කොහොම උනත් මං හය වසරට යනකොට අවුරුද්දෙන් හරි අඩකටත් වඩා ගෙවිල ගිහිල්ලා. ඉතින් සංගම් වලට බැඳෙන්න පුළුවන් උනාට තරඟ එහෙම වැඩි හරියකට ඉදිරිපත් වෙන්න බැරි වුණා. ඉතින් හත වසරෙදි තමයි ආයි මේ තරඟ වලට ඉදිරිපත් වෙන්න පුළුවන්.ලකීත් හිටියෙ දත කට මැදගෙන.
හැබැයි ලකීට පොඩි ලෙඩක් තිබුනා. ඒක ඉස්සර ඉස්කෝලෙදි වගේම මෙහෙදිත් තිබුණා. ඒ තමයි ලකී ගෙදර ගියාට පස්සේ ඉස්කෝලෙ ගෙනියපු පොත් ටික ආයි අතින් වත් නාල්ලපු එක. කවුරුත් ඒ ගැන මුකුත් ඇහුවෙ නැත්තෙ කෙහෙතා වගේ හැම වෙලාවෙම අතේ පොතක් තියන් හිටපු හින්දම නෙවෙයි.සාමාන්‍යයෙන් වාර විභාගෙකදි ලකුණු අනූවට අඩුවුණේ එහෙමත් වෙලාවක නිසා.එහෙම වුණේ ලකියා කියන්නෙ මාර සුපිරි වැඩකාරයෙක් නිසා කියලා එහෙම හිතනවනං අන්න ඔයාලට වැරදුණා.
ඒකට හේතුව ලකී හොඳ ගුරුවරු ලබන්න පින් කරලා තිබීම වගේම ඒ ගුරුවරු කියන දේවල් ඒ කියන වෙලාවට හොඳට අහලා තේරුම් ගන්න අවධානයකුයි නොතේරුණොත් ආයි ආයි අහලා හරි තේරුම් ගන්න ධෛර්යයකුයි තිබිච්ච එක.
(ඒත් පාඩම් කරන්න පුරුද්දක් නැතිවීම නිසා මට වෙච්ච සංගෙදිය මම පස්සෙ වෙලාවක කියන්නම් කො )
කොහොම හරි හත වසරෙදි මාත් ඉතින් දත කට මැදගෙන හිටියා සාහිත්‍ය තරඟ වලට යන්න.මේ තරඟ වලින් ප්‍රථම හා දෙවෙනි ස්ථාන ගන්න අයට විතරයි කොට්ඨාශ තරඟ වලට ඉදිරිපත් වෙන්න පුළුවන්.මේ කියන දවසෙ තරඟ වලට වෙන් කරලා තිබුණෙ උදේම කාලච්ඡේද දෙක වගේ තමයි මතක.
මේ කාලච්ඡේද දෙකේ තිබුණේ ගණිතය. සුපුරුදු පරිදිම කලින් දවසෙ පොත අතින් නාල්ලපු ලකීට මතක නැති වුණා ගෙදර වැඩ. කොහොමත් ගෙදර වැඩ කියලා ජාතියක් ලකීට තිබුණෙ නෑ. ඒවා සංශෝධනය වෙන්න ඕනෙ ඉස්කෝලෙ උදේ පාන්දර කරන වැඩ කියලා. (ආයිමත් කියන්නෙ මේක පම්පෝරියක් වත් හපන්කමක් වත් විදිහට නෙවෙයි කියන්නෙ. අදටත් මම මේ ගැන දුක් වෙනවා.)
දැන් අපේ පන්තිභාර හිටපු රුද්‍රාණි මිස් සමාන්තර පන්ති අටටම යමින් තරඟයට එන්න කියලා නිවේදනය නිකුත් කරනවා. රුද්‍රාණි මිස් තමයි සිංහල විෂය භාරව හිටියෙ. ඒ නිසා අපේ පන්තියේ තිබුණු තරඟයෙන් දිනලා ශ්‍රේණි තරඟයට යන මා ගැන ලොකු බලාපොරොත්තුවක් මිස් ගෙ හිතෙත් තියෙන්නැති. කිව්වට මොකද ඔය ගුරුවරු අතරත් පොඩි තරඟයක් නැතුවයැ.
