Monday, October 29, 2012

දෙන්නම නොනසා නුඹ පලයන්නේ..(ගෑණු නුවණ)


මේ කතාව මතක් වුණේ ප්‍රහාරය බ්ලොග් එකේ තිබුණතොටත් සාදු මටත් සාදු" කියන පෝස්ට් එක දැකලා. ඒකට අපි දන්න කවිත් එකතු කරන්න කියලා තිබුණ හින්දා මුලින්ම ඔළුවට ආපු කවිය දාන්න යනකොටවිචාරක මහත්තයා ඒක දාලා. හැබැයි පොඩ්ඩක් විතර වෙනස් වර්ශන් එකක් නිසා මම දන්න කතාව වෙනම ලියන්න හිතුණා.ඔන්න එකෝමත් එක රටක(එහෙම කිව්වට ලංකාවෙ හරිද?) හිටියළු මනප්පු කියලා දක්ෂ කම්මල්කරුවෙක්. මෙයාව කවුරුත් හැඳින්නුවෙ මනා කියලා. සුමිත්ගේ කතාවේ වගේම මේ කතාවෙත් මූලික කොටස සමානයි. මෙතනදි අර අනියම් පුරුෂයා තමන්ගේ පැමිණීම මනාගේ බිරිඳට දන්නන්නෙ අසල තියෙන කෙසෙල් පඳුරක් හොලවලා.
ඉතින් එදත් සුපුරුදු පරිදි මේ මනුස්සයා අර කෙසෙල් පඳුරෙ කොළ ටික සද්ද කරලා තමන් ආපු බව දැන්නුවට මොකද එදා මනප්පු වෙනදට කලින් කම්මලේ වැඩ රාජකාරි ඉවර වෙලා ගෙදර ඇවිල්ලයි හිටියෙ. ඇඟපත සෝදගෙන කෑම කන්න සූදානම් වෙනකොටම කෙසෙල් පඳුරෙ කොළ හෙලවෙනවා ඇහිච්චි මනා පොඩ්ඩක් විමසිලිමත් වෙච්ච හැටි මනා ගෙ බිරිඳ දැක්කා. දැන්  එළියට නොගිහින් සැක නොහිතෙන විදිහට පණිවුඩේ දෙන ක්‍රමයක් කල්පනා කරපු බිරින්දෑ මේ වෙනකොට නින්ද ගිහින් හිටිය තමන්ගෙ අත දරුවව කොනිත්තලා අඬන්න සැලැස්සුවා. ඊළඟට ළමයව නළවන්න වගේ අතට ගත්තු ඈ මේ කවිය ගායනා කළා.
                                     "යකඩ මනා විත් මෙගෙයි සිටින්නේ
                                      සර සර ගා කුමටද සොලවන්නේ
                                      උඹත් නසාලා මාත් නසන්නේ
                                    දෙන්නම නොනසා උඹ පලයන්නේ"
පණිවුඩේ හරියටම සන්නිවේදනය වුණා. කෙසෙල් පඳුර ළඟ හිටපු තැනැත්තා හෙමින්ම මාරු වුණා. හැබැයි කනින් කොනින් මේ වෙනකොටත් ඇහෙමින් පැවතුණු දේවල් නිසා මනාට නම් යක්ෂාවේෂ වුණා. කමින් හිටපු බත්පතත් පැත්තක තියපු මනා
 "මොකක්ද බොල ඒ දැන් කී හරුපෙ- කාටද තී ඒ කීවෙ?" ගාලා නද දී ගෙන බිරිඳ ළඟට ආවා.
 ඒ ඇත්තිත් මොකුත් නොවුනා වගේ හිනාවෙලා කියනව,
 "ඇයි වදේ, මේ කවිය අහලා නැද්ද මීට ඉස්සර? මේක බිලී කොක්කෙ අමුණපු පණුවා මාළුවාට කියන කවියක්. මේකෙ තේරුම තමයි මගේ ඇඟ ඇතුලෙ යකඩ මනාවක් තියෙනවා. උඹ දැන් මේ ඇම ගිල්ලොත් උඹයි මායි දෙන්නම මැරෙනවා. ඒ නිසා මේ ඇම ගිලින්නැතුව පළයන් කියලා"

