Monday, October 17, 2011

හීනයක් නිසා යාළුවෙක් මියයාම (මරා ගැනීම )

මේ කතාවත් හීන හා හීන ඵලාපල වලට සම්බන්ධයි. මම කිව්වනේ මම එච්චර හීන ඵලාපල ගැන දන්නෙ නෑ කියලා.ඒත් මම ප්‍රත්‍යක්ෂයෙන් විශ්වාස කරන හීන ඵලාපල දෙකක් තියෙනවා.මම හිතන්නේ හීන ඵලාපල එක එක්කෙනාට වෙනස් වෙනවත් ඇති.(මොකද මම ඕනෙ තරම් හීනෙන් මගේ දත් විතරක් නෙවෙයි ඇසුත් ගලෝගෙන තියෙනවා.)
ඒත් හීනෙන් වතුර දැක්කොත් අනිවාර්යෙන් හෙම්බිරිස්සාවක තරම වත් සෙම් කලබලයක් වෙනවාමයි. ඒ වගේම තමයි, කවුරුහරි කෙනෙක් විශේෂිතව හිනාවෙවී හොඳ සනීපෙන් හිටියොත් (විශේෂිත කිව්වෙ එ හීනෙට අදාලත්වයක් නැති විදිහට.ඒක තේරෙන්නෙත් හීනෙන්ම තමයි ) ඒක ඒ පුද්ගලයාට හොඳ නෑ.(ඇත්තම කිව්වොත් මෙච්චර කාලෙකට ඒ විදිහට දැකපු අය මැරුණා)
ඉතින් මම ළඟදි දැක්කා මං අඳුරන කෙනෙක් ඒ විදිහට හිනා වෙවී ඉන්නවා. දැන් මගේ හිතට මාර විදියට අවුල්.එදා දවසෙම මගේ ඔළුවෙ වැඩ කරන්නෙම ඕක විතරයි.මේක කිව්වොත් ඉතින් අහපු මනුස්සය හිනා වෙනවා මිසක් වෙන මොකක්ද? ඒත් ඉතින් නොකියත් බෑ.ඇරත් දැකපු කෙනාගෙ හැටියට නිකම් යාලුවෙක්ට වගෙ"මම අද ඔයාව හීනෙන් දැක්කා " කියන්නත් බෑ.(කිව්වොත් මගේ මොලේ කචල් කියලා හිතයි )අන්තිමට වටෙන් ගොඩෙන් පරිස්සම් වෙන්න කියල කිව්වා.
එදාම මහ පුදුම විදිහට මගේ කකුල තුවාල වුණා. පුදුම විදිහට කියලා කිව්වේ ඇයි දන්නවද? මම ගමන් කළේ ඉතාම හිමින් ඒ වගේම සාමාන්‍ය විදිහට කකුල වැදුණනම් වැදෙන්න ඕනෙ සෙරෙප්පුව නැත්තම් මහපට ඇඟිල්ලේ නියපොත්ත.මේ ඔක්කොම බේරලා කකුලේ මහපට ඇඟිල්ල පොලොවෙන් අඟලක් වත් උඩට නො ආපු යකඩයක වැදිලා සෙන්ටිමීටරයක විතර පැල්මක් ඇතිවුණා.
මගේ මොළේ මොනතරම් අර හීනෙ සීරියස් අරගෙන තිබුණද කිව්වොත් දැන් මං වටේ ඉන්න අනිත් ඔක්කොම බයවෙලා ඉඳිද්දී මං විතරක් සතුටෙන් ඉන්නවා.මොකද මට හිතෙන්නෙම දැන් මේ සිද්ධවෙච්ච අරුම පුදුම දේ නිසා අර හීනෙ ප්‍රතිඵලය වෙනස් වෙන්න ඇති කියලා (හරි හරි මනෝ විද්‍යාඥයෙක් නම් කියයි ඉතින් ඒ අපි අපේ මනසට බියක් ඇති වුණාම මඟහරවා ගැනීම සඳහා ගන්න උපක්‍රම කියලා). ඉතින් ලේ ගලන කකුල හෝදන්නෙවත් නැතුව ලේ ගලද්දිම මම පාරෙ යනවා.
මෙහෙම යනකොට මගේ යාලුවෙක් මට කතාවක් කියනවා. කා ගැනද? මම අර හීනෙන් දැකපු පුද්ගලයා ගැන.මේ කතාව මීට කලින් මම අහල තිබ්බා වගේ මතකයක් මට තිබුණා. ඒකෙ ඒතරම් විශේෂයක් තිබුණෙ නෑ. ඒත් මේ යාළුවා මේක කියපු විදිහට මට බොහොම තදින් දැනුණා.මොකද ඔහු මගේ ලෝකෙ වීරයෙක් වගේ කෙනෙක්.කතා කළත් හරවත් යමක් ගැන කතා කරපු කෙනෙක්.කාලෙකින් මම දැකපු හොඳ හරවත් මනුෂ්‍යයෙක්.
ඒ අදහස් වල තියෙන රසවත් කම නිසාම මම ඔහුට චැට් කරලා වද දෙන සිරිතක් තිබුණා.මොකද මොකක් හරි මාතෘකාවක් ගැන කතා කරන්න පටන්ගත්තොත් ඒ මාතෘකාව ඉවරවෙද්දි හිතන්න දෙයක් ඉතුරුවෙනවා.අනිත් එක ඔහු මට වඩා හුඟක් වයසින් වගේම දැනුමෙනුත්, බුද්ධියෙනුත් ප්‍රඥාවෙනුත් උසස් කෙනෙක්.මාත් එක්ක කතාකිරීම ඔහුට කිසිම ඵලක් නැති දෙයක් වුනත් ඔහු කතාකළා.
අන්තිමට එදා මම මෝඩයෙක් වගේ කතා කරන අතරතුර අර යාළුවා කිව්ව කතාව ඔහුට කියන්න ගියා.ඒ චැට් එක තනිකරම මහ බහුබූතයක් කියලා මට තේරුණේ පස්සේ වතාවක නැවත චැට් එක කියවලා බලද්දි.
ඒත් ඒ වෙනකොට මම මගේ යාළුවෙක් වෙමින් හිටපු කෙනෙක්ව නැතිකරගෙන ඉවරයි.ඔහුගේ වයසත් මට සාපේක්ෂව ඔහු ඉන්න තැනත් ,ආදී කරුණු බහුතරයක් නිසා ඒ සිද්ධවුණු මෝඩකම නැවත හදන්න බෑ. අනිත් එක ඒ කාරණයෙන් පස්සෙ මිසක් ඉස්සෙල්ලා මට හිතුණෙ නෑනෙ මිත්‍රත්වයක් නැත්තම් මම වගේ සාපේක්ෂව පොඩි ළමයෙක් එක්ක කතා කරලා කාලෙ නාස්ති කරගන්නවට වඩා ඔහුට හුඟක් වැඩ තියෙන්න ඇති කියලා.
අන්තිමට කොහොම හරි හීනෙ ඇත්ත වුනා. පුද්ගලයා නොමැරුණත් ඒ තුල හිටිය මගේ යාලුවා නැවත නො එන්නටම මියැදුණා කියලයි මම හිතන්නෙ.
යාළුවෙක් තරහ වීම දරන්න පුළුවන්. ඒත් තමන්ගෙම වැරැද්ද නිසා මේ විදිහට යාළුවෙක් නැතිවීම මොනතරම් සිත් වේදනාවක්ද කියලා මට දැනුණා
සතියක් විතර කාලයක් මම කිසිම දෙයක් කතා නොකර හිටියා.ඒ කාලය තුළ මම පුදුමාකාර විදිහට පසුතැවුණා.ඒත් අන්තිමේදි මම හිත හදාගත්තා.නැවත වතාවක් මම ඒ වරද කරන එකක් නෑ.දෙයක් කතාකරන්න කලින් මම සියවරක් හිතාවි.
ඒත් ඒ නැතිවුණු මිත්‍රත්වය නැවත ඇති නොවෙනවා වගේම,ඒක ඇති කරන්න ගන්න කිසිම පියවරක් නිසා එතුමා වගේ කෙනෙක් මගේ ජීවිතයෙන් සදහටම ඈත් කරගන්න මට වුවමනාවක් නෑ.මොනවා වුනත් යාලුවා මැරිලා හරි පුද්ගලයා ජීවත් වීම ගැන මම සතුටු වෙනවා.දැන් අධ්‍යාපනික කටයුත්තක් වගේ බොහොම නිල කාර්යයන් සඳහා පමණයි මම චැට් කරන්නෙ. ඒත් නොකරම බැරි වුණොත් විතරයි.නැත්නම් මම දුරකථනය පාවිච්චි කරනවා.
ඔන්න ඕක තමයි මම මෙතුවක් දැකපු නරකම ප්‍රතිඵලය උදා කරපු හීනය. ඒත් ඒක කරගත්තෙ මම ම තමයි.