මට එන්න කියලා රුද්‍රාණි මිස් එන්න කිව්ව්ම මාත් ඉතින් ටක් ගාලා නැඟිටලා එන්න ලෑස්ති වුණා කියමුකො. ඔන්න එතකොටම අපේ ගණිතය භාර ගුරුතුමිය පද්මා මිස් මට කියනවා "ගෙදර වැඩ කරපු පොත මට දීලා යන්න" කියලා. මට තරු විසි වුණා. රුද්‍රාණි මිසුත් බලාගෙන ඉන්නවා. මම ඉතින් හිස් පොත ගෙනිහින් පද්මා මිස් අතට දුන්නා. පොත දිහා බලපු පද්මා මිස් ගෙ මූණෙ වැහි වළාකුළක්. ඒ වළාකුලින් හෙණ ගැහුවෙ "මේ ටික ඉවර කරල මිසක් පන්තියෙන් යන්න දෙන්නෙ නෑ." කියලා බොහොම ස්ථිරසාර කටහඬින් කියද්දි. රුද්‍රාණි මිස්ටත් කරන්න දෙයක් නෑ."අනේ පද්මා, ඔන්නොහෙ අදට විතරක් එන්න දෙන්න" කියලා ඉදිරිපත් වෙච්ච ඉල්ලීමත් බොහොම සුහද විදිහට ප්‍රතික්ෂේප වුණා.
අනික් එවුන්ගේ මූණු දිහා බලන්නට ලැජ්ජා හිතුණු නිසා පොළොවෙ සිමෙන්තියෙ පාට කඩතොලු ගාණ එහෙම ගණන් කර කර ආපහු මේසෙට ගිය මම එක හුස්මට ගණන් ටික හදලා ඉවර කරල ආපහු පොත අරන් මිස් ගාවට දිව්වා. හැබැයි ඇත්තම කියන්න, ඒ වෙනකොට මගේ කිසිම විශ්වාසයක් තිබුණෙ නෑ මිස් යන්න දෙයි කියලා.මම හිතුවෙ මට දඬුවමක් විදිහට මේ ටිකේ හරි වැරදි බලන කල්ම ඉන්න වෙයි කියලා.ඒත් පද්මා මිස් හිනාවෙලා "දැන් ගිහින් එන්න" කිව්වම මගේ හිතේ ඇතිවුනේ හරි සංකීර්ණ හැඟීමක්.
පරක්කුවෙලා නමුත් මම තරඟෙට ඉදිරිපත් වුණා.ඊළඟ දවසෙ ගණන් පාඩම වෙලාවෙදි ගෙදර වැඩ පොත පෙන්නන්න මිස් ළඟට යනකොට මිස් හිනාවෙලා මෙහෙම කිව්වා "මේ බලන්න, ඔයාගෙ අත් අකුරුත් ලස්සනයි. හිතට ගත්තොත් ඔයා මේ හැමෝටම වඩා දක්ෂයි"
හොද ගුරුවරු හරි අඩුවෙන් අපට මුන ගැහෙන්නේ !!
ReplyDeleteමටත් එහෙම ගුරුවරයෙක් ගැන මතක් උනා !
මේ නම් ගුරුහොරු අතරේ හිටිය ගුරුවරයෙක්ටත් වඩා ගුරු උතුමෙක්
ReplyDeleteමේ වගේ ගුරුවරු තමයි වටින්නේ.. ඒත් අවසනාවට එහෙම අය ඉන්නේ අඩුවෙන්...
ReplyDeleteහොඳ ගුරුවරුත් නැත්තෙම නෑ. අවාසනාවකට වගේ ඔය රස්සාවම කරන මටත් ඉගෙනගන්න කාලෙ සමහර විෂයයන් එපා වුනේ ගුරුවරු නිසා.
ReplyDeleteලකී, ඔබගේ කොමෙන්ටුව පාරේ ආවේ! ඔබගේ මේ සටහන මා ආසාවෙන් කියවුවේ, මාත් මිට සමාන නොවුනත් පාසල් කාලය ගැන ලියන නිසා. මා ඔබ තරම් පාසල් කාලයේ දක්ෂයෙක් නම් නොවේ. නමුත් පාසල් කාලය ගැන මා අද බලන්නේ උපේක්ෂා සහගතව. අපේ සිසුන්ට ලකුණු දීමේ ක්‍රමය හා සිසුන්ව වර්ග කිරීම් (වෙනියා අනුව) බොහොම යල් පන ගිය ඒවා. දැනට තියන ප්‍රතිපාදන වෙනස් නොකර උවත්, මේ ප්‍රතිසංස්කරණ කළ හැකියි කියල මා විශ්වාස කරනවා. ඔබගේ බ්ලොගය මා කැමති විදිහේ එකක් වගේ!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete