Showing posts with label ස්තුතිය. Show all posts
Showing posts with label ස්තුතිය. Show all posts

Monday, October 17, 2011

පොඩ්ඩන් ගැන ලොකුවට හිතූ අපේ ටයි මාමා


ටයි මහත්තයාගේ නික්ම යාම ගැන ගොඩක් සටහන් මම දැක්කා. ඇත්තටම එතුමාගේ නික්මීම අහලා දුකෙන් ඇඬුවේ අපේ ඇතුලේ ඉන්න පුංචි ළමයාමයි. අපි හැමෝගෙම ළමා කාලය ටයි මහත්තයගෙන් තොරව මතක් කරන්න බෑ.
ටයි මහත්තයාගේ කාටූන් සහ හඬ කැවීම් ගැන ආදරයෙන් මතක් කරපු හැම කෙනෙක්ම වර්තමාන කාටූන් සහ හඬ දෙකැවි වැඩසටහන්වල ගුණාත්මක බව ගැනත් කතා කරල තිබුණ. ඒ ගැන මට හිතෙන දේ ලියන්න ඕනෙ කියල මම හිතුවා. මොකද ඇත්තටම මේ අදහස මගේ හිතේ ඇතිවී තිබුණේ ටයි මහත්තයාගේ නික්මීමටත් කලින්.මොකද මම තාමත් කාටූන් රසිකයෙක්. දැන්නම් බොහෝ දුරට කාල වේලාවව නැති නිසා බලන්න වුනේ නැති වුණත් ඉඩ ලැබුණොත් බලනවා.
ඉස්සර අපි රූපවාහිණියෙන් නරඹපු, පිස්සු පූසා, සෝරෝ,වලස් මාමා ඇතුළු කාටූන්, යවෙස් ලූ මිනිසා, නෝත්‍රදාමයේ කුදා, නාසරතයේ ජේසුස්,සුරඟන කතා කරලිය වගේ හඬ දෙකැවි වැඩසටහන් වගේම සිංහල උපසිරැසි යෙදූ වැනි වැඩසටහන් වලට සමාන කරන්න අද තියෙන කිසිම වැඩ සටහනකට බැරි බව කවුරුත් පිළිගන්නවනේ.
මම නම් දකින ප්‍රධානම කාරණය තමයි ටයි මහත්තයා ළමයෙක් කියන්නේ කවුදැයි හඳුනාගෙන සිටීම. ඒ වගේම ඔහු ළමයින් අවතක්සේරු කළේ නෑ. ළමයාගේ තේරුම් ගැනීමේ හැකියාව අවතක්සේරු කළේ නෑ.අනෙක් පසින් රට දැය සමය වගේම හෙළ බස අවතක්සේරු කළේ නෑ.


අද තියෙන වැඩසටහන් අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදමුකෝ.එකක් තමයි අතුල රන්සිරිලාල් මහතා හෙවත් ටයි මහත්තයාගේ අග්‍ර ගෝලයාගේ කණ්ඩායම. අනෙක් කොටස බොහෝවිට සුනෙත් හා ගාමින්ද ප්‍රමුඛත්වය ගන්නා සිරස හඬ කැවීමේ කණ්ඩායම.(මෙතනදි මම විශේෂයෙන් ස්වර්ණවාහිණිය හා ස්වාධීන රූපවාහිණිය නොසලකා හරිනවා.ඒ ගැන කතා කිරීමත් ඵලක් නැති දෙයක් නිසා).