සිහින රසිකයා

හීන ගැන කතා කරන්න හුඟක් දවසක ඉඳන් හිතා හිටියත් නොයෙක් හේතු නිසා ඒක මඟහැරුණා.ඇත්තටම මුලින්ම මේ හීන ගැන ලිපිය පළ කරන්න හිටියෙ ජනූ අක්කගේ මේ ලිපිය දැක්ක වෙලාවෙ. අද ලෙඩ ගානෙ ඉඳගෙන කරන්න වැඩක් නැති නිසා තැපැල් පෙට්ටිය අස්පස් කරනකොට තමයි ආයිම මතක් වුණේ.
හීන ගැන ඉතින් නොයෙක් අර්ථකථන තියෙනවනේ. මම නම් ඉතින් හීන ඵලාපල ගැන එච්චර තේරුමක් තියෙන කෙනෙක් නෙවෙයි.
මම හීන රසවිඳින්නේ මගේම ක්‍රමයකට(අනේ හැබෑට මම හිතාගෙන හිටියෙත් ඒක මටම ආවේණික විදිහක් කියලා ඒත් තව කට්ටිය ඉන්නවනේ.මෙන්න මේ ලිපියත් බලන්නකෝ.)
මම දකින හීන සම්පූර්ණයෙන්ම වර්ණ හීන.බ්ලැක් ඇන්ඩ් වයිට් නම් දැකලම නෑ. ඒ වගේම තමයි මම දැන් හීන දැකල කම්මර වෙලා ඉන්නෙ.(හරි හරි තෙම්පරාදු වෙලා කියන්නෙත් ඕකටම තමයි ඉතින්. අපි ගමේ ගොඩේ මිනිස්සු නොවැ ආයිබොවන්ඩ!) ඉතින් ගොඩක් වෙලාවට හීනෙ හසුරුවාගන්න විදිහ මම දන්නවා. හීනයක් දකිනකොට ඒ හීනෙ මට හොඳට දැනෙනවා.හීනෙන් දුවනවා කියන්නෙ ඉතින් මටත් හති..තුවාල උනොත් රිදෙනවා. කොච්චර අපූරුද කිව්වොත් අර සමහර අය කියනවනේ ඇස් පොඩි කළාම, කෙනිත්තුවාම හීනයක් නම් ඇහැරෙනවා කියලා, ඒක මට නම් හරියන්නෙ නෑ. හීන ඇතුලෙම ඒවගේ දේවල් ගොඩක් කරල තියෙනව මම.
අනිත් එක තමයි සමහර වෙලාවට කොටස් වශයෙන් හීන පේනවා.අන්න ඒක නම් හරිම මරු වැඩේ. ටෙලි නාට්‍යක ඊළඟ කොටස විකාශය වෙනකම් ඉන්නවා වගේ.තව සමහර ඒවා මැද්දෙදි කවුරුහරි මාව ඇහැරෙව්වොත් මම ආයි නිදාගන්නවා.එතකොට නවත්තපු තැන ඉඳලා පේනවා.(සමහර විට මීඩියා ප්ලේයර් හොයාගන්න ඇත්තෙත් මේ මම වගේ හීන දැකපු කෙනෙක්ද දන්නෙ නෑ)
ඊයෙ මම හීනෙන් ජුමාන්ජි සෙල්ලම් කළා. අද දවල් පිස්සු විද්‍යාඥයෙකුගෙන් ලෝකය බේරගන්න මාර සටනක් දුන්නා.ඇයි ඉතින් එක දිගට චිත්‍රපටි තුනක් බැලුවනේ.ඒ වගේ ඉතින් සමහර හීනවල හේතුව හිතාගන්න පුළුවන්.සමහර ඒවා දකින්නේ ඇයි කියලා හිතාගන්න බෑ.
තවත් සමහර හීන තියෙනවා නිතර දකින, උදාහරණයක් විදිහට මම හැමතිස්සෙම දකිනවා සර්පයෝ ගොඩක් මාව පන්නගෙන එනවා.(තාත්තා කියන්නෙ දෙවි දෝසෙද මොකක්ද එකක් කියලා. තවත් සමහර වෙලාවක මම අහසේ පියාඹනවා. නැත්තම් ගොඩක් වෙලාවට දකින්නෙ රෑ අහසේ අලංකාර එළි විහිදෙනවා.
තවත් සමහර තැන් මට පේන්නේ මටම ආවේණික විදිහට.ඒ වගේ එක තැනක් තමයි අපේ වත්ත පහළ. ඒක මට පේන්නේ දියඇළි තියෙන අඳුරු මහ කැලෑවක් වගේ.ඉවර වෙන්නෙ ලස්සන පරණ මාලිගාවකින්.
මොනවගේ හීනයක් වුනත් මම ඒක රස විඳිනවා.(අනිත් කාරණේ තමයි හීනවල ඉන්නෙ ඇත්ත මම නෙවේ. පිරිමි ළමයෙක් නේ.එයා හුඟක් වෙලාවට බය නැතුව මහ කරුවලෙත් පාපැදියකින් යන්නේ ඒකයි )
ඉස්සර නම් මම හිතුවේ මේ වගේ හීන පේන්නෙ මට බාගෙට පිස්සුද දන්නෙ නෑ කියල. ඒත් අර ලිපි ටිකයි ඒවයේ කමෙන්ට් ටිකයි දැක්කම මට ආපු සතුට....
ඒ වගේම තමයි සමහර නරක හීනත් තියෙනවා.දෙතුන් පාරක් හීනෙන් බයවෙලත් තියෙනවා. එකම එක පාරක් විතරක් එහෙම බයවෙලා කෑ ගහල තියෙනවා. ඒ පඹයෙක් මං පාරෙ එලවගෙන එනවා දැකලා.ඒත් මෙච්චර කාලෙකට මම දැකපු සවුත්තුම අවැඩදායීම හීනෙ දැක්කෙ ගිය මාසෙ.