 මේ විදිහට කවියෙ තේරුම කියල දුන්නට පස්සෙ ආයිමත් මනාගෙ බිරින්දෑ කියාපි, "කොහෙද ඉතින් ඔහේ යකඩ එක්කම ඔට්ටු වෙන්න ඉගෙන ගත්ත මිසක් පතක පොතක තියෙන දෙයක් දන්නවයැ. නිකම් දරුවත් බය වුණා ඔහෙගෙ කෑගැහිල්ලට" කියලා.

අනේ ඉතින් මනප්පුට හරියට ලැජ්ජා හිතුණා තමන්ගේ මොඩකම ගැන. ඒ වගේම හරි ආඩම්බරයි තමන්ගේ බිරින්දෑ මේ වගේ උගත් කෙනෙක් වෙච්ච එක ගැන. හැඩි දැඩි මනා මොඩ හිනාවක් පාලා ආයිම ගිහින් බත්පත අතට ගත්තෙ ආපහු නම් මේ ඉරිසියාකාර මිනිස්සු මොනවා කිව්වත් තමුන්ගෙ උගත් බිරිඳ සැක කරන්නෙ නෑ කියලා එක හිතින්ම හිතාගෙන.

6 comments:

  1. මනාගෙ පවුල අර වැඩේට අමතරව සාහිත්‍ය උගන්නන්ත් හොඳයිනෙ. :D
    මට ආයෙම කියන්න තියෙන්නෙ ලකී, ඔය කො‍ටු පැනිල්ල අපේ ජාතික ක්‍රීඩාවක්, නැද්ද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  2. කොටු පැනිල්ල කියන්නෙත් එක්තරා ආකාරයක කලාවක් කියලයි මට හිතෙන්නේ. කලාවට ලැදි බොහෝ අයගෙ ජීවිත මේවට සමීපයි. සුන්දර දෙයක් සුන්දර විදියට දකින්න පුළුවන් කලාකාරයෙකුටම තමයි.
    ඇඟ පතේ වෙහෙස නිවාගන්න එවුන් ගැන නෙවෙයි කිව්වේ.

    ජයවේවා!

    ReplyDelete
  3. විචාරක මහත්තයා ලියපු කතාවත් - මේ කතාවත් දෙකම එක වුනත් කිසියම් අවස්ථාවකදී කතා දෙකක් විදියට විකාශනය වෙලා තියෙනවා.ජනකතාවල ස්වභාවයත් ඒකමයි, අහගෙන ඉන්න පිරිසට අනුව මුලින් දැනගෙන හිටිය කතාවට අලුතිනුත් යමක් එකතු කරලා වඩාත් ඉහළ රසයක් ලබා දීමට කතාකරු උත්සාහ කිරීමේ දී සිදුවන්නේ,තවත් කතාවක් ජනශ්‍රැතියට එකතුවීමයි.
    මේ වගේ බොහෝ දෙනෙක් එකතුවන තැනක දී අර කතා දෙකම හෝ කිහිපය නැවතත් එකට මුණගැසෙනවා.

    ReplyDelete
  4. කොටු පැනිල්ලට අපේ අය බොහොම දක්ෂයි කියලා "රොබට් නොක්ස්" හිටන් කියලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. නොක්ස් කියන විදිහට නම් ඒ කාලේ කොටු පැනපු ගෑණු හොර මිනිහත් එක්ක අහුවුණාම දෙන්නාම මරලා දාන්න පුලුවන්ලු. ඒකට සුළු දඬුවමක් විතරලු ලැබෙන්නේ

      Delete
  5. ගැහැණු කවුරුද වරදෙ නොබැ‍ඳෙන .... අපි ගැන කවුරුවත් එහෙම කියලා නෑ නේද ලකී ?

    ReplyDelete