රන්සිරිලාල් මහත්තයාගේ කණ්ඩායම ටයි මහත්තයාගේ සම්ප්‍රදාය ඉහළින්ම රකින්න උත්සාහ කරනවා. නමුත් මම දකින ලොකුම අඩුපාඩුව තමයි උවමනාවට වඩා සදාචාරාත්මක වීම.මෙහෙම කිව්වට කලබල වෙන්න එපා. ඒකෙන් මම අදහස් කළේ මේකයි. උදාහරණයක් විදිහට රොබින් හුඩ් හි සිප ගැනීම් දර්ශණ තිබුණා මතකද? ටයි මහත්තයා කවදාවත් ඒවා කැපුවේ නෑ. ඒ වගේම පිස්සු පූසා ඇතුළු බොහෝ කාටූන් වල ප්‍රේමය, ආදරය ගැන අපූරු කතා කියනවා. සුරඟන කතා කරලිය ගැන හිතන්න.ටයි මහත්තයා නැතිව රන්සිරිලාල් මහත්තයා විතරක් සුරඟන කතා කරළිය හැදුවා නම් කොහොම වෙන්න තිබුණද කියලා අපි නිතර කතා වෙනවා. මේක ටයි මහත්තයාගේ මඟ යන්න හදන රන්සිරිලාල් මහත්තයට කරන දෝෂාරෝපණයක් නෙවේ.නමුත් පොඩි ළමයෙක් කියන්නෙ වැඩිහිටි සමාජයේ වෙන දේවල් ගැන ඇස් ඇරගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම පොඩි ළමයින්ට තමන්ගේම දෘශ්ටි කෝණයක් තියෙනවා.කොහොම නමුත් ටයි මහත්තයා හැම දේකම සීමාවක් දැනගෙන හිටියා වගේම බාල ප්‍රසිද්ධියට වඩා ගුණාත්මක භාවය ගැන හිතුවා.
රසාර වැඩසටහනයි දැන් අර විකාශය වන ටිකිරි පැය වගේ වැඩසටහනුයි ගැන හිතන්න.රසාරෙ හිටිය රූකඩ වැඩිහිටි චරිත. කතා කළේ වැඩිහිටිකමට ගැලපෙන විදියට.ළමයා කියන්නෙ අර වැඩිහිටි ලෝකෙට ඇතුල් වෙන්න ආසාවෙන් සිටින කෙනෙක්.ටයි මහත්තයා ඒ සැබෑ ළමයව තේරුම් ගත්තා. ඒ වගේම ළමයින් තුළ තිබෙන හාස්‍ය හඳුනාගැනීමේ රසය හඳුනාගත්තා.හරියටම අර "හරිම පුදුම ඉස්කෝලෙ" විදුහල්පති සොසාකු කොබයාෂි ගුරුතුමා වගේ.නමුත් දැන් පොඩි ළමයින්ට කරන වැඩසටහන් වල ඉන්නෙ කවුද? අලි වගේ වැඩුණු පිරිමි බහුරූ කෝලම් ඇඳුම් ඇඳගෙන හරියට මන්දබුද්ධික වෙලා වගේ තොල් පෙරල පෙරල බබාලා වගේ කතා කරනවා.ඒකෙ තියෙන ජුගුප්සා රසය අපිට වඩා පොඩි උන්ට දැනෙනවා.


සුනෙත් ගාමින්ද දෙන්නා මේ ළමයා තුළ ඉන්න වැඩිහිටියා හොඳට හඳුනාගෙන තියෙනවා.ඒ වගේම ඔවුන් තුළ තියෙන සියුම් ප්‍රහසන හැකියාව "අපි නොදන්න ලයිව්" තුළින් පෙන්නුවා වගේම මේ රටේ ඉන්න මෝඩ ප්‍රේක්ෂකයන්ට තමන්ටම හිනාවෙන්න හොඳ අවස්ථාවක් දුන්නා. ඒ වගේම ඔවුන්ගේ "සූර පප්පා" වැනි කාටූන් වලින් ඔවුන්ගේ නිර්මාණාත්මක බවත් පෙන්නලා දුන්නා.ඒත් ඒ නිර්මාණාත්මක සුන්දරත්වය සරල සුගම බස් වහරකට ගලපන්න තරම් දැනුමක් ඔවුන්ට නැති බවයි මට හිතෙන්නේ. ටයි මහත්තයාත් ජනප්‍රිය බස් වහර, ඉංග්‍රීසි වචන ආදිය නියම තැනදී යොදාගත්තා. නමුත් "ස්කූබි ඩූ" වගේ නිර්මාණවල භාෂා භාවිතය අන්තිමයි. නිසි හෙළ වදනක් නොමැති විටෙක ඒ සඳහා වදනක් නිමවන්නට තරම් භාෂා දැනීමක් ටයි මහත්තයට තිබුණා. නමුත් මේ අය අළුතින් ශබ්දකෝෂයට එකතු කරන්න හදන්නේ සක්ක පද.අනිත් කාරණේ සිරස ජනප්‍රියත්වය මිස ගුණාත්මක බව ගැන හැඟීමක් ඇති නාලිකාවක් නෙවෙයිනේ
මම අහල තියෙනවා එක අවස්ථාවක පිටපතේ තිබුණළු "නාසරතයේ ජේසුස් මම වෙමි" කියලා කියන්න. නමුත් මේක රූප රාමුවේ තොල් සෙලවීමට අනුරූප වුණේ නැතිලු.ටයි මහත්තයා එක්වරම "නාසරතයේ ජේසුස් මමයි" කියල රූපරාමුවටවත් ව්‍යාකරණයටවත් අනතුරක් නොකර එක වරම නිවැරදි කළාලු.
ඉතින් මගේ අදහස මේ දෙපැත්තම සමබර වුනොත් විතරයි නැවතත් ටයි මාමා කරපු තරම්ම ඉහළ නිර්මාණ බිහිවෙන්නේ.




