබ අයින් වෙන තුරුම පිහදාන එක. ටික දවසක් යද්දි සතා සනීප වුණා. හැබැයි තාමත් ඔතෑනියි. ඒත් අර අනිත් පැටව් දෙන්නා වයසටත් වඩා ක්‍රියාශීලියි. දවසක් අපි බලනකොට එයින් එක පැටියෙක් ළිඳේ වැටිලා මැරිලා. අනිත් පැටියාටත් මොකක් හෝ වෙනසක් තේරෙන්න ඇති. ඌත් එදා ඉඳලාම දුකින් ඉන්න බව පෙනුණා. දවසක් ඌ දොරක් අස්සෙන් රිංගන්න ගිහින් ආබාධිත වුණා. එයින් පස්සෙ මැරිලා ගියා. ඉතුරු වුණේ ඔතෑනියා විතරයි. සහෝදරියො දෙන්නම නැතිවෙච්ච ඔතෑනියාට අපේ අනුකම්පාව සහ අවධානය තදින්ම හිමිවුණා. අපි ආදරේට ඌට "චූටි පූසෝ - පූටි චූසෝ" කියන්න ගත්තා. චූටි පූස් කතාව හැලිලා ටික දවසක් යනකොට එයා පූටි චූස් වුණා. අන්තිමේදි ඒකත් කොට වෙලා "පූටි" වුණා. බළල්ලු අප්‍රිය කළ ගෙදරක නිත්‍ය සාමාජිකයෙක් වෙන්න පූටිට පුළුවන් වුණා. දැන් එයාගෙ සම්පූර්ණ නම කිව්වොත් "පූටි වික්‍රමසිංහ!"

Saturday, November 26, 2011

ඔබ "ආදරය කරන කෙනෙක්" සහ "ඔබ ප්‍රිය කරන කෙනෙක්" අතර වෙනස


මේක මූණු පොත හරහා මම දැකපු දෙයක්.බොහෝ දෙනෙක් මේක කියවලා ඇති කියලා හිතුණත් මේ කරුණුවල සත්‍යතාව ගැන කිසිම සැකයක් නැති නිසා වගේම පළමු කියවීමෙන්ම මගේ සිත ආකර්ශණය කළ මේ ලිපිය නොදුටු අයත් ඉන්න පුළුවන් නිසා මේක ලියන්න හිතුනා.



ඔබ "ආදරය කරන කෙනෙක්" සහ "ඔබ ප්‍රිය කරන කෙනෙක්" අතර වෙනස.


  • ඔබ ආදරය කරන කෙනා ඉදිරියේදී ඔබේ හදවත වේගයෙන් ගැහෙන බව ඔබට දැනෙනු ඇත.නමුත් ඔබ ප්‍රිය කරන කෙනෙකු ඉදිරියේ ඔබට දැනෙන්නේ සතුටකි.


  • ඔබ ආදරය කරන පුද්ගලයා ඉදිරියේදී ඔබට ශීත ඍතුව වසන්තයක් මෙන් දැනෙනු ඇත. නමුත් ඔබ ප්‍රිය කරන පුද්ගලයෙකු ඉදිරියේදී ශීත ඍතුව සුන්දර ශීත ඍතුවක් සේ දැනෙනු ඇත


  • ඔබ ආදරය කරන පුද්ගලයාගේ දෙනෙත දෙස බැලීම අසීරුය.නෙත් හමුවූ විට ඔබේ කොපුල් රත් පැහැ ගැන්වෙනු ඇත. එහෙත් ඔබ ප්‍රිය කරන පුද්ගලෙකුගේ දෙනෙත දෙස කෙලින්ම බලා සිනාවීමට ඔබට හැකිය.


  • ඔබ ආදරය කරන පුද්ගලයා ඉදිරියේදී ඔබේ මනසේ ඇති සියළු දේ පැවසීමට නොහැකි නමුත් ඔබ ප්‍රිය කරන පුද්ගලයා ඉදිරියේදී ඕනෑම දෙයක් කීමට ඔබට හැකිය.


  • ඔබ ආදරය කරන පුද්ගලයා ඉදිරියේ ඔබ ලජ්ජා වන නමුත් ඔබ ප්‍රිය කරන පුද්ගලයා ඉදිරියේ ඔබට ඔබම විය හැකිය.


  • ඔබ ආදරය කරන පුද්ගලයා හඬන විට ඔබත් ඒ සමඟම හඬනු ඇත. එහෙත් ඔබ ප්‍රිය කරන පුද්ගලයා හඬන විට ඔබ සනසමින් ළඟ රැඳෙනු ඇත.


  • ඔබ ප්‍රිය කරන පුද්ගලයෙක් සමඟ අමනාප වූ විට දෙකන් වසා ගැනීම සෑහෙන නමුත් ඔබගේ ආදරය බිඳුණු විට දෙනෙත් වසාගත්තද ඔබේ හදවතෙහි කඳුළක් නිදන්ව තිබෙනු ඇත.

Thursday, November 24, 2011

පැමිණෙන්නටත් පෙර නික්මෙන්නට වේද?

දෙයියනේ කියලා විභාගෙ ප්‍රතිඵල මම හීනෙකින්වත් නොහිතපුවා. ඉතින් හිතාගත්තා "මේ මරණින් ගැලවුණි නම් හීල් බතට අත නොතියම්" කියලා. සිංහල වචනයක් තියෙන්නේ "narrow escape" කියලා. ඒකෙ තේරුම ලෙසටම දැනුණා. ඒ මදිවට හොයපල්ලකො real client කෙනෙක් ප්‍රොජෙක්ට් එකට. මේ ඔක්කොම ජනවාරි 13 වෙනකොට ඉවර කරගන්නත් එපෑ. ඉතින් හිතාගත්තා කාලෙකට මූණුපොත ගූග්ල් ප්ලස්,බ්ලොග් සටහන් වගේ ඒවා වර්ජනය කරන්න ඕනෙ කියලා. ඒ වුණාට කරුමෙ කියන්නේ අනිත් දෙකම කෙසේ වෙතත් බ්ලොග් සටහන් නම් මගේ ඔළුවෙ ඕසෙට පිරෙනවා මේ දවස් වල.
"වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන්" කිව්වා වගේ මෙච්චර කාලයක් කවදාවත් මගේ ඔළුවට ලියන්න හිතුණෙ නැති ඒවා දැන් හිතෙනවා.ගහක් කොලක් දැක්කත් ඒක ගැන බ්ලොග් එකක් ලියන්න හිතෙනවා.අනිත් එක ඉතින් වැඩිය කමෙන්ට් නොකළට සහ ලැබෙන සුළු විරාමයකදි කම්මැලි කමට ගූගල් එකවුන්ට් එකට ලොග් නොවී ඇනෝ කමෙන්ට් දැම්මට, දවසට තුන් හතරවතාවක් කැරකිලා එන මාර අයියගෙ, විසිතුරුගේ,නාලක සර් ගේ, දේවා ගේ, ජනූ අක්කගේ ආදී මහා දිග ලැයිස්තුවකගේ බ්ලොග් ටික නොබලා ඉන්නෙ කොහොමද කියලා මගේ හිත පෙරළි කරනවා.
මම නම් බ්ලොග් අවකාශයේ එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නෙවේනේ. අනිත් එක ලියන්නෙත් අවාරෙට පොල් වැටෙනවා වගේනේ. ඉතින් මම නැති අඩුව කාටවත් දැනෙන එකක් නෑ. ඒත් මට නම් හුඟක් දැනේවි. ජීවිතේ හුඟක් දේවල් මේ වගේ තමයි.දුරස් වෙනවා කියලා දැනෙන කොට තමයි තේරෙන්නේ මෙච්චර ළං වෙලා තිබුණද කියලා.
අනිත් එක මේ බ්ලොග් අවකාශය නිසා ආත්ම ගාණකින් ඉගෙනගන්න තියෙන ජීවිත අත්දැකීම් ඉගෙන ගන්න ලැබෙනවා.අර මාර අයියගේ, නෝටි මල්ලිගේ කතා කියවලා දවස් ගානක් ගිහිල්ලත් මගේ ඔළුවෙ හක්කලං කරනවා.
අනේ මන්දා මොකද කරන්නේ කියලා?
යනවද? ඉන්නවද? යනවද? ඉන්නවද?

Tuesday, November 22, 2011

අමරදේවත් ගායකයෙක්ද?

