Thursday, November 22, 2012

රහ වැටුණු බූට් එක!


විචාරක මහත්තයාගේ වෝටර් පොලිෂ් පාඩම දැකපු දවසේ ඉඳලාම පෙරුම් පුරාගෙන හිටපු මේ වැඩේ අන්තිමට ඉෂ්ඨ වුණේ ගිය සිකුරාදාය. අපරාදේ කියන්න බෑ අපේ තාත්තාත් ඉත සිතින්ම මේ වැඩේට උදව් කළේය. අවුරුදු පහළොවකින් මෙපිට පොලිෂ් කඳුලක් නොදුටු සපත්තු දෙකක් දීමෙන් නොනැවතී පැයක් විතර උත්සාහ කරලාත් ටෝ එක පොලිෂ් වෙන්නේ නැති කොට, පොලිෂ් කරන විදිහ පෙන්නා හොඳ සහයෝගයක්ද දුන්නේය. ඒත් ඉතින් එහෙම පැය ගානක් පොලිෂ් කරපු සපත්තු දෙක යන්තම් ලස්සනට දිස්නෙ වැටුණාම, "අපොයි ඔය මදි, තව පොලිෂ් ලේයර් එකක් එන්න ඕනෙ! කියා අර දිස්නය සම්පූර්ණ නැතිවන පරිදි තව පොලිෂ් තට්ටුවක් ඇතිල්ලූ විට නම් සංසාරේ කලකිරුණි. අන්තිමේදී සැලකිය යුතු තරම් හොඳට දිස්නෙ වැටුණත් තාත්තා නම් කියන්නේ තව මදි කියලාය. ඒත් සෑහෙන කාලෙකින් පොලිෂ් නොකෙරුව නිසා මේ ගාන හොඳය. අන්තිමේදී හිතට මාර සතුටක් දැනුණි. මේ දවස් වල මගේ ප්‍රධාන අවධානය සපත්තුය.ළඟ අහල පහළ යන අයගේත් සපත්තු දෙස බලා ඒවායේ වර්ගය හඳුනා ගැනීමට මෙන්ම, එය වෝටර් පොලිෂ් කළහැකි සපත්තු දෙකක්ද යන්න ගැන මගේ ප්‍රධාන අවධානය යොමුවේ.
වෝටර් පොලිෂ් ගැන මෙන්ම සපත්තු වර්ග ගැනත් කියාදුන් විචාරක මහතාට මෙන්ම සහයෝගය දුන් තාත්තාටද බෙහෙවින්ම ස්තුතියි!

 ඒ වගේම "බූට් පොලිෂ්" චිත්‍රපටියෙ මේ සිංදුවත් මතක් වුණා. බලන්නකො සීදේවි පොඩි එවුන් නේද? අනිත් එක තමයි මේ ගීතය දකිද්දි මගේ දෙනෙතට කඳුලක් එන එක තාම නැවතිලා නෑ. ඉන්දියානු නිදහස් අරගලයේ හොඳම පැතිකඩක් මෙතන තියෙනවා කියලා මට හිතෙනවා. හිඟා කාලා හොයන සල්ලි ගොඩකට වඩා සුළුවෙන් හෝ තමන්ගෙ මහන්සියෙන් උපයාගෙන කන එක උදාරයි කියලා දරුවන්ගේ හිත්වලට ඇතුල් කරන්න කොච්චර හොඳ විදිහක්ද නේද?http://www.youtube.com/watch?v=0UtTlh2kK7M