Tuesday, May 8, 2012

කඩදාසි සුවඳ


තෙත් කැවු ටිෂූ කඩදාසි පැකට් එකක් තෑගි දුන්නම පොඩි දෙගිඩියාවක් දැනුණත් සන්තෝසෙන් බාරගත්තෙ මම කවදත් තෑගි වලට කැමති නිසා. යාළුවොන්ට ලේන්සු දුන්නම තරහ වෙනවා කියනවනෙ. දැන් ඉතින් වැඩි දෙනෙක් ලේන්සු වෙනුවට පාවිච්චි කරන්නෙ ටිෂූ නිසා තමයි ඉතින් පොඩි පහේ දෙගිඩියාවක් ආවෙ. ඔයවගේ තේරුමක් නැති දේවල් හිතන්න මම ඉතින් කවදත් දස්සයා නෙ.
කොහොම හරි පාවිච්චි කරන්නෙත් නෑ කියලා හිතාගත්ත ටිෂූ පෙට්ටිය එදාම කඩන්න වුණා. දැන් ඉතුරු ටිෂූ 9 යි.
පහුවදා කෙටි නිවාඩුවක් දාලා සුපුරුදු කොට්ට පුළුන් ගහ යට බස් නැවතුමට එනකොට කාන්තාවක් ටිකක් කලබලෙන් එහෙ මෙහෙ යනවා.බලනකොට මේ ගහ යටට එන බොහෝ දෙනෙක්ට වෙන දේම තමයි ඇයටත් වෙලා තියෙන්නෙ. ඔය කුරුළු වර්චස් නාන්න වෙන බව දන්න පුරුදුකාරයො නම් සාමාන්‍යයෙන් ගහ යට රැඳෙන්නෙ නෑ.
ඇය අත පිරිසිඳු කරගන්න වතුර ටිකක් හොයනවා. මොන වතුරද එතන. අනිත් එක මම අත්දැකීමෙන්ම දන්නවා ඔය වසුරු තලිය උඩට වතුර දැම්මහම වෙන වැඩේ. අර ටිෂූ පැකට් එක මගේ මතකයට ආවා. ඒත් එක්කම මහා ලෝබකමකුත් ආවා. මොකද ටිෂූ පැකට් එකෙ තියෙන්නෙ මූල්‍යමය වටිනාකමක් නෙවෙයි නෙ. මගේ ලෝබ හිත ජය ගන්නකොට අර කාන්තාව පාරෙ වැටිලා තිබුණු කොල කෑල්ලක් අතට අරගෙනත් තිබුණා. ටිෂූ කොල දෙක සලස්සපු සහනය මට ඇයගෙ මූණෙන්ම පෙනුණා. මගේ හිතටත් කියාගන්න බැරි තරම් සතුටක් දැනුණා. ඇය මට ස්තුති කරල ඊළඟ බසයට ගොඩවුණා. මට එකපාරටම සඳුන් සුවඳක් දැනුණා. මම හෙමින් සැරේ මගේ අත නාහෙ ගාවට ගෙනාවා. මගේ අත සඳුන් සුවඳයි. ඒ තෙත් කැවූ ටිෂූ කඩදාසි සඳුන් සුවඳ කවපුවා වුනත් ඊයෙ මට සඳුන් සුවඳ දැනුණෙ නෑ නෙ. ඇයි මේ වෙලාවෙම?