අපේ නාලක සර් එක්තරා සිංදුවක් මූණු පොතෙත් දාලා තව ඒක ගැන බ්ලොග් සටහනකුත් ලියලා තියෙනවා. ඒක දැකලා තමයි මේ කතාව මට මතක් වුණේ.
මේක සිද්ධ වුණේ අපේ ඉස්කෝලෙදි. මේ කියන සිද්ධිය වෙනකොට අපේ පණ්ඩිත් අමරදේවයන්ට රාමොන් මැග්සයිසේ සම්මානය ලැබිලා වැඩි කාලයක් ගතවෙලා තිබුණෙ නෑ.
ඔය කාලෙම භාතිය සන්තුෂ් දෙන්නට මොකද්දෝ සම්මානයක් ලැබුණා මතකද? මේ සම්මානෙන් පස්සෙ තමයි එච්චර කාලයක් සිරසට විතරක් සීමා වෙලා හිටපු මේ යුගලය අර ජාතික කියන මාධ්‍ය වලට නැතුවම බැරි ජාතික තලේ ගායකයො දෙන්නෙක් වුණේ.
අපේ පන්තියෙත් හිටියා සෑහෙන තොගයක් භාතිය සන්තුෂ් රසිකයො. දවසක් අපි අතර ගීත ගැන පටන්ගත්තු කතාවක් ඇදිලා ගිහිල්ලා ටිකක් උණුසුම් වචන හරඹයක් බවට පත් වුණා. අපේ පන්තියෙ සෑහෙන තොගයක්ම හිටියා කළු සුද්දො.කියවන්නේ ඉංග්‍රීසි පොත් විතරයි. බලන්නේ ඊටීවී ඩයිනාවිශන් විතරයි ජාතියෙ සෙට් එකක්.මේ සෙට් එක ඉතින් වාදයේ මොන පැත්තෙද කියලා අමුතුවෙන් කියන්න ඕනැයැ.
වාදය කරට කර නැගලා යන අතරේ මුන් කියාපි,
"අපෝ අමරදේවව කවුද දන්නේ? මැග්සයිසෙ කියන්නෙ පිලිපීනෙන් දෙන සම්මානයක්. ඒක ආසියාවෙනෙ. ඒ වගේද භාතියලට හම්බවුණේ ලෝකෙම පිළිගන්න සම්මානයක්" කියලා. (මතක විදිහ හරි නම් ඒ සම්මාන උළෙලෙ නමට Universal කෑල්ලක් තිබුණා)
එච්චර වෙලා වාද කරපු මම එතනින් අයින් වෙලා එන්න ආවා.
එදායින් පස්සේ මම තේරුම් ගත්තා රසිකත්වය ගැන වාද කරන එකා තමයි අමනයා කියලා.


ප.ලි : නාලක සර්ගෙ බ්ලොග් අඩවියෙ සාධනීය වෙනසක් සිද්ධවෙලා තියෙනවා.කැමති අය ගිහින් බලන්නකෝ.දැන් යන්තම් බ්ලොග් එක follow කරන්නත් පුළුවන්.

Thursday, November 10, 2011

බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආගමක්ද? දර්ශණයක්ද? නැත්තම් ධර්මයක්ද?

හ්ම්ම්...අද පෝය දවස නිසා ඉතින් මං හිතුවා ටිකක් වෙනස් දෙයක් කතා කරන්න ඕනෙ කියලා. මේ කතාවට මුල් වුණේ අපේ පූස් සහෝදරයා දාලා තිබ්බ පෝස්ට් එකක්.
බුද්ධාගම කියන වචනය වැරදියි, බෞද්ධ දර්ශණය කියන වචනේ තමයි හරි කියලා තමයි ඒකෙන් කියලා තිබ්බෙ.ඒත් ඇත්තටම මට තේරෙන විදිහට නම් ඔය දෙකම වැරදියි.


ආගම කියන වචනේ නිරුක්තිය ගැන විවිධ මත තියෙනවා. ඒ කොහොම වෙතත් පොදුවේ ගත්තහම ආගමක් කියලා කියනකොටම චාරිත්‍ර වාරිත්‍ර විධි රාශියක්, වෙනම පූජනීය ස්ථාන,ඒ අනුව යන අනුගාමිකයෝ පිරිසක්, ආගමික උත්සව වගේ දේවල් රාශියක් තමයි ඔළුවට එන්නෙ.


දර්ශණයක් කියන්නෙ කාගෙහරි මතවාදයක්. ඒ මතවාදය පවතින්නෙ සබුද්ධික තර්කය උඩ ඒක තමයි කාලයෙන් කාලයට නොයෙක් දර්ශණ වලට තැන ලැබෙන්නේ.දර්ශණය කියන වචනයේ නිරුක්තිය ගත්තොත් ඒක බිඳිල තියෙන්නෙ.ප්‍රඥාවට ඇති කැමැත්ත වගේ තේරුමකින්.මගේ පෞද්ගලික වැටහීම අනුව ආගම වඩාත්ම කිට්ටුවෙන්නෙ දර්ශණයට. මොකද ආගමක් බොහෝවිට බිහිවෙන්නෙ කවුරු හරි ආගමික ශාස්තෲවරයෙක්ගෙ දර්ශණය පදනම් කරගෙන.
ඒත් බුදුරජාණන්වහන්සේගේ දේශනාව ආගමක්වත්, දර්ශණයක්වත් නෙවේ. ඒ ශ්‍රී මුඛ දේශනාවට සද්ධර්මය කියලයි කියන්නේ.


ධර්මය කියල කියන්නෙ ලෝක ස්වභාවයක්.බුදුරජාණන් වහන්සේ නමක් පහල වුණත් නැතත් ලෝකයේ ස්වභාවයක් තියෙනවා.ඒක වෙනස් වෙන්නෙ නෑ. නමුත් කාලයෙන් කාලයට මේ ස්වභාවය පිළිබඳ දැනීම වැහිලා යනවා.එහෙම වුණාම මිනිසත් බවක් ලැබුවත් මේ සංසාරයෙන් එතෙර වීමක් ගැන දැනුමක් ලබාගන්න බෑ. සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් පහළවෙලා දේශණා කරන්නේ උන්වහන්සේ ස්වයංභූ ඥානයෙන් අවබෝධ කරගන්නා මේ සත්‍යයයි.ඒක අර පුහුදුන් මනුෂ්‍යයෙක් තමන්ගේ බුද්ධියේ සීමාවට පෙනෙන ටිකෙන් ගොඩනඟන දර්ශණයකට වඩා සෑහෙන වෙනස්.ඒකමයි මේ ධර්මචක්‍රය කිසිම වෙලාවක ආපස්සට නොපෙරලෙන්නේ, කාටවත් "මෙන්න මෙතන වැරදියි, මේක අද කාලයට ඔබින්නේ නෑ" කියල වෙනස් කරන්න බැරි.


හැබැයි ඉතින් අපි කවුරුත් තේරුම් ගන්නේ තම තම නැණ පමණට නේ. ඒ නිසා බුදුදහම එක්කම බෞද්ධාගමක් ගොඩනැඟිලා තියෙනවා.ඒක වරදක් නෙවෙයි.(හැබැයි ඉතින් සමහර කට්ටිය බුදුදහම මාකට් කරන්න ගිහිල්ලා, බුදුහාමුදුරුවන්ටත් වඩා බෞද්ධ වෙලා කරන විගඩම් ගැන වෙනම කතා කරන්න ඕනේ. )

ඔන්න මට කියන්න හිතුණ දේ මම කිව්වා. වෙලාවක් කාරිය එහෙම තියෙනවනම් ඔයාලගේ අදහසුත් එකතු කරමුකෝ බලන්න.
හැබැයි ඒ ඔක්කොටම වඩා හොඳයි ලියන මාත් ඇතුළුව අපි ඔක්කොම වාද කරන එක පැත්තක දාලා, වචන වල තේරුම් හොයනකල් ගිහිල්ල බුදුහාමුදුරුවෝ දේශණා කරපු ධර්මයෙන් බිඳක් හරි ප්‍රායෝගිකව ක්‍රියාවට නැඟුවනම්, නැද්ද මං කියන්නේ?

