Thursday, May 19, 2016

අඬහැරය....(මේ කමතට ගොඩවී යන්නයි....)

ලාභ අලාභ නින්දා ප්‍රශංසා යස අයස ආදී ලෙස අටලෝ දහම පෙරලෙන දිහා බොහොම සීරුවට බලාගෙන පොඩි සිසිර තාරක නින්දකට වැටිලා ඉන්නවා. මහ වැහි වැටෙනකොට මගේ කම්මැලි හිත ඒ ධ්‍යානෙන් එකපාරට මිදෙනවා. වළාකුලක හැංගිලා හිටපු ඉර දෙයියො ආපහු ලෝකෙ දිහා එබිකම් කරනකොට මටත් බ්ලොග් අවකාශෙට එබිකම් කරන්න හිතෙනවා. අවුරුදු තුනක් තිස්සෙ පුරන් වෙන්න ඇරපු කෙතක් වගේ මගේ බ්ලොග් අඩවිය පාළුවෙලා ගිහින්. දැන් ඉතින් වපුරන්න කාලෙ හරි කියලා හිතෙනවා.

මේ අවුරුදු තුනට ගොඩක් දේවල් වෙනස් වුනා. කාලයක් හිත රිදවපු දේවල් මිහිරි මතක බවට පත්වෙනවා. ජීවිතේ සමහර දේවල් නොලැබී යාම වාසනාවක් කියල හිතෙන්න පටන් ගන්නවා.ජීවිතේ දිහා බලන විදිහ කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ජීවිතේ සුන්දරද මෙතරම් කියලා හිතෙනවට වඩා ජීවිතේ කොයි තරම් විචිත්‍රද කියලා හිතෙනවා. සැප දුක දිහා උපේක්ෂාවෙන් බලන්න ටිකෙන් ටික ඇහැ සකස් වෙන හැටි මටම දැනෙනවා.

මගේ ලෝකෙ වීරවරිය වුණු මගේ ආච්චි අම්මා අවුරුදු අනූ පහක් ආයු වළදලා ජීවිතෙන් සමුගන්නවා. බලාපොරොත්තු නොවුණු දෙයක් නොවුනත් මගේ හිත පුංචි කෑලි ලක්ෂ ගාණකට කැඩිල යන හැටි මට දැනෙනවා. නෑදෑ කමකට වැඩි යාළු කමකින් ජනූ අක්කා අපේ දිහාවෙ එනවා. වැඩ කටයුතු බහුල වෙලාවක උනත් මං වෙනුවෙන් කැප කරපු ඒ පුංචි කාලය මට හරියට දැනෙනවා. අවමංගල උත්සවය දවසෙ සෙනඟ ගොඩ පීරාගෙන මතුවෙන දිනේෂා අක්කා මගේ අත් දෙකෙන් අල්ලගන්නවා . මෙච්චර වෙලාවක් තිස්සෙ නොතිබුණු හයියක් මගේ හිතට එනවා. ඥාති මිත්‍ර කම් ගැන මානව සබඳතා ගැන  මගේ ඇහැ අළුත් වෙනවා.

අපි ගත කරන අවසාන දින ගණන කියලා දැනෙනකොට ඇස් දෙකෙන් වැටෙන කඳුළු නවත්තන්න මම ආච්චි අම්මටගෙ පිටට තුරුළු වෙලා ඉන්නවා.අවුරුදු අනූ පහක් ගිහින් දුර්වල වුනත් මම කියන ගණන් ආච්චි අම්මා මනෝමයෙන් එකතු කරනවා. ගුත්තිලයේ සුරඟන වැනුම මටත් වඩා අගේට ගායනා කරනවා. ඒ අතරේ තමන්ම හදපු විහිළු කවිත් කියනවා."මම ගියාම ඔයා තමයි තනිවෙන්නෙ " හැමදේම අතරෙ ඇගේ මුවින් පිට වෙනවා. දරු මුණුපුරෝ සේරම වට කරගෙන කැත කුණු ඇදලා ආදරෙන් බලාගත්තත් "ඔයා විතරයි මට ආදරේ" කියල ඇගේ මුවින් කියවෙනවා. උදේ රස්සාවට ගිහින් හවස ගෙදර එන මගෙ අතින් කෙරෙන යුතුකම් කොටස හරිම සීමිතයි. "කොටන් අදින අලි යි පෙරහැරේ යන අලි යි කියලා ජාති දෙකක් ඉන්නවනේ " අනිත් අයගෙ ඒ විහිළුව ඇතුලේ නෝක්කාඩුවක් තියෙනවා.