ඔයාලත් මං වගේම හීන රසිකයෝද?

Sunday, October 2, 2011

වන්නියේ ගණන් හදන ක්‍රමේ!

මේක මේ දැන් අපේ නංගි තමයි කියලා ගියේ.
ඔන්න එක දවසක් එක්තරා වන්නියෙ ඉස්කෝලෙකට ගුරු උපදේශකවරයෙක් ආවා ලු. ගණිත ගුරු උපදේශකවරයෙක් හොඳද? දැන් මෙයා පොඩි පන්තියකට ගිහින් මෙහෙම අහනවා ලු.
"හොඳයි දැන් ඔය පුතාල කඩේකට යනවා, ගිහිල්ලා ටොෆී 7 ක් ගන්නවා.එකක් අම්මටයි තව එකක් තාත්තටයි දීලා එකක් පුතා කනවා.දැන් පුතාල ළඟ ටොෆී කීයක් තියෙනවද?"
ළමයි ටික බලාගෙන ඉන්නවා මිසක් උත්තරයක් දුන්නෙ නෑළු.ඉතින් මේ ගුරු උපදෙශක මහත්මයා බොහොම කේන්තියෙන් පාසැලේ ගණිත ගුරුතුමා ළඟට ගිහින් මෙහෙම කියනවළු,
"මේ ළමයින්ගේ ගණිත දැනීම බොහොම දුර්වලයි නේ?"
ගුරුතුමාත් වෙච්ච දේ බොහොම සාවධානව අහගෙන ඉඳලා උපදේශක මහත්මයත් එක්කම පන්ති කාමරයට ගියාලු. ගිහින් ළමයින්ට මෙහෙම කියනවලු,
"අඩා තොපි කඩපිලට ගෙහුං ඇට සීනි බෝල හතක් අරන් එකක් තොපේ මහ එකාටයි එකක් තොපේ මහ එකීටයි දීල තව එකක් තෝ කොටාබෑවා නම්, දැන් තෝ ලඟ කීයක් තියෙනවැයි?"
අන්න ඒ පාර තමයි මුළු පන්තියම එකසැරේට උත්තර දුන්නෙ!:D

ගණිත ගුරුවරිය සහ ලකී


අනිත් බොහොමයක් ලිපි වගේම මේකත් පෞද්ගලික අත්දැකීමක්ම තමයි. මේක හදිස්සියෙ මතක් වෙන්න හේතු දෙකක් මතක් වුණා.එක හේතුවක් නම් කියන්න බෑ. අනිත් හේතුව තමයි බ්ලොග් අවකාශයේ මගේ ප්‍රියතම ලේඛකයන් අතරට ටිකක් මෑතකදි එකතුවුණු තවත් ලේඛකයෙක් වන නාලක ගමගේ මහතා ලියූ ලිපියක්.ඒ ලිපියෙ තිබුණෙ ego කියන සංකල්පය ගැන. මේකට කියන නිවැරදි සිංහල වචනය එතුමාගෙන්ම අහගන්න එක හොඳයි.
මේ සිදුවීම වෙනකොට මම හිටියෙ දහයෙ පන්තියෙ. අපේ පාසැලේ දක්ෂ ළමයි අතර මගේ නමත් තිබුණු කාලයක් මේක. විශේෂයෙන්ම ගණිතයට මගේ ලොකු ඇල්මක් තිබුනෙ එකපාරින් තේරුම් අරගත්තට පස්සෙ ආයි පොඩ්ඩක්වත් පොත නොබැලුවත් ලකුණු අනූවට වඩා රිපෝට් කාඩ් එකේ දාගන්න පුළුවන් විෂයය නිසා.
මේ අතරෙ නමය වසරෙදි අපේ පන්ති මාරුකළාට පස්සේ ආයිත් එකොලහ ශ්‍රේණිය වෙනකල්ම අපි ඉන්න ඕනෙ එකම පන්තියේ. අපිට නමය වසරෙ උගන්නන්න ආපු ගුරුතුමිය මුල් දවසෙම මාව අඳුනගත්තෙ අනිත් කාටවත් කරන්න බැරිවුණු ගැටළුවක් මම විසඳපු නිසා.නමය වසර අග වෙනකල්ම මාත් එක්ක ඉතාම හොඳට හිටපු ගුරුතුමිය එක පාරටම ටික ටික වෙනස් වෙන්න ගත්තා. මට මුලින්ම මුකුත් හිතාගන්න බැරුව ගියා.ඇය දැන් කරන එකම දේ මගේ නැති වැරැද්දක් හරි හොයාගෙන මට බනින එක. මේ වගේ දේකට කවදාවත්ම පුරුදුවෙලා නොහිටපු මම අන්තිමටම මානසිකව වැටුණා.මේ නිසාම මගේ ගණිතයට තිබුණු ඇල්ම වගේම පාසැල් ගමනත් පුදුම විදිහට අඩපණ වුණා.
හැබැයි ලස්සන වැඩේ කියන්නෙ මම ගුරු විවේකාගාරයට ගියොත් අනික් ගුරුවරු මා එක්ක කතා කරල මා ගැන හොඳ කියනකොට ඇයත් අනිත් අයත් එක්ක එකතුවෙලා මට හොඳ කියනවා.දැන් මම මොකද කරන්නෙ? කාට කියන්නද? කවුද පිළිගන්නෙ? මට ජීවිතේම තිත්ත වුණා. මම කාගෙන්වත් මේ විදිහෙ අපහාසයකට ලක්වෙලා නෑනේ. ඒ මදිවට මේ ගුරුතුමිය ටිකක් අමුතු විදිහේ ළමයෙක්ව ගණිතය නායිකාව කළා. ඒ ළමයත් අනිත් කෙනෙක්ව අපහාසයට ලක් කරන්න බලාගෙන ඉන්න කෙනෙක්. හදිසියෙවත් මේ ළමයා නැති වෙලාවට ගුරු උපදේශක කෙනෙක් ආවොත් මා ළඟට අර ගුරු උපදේශකවරයාව තියාගෙන ගණිත නායිකාවගේ නැති හොඳත් කියන්න අර ගුරුතුමිය පටන්ගත්තා.
අන්තිමට වැඩේ නතර වුණේ මීට කලින් අනූවට අඩුවෙන් නොගත්ත මම වාර විභාගෙට ලකුණු පනස් හතරක් අරගත්තට පස්සෙ.
මගේ අම්මත් තාත්තාත් මා වටේ හිටියා. ඔවුන් මාව ශක්තිමත් කළා මිස කෙහෙවලු පටලවාගන්න ගියේ නෑ අර ගුරුතුමියත් එක්ක.අන්තිමට මට ගණිතය උපකාරක පන්තියකටත් යන්න වුණා.අම්මත් තාත්තත් ඇරුණු කොට මා ළඟ හිටිය ප්‍රබලම උපකාරකයා තමයි පානදුර කොට්ඨාශයේ විද්‍යා ගුරු උපදේශකවරයක් වුණු ගුණසිරි පෙරේරා ගුරුතුමා.(ලකී ලේසියෙන් කාටවත් අත්දෙක උස්සල වඳින්නෙ නෑ.ඒත් මම දණගහල වඳින කෙනෙක් තමයි ඔහු )
ටිකක් හිත ශක්තිමත් වුණාම කොහොම හරි මේ වද විඳින්න බැරිම තැන මම තීරණය කළා මේ ගැන කෙළින්ම කතා කරලා අහන්න.ඇය දීපු උත්තරය දන්නවද?
"ඔයා බොහොම සැප පහසුවට හුරතලේට හැදුණු කෙනෙක් නිසා මම හිතුවා ඔයාව ශක්තිමත් කරන්න."
මොන විදිහට ඇය මේ උත්තරේ හිතාගත්තද මන්දා? මගේ පාසැලේ මට වඩා සිය දහස් ගුණයක් හුරතලේට හැදුණ තොත්ත බබ්බු ඕනතරම් ඉන්නවා. ඒ නිසා අදටත් ඇයගේ උත්තරේ බොරුවක් කියලා මගේ හිත කියනවා. ඒ දීපු දසවදය විඳගෙන සියදිවි හානි නොකරගන්න තරම් මම ශක්තිමත්ද කියලා වෙන්න ඇති බලන්න ඇත්තේ?
අදටත් කවුරුහරි මම හුරතලේට හැදුණු පොඩි ළමයෙක් වගේ කෙනෙක් කිව්වොත් මට ඒක තදින් බලපානවා.මටත් නොදැනි මට ඇයව මතක් වෙනවා.ego එකට පාර වදිනවා වෙන්න ඇති.
කොහොම නමුත් මම සාමාන්‍ය පෙළ ගණිතයට විශිෂ්ඨ සාමාර්ථයක් අරන් ප්‍රතිඵල කියන්න ගිය වෙලාවෙ ඇය මගේ අම්මත් එක්ක හිනාවෙලා මෙහෙම කිව්වා.
"මම දැනන් හිටියා මෙයා මේ ප්‍රතිඵලය ගන්නවා කියලා"