ප.ලි : ටයි මාමා ගැන මතක් කරන වෙලාවේ ටයි මාමාට ඒ නිර්මාණ ඒතරම් ඉහළින් ඉටු කරන්න අතහිත දුන් හෙන්රි ජයසේන මහත්මයා වැනි ඒ කාලෙ රූපවාහිණියේ ඉහළම පුටු හෙබවූ අය වගේම,ගීත බොහොමයක් රචනා කළ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා, හඬ දෙකැවි ශිල්පීන් වූ ගැමුණු විජේසූරිය, ලෙස්ලි රාමනායක, ධර්ම ශ්‍රී මුණසිංහ වැනි අද අපි අතර නැති සියළු දෙනාවත් මතක් කරලා පින් දෙන එක අපේ යුතුකමක් කියලයි මම හිතන්නේ

Wednesday, December 29, 2010

ලකී පොලිසි ගිය හැටි

ලකී ගිය සඳුදා වෙනකම් හිතාගෙන හිටියෙ පොලිසියක පස් පාගන්නෙ නැති වෙන්න ජීවත් වෙනව කියලයි.ඒත් ඉතින් මක් කරන්නද? දෛවය තමයි. ගිය සඳුදා දවල් වරුවම ගතකළේ පොලිසියේ. මෙහෙම දෙයක් සිද්ධ වෙන්න හේතුවුණේ මොකක් කියලද හිතන්නේ? මෙන්න මේක සාවධානව කියවන්නකෝ.

අපි පා ගමනක් ලෑස්ති කළා. නෑ! නෑ! විරෝධතා පා ගමනක් නෙවෙයි.පොඩි අහිංසක වැඩක්. 28 වෙනි අඟහරුවාදා BRC පිටියේ පවත්වපු අපේ ක්‍රීඩා උත්සවයේ සමාරම්භය වෙනුවෙන් කරපු මේ වැඩේට 100-200 වගේ පිරිසක් සහභාගි වෙන නිසා ඉටින් පොලිසියෙන් අවසර ගන්න ඕන නේ.සමරු කලාපය වෙනුවෙන් කකුල් ගෙවෙනකන් ඇවිදල ඇවිදල ඒක යන්තම් ඉවර වුණා විතරයි. ස්වකැමැත්තෙන් ඉල්ලන් කෑවෙ නැත්ද හොඳවයින් කටුවක්?

පොලිසියෙන් අවසර ගන්න ලියුම ටයිප් කරල ඉවරවෙල මම ඒකේ කොපියකුත් අරන් ගෙදර ගියේ හවස් වුනු හින්දා.ආයතනයෙන් ලියුම බම්බලපිටිය පොලිසියට භර දුන්න කියල ආරංචිය ලැබුනු නිසා මාත් ඉතින් වැඩේ හරි කියල සැනසිල්ලෙන් හිටියා කියමුකෝ. සඳුදා උදේ මෙන්න කියනවා නාගරික රථවාහන කොට්ඨාශයේ පොලිස් අධිකාරී තුමාට ලියුම දෙන්නලු. එක්ක යන්න කවුරුත් ඇත්තෙත් නෑ. ඒ මදිවට පන්තියට සාමාන්‍යයෙන් ඇඳගෙන යන ටී ෂර්ට් එකයි කලිසමයි පිටින් මේ වගේ වැඩකට යන්න පුලුවන්ද? ඒත් ඉතින් පහුවදා තියෙන උත්සවේ අල වෙන්න දෙන්න බෑනේ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැග්ග පානදුර- පිටකොටුව බස් එකක. බැස්සා ලංකා බැංකු නගර කාර්යාලය ළඟින්.නගර කාර්යාලයෙන් අඳුරන මූනක් එලියට ආවොත් ඉතින් තනියෙන් එහෙ මෙහෙ යනව කියලා කෙලින්ම ගෙදරට ආරංචිය යන බව දන්න නිසා ඉක්මනට ඒ හරියෙන් පැනගෙන පොලිස් මූලස්ථානයට ගියා.