Saturday, November 5, 2011

නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි


"ඔයා මොකට ඔය මනුස්සයට ඔච්චර කැමතිද මන්දා?" අනූපමා අක්කා මගෙන් අහනවා.
"ඔයා හිතනවද එයා ලස්සනයි කියලා?"
"ඇයි එයා ඔයාට ලස්සන නැද්ද?" පිළිතුරක් වෙනුවට මාත් ප්‍රශ්නයක්ම ඇහුවා.
"අනේ නෑ.පර්සනැලිටි එකක් තියෙනවද එයාට?" මම යන්තමට හිනාවුණා මිසක් වචනයක්වත් කිව්වෙ නෑ. අඩුම ගානෙ මගේ හිත නිදහස්වෙන්න කතා කරන්න පුළුවන් අනුපමා අක්කත් එක්ක විතරයි.
"මට නම් සල්ලිත් එක්ක දුන්නත් එයා වගේ කෙනෙක් එපා". එයා දොස් කියන්නෙ මගේ හිත හැදෙන්නම නෙවෙයි කියලා මම දන්නවා.
"ඇයි?"
"ඔහොම කෙනෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන්ද?"
ඇත්තටම මගේ හිත එතැනම නතරවෙන්න හේතුව මොකක්ද කියන්න මම දන්නෙ නෑ. මම දන්න කිසිම කෙනෙක් එයා කඩවසම් කියල හිතන්නෙ නෑ. ඒ වගේම ආකර්ශණීය චරිතයක් කියලා හිතන්නෙත් නෑ. හැමෝම දකින්නෙ එයා විකර්ශණීය චරිතයක් විදිහට.සමහර අය මගේ මූණටම එයා ගැන කියලා හිනා වෙලා තියෙනවා. එයාට කියන අන්වර්ථ නම් පවා කියලා තියෙනවා. මොනවා වුනත් මගේ හිතේ තියෙන්නෙ අනුකම්පාවකුත් නෙවෙයි. මට එයාව දැනෙන්නෙ රජෙක් වගේ. ඒක අනුකම්පාවට හාත්පසින් වෙනස් දෙයක්.
"අතඇරල දාන්න ඕක ගැන හිතන එක, ඔයා විතරයි විඳවන්නේ.එයා දන්නෙවත් නෑ."
අනූපමා අක්කා හරිම හොඳයි. ඒත් ඉතින් දවසම මගේ කන්දොස්කිරියාව අහගෙන ඉඳලා එයාට හිතෙනවද මන්දා මට පිස්සුයි කියලා.අනූපමා අක්කා ගැන මගේ හිතේ පුදුම ආදරයක් ඇතිවෙනවා. එයාවත් දන්නෙ නෑ එයා මට මොනතරම් සහනයක්ද කියලා.
ඇත්තටම මටම තේරෙන්නෙ නෑ මට මොනවා වෙලාද කියලා.ඉස්සර කවුරු හරි කෙනෙක් ඒකපාර්ශවීය ආදරයකට අහුවෙලා කිව්වොත් මම හිනාවෙන්න පුරුදුවෙලා හිටියා.ඒත් මේ මොකක්ද වෙලා තියෙන්නෙ? කෝ මම ජීවිතේ ගැන පනවගෙන හිටපු නීති රීති? මුළු දවස පුරාම මම හිතන හැම සිතුවිල්ලක්ම කෙලවර වෙන්නෙ එකම තැනින්. මඟ තොටේදිත් මටම නොදැනී මගේ ඇස්දෙක එයාව හොයනවා. ඒකනේ දකින හැම මනුස්සයෙක්ම එයාට සමාන කමක් ඇතුව පේන්නෙ. මොකක්දෝ කියාගන්න බැරි සිතුවිල්ලකින් මුළු හිතම වැහිලා ගිහිල්ලා.
"මේ ඒක නෙවේ, මොකද නාරද ගැන හිතන්නේ?" අනූපමා අක්කා හිනාවෙනවා. "එයා නරකද?"
"හ්ම්.." මාත් හිනාවෙනවා. චතුර කියපු කතාව ඇත්ත. ගෑණු ළමයෙක්ට ගෑණු ළමයෙක්ම ඉන්න ඕනෙ හොඳම යාළුවා විදිහට.
"එයා යාළුවෙක් විදිහට හරිම හොඳයි.එයා උගත්, එයාගේ අදහසුත් ලස්සනයි. මගේ අදහස් වලට ලඟින්ම යනවා.ඒත් එයා ගැන මගේ හිතේ තියෙන්නෙ එහෙම අදහසක් නෙවේ.එයාව මට පේන්නෙ වැඩිහිටියෙක් වගේ.ඔයා එහෙම හිතුවෙ මම නාරද සර් එක්ක හැම තිස්සෙම කතා කරන හින්ද ද?"
අනූපමා අක්කා හිනාවෙනවා. එයා තවත් මොන මොනවාදෝ ගැන කතා කරනවා. මාත් උත්තර දෙනවා. ඒත් මටම දැනෙනවා මගේ හිත තාම තියෙන්නේ පරණ තැනමයි කියලා.මේ දවස්වල මම ඉක්මනට නිදාගන්නවා. ඒ හිතුවිල්ලෙන් නිදහස් වෙන්න මට තියෙන එකම මඟ එච්චරයි. වාසනාවට මගේ හීන වලට තාම බලපෑමක් වුණේ නෑ.
මෙච්චර කාලයක් මේ වගේ හැඟීම් දිහා බලපු විදිහ නම් දැන් වෙනස්. ඒත් මගේ ආඩම්බරකාර හිත මේ හිතුවිල්ලට විරුද්ධව දුබල නමුත් නොනවතින සටනක් කරනවා.මටත් හොරා හිතේ පැළපදියම් වෙච්ච මේ සිතුවිල්ලට මම මෙච්චර කල් පනවාගෙන හිටපු නීති රීති බිඳින්න දෙන්නේ කොහොමද?
"නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි
සොයාගත්තොත් ගත්තු හැටියෙම වීසි කරන්නෙමි"
කියලා හිතන්නෙ මම නෙවෙයි.අර ආඩම්බරකාර හිත.

Wednesday, October 19, 2011

පොඩි හාමුදුරුවෝ වාදෙ දිනපු හැටි

මේ කතාව මට මතක් වුණේ විසිතුරු ලියල තිබුණු සටහනක් දැකලා.මුලින්ම ඒක විසිතුරුට කමෙන්ටුවක් හැටියට දාන්නත් හිතුණට පස්සෙ හිතුණා වෙනම සටහනක් විදිහට දාන්න ඕනෙ කියලා.
මේක සෙන් කතාවක්.


එක්තරා ජපන් පන්සලක හාමුදුරුවරු දෙනමක් ජීවත් වුණා. ලොකු හාමුදුරුවෝ බොහොම බුද්ධිමත්.අනෙක් හාමුදුරුවෝ තරුණ හාමුදුරුනමක් උන්වහන්සේගේ එක ඇසක් අන්ධයි.එතරම් ධර්ම ඥානයකුත් නැති ඉක්මනින් කේන්ති ගන්නා කෙනෙක්.මේ සෙන් දහමේ වාද විවාද ආදියට බොහොම ඉහල තැනක් තියෙනවනේ.
දවසක් මේ පන්සලට වැඩමකළා සංචාරයේ යෙදෙන හාමුදුරු නමක්. මේ ස්වාමීන්වහන්සේ තමන්ගේ වාද විවාදයන්හි තිබුණු දක්ෂතාවය නිසා රට පුරා ප්‍රසිද්ධවුණු කෙනෙක්.ඉතින් මේ ස්වාමීන්වහන්සේ අභියෝග කළා අර පන්සලේ හිටපු ස්වාමීන්වහන්සේලාටත්.මුලින්ම වාද කළ යුතු වුණේ අර පොඩි හාමුදුරුවෝ එක්කයි.
ඉතින් මේ ස්වාමීන්වහන්සේලා දෙනම, ඒ කිව්වෙ අර ආගන්තුක හාමුදුරුවොයි සාමණේරයන් වහන්සේයි විහාරයට ඇතුල්වුණා වාදය සඳහා.ටික වේලාවකින් අර ආගන්තුක හාමුදුරුවෝ එලියට වැඩියා.නායක ස්වාමීන්වහන්සේ මුණගැසිලා මේ විදියට කිව්වා.


"ස්වාමීනි මට හිතාගන්නවත් බෑ හරිම පුදුමයක්.මම මහා නායක ස්වාමීන්වහන්සේලා පවා පරදවලා තියෙනවා.නමුත් පළමු වතාවට මේ තරුණ සාමණේරයන්ට මම පැරදුණා.ගෝලයා මෙහෙම නම් ගුරුවරයා ගැන මට හිතා ගන්න පුළුවනි ස්වාමීනි.ඔබවහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨයි"
දැන් ලොකු හාමුදුරුවෝ කරකවලා අතඇරියා වගේ.මොකද තමන්ගේ ගෝලයගේ හැටි දන්නවනේ.ඒත් මම කිව්වනේ මේ ලොකු හාමුදුරුවෝ හරිම බුද්ධිමත් කියලා, ඒ නිසා අර විසිතුරුගේ කතාවේ දෛවඥයා වගේම වැඩි කතාවට නොයා ඉල්ලා හිටියා සිද්ධවු දේ විස්තර කරන්න කියලා.
දැන් අර ආගන්තුක ස්වාමීන්වහන්සේ බොහොම පරාජිත විදියට මෙහෙම කියනවා.


"ස්වාමීනි හස්ත මුද්‍රා ක්‍රමයට වාඩ කිරීම ඉතාම අසීරු දෙයක්. ඒ නිසා මා හිතුවා එසේ කරන්නට.මා සාමණේරයන් වහන්සේ දිහාවට එක ඇඟිල්ලක් දිගුකලා බුදුරජාණන් වහන්සේ හඟවන්න.මහා පුදුමයි හාමුදුරුවනේ අර සාමණේරයන් වහන්සේ ඇඟිලි දෙකක් මා දිහාවට දිගුකලා බුද්ධරත්නයත් ධම්මරත්නත් පෙන්නන්න,ඒ පාර මම ඇඟිලිතුනක් දිගුකරලා පෙන්නුවා බුද්ධරත්නයත්,ධම්මරත්නයත් සංඝරත්නයත් පෙන්වන්න.මෙන්න එතකොට මේ සාමණේර ශ්‍රේෂ්ඨයන්වහන්සේ අත මිට මොලවලා මගේ මූණ ළඟටම ගෙනත් සොලවලා ආපසු ගත්තා.මේ රත්නයන් තුනම එක්වූ කළ බුද්ධ ශාසනය ඇතිවෙනවා.එය මහාබලසම්පන්නයි කියන එකයි ඒකෙ තේරුම." මෙහෙම කියපු මේ ආගන්තුක ස්වාමීන්වහන්සේ පන්සලෙන් පිටවෙලා වැඩියා කියමුකො.


සෑහෙන වෙලාවක් ගියා අර සාමණේර හාමුදුරුවො තාම විහාරගේ ඇතුලෙ.ලොකු හාමුදුරුවො ඉක්මනට සාමනේර හාමුදුරුවො හොයාගෙන විහාරගෙට වැඩියා.බැලින්නම් මෙන්න අපේ සාමනේර හාමුදුරුවො ඉන්නවා විහාරගේ ඇතුලෙ දත්මිටි කකා.ලොකු හාමුදුරුවො දැක්කා විතරයි සාමණේරයන් වහන්සෙ කේන්තියෙන් පුපුරමින් මෙහෙම අහනවා.
"කෝ අර උන්නාන්සේ? ආපහු වැඩියද? තාම ඉන්නවනම් කියන්න ගුටිනොකා බේරුණේ ඔබවහන්සේ හින්දය කියලා. "
දැන් ලොකු හාමුදුරුවො තවපාරක් කරකවලා අතෑරිය වගේ වුණා.ඇයි මෙක මහ හතර බීරි කතාවක් නොවැ.
"හරි හරි පොඩි නම, කේන්තිගන්න කාරියක් නෑ.වුණේ මොකද කිව්වනම්."


"වුණේ කියන්නෙ ලොකුහාමුදුරුවනේ,වාදයට කියලා ඇවිත් අසුන්ගත්තා විතරයි,මගේ මේ කණ ඇහ පෙන්නල ඇඟිල්ල දික්කරේ නැතැයි අර උන්නාන්සේ.ආගන්තුක හාමුදුරුවෝ වෙච්චි,ඇරත් ඉතින් ඔබවන්සේ මට නිතරම කියනවනේ කේන්තිය පාලනය කරගන්න කියලා.ඒ හින්දා මම බොහොම සුහද විදිහට ඇඟිලි දෙක දික්කරල පෙන්නුවා ඔබවහන්සේ වාසනාවන්තයි ඇස් දෙකම තියෙන නිසා කියල.ඒ ගමන ඒ උන්නාන්සෙ මා දිහාට ඇඟිලි තුනක් දික්කළා නොවැ ඔහේගෙ තනි ඇහැයි, මගේ ඇස් දෙකයි ඇස් තුනයි කියලා.අනේ අම්මපා මට ආපු කේන්තියට මම උන්නාන්සෙගෙ මූණටම දෙකක් දමලා අනින්න කියලා ගියා,ඒත් මිට මොලෝපු අත උන්නන්සෙගෙ මූණ ළඟටම ආවම ආයිත් ඒකෙන් ඔබවහන්සෙට වෙන අපහාසෙ තේරුම් ගිය නිසා යන්තම් ආයි අත ගත්තා"


කියල සාමණේර හාමුදුරුවෝ එක හුස්මට කියාගෙන ගියා.

Monday, October 17, 2011

හීනයක් නිසා යාළුවෙක් මියයාම (මරා ගැනීම )

මේ කතාවත් හීන හා හීන ඵලාපල වලට සම්බන්ධයි. මම කිව්වනේ මම එච්චර හීන ඵලාපල ගැන දන්නෙ නෑ කියලා.ඒත් මම ප්‍රත්‍යක්ෂයෙන් විශ්වාස කරන හීන ඵලාපල දෙකක් තියෙනවා.මම හිතන්නේ හීන ඵලාපල එක එක්කෙනාට වෙනස් වෙනවත් ඇති.(මොකද මම ඕනෙ තරම් හීනෙන් මගේ දත් විතරක් නෙවෙයි ඇසුත් ගලෝගෙන තියෙනවා.)
ඒත් හීනෙන් වතුර දැක්කොත් අනිවාර්යෙන් හෙම්බිරිස්සාවක තරම වත් සෙම් කලබලයක් වෙනවාමයි. ඒ වගේම තමයි, කවුරුහරි කෙනෙක් විශේෂිතව හිනාවෙවී හොඳ සනීපෙන් හිටියොත් (විශේෂිත කිව්වෙ එ හීනෙට අදාලත්වයක් නැති විදිහට.ඒක තේරෙන්නෙත් හීනෙන්ම තමයි ) ඒක ඒ පුද්ගලයාට හොඳ නෑ.(ඇත්තම කිව්වොත් මෙච්චර කාලෙකට ඒ විදිහට දැකපු අය මැරුණා)
ඉතින් මම ළඟදි දැක්කා මං අඳුරන කෙනෙක් ඒ විදිහට හිනා වෙවී ඉන්නවා. දැන් මගේ හිතට මාර විදියට අවුල්.එදා දවසෙම මගේ ඔළුවෙ වැඩ කරන්නෙම ඕක විතරයි.මේක කිව්වොත් ඉතින් අහපු මනුස්සය හිනා වෙනවා මිසක් වෙන මොකක්ද? ඒත් ඉතින් නොකියත් බෑ.ඇරත් දැකපු කෙනාගෙ හැටියට නිකම් යාලුවෙක්ට වගෙ"මම අද ඔයාව හීනෙන් දැක්කා " කියන්නත් බෑ.(කිව්වොත් මගේ මොලේ කචල් කියලා හිතයි )අන්තිමට වටෙන් ගොඩෙන් පරිස්සම් වෙන්න කියල කිව්වා.
එදාම මහ පුදුම විදිහට මගේ කකුල තුවාල වුණා. පුදුම විදිහට කියලා කිව්වේ ඇයි දන්නවද? මම ගමන් කළේ ඉතාම හිමින් ඒ වගේම සාමාන්‍ය විදිහට කකුල වැදුණනම් වැදෙන්න ඕනෙ සෙරෙප්පුව නැත්තම් මහපට ඇඟිල්ලේ නියපොත්ත.මේ ඔක්කොම බේරලා කකුලේ මහපට ඇඟිල්ල පොලොවෙන් අඟලක් වත් උඩට නො ආපු යකඩයක වැදිලා සෙන්ටිමීටරයක විතර පැල්මක් ඇතිවුණා.
මගේ මොළේ මොනතරම් අර හීනෙ සීරියස් අරගෙන තිබුණද කිව්වොත් දැන් මං වටේ ඉන්න අනිත් ඔක්කොම බයවෙලා ඉඳිද්දී මං විතරක් සතුටෙන් ඉන්නවා.මොකද මට හිතෙන්නෙම දැන් මේ සිද්ධවෙච්ච අරුම පුදුම දේ නිසා අර හීනෙ ප්‍රතිඵලය වෙනස් වෙන්න ඇති කියලා (හරි හරි මනෝ විද්‍යාඥයෙක් නම් කියයි ඉතින් ඒ අපි අපේ මනසට බියක් ඇති වුණාම මඟහරවා ගැනීම සඳහා ගන්න උපක්‍රම කියලා). ඉතින් ලේ ගලන කකුල හෝදන්නෙවත් නැතුව ලේ ගලද්දිම මම පාරෙ යනවා.
මෙහෙම යනකොට මගේ යාලුවෙක් මට කතාවක් කියනවා. කා ගැනද? මම අර හීනෙන් දැකපු පුද්ගලයා ගැන.මේ කතාව මීට කලින් මම අහල තිබ්බා වගේ මතකයක් මට තිබුණා. ඒකෙ ඒතරම් විශේෂයක් තිබුණෙ නෑ. ඒත් මේ යාළුවා මේක කියපු විදිහට මට බොහොම තදින් දැනුණා.මොකද ඔහු මගේ ලෝකෙ වීරයෙක් වගේ කෙනෙක්.කතා කළත් හරවත් යමක් ගැන කතා කරපු කෙනෙක්.කාලෙකින් මම දැකපු හොඳ හරවත් මනුෂ්‍යයෙක්.
ඒ අදහස් වල තියෙන රසවත් කම නිසාම මම ඔහුට චැට් කරලා වද දෙන සිරිතක් තිබුණා.මොකද මොකක් හරි මාතෘකාවක් ගැන කතා කරන්න පටන්ගත්තොත් ඒ මාතෘකාව ඉවරවෙද්දි හිතන්න දෙයක් ඉතුරුවෙනවා.අනිත් එක ඔහු මට වඩා හුඟක් වයසින් වගේම දැනුමෙනුත්, බුද්ධියෙනුත් ප්‍රඥාවෙනුත් උසස් කෙනෙක්.මාත් එක්ක කතාකිරීම ඔහුට කිසිම ඵලක් නැති දෙයක් වුනත් ඔහු කතාකළා.
අන්තිමට එදා මම මෝඩයෙක් වගේ කතා කරන අතරතුර අර යාළුවා කිව්ව කතාව ඔහුට කියන්න ගියා.ඒ චැට් එක තනිකරම මහ බහුබූතයක් කියලා මට තේරුණේ පස්සේ වතාවක නැවත චැට් එක කියවලා බලද්දි.
ඒත් ඒ වෙනකොට මම මගේ යාළුවෙක් වෙමින් හිටපු කෙනෙක්ව නැතිකරගෙන ඉවරයි.ඔහුගේ වයසත් මට සාපේක්ෂව ඔහු ඉන්න තැනත් ,ආදී කරුණු බහුතරයක් නිසා ඒ සිද්ධවුණු මෝඩකම නැවත හදන්න බෑ. අනිත් එක ඒ කාරණයෙන් පස්සෙ මිසක් ඉස්සෙල්ලා මට හිතුණෙ නෑනෙ මිත්‍රත්වයක් නැත්තම් මම වගේ සාපේක්ෂව පොඩි ළමයෙක් එක්ක කතා කරලා කාලෙ නාස්ති කරගන්නවට වඩා ඔහුට හුඟක් වැඩ තියෙන්න ඇති කියලා.
අන්තිමට කොහොම හරි හීනෙ ඇත්ත වුනා. පුද්ගලයා නොමැරුණත් ඒ තුල හිටිය මගේ යාලුවා නැවත නො එන්නටම මියැදුණා කියලයි මම හිතන්නෙ.
යාළුවෙක් තරහ වීම දරන්න පුළුවන්. ඒත් තමන්ගෙම වැරැද්ද නිසා මේ විදිහට යාළුවෙක් නැතිවීම මොනතරම් සිත් වේදනාවක්ද කියලා මට දැනුණා
සතියක් විතර කාලයක් මම කිසිම දෙයක් කතා නොකර හිටියා.ඒ කාලය තුළ මම පුදුමාකාර විදිහට පසුතැවුණා.ඒත් අන්තිමේදි මම හිත හදාගත්තා.නැවත වතාවක් මම ඒ වරද කරන එකක් නෑ.දෙයක් කතාකරන්න කලින් මම සියවරක් හිතාවි.
ඒත් ඒ නැතිවුණු මිත්‍රත්වය නැවත ඇති නොවෙනවා වගේම,ඒක ඇති කරන්න ගන්න කිසිම පියවරක් නිසා එතුමා වගේ කෙනෙක් මගේ ජීවිතයෙන් සදහටම ඈත් කරගන්න මට වුවමනාවක් නෑ.මොනවා වුනත් යාලුවා මැරිලා හරි පුද්ගලයා ජීවත් වීම ගැන මම සතුටු වෙනවා.දැන් අධ්‍යාපනික කටයුත්තක් වගේ බොහොම නිල කාර්යයන් සඳහා පමණයි මම චැට් කරන්නෙ. ඒත් නොකරම බැරි වුණොත් විතරයි.නැත්නම් මම දුරකථනය පාවිච්චි කරනවා.
ඔන්න ඕක තමයි මම මෙතුවක් දැකපු නරකම ප්‍රතිඵලය උදා කරපු හීනය. ඒත් ඒක කරගත්තෙ මම ම තමයි.