Saturday, September 10, 2011

උකුසු වෙසින් ඇත- ඇස් දහසක් අප වෙත යොමු වී


මම ඉගෙනුම ලබන ආයතනයේම කෙනෙක් විදිහට කටයුතු කරන්න මට අවස්ථාවක් ලැබුණා කියමුකෝ, අපේ ආයතනයෙ ගොඩනැඟිලි දෙකක් පාරෙන් දෙපැත්තෙ තියෙන්නේ. දවසක් මට සාමාන්‍යයෙන් ඉන්න ගොඩනැඟිල්ල වෙනුවට එහා පැත්තෙ තියෙන එකට යන්න වුණා ඡායා පිටපත් වගයක් ගන්න. මේ ගොඩනැඟිල්ලෙ තමයි අර මගේ කලින් ලිපියකට පදනම් වුණ ක්ලීනින් ආන්ටි ඉන්නෙ. එයා තාම දන්නෙ නෑ මම ආයතනයේ සේවය කරන බව.

ඡායා පිටපත් ටික ගන්න පියන් කෙනෙක් එක්ක ඡායා පිටපත් යන්ත්‍රය තියෙන කාමරයට ඇතුල් වෙන්න යනකොට මම දැක්කා මේ ආන්ටි මා දිහා විමසිල්ලෙන් බලනවා.මම ඉතින් සුපුරුදු පරිදිම ඇයත් එක්ක හිනාවෙලා මගේ ගමන යන්න පිටත් වුණා.ඒත් එක්කම මම දැක්කා මේ ආන්ටි එක පාරටම තමන් කර කර හිටපු වැඩේ පැත්තක දාලා මා පස්සෙන් දුවගෙන එනවා.ඒ වෙලාවෙ මට ඒක ඒ තරම් නොතේරුණත් ඊලඟ මොහොතේ අර ඡායාපිටපත් ගන්න යන්ත්‍රය තියෙන කාමරයේ වීදුරු දොරට මූණ තියාගෙන බලාගෙන ඉන්න ඇන්ටිව දැක්කහමත් කාරණේ නොතේරෙන්න මම ඔටුවෙක් යැ?

ඊට පස්සෙ මම ඇන්ටිව ඇතුලට අරන් කතා කර කර හිටියා.ඔන්න මම ආපු කාරණේ හරියට දැනගත්තම තමයි ඇන්ටි ආපහු යන්න ගියේ.

මේ කතාව අද මම අම්මත් එක්ක කිව්වහම අම්මා කියනවා ඉස්සර අම්මලගේ තාත්තා දුන්නු උපදේශයක් ."ජීවත් වෙනකොට තමන්ට වගේම අනිත් මිනිස්සුන්ටත් ඇස් කන් තියෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන්න" කියන එක. ඇත්තටම මඟ තොටේදි සහ අවට පරිසරයෙදි අපිව කී දෙනෙක්ගෙ ඇස් වලට ලක් වෙනවද? කී දෙනෙක් අපි දිහා විමසිල්ලෙන් බලන් ඉන්නවද? සමහර විට ඒ අය අපිට සලකන විදිහ, අපිට කතා කරන විදිහ වගේම අපේ ආරක්ෂාව තීරණය වෙන්න බලපාන්නෙත් අපේ හැසිරීමම තමයි.

සියදිවි හානි කරගැනීම පරාජිතයින්ට පමණයි.


ලකී ගෙ ජීවිතේ ගොඩක් වෙනස් කම් වුනා නෙ.(හෙහ් හෙහ්. වෙන මුකුත් නෙවේ අප්පා ජොබ් කට්ටක් සෙට් උනා) සමහර වෙලාවට බ්ලොග් සංකල්පනා ඇවිත් ගියා. ලියන්න වුනේ නෑ. අන්තිමට ඔක්කොම අමතක වෙලා ගියා.හෙට ආපහු පන්ති පටන් ගන්නවා කියල මතක් වෙනකම් බ්ලොග් එක මතක් වුනෙත් නෑ. ඒත් අනිත් අය ලියපු රසවත් හරවත් බ්ලොග් වලට නම් සැරින් සැරේ ගිහින් ආවා.

අද මම හිතුවා සියදිවි හානි කරගැනීම ගැන ලිපියක් ලියන්න ඕන කියලා. ආසන්නතම හේතු දෙකක් තියෙනවා. එකක් තමඉ දුරින් මගේ ඥාතියෙක් වෙන පුද්ගලගෙක් ගිය මාසේ සියදිවි හානි කරගැනීම.අනිත් කාරණය පුවත්පතක මම දැක්ක ලිපියක්.