ඔන්න ඉතින් ගියාම තමයි දන්නේ මේ කියල තියෙන්නේ පොලිස් මූලස්ථානේ නෙවේ රථ වාහන මූලස්ථානෙ කියලා. පොලිස් මූලස්ථාන නිලධාරීන් හරිම සුහදශීලී පිරිසක්.ඔවුන් ඉතාම සැලකිල්ලෙන් යුතුව නිවැරදි පාර පවා කියා දුන්නා.කොටින්ම කියනවනම් ඇතුල් වෙන තැන ඉන්න නිලධාරියා පවා ඉතාම සැලකිල්ලෙන් මගේ වැඩේ හරිගියාද අහලා විස්තරය කිව්වම 103 බස් එක හරවන තැනත් පෙන්නල දුන්නා. ඒ අතරෙ වැඩිදුර රස්තියාදුව වලක්වාගන්න මම අපේ මාමාට කතා කළා. රාජකාරිය අතරෙ වුණත් මාමා ඉක්මනට රථවාහන අංශයට කතා කරල පොලිස් අධිකාරීතුමා සීට් එකේ ඉන්න බව කියලා ඉක්මනට යන්න කිව්ව.මමත් කියපු විදිහටම 103 බස් එක ඕල්කොට් මාවතෙන් මිහිඳු මාවතට හරවපු ගමන් එන පළමුවෙනි නැවතුමේ බසයෙන් බැහැල රථ වාහන මූලස්ථානයට ගියා.

මූලස්ථායෙදි මම මුණගැහුණු පොලිස් අධිකාරී චූලා ඩි සිල්වා මහතාත් ඉතාම සුහදශීලී පොලිස් නිලධාරීවරයෙක්. බොරු පාට් මුකුත් නෑ. සාවධානව කන්දුන්නා. එතුමා කිව්ව බම්බලපිටිය පොලිසියෙන් ලිපියක් දෙන්න කියලා. ඒ කියන්නෙ මේ පා ගමනට විරුද්ධත්වයක් නෑ කියල.

ඒපාර මම නැවතත් ආයතනයට කතා කරල ලියුම ගේන්න කිව්ව කියමුකෝ. ස්ථානාධිපතිතුමා නැතුව ලියුම දෙන්න බෑ කියලා.මම නැවතත් අපේ මාමාට කතා කරගෙනම බම්බලපිටිය පොලිසියට ගියේ ප්‍රශ්නයක් වුණොත් කියලා. ඒත් බම්බලපිටිය පොලිසියෙ හිටපු වැඩ බලන ස්ථානාධිපතිතුමා (නීල් ගුණසේකර ) මහත්මයත් ඉතාම කාරුණික නියම පොලිස් නිලධාරී මහත්මයෙක්. එතුමා සියළුම ප්‍රශ්න ටික ලස්සනට නිරාකරණය කළා.
ඒ වගේම තමයි ඉතින් අපේ මාමාගේ යාළුවා ප්‍රිශාන් සිල්වා මහත්මයත්(බම්බලපිටිය රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමා.) ලොකු හයියක් වුණා.

මට පුදුමාකාර සතුටක් දැනුනා. සියලුම නිලධාරීන් මේ වගේ නම් කිසිම දැන හැඳුනුම් කමක් නැතිව උනත් ලංකාවේ පොලිස් ස්ථානයකට යන එක ප්‍රසන්න අත්දැකීමක් වෙනවා නොඅනුමානයි. (මේ කියන්නෙ වැරදිකරුවන්ට නෙවේ.)

මේ ලිපිය එම සියලුම නිලධාරීන් හට මල් මිටක් වේවා!

පොලිස් සේවය ගැන මා මෙන්ම අඩු දැනීමක් ඇතිව පසුවන අය සඳහා ඉදිරියේදී සවිස්තරාත්මක ලිපි පෙළක් බලාපොරොත්තුවන්න!