Saturday, September 10, 2011

උකුසු වෙසින් ඇත- ඇස් දහසක් අප වෙත යොමු වී


මම ඉගෙනුම ලබන ආයතනයේම කෙනෙක් විදිහට කටයුතු කරන්න මට අවස්ථාවක් ලැබුණා කියමුකෝ, අපේ ආයතනයෙ ගොඩනැඟිලි දෙකක් පාරෙන් දෙපැත්තෙ තියෙන්නේ. දවසක් මට සාමාන්‍යයෙන් ඉන්න ගොඩනැඟිල්ල වෙනුවට එහා පැත්තෙ තියෙන එකට යන්න වුණා ඡායා පිටපත් වගයක් ගන්න. මේ ගොඩනැඟිල්ලෙ තමයි අර මගේ කලින් ලිපියකට පදනම් වුණ ක්ලීනින් ආන්ටි ඉන්නෙ. එයා තාම දන්නෙ නෑ මම ආයතනයේ සේවය කරන බව.

ඡායා පිටපත් ටික ගන්න පියන් කෙනෙක් එක්ක ඡායා පිටපත් යන්ත්‍රය තියෙන කාමරයට ඇතුල් වෙන්න යනකොට මම දැක්කා මේ ආන්ටි මා දිහා විමසිල්ලෙන් බලනවා.මම ඉතින් සුපුරුදු පරිදිම ඇයත් එක්ක හිනාවෙලා මගේ ගමන යන්න පිටත් වුණා.ඒත් එක්කම මම දැක්කා මේ ආන්ටි එක පාරටම තමන් කර කර හිටපු වැඩේ පැත්තක දාලා මා පස්සෙන් දුවගෙන එනවා.ඒ වෙලාවෙ මට ඒක ඒ තරම් නොතේරුණත් ඊලඟ මොහොතේ අර ඡායාපිටපත් ගන්න යන්ත්‍රය තියෙන කාමරයේ වීදුරු දොරට මූණ තියාගෙන බලාගෙන ඉන්න ඇන්ටිව දැක්කහමත් කාරණේ නොතේරෙන්න මම ඔටුවෙක් යැ?

ඊට පස්සෙ මම ඇන්ටිව ඇතුලට අරන් කතා කර කර හිටියා.ඔන්න මම ආපු කාරණේ හරියට දැනගත්තම තමයි ඇන්ටි ආපහු යන්න ගියේ.

මේ කතාව අද මම අම්මත් එක්ක කිව්වහම අම්මා කියනවා ඉස්සර අම්මලගේ තාත්තා දුන්නු උපදේශයක් ."ජීවත් වෙනකොට තමන්ට වගේම අනිත් මිනිස්සුන්ටත් ඇස් කන් තියෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන්න" කියන එක. ඇත්තටම මඟ තොටේදි සහ අවට පරිසරයෙදි අපිව කී දෙනෙක්ගෙ ඇස් වලට ලක් වෙනවද? කී දෙනෙක් අපි දිහා විමසිල්ලෙන් බලන් ඉන්නවද? සමහර විට ඒ අය අපිට සලකන විදිහ, අපිට කතා කරන විදිහ වගේම අපේ ආරක්ෂාව තීරණය වෙන්න බලපාන්නෙත් අපේ හැසිරීමම තමයි.

සියදිවි හානි කරගැනීම පරාජිතයින්ට පමණයි.


ලකී ගෙ ජීවිතේ ගොඩක් වෙනස් කම් වුනා නෙ.(හෙහ් හෙහ්. වෙන මුකුත් නෙවේ අප්පා ජොබ් කට්ටක් සෙට් උනා) සමහර වෙලාවට බ්ලොග් සංකල්පනා ඇවිත් ගියා. ලියන්න වුනේ නෑ. අන්තිමට ඔක්කොම අමතක වෙලා ගියා.හෙට ආපහු පන්ති පටන් ගන්නවා කියල මතක් වෙනකම් බ්ලොග් එක මතක් වුනෙත් නෑ. ඒත් අනිත් අය ලියපු රසවත් හරවත් බ්ලොග් වලට නම් සැරින් සැරේ ගිහින් ආවා.

අද මම හිතුවා සියදිවි හානි කරගැනීම ගැන ලිපියක් ලියන්න ඕන කියලා. ආසන්නතම හේතු දෙකක් තියෙනවා. එකක් තමඉ දුරින් මගේ ඥාතියෙක් වෙන පුද්ගලගෙක් ගිය මාසේ සියදිවි හානි කරගැනීම.අනිත් කාරණය පුවත්පතක මම දැක්ක ලිපියක්.

මගේ ඥාතියා නම් නොයෙක් හේතු කාරණා නිසා අසහනයෙන් හිටපු ලකුණු පේන්න තියෙනවා. සමහර දේවල් පෞද්ගලික කාරණා. ඒ ආසන්නතම කාලයේ තමයි මට දකින්න ලැබුණෙ අර ප්‍රසිද්ධ විදුහලකදී ටයි පටියෙන් ගෙල වැලලාගෙන මියගිය දියණියගෙ මව ලියපු ලිපියක්.මීට පෙරත් හැම වසරකම ඇය ගැන දුක හිතෙන සටහනක් ඇයගෙ පියා අතින් ලියැවුණා. මෙවර ලිපියෙ ලියලා තිබුණේ ඒ පියාත් රෝගාතුර වෙලා මියගිහින් කියන එක.

සියදිවි හානි කරගැනීම කාලයක් ගෞරවාන්විත දෙයක් විදිහට සැලකිලා තියෙනවා. ඇලෙක්සැන්ඩර් ඩූමා රචනා කළ "මොන්තක්‍රිස්තෝ සිටුවරයා " පොතේ මොරේල් නම් චරිතය තමන් මූල්‍යමය බංකොලොත් භාවයට පත් වුණු වෙලාවෙ සියදිවි හානි කරගන්න උත්සාහ කරනවා.ඔහු තමන්ගේ පුතාට කියනවා "දුක් වෙන්න එපා, ලෙයින් අගෞරවය හේදිලා යනවා " කියලා.

බුදු දහමේ වුනත් සියදිවි හානි කරගැනීම ප්‍රාණඝාතය තරම්ම ප්‍රබල නැති අකුසලයක් කියලා තමයි සැලකෙන්නේ.

කොහොම වුනත් ස්වයං මෝහනයට පත්වෙලා යම් යම් දේවල් කියපු එඩ්ගා කේසි වගේම බොහෝ පුනර්භව සාධක වලත් පෙන්නුම් කරන්නේ සියදිවි හානි කරගන්න පුද්ගලයන්ගේ ඒ චර්යාව සසර පුරුද්දක් වන බව හා එබඳු පුද්ගලයන් මිතුරන් අඩු හුදෙකලා හා කනස්සලු චරිත වන බව.

අර දියණිය මොන කාරණයක් නිසාද සියදිවි හානි කරගෙන තිබුණෙ කියලා ඔයාලට මතකද? පාසැලට ජංගම දුරකතනයක් අරගෙන ඇවිත් ඒක අහුවුණු එකට. ඒක අපරාදයක් නෙවේනේ.අග්නිදිග ආසියාවේ විශාලම බෞද්ධ පාසැලටත් ඉස්සර ජංගම දුරකතන ගේනවා. ඒවා අහුවෙනවා. හැබැයි කවුරුත් සියදිවි හානි කරගත්තේ නෑ.මෙතන ප්‍රශ්නෙ වුනේ ඒක තමන්ගේ දෙමවුපියන්ට දැනගන්න ලැබෙයි කියන බය.ඒ දෙමවුපියො ඒ දුව ව මලක් වගේ සියළු සැප සම්පත් මැද හදාගෙන තිබුණත් එක දෙයක් දෙන්න අමතක කරලා තිබුණා. ඒ තමයි විශ්වාසය.ඇයට තහවුරු වෙලා තිබුණනම් මොනදේ වුනත්,ඒ වෙලාවෙදි බැන්නත් ගැහුවත්, දෙමවුපියන් තමන්ට ආදරෙයි, තමන් එක්ක ඉන්නවා කියන එක, එහෙනම් තාමත් ඇයත් ඒ දෙමව්පියොත් සතුටින් ඉන්නවා.

සියදිවි හානි කරගන්න එක ඉතාම පහසු පලායාමේ ක්‍රමයක්.මිනිස්සුන්ට ධෛර්යය අවශ්‍ය වෙන්නේ ජීවත් වෙන්න. මම කතන්දර වලට ආසයි.( ඒත් ප්‍රබන්ධ විශ්වාස කරන්නේ නෑ.)සත්‍ය කතාවක් මත පදනම් වුණු වානේ පන්නරය ලැබූ හැටි පොතේ පාවෙල් කොර්චාගින් මතකද? මුළු සිරුරම අවසඟ වෙලා ගියත් පාවෙල් සටන් කරනවා.මිනිහෙකුට අවශ්‍ය අන්න ඒ වගේ ජීවිතයක් තමයි. ඒක තමයි වීරයෙකුගෙ ජීවිතය.

කොහොම වුනත් හැම වෙලාවෙම හැම කෙනෙකුටම වීරයෙක් වගේ හිතන්න බෑනෙ. අනිත් එක තමන්ගේ ජීවිතයේ වටිනාකම් එක්ක නොයෙක් සිදුවීම් තමන්ට දැනෙන ප්‍රමාණය වෙනස් වෙනවා. සමහරවිට හිතෙනවා "මීට වඩා වෙන්න හානියක්වත් අපහාසයක්වත් නෑ" කියලා.(කොහොම වුණත් ගොඩක් අත්දැකීම් පරණ වෙනකොට තමයි හිතෙන්නේ ඒවා සිද්ධ වෙලා තියෙන්නේ වෙන්න තිබුණු හොඳම විදිහට කියලා). ඒ වගේ වෙලාවකට පත්වෙච්ච කෙනෙක්ව තේරුම් ගන්න එකත් ඔවුන් එක්ක ඉන්න එකත් විශ්වාසය ලබාදෙමින් උදව් කරන එකත් කරන්න පුළුවන් කිසිම වෙලාවක මඟහරින්න එපා. ඒකත් අභය දානය දීමක් තමයි.

ප.ලි:මේ ලිපියට මාතෘකාවක් ලියන්න යනකොට තමයි මේක මතක් වුනේ. අහලා තියෙනවද සින්දුවක් "පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුණු විසුනුව වැටුනේ" කියලා? මම ඒ ගීතයට ප්‍රිය කරන්නෙ, සියදිවි නසා ගැනීම ගැන මම හිතනදේම ඒ ගීතයෙන් කියල තියෙන නිසා.

Saturday, April 16, 2011

මේ හැඟීමට නමක් දෙන්නට ඔබට හැකිදැයි බලන්න!




මගේ ජීවිතයේ මේ දිනවල විශාල පෙරළියක් ඇතිවී ඇතැයි මට සිතේ. මා දකින සෑම දෙයක් දෙසම මම වෙනස් ආකාරයකින් බලන්නට උත්සාහ දරමි. එය හිතාමතා සිදුවන්නක් නොවේ.මම විටෙක මගේ දෙනෙත පියාගෙන ලෝකය විඳින්නට උත්සාහ දරමි.වර්ණ හැඩතල නොහඳුනන ලෝකයක් ගැන සිතාගන්නට උත්සාහ කරමි. එහෙත් පෙර පුරුදු හැඩතල හා වර්ණ ඇති නිසා දෑස් පියාගත්තද ඔවුන් විඳින අත්දැකීම මට නොලැබෙන බව මම දනිමි. මේ හැඟීම අතිශය සංකීර්ණ එකකි. එය මානය,ශෝකය,විශ්මය වැනි සියල්ලම කැටිකරගත් එකකි.

උසස් ජාතික ඩිප්ලොමාව( Edexcel HND in computing) හදාරණ අපගේ මිතුරු මිතුරියන් පිරිසත් අපගේ ගුරුතුමියත් නිසාම ඔවුන්ගේ ව්‍යාපෘතියට සම්බන්ධ වූවා මිස එහි යනතෙක්ම මට කිසිදු විශේෂිත හැඟීමක් ඒ පිළිබඳ නොතිබිණි. එහෙත්එහි ගිය තැන් පටන්ම මගේ සිත ආගන්තුක හැඟීම් සමූහයකින් වෙලෙන්නට පටන් ගති. රත්මලාන නගරයේ පිහිටි තම දැකුම්කළු ගාම්භීර පාසැල් ගොඩනැඟිල්ල දෑසින් දකින්නට ඒ දරු දැරියන්ට පිනක් නැත. අප විසින් ඔවුන් වෙනුවෙන් පැවැත්වූ ඒඅපූරු අවුරුදු උත්සවය ඔවුන්ට වඩා අපූරු වූයේ අපට යැයි හඟිමි.

අප අසලින්ම ඇවිද යන ඔවුන් කිසිම සුදු සැරයටියක් නැතිව අපව සංජානනය කර ගන්නේ අප සිත තුළ මහත් විශ්මයක් දනවමිනි. තාලයක් වාදනය වන සැනින් ගීතය හඳුනාගන්නා ඔවුන්ගේ තියුණු කන් වලට ස්වර තාල වරදින්නේ නැත. "අකුරට යන්නට කම්මැලි හිතිලා" ගීතය ගැයූ දෙවන ශ්‍රේණියේ උගන්නා මිහිරි හඬැති දියණිය මා හැඬවූයේ නිරායාසයෙනි.
එදින ඔවුන්ගේ පාසැලේ මේ වාරයේ අවසාන දිනයයි. උත්සවය නිම වන්නට මඳකට පෙර බාලිකාවන් කිහිප දෙනෙකු පාට ඇඳුමින් සැරසී ගමන් මළු පිටේ එල්ලාගෙන සිටින්නේ මන්දැයි උපන් කුහුල සංසිඳුනේ යගුලියක බර සිතට එක්කරමිනි. දෙමාපියන්ගේ හව්හරණ නොලබන ඔවුන්හට වාරයක් පුරා පාසැල ලබාදුන් සෙවණද නිවාඩුව සඳහා අහෝසි වන බවත් ඔවුන් රජයේ ළමානිවාසයක භාරයට පත්වන බවත් දැනගැනීමෙන් දැනුණු කම්පනයේ නින්නාදය මේ ලියන මොහොතේදීත් මම අත් විඳිමි.

ඔවුන්ට අවැසි අනුකම්පාව නොවන බව මම දනිමි. සියළුම ඉන්ද්‍රියයන් හොඳින් පිහිටි අපට වඩා ඔවුන් ලෝකය ජයගෙන ඇත. කිසිදා නොපෙනෙන දෙනෙත ගැන වද වීමක් හෝ තැවුල් සිතක් නැති ඔවුහූ තමන්ගේම ක්‍රමයකට ලෝකය දකිති. ජීවිතය සතුටින් විඳිති. එකිනෙකා කෙරෙහි බැඳෙති. උපකාර කරගනිති. එහෙයින්ම ඔවුන් දැකීමෙන් මගේ සිතට දැනෙන හැඟීම් පුංජයට කිව හැකි නමක් සොයමි.

සුප්පම්මා සහ අපේ අම්මා

සමහර මිනිස්සුපොදු දේපල ගැන දක්වන ආකල්පය ගැන නම් ඇත්තටම දු
ක හිතෙනවා. විශේෂයෙන්ම වැසිකිලි භාවිතයේදී. මම ඉගෙනුම ලබන පෞද්ගලික අධ්‍යාපන ආයතනයේදී අත්දකින්නට සිදුවුණු දෙයක් නිසා තමයි මේ කතාව මගේ මතකයට ආවේ. අපේ ආයතනය පිරිසිදු කරන්න ලංකාවේ ප්‍රකට ආයතනයකින් සේවයේ යොදවල තියෙනවා. මේ කාන්තාවන් තමන්ගේ කාරිය ඉතාමත් අපූරුවට ඉෂ්ට කරනවා. වැසිකිලි ආදිය ඉතාමත් පිරිසිදුව තියාගන්න මේ අය වගබලාගන්නවා පමණක් නෙවෙයි ඉතාමත් ප්‍රිය මනාප ලෙසත් හැසිරෙනවා.ඒ නිසා ඔවුන් සමඟ වචනයක් දෙකක් හුවමාරු කරගන්න අපි අමතක කරන්නේ නෑ.

එක්තරා දවසක මම වැසිකිලිය ළඟට යනකොටම අවට හිටිය අයගේ මුහුණුවලින්ම මට පෙනුණා වැසිකිලියේ තත්වය අවුල් බව.කතාව දැනගත්ත ගමන්ම මම ඉක්මනට අර "ඇන්ටි"ව හොයාගෙන ගියා.කොමෝඩ් එක පාවිච්චි කරන්න නොදන්නා කමටත් වඩා හිතාමතාම ඒක නොහොඹිනා විදිහට පාවිච්චි කරපු බව තමයි අපි කාගෙත් අදහස උනේ. ආයේ හංගන්නේ මොකටද, මේ කියවන අය අතරත් ඕනේ තරම් ඇතිනේ පොදු වැසිකිලියකට හියාම අප්පිරියාවට ඒක උඩ නැගලා හරි බාගෙට ඉඳගෙන හරි ශරීර කෘත්‍ය කරන අය. ඇත්තටම මේ වගේ අය නිසා තමයි ඒවගේ අප්‍රසන්න තත්ව ඇතිවෙන්නේ.

ඊට පහුවෙනිදා යනකොටත් අර ඇන්ටි අපිව දැක්ක ගමන්ම කිව්වේ කලින් දවසේ වගේම සිද්ධියක් සිද්ධවෙලා තිබ්බ බව. ඇය නිරීක්ෂණය කරලා තිබුණා මොන පන්තිවල අය අතින්ද මේක සිද්ධවෙන්නෙ කියල. ඇත්තටම කියන්නත් කනගාටුයි අනිත් දේවල් මදිවට ජල කරාමයේ කරකවන හිස චොකලට් පදාසයකින් වැහිලා ගිහිල්ලා තිබුණා.

මට පුදුම කණගාටුවක් ඇතිවුණා. මා ඉගෙනුම ලැබූ පාසැලේ පිරිසිදු කිරීම් කටයුතු කලේ සුප්පම්මා කියල දෙමළ ජාතික කාන්තාවක්. මගේ විදුහල්පතිනිය "ජිනසේන මැඩම්" නිතරම අපිට දුන්නු අවවාදයක් තමයි "සුප්පම්මාත් අම්මා කෙනෙක් කියලා හිතන්න" කියන කාරණය. දාහක් වැල්වටාරම් අවවාද සහ වැසිකිලි භාවිතය ගැන පනවන නීති වලට වඩා ඒ කාරණය අපිව සංවේදී කළා. අද මේ කාරණයේදීත් අර "ඇන්ටි" කාගේහරි අම්මා කෙනෙක් නේද කියලා හිතනකොට මට පුදුම දුකක් ඇතිවෙනවා. කිසිම පුද්ගලයෙක් ආසාවෙන් තෝරා නොගන්නා රැකියාවක් වුනත් ඒ කාරිය කිසිම නොරිස්සුමක් නොපෙන්වා අකුරටම කරන ඇය අතින් සිදුවන සේවය ගැන සංවේදී නැති මිනිස්සුන්ගේ මනුස්සකම මහ ප්‍රශ්නාර්ථයක්. අද නව යෞවනයේ පසුවෙන මේ අය හෙට සමාජයේ පෙම්වතියන්,බිරින්දෑවරු,අම්මලා උනාම ඇතිවන තත්වය හිතාගන්නත් බය හිතෙනවා නේද?

Saturday, March 12, 2011

මගේ හිත රිදී තිබේ! (කාටවත් ඵලක් නැති කතාවක්)


කුඩා කළ පටන්ම මා හට මිතුරන් සිටින්නේ අතේ ඇඟිලි ගණනටය. ආශ්‍රය කරන, සුහදශීලී පිරිස කොතෙක් සිටියද මගේ මිතුරන් වන්නේ එයින් ඉතා සුළු ගණනක් පමණකි. එසේ යම් කෙනෙකු මිතුරෙකු ලෙස සැලකූ පසු ඒ මිතුරු කම ලෙහෙසියෙන් බිඳෙන එකක් නොවේ. එසේම මිතුරු කමේ එකම සුදුසු කම මිතුරුකම පමණක්ම යැයි මම සලකමි.අපගේ සියලු ප්‍රබලතා මෙන්ම දුබලතා සඳහාද කීර්තිය මෙන්ම අපකීර්තිය සඳහාද බුද්ධිමත් කම් මෙන්ම මෝඩ කම් සඳහාද එහි ඉඩ තිබේ.බලය වත් පොහොසත්කම් උගත්කම් එයට කොහෙත්ම අදාල නොවේ. මගේ මිතුරන් කුලකය ගැන දන්නා අය එය දනිති.

ඒ නිසා මම පෞද්ගලිකව මුහුණට හමුවී නැති අය මගේ මුහුණු පොතට ඇතුලත් කර නොගැනීමේ ප්‍රතිපත්තියක මෑතක් වනතුරුම සිටියෙමි. එහෙත් මේ නිවාඩු කාලයේදී මගේ මිතුරියක කියූ දෙයක් නිසා මම ඒ ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට කල්පනා කලෙමි. එහි පළමු පියවර ලෙස මම එක් නව ඉල්ලීමක් මගේ මිතුරියකගේ මිතුරෙකුට යැවූ අතර මා වෙත මින් පෙර පැමිණ පොරොත්තු ලැයිස්තුවේ තිබූ ඉල්ලීම් අතුරින් දෙකක් පිළිගතිමි

මින් කී පලමු පුද්ගලයා කෙරෙහි මගේ සිතේ යම් ප්‍රමාණයක පැහැදීමක් තිබුණි. ඒ ඔහු සොයන ලියන දේ පිළිබඳවය. සතියකට වරක් කියවන්නට ලැබෙන දේ අනුව ඔහු සුන්දර අදහස් ඇති සොයුරෙකු වනු ඇතැයි හැඟීමක් විය. ඒ නිසා මා විසින් අනුගමනය කරන සාමාන්‍ය රීති වලින් බැහැර ගොස් මම වත් පොතෙහි පලමුවෙන් සංවාදය ඇරඹුවෙමි. එහෙත් එහිදී මා ඔහුව සැලකුවේ යහලුවෙකුගේ යහලුවෙක් ලෙස විනා ඔහුගේ පාඨකයෙකු ලෙස නොවේ. මා සිතන ලෙස මට වැරදුණේ එතනය.

ඔහු එයට සැබැවින්ම අකමැති විනිද නැතහොත් ආඩම්බර කාරයෙකුදැයි මට තවම වටහා ගන්නට නොහැකිය. නොදන්නා කෙනෙකු විසින් යහළුවෙකුට මෙන් අමතනු ලැබීමෙන් ඔහුට රිදුනා වන්නට ඇතැයි මම සිතුවෙමි. එහෙයින්ම ඒ වරද නිවැරදි කළ හැකිදැයි බලන්නට මම උත්සාහ කළෙමි. එහෙත් අළුත් සිංහලෙන් කියතොත් කිසි දිනෙක නොවූ පරිදි නෝන්ඩි වන්නට මට වුවමනා නැත.

එහෙයින් මගේ බාල සොයුරෙකුගේ වයසේ පසුවන ඔහුගෙන් ප්‍රසිද්ධියේ සමාව අයදිමින් මම නිහඬ වෙමි.

එහෙත් මගේ සිත රිදී ඇත.
මිනිසෙකු සමඟ සන්නිවේදනය කිරීම මෙතරම් අපහසු යැයි මා සිතුවේ නැත.

Monday, March 7, 2011

කඩා වැටෙන තරුව හෙවත් ප්‍රාර්ථනා ඉෂ්ට කර ගැනීමේ නොවරදින ක්‍රමවේදය




අපි හැමෝටම කොච්චර ප්‍රාර්ථනා තියෙනවද? කවදාවත් හිතල තියෙනවද ඒව ඉෂ්ට වෙන්න මෙච්චර ලේසි විදිහක් තියෙනව කියල. මේක ඔයාල හැමෝම පොත්වලින් කියවල චිත්‍රපටි වලින් දැකල තියෙන විදිහක්. ඒත් මේක සුරංගනා කතාවලට අයිති එකක් කියලනේ මෙච්චර දවසක් හිතුවේ.
ඒ විදිහ තමයි කඩා වැටෙන තරුවක් එහෙමත් නැත්තම් උල්කාපාතයක් දිහා බලාගෙන ඔයාලගේ ප්‍රාර්ථනාව කරන එක.

ඒක සිද්ධ වෙන්නේ බොහොම තර්කානුකූල ක්‍රමවේදයකට අනුව.ඒ මෙන්න මෙහෙමයි. කඩාගෙන වැටෙන තරුවක එළිය පවතින්නේ කොච්චර ටික වෙලාවද? ඇහිපිය ගහන්නත් කලින් ඒක නිවිල යනවනේ. ඒ තරම් ටික කාලයක් ඇතුලත අපෙ මනසට එන්න නම් ඒ ප්‍රාර්ථනාව අපේ හදවතේ හැමවෙලාවෙම තදින්ම තියෙන ප්‍රාර්ථනාවක් වෙන්න ඕනනේ. ඒ වගේ මොහොතකත් අපේ හදවතට එන ප්‍රාර්ථනාව තමයි අපේ ජීවිතයේ ප්‍රධානම අරමුණ, අපි ඇත්තටම හොයාගෙන යන දේ. එහෙම ප්‍රාර්ථනාවක් තියෙනවද කියලා කඩා වැටෙන තරුවක් දිහා බලලා හොයාගන්නකෝ.
එහෙම තියෙන බව තේරුනු දාට කිසිමදේකට බයවෙන්න එපා. ඒ වගේ ප්‍රාර්ථනාවක් අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවාමයි.

මොකද හිතන්නේ?