මගේ ඥාතියා නම් නොයෙක් හේතු කාරණා නිසා අසහනයෙන් හිටපු ලකුණු පේන්න තියෙනවා. සමහර දේවල් පෞද්ගලික කාරණා. ඒ ආසන්නතම කාලයේ තමයි මට දකින්න ලැබුණෙ අර ප්‍රසිද්ධ විදුහලකදී ටයි පටියෙන් ගෙල වැලලාගෙන මියගිය දියණියගෙ මව ලියපු ලිපියක්.මීට පෙරත් හැම වසරකම ඇය ගැන දුක හිතෙන සටහනක් ඇයගෙ පියා අතින් ලියැවුණා. මෙවර ලිපියෙ ලියලා තිබුණේ ඒ පියාත් රෝගාතුර වෙලා මියගිහින් කියන එක.

සියදිවි හානි කරගැනීම කාලයක් ගෞරවාන්විත දෙයක් විදිහට සැලකිලා තියෙනවා. ඇලෙක්සැන්ඩර් ඩූමා රචනා කළ "මොන්තක්‍රිස්තෝ සිටුවරයා " පොතේ මොරේල් නම් චරිතය තමන් මූල්‍යමය බංකොලොත් භාවයට පත් වුණු වෙලාවෙ සියදිවි හානි කරගන්න උත්සාහ කරනවා.ඔහු තමන්ගේ පුතාට කියනවා "දුක් වෙන්න එපා, ලෙයින් අගෞරවය හේදිලා යනවා " කියලා.

බුදු දහමේ වුනත් සියදිවි හානි කරගැනීම ප්‍රාණඝාතය තරම්ම ප්‍රබල නැති අකුසලයක් කියලා තමයි සැලකෙන්නේ.

කොහොම වුනත් ස්වයං මෝහනයට පත්වෙලා යම් යම් දේවල් කියපු එඩ්ගා කේසි වගේම බොහෝ පුනර්භව සාධක වලත් පෙන්නුම් කරන්නේ සියදිවි හානි කරගන්න පුද්ගලයන්ගේ ඒ චර්යාව සසර පුරුද්දක් වන බව හා එබඳු පුද්ගලයන් මිතුරන් අඩු හුදෙකලා හා කනස්සලු චරිත වන බව.

අර දියණිය මොන කාරණයක් නිසාද සියදිවි හානි කරගෙන තිබුණෙ කියලා ඔයාලට මතකද? පාසැලට ජංගම දුරකතනයක් අරගෙන ඇවිත් ඒක අහුවුණු එකට. ඒක අපරාදයක් නෙවේනේ.අග්නිදිග ආසියාවේ විශාලම බෞද්ධ පාසැලටත් ඉස්සර ජංගම දුරකතන ගේනවා. ඒවා අහුවෙනවා. හැබැයි කවුරුත් සියදිවි හානි කරගත්තේ නෑ.මෙතන ප්‍රශ්නෙ වුනේ ඒක තමන්ගේ දෙමවුපියන්ට දැනගන්න ලැබෙයි කියන බය.ඒ දෙමවුපියො ඒ දුව ව මලක් වගේ සියළු සැප සම්පත් මැද හදාගෙන තිබුණත් එක දෙයක් දෙන්න අමතක කරලා තිබුණා. ඒ තමයි විශ්වාසය.ඇයට තහවුරු වෙලා තිබුණනම් මොනදේ වුනත්,ඒ වෙලාවෙදි බැන්නත් ගැහුවත්, දෙමවුපියන් තමන්ට ආදරෙයි, තමන් එක්ක ඉන්නවා කියන එක, එහෙනම් තාමත් ඇයත් ඒ දෙමව්පියොත් සතුටින් ඉන්නවා.

සියදිවි හානි කරගන්න එක ඉතාම පහසු පලායාමේ ක්‍රමයක්.මිනිස්සුන්ට ධෛර්යය අවශ්‍ය වෙන්නේ ජීවත් වෙන්න. මම කතන්දර වලට ආසයි.( ඒත් ප්‍රබන්ධ විශ්වාස කරන්නේ නෑ.)සත්‍ය කතාවක් මත පදනම් වුණු වානේ පන්නරය ලැබූ හැටි පොතේ පාවෙල් කොර්චාගින් මතකද? මුළු සිරුරම අවසඟ වෙලා ගියත් පාවෙල් සටන් කරනවා.මිනිහෙකුට අවශ්‍ය අන්න ඒ වගේ ජීවිතයක් තමයි. ඒක තමයි වීරයෙකුගෙ ජීවිතය.