නොහිතූ නොපැතූ වෙලාවක එක පාරටම මගේ ජීවිතයට කෙනෙක් ලං වෙනවා. මං තනි නොවෙන්න ආච්චි අම්මා වග බලාගත්තා කියලා මට හිතෙනවා. මම ප්‍රාර්ථනා කරපු හැමදේම ඒ විදියටම දැනගෙන හිටියෙ ඇය විතරමයි කියලා මම දන්නවා. ඒ සියළු දේ අඩුවක් නැතුව තියෙන කෙනෙක් වෙන කාට වත් හොයලා දෙන්න බෑ කියලා මම දන්නවා.අපේ ගිවිසුමත් ඇයට මතක ඇතියි කියලා මම හිතනවා. ආච්චි අම්මා නික්මිලා හරියටම අවුරුද්දක් ගිය තැන අපි විවාහ වෙනවා. ජීවිතය වී හමාරයි කියලා හිතපු දේවල් එහෙම නෙවෙයි කියලා මම දැන් අත්දැකීමෙන් දන්නවා. ඒ දේවල් එහෙම සිදු නොවුණු එක කොපමණ හොඳද කියලා හිතෙනවා. ලෞකික මට්ටමෙන් අත්හැරීම සහ අළුත් වීම ගැන වෙනස් මානයකින් බලන්න මම පුරුදුවෙනවා. ගේහසිත ප්‍රේමයක තිබෙන ගැඹුරුබව දැනෙන්න ගන්නකොට පරම්පරා ගණනක දෙමව්පියන්ගේ කැපකිරීම් වගකීම් ගැන අමුතුවෙන් හිතන්න පෙළඹෙනවා.

ජීවිතය දිහා බොහොම අපූරු විදියට බලන අළුත් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි මට ලැබෙනවා. ඉංග්‍රීසි,දමිළ,හින්දි,ජර්මන් භාෂා වතුර වගේ කතා කළ හැකි තාත්තා සක්‍රීය බෞද්ධයෙක්. ජීවිතේ විඳිමින් තාමත් අළුත් දේ ඉගෙන ගනිමින් ඉන්න තාත්තා හොඳ කලාත්මක ඇහැක් තියෙන කෙනෙක්. පීඩනය යටතේ දියුණු වෙන හැටි තාත්තා ආදර්ශයෙන්ම කියා දෙනවා.ඉගෙන ගැනීමට මගේ හිතේ තියෙන ආශාව නව මානයකට යනවා. කොළඹ පවුලක සැපට හැදුණු අම්මා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක් වෙනවා. හිතේ කුහක කමක් ගෑවිලාවත් නැති කියන දේ හයියෙන්ම මූණටම කියන අම්මා මට සරල කම දිහා නැවත වතාවක් බලන්න කියා දෙනවා.

වතාවක් ලකීට ගුරුවරයෙකු නොපැමිණි පන්තියක් ලැබෙනවා. විෂය සම්බන්ධීකරණය කරන පුද්ගලයා මගේ මූණටම කියනවා "අදට මොනවහරි කරලා දාන්න" කියලා. නමුත් දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න අකමැති වෙන මම මගේ කාර්යභාරයෙන් එහා ගිහින් අදාල විෂය අමුතුවෙන් ඉගෙන ගෙන මුළු ශාඛාවෙන්ම ඒ විෂය දන්නා දෙවැනියා වෙනවා. නොසිතූ ලෙස ඒ නිසාම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ දරුවන්ට උගන්වන්නට ඉඩ ලැබෙනවා පමණක් නෙවෙයි ඒ හරහා මා හට අනන්‍යතාවක් ගොඩනැගෙනවා.නිවසේ සිටම මගේ ආර්ථිකය ගොඩ නගාගන්නට මට පිටිවහලක් ලැබෙනවා

ලකී වාසනාවන්තයි කියලා හැමෝම කියනවා. නමුත් ලකී වාසනාවන්ත වෙන්නෙ භෞතික දේවල් වලින් විතරක් නෙමෙයි කියලා ලකී දන්නවා. ලකී හැමවිටම අලුතින් යමක් ඉගෙන ගන්නවා. ලකීට කල්‍යාණ මිත්‍රයෝ ලැබෙනවා. ලකී වැරදීම් වලින් ඉගෙන ගන්නවා අළුත් වෙනවා. මම වෙනුවෙන් වගේම මගේ ඒ කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙන් මම ආයිමත් ලියනවා. ඉස්සර වගේම සුපුරුදු ලෙංගතුකමෙන් ගුණ අගුණ දක්වන්න කියලා ඉල්ලා හිටිනවා