Wednesday, December 29, 2010

ග්‍රේෂන් ආනන්ද කලාකරුවාට නිවන් සුව පතමි.


ප්‍රවීණ කලා ශිල්පී ග්‍රේෂන් ආනන්ද මහතා අභාවප්‍රාප්ත වූ බව රූපවාහිණියෙන් දුටුවහම හිතට දොඩම් කටුවක් ඇනුණ වගේ අමුතු වේදනාවක් දැනුණා. ඔහුගේ අභාවයත් සමඟ සිංහල සිනමාවේ එක පරිච්ඡේදයක්ම අවසන් වෙනවා නේද කියලා මට හිතුණා.

ජෝතිපාලයන්ට පස්සේ ලංකාවෙ බිහිවුණු හොඳම සිනමා හඬ පෞරුෂය ඔහු බවයි මගේ විශ්වාසය. සිනමාවේ හොඳ හඬක් වෙන්න විශිෂ්ඨ ගායකයෙක් වීම ප්‍රමාණවත් නෑ. ඒකට ධී ශක්තියත් අවශ්‍යයි. විශේෂයෙන්ම පෙරදිග ඉන්දියානු ශෛලියේ වාණිජ චිත්‍රපටිවල (හින්දි, සිංහල, දෙමළ,මලයාලම්, තෙලිඟු, පකිස්ථානු ආදී..) අදාල නළුවා හෝ නිළියගේ රුව ගායකයා හෝ ගායිකාවගේ හඬට ගැලපුනොත් තමයි සාර්ථක වෙන්නේ. රාෆි, කිශොර්, ජෝතිපාල ආදී සාර්ථක පසුබිම් ගායකයන්ට දක්ෂතාවයක් තිබුනා අදාල නළුවා අනුව කටහඬ වෙනස් කරගන්න.

ජෝතිපාලයන්ගේ හඬ ආනන්ද ජයරත්න, තිස්ස විජේසුරෙන්ද්‍ර,ගාමිණී ෆොන්සේකා,විජය කුමාරණතුංග ආදී දැවැන්තයන්ට ගැලපුනේ යම්සේද, ග්‍රේෂන් ආනන්දගේ හඬ සනත් ගුණතිලක හා ජීවන් කුමාරණතුංග ආදී පසුකාලීන ශිල්පීන්ට අපූරුවට ගැලපුනා. ඔහු ගැයූ "සිහින අහසේ වසන්තේ, තරුයායේ ඈතින් ඈතට දිදුළන,සතුට පත හිතා මතා, අම්මා පෙව් කිරි කඳුලින්" වැනි ගීත අදටත් එකසේම ජනප්‍රියයි.

ඒවගේම තමයි ඔහු තමන්ගේ ගුරුවරයා වූ සරත් දසනායකයන්ගේ මඟ අනුගමනය කරමින් සිංහල සිනමා ගීතයට ස්වීය තනු නිර්මාණය කරන්න දායක වුණා. බටහිර ආරට සමීප සරල සුගම ස්වීය තනු නිර්මාණ තුලින් ඔහු සංගීත ක්ෂේත්‍රය ඔපවත් කළා."ඈත දුරක දෑස පාවෙලා, හිම කඳු යහනේ " වැනි ගීත ඒ සඳහා සාක්ෂි සපයනවා.

ඔහු පිළිබඳව අදින් පසු බොහෝ ගුණ කථන ඇහේවි. ජීවත් වුණ කාලෙදි කවදාවත් අගය නොකරපු අයත් ඔහුව අගය කරාවි.ඒවා අමුතු දේ නෙවෙයි. ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැනත් අපි නොදැන හිටපු ගොඩක් දේ දැනුයි මතුවෙන්නේ. ඒත් දුක තමයි නෞෂාඩ් කෙනෙක්, රෝශන් කෙනෙක් එහෙම නැත්නම් ඒ. ආර් රහුමාන් කෙනෙක් තරම් දුර යන්න විභවයක් ඇතුව මතුවෙන අයව අඳුනා ගන්නකොට ඔවුන් ලබන්න පුළුවන් උපරිම කරදර විඳලා වෙන්වෙලා ගිහිල්ලත් ඉවර වීම.

ඔහු නොපිළිගන්නා සංකල්පයක් වුණත් මගේ දැනීම අනුව මම මෙහෙම ප්‍රාර්ථනා කරනවා.

"කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා!"

Sunday, December 19, 2010

ගෑණුන්ගෙන් ප්‍රවේශම් වනු (දෙවන කොටස )


කලින් කතාවට දාපු ගාන අඩු වුනාට වාචික ප්‍රතිචාර හරියට තිබ්බා. මෙන්න අනිත් කතාව. මේ කතාවෙ කතා නායකයාගේ අනන්‍යතාවය රකින්න ඕනෙ නිසා නම් ගම් මුකුත් නොදාන බව කරුණාවෙන් සලකන්න. මේ සිද්දියෙ කතා නායකයා අපේ ගමේ කෙනෙක්.සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් වෙන මේ පුද්ගලයා තමන්ගේ අළුත්ම මෝටර් බයිසිකලයෙන් ගියේ බඩු තොගයක් ලොකු මුදලාලි කෙනෙකුට බාර දෙන්න.මුදලාලි ගෙදර නොහිටපු නිසා මෙයා බඩු ටික බාර දීලා ගනුදෙනු හමාර කරලා මුදලාලි මුණගැහෙන්න රැඳිලා හිටියා.අන්තිමට බලාගෙන ඉඳලා ඉඳලා උගුර කටත් වේලිලා.ඒත් මුදලාලි නෑ. මෙයා තීරණය කලා ළඟම තියෙන කඩේට ගිහින් තේ කෝප්පයක් බොන්න.ඒ කඩේ තිබුණෙ ටිකක් දුර.ඉතින් මෙයා තමන්ගේ මෝටර් බයිසිකලයෙන් තමයි ගියේ. කඩේ තේ බොනකොට එතන තව තරුණියකුත් හිටියා.මෙයා කඩේට ඇවිත් ටික වෙලාවකින් අර තරුණිය පිටවෙලා ගිහින් තියෙනව. ටික වෙලාවක් කඩේ ගතකරපු අපේ කතා නායකය නැවත වතවක් අර මුදලාලිගේ ගෙදරට එන්න පිටත් වුනා. අතරමඟ ටිකක් පාළු හරියකදි අර කඩේ ළඟ හිටපු යුවතිය මෙයාගෙ මෝටර් බයිසිකලයට අත දැම්මා. "මේ හරිය පාලු නිසා යන්න බයයි. අර කඩේ ළඟ නැවතුණේ ඒකයි. ඒත් එතන හිටිය අය එච්චර හරි නෑ වගේ. මේ පාලු හරිය ඉවර වෙනකල් මාව ගිහින් දාන්න පුළුවන්ද?" කියලා මේ යුවතිය අහනකොට අපේ කතානායකයා අනුකම්පාවෙන් මෙයාව තමන්ගේ මෝටර් බයිසිකලයට නග්ගා ගත්තෙ තමන්ටත් අම්මා, සහෝදරියො ඉන්න නිසා. ඒත් වැඩි දුරක් යන්න ඉස්සෙල්ලා සිද්ධවුනේ අර චිත්‍රපටි වල වෙන ජාතියෙ වැඩක්. මෙයාට දැනුනා තමන්ගේ බෙල්ලේ මොකක් හරි ස්පර්ශ වෙනවා. "බෙල්ල හොල්ලන්න එපා වැඩ වරදී" කියන සද්දෙට මොකුත් හිතගන්න කලින්ම මෙයා දැක්කා තමන්ගේ බෙල්ලට තියපු දැලි පිහිය. ආත්මානුකම්පාවටයි දුකටයි දෙකටම වැඩිය උදව්වක් කරන්න ගිය මෝඩ කම ගැන ඇතිවෙච්ච කේන්තියට මෙයාට ඇඬුණා. ඒත් කරන්න දෙයක් නෑ නෙ. මෙහෙම යනකොට එක තැනකදි මෙයාට අණ ලැබුණා ඉස්සරහ තියෙන හන්දියකින් හරවන්න. එතනින් හරවනවත් එක්කම මේ මංකොල්ලකාරිය බයිසිකලයෙන් බැස්සා. බහිනකොට මෙතෙක් වෙලා බෙල්ලට එල්ල කරපු දැලි පිහිය පොඩ්ඩක් එහෙමෙහෙ වෙලා හෙල්මට් එකේ ස්ථානගත වෙනවා මෙයාට තේරුණා.ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තු ඔහු අර කෙල්ලට තමන්ගේ වැලමිටෙන් වැරෙන් පහරක් එල්ල කළා. පහර කාගෙන ඇය බිම වැටෙනකොටම තමන්ගේ අළුත්ම මෝටර් සයිකලයටයි, ඇඩ්‍රිනලින් වලටයි පිං සිද්ධ වෙන්න ඔහු වේගයෙන් ඇවිත් නැවතුණේ ගෙදරම තමයි.

මේ වගේ සිද්ධි නිසා සමාජයේ කාන්තාවන්ට තියෙන තැන නැතිවෙනවා විතරක් නෙවෙයි මනුස්සකමට තවත් කෙනෙකුට උදව්වක් කරන්නත් බය හිතෙනවා.

ප.ලි : එකක් දාල යන්න. ඉංග්‍රීසි හරි සිංහල හරි ඕන එකක් කමක් නෑ.