කොහොම වුනත් හැම වෙලාවෙම හැම කෙනෙකුටම වීරයෙක් වගේ හිතන්න බෑනෙ. අනිත් එක තමන්ගේ ජීවිතයේ වටිනාකම් එක්ක නොයෙක් සිදුවීම් තමන්ට දැනෙන ප්‍රමාණය වෙනස් වෙනවා. සමහරවිට හිතෙනවා "මීට වඩා වෙන්න හානියක්වත් අපහාසයක්වත් නෑ" කියලා.(කොහොම වුණත් ගොඩක් අත්දැකීම් පරණ වෙනකොට තමයි හිතෙන්නේ ඒවා සිද්ධ වෙලා තියෙන්නේ වෙන්න තිබුණු හොඳම විදිහට කියලා). ඒ වගේ වෙලාවකට පත්වෙච්ච කෙනෙක්ව තේරුම් ගන්න එකත් ඔවුන් එක්ක ඉන්න එකත් විශ්වාසය ලබාදෙමින් උදව් කරන එකත් කරන්න පුළුවන් කිසිම වෙලාවක මඟහරින්න එපා. ඒකත් අභය දානය දීමක් තමයි.

ප.ලි:මේ ලිපියට මාතෘකාවක් ලියන්න යනකොට තමයි මේක මතක් වුනේ. අහලා තියෙනවද සින්දුවක් "පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුණු විසුනුව වැටුනේ" කියලා? මම ඒ ගීතයට ප්‍රිය කරන්නෙ, සියදිවි නසා ගැනීම ගැන මම හිතනදේම ඒ ගීතයෙන් කියල තියෙන නිසා.

Saturday, May 28, 2011

යුද්දෙට ගිය අරිසෙන් අහුබුදු?



"පැතුම්, අරිසෙන් අහුබුදු මහත්තයා කියන්නේ කවුද?"
"ම්..ම්ම්..."
හද හදා හිටපු ගාණෙන් පෑන ඉවතට ගත්ත පැතුම් මා දිහා බැලුවෙ "මේ මොකක්ද මේ ඇහුවේ?" කියලා හිතන ගමන් බව මම දන්නවා. හැබැයි එයාගේ මූණේ තිබ්බ ප්‍රශ්නාර්ථ ලකුණ තත්පරෙන් දශම ගාණකදි අයින් කරගන්න පැතුම්ට පුළුවන් වුණා. ඊ ළඟට කට කොනකට පොඩි හිනාවක් ආවා.
මේ ළඟදි ඉඳලා කවුරුහරි ලොකු අයියා කෙනෙක්ව අනුකරණය කරන මේ අටේ පන්තියෙ කොලු ගැටයා එයාගේ "අයියෝ අපි නොදන්න දෙයක් තියෙනවද?" බැල්මට මූණ හදාගෙන මං දිහා බැලුවා.
"හරි මං දන්නවා"
"කවුද එහෙනම්?"
"එයා ජාතික වීරයෙක් නෙ?"
කණා පාර හරියයිද කියන සැකේ සේයාව ඇස්වල තියෙනවා.
"ම්..ම්ම් විස්තර කරමු බලන්න?"
ලැජ්ජාව... සැකය.... ආයිමත් අර "ලොකු අයියා " බැල්ම...
මම එයාගේ උත්තරේ වැරදියි නොකිව්ව නිසා කොල්ලා පරණ උත්තරේ වෙනස් නොකරන බව මම දන්නවා.
"එයා අර ඉංග්‍රීසින්ට විරුද්දව සටන් කලානේ?"
මගේ මූණේ සිදුවෙන වෙනස්වීම් සියුම්ව අධ්‍යයනය කරමින් පැතුම් කියනවා.මගේ මූණේ එක ස්නායුවක්වත් එයාට උදව් කළේ නම් නෑ.
"පින්තූර නම් දැකල තියෙනවා. වැඩිය විස්තර මතක නෑ"......
චේතිය රජ්ජුරුවෝ පරාදයි.
"කොහොමද පෙනුම?"
"ඒ කිව්වේ?"
"හැඩහුරුකම්?"
දැන්නම් කොල්ල හොඳටම හිරවෙලා. අඬනවද හිනාවෙනවද හිතාගන්න බැරුව හිටපු මගේ කට කොනකට පොඩි හිනාවක් ගියා.
"ඇයි?"
"නෑ කමක් නෑ. කුමාරතුංග මුණිදාස මහත්මයා කියන්නේ කවුද ? "
ළමයගේ මූණ එළිය වැටුණා.
"මම දන්නවා.අර කවි ලියන කෙනෙක් නේ... තව ළමා පොතුත් ලියනවා.."
"අර මම කියපු නම ලියාගන්නකෝ. ගෙදර ගිහින් හොයලා බලල මට විස්තර ටිකක් හොයාගෙන එන්න"
"ලියාගන්න ඕනෙ නෑ. මට මතකයි නම"
"කමක් නෑ ලියාගන්න. ඔය ගණන් පොතේ උඩම ලියාගන්න. පොත ගෙදර ගිහින් පෙරළනකොට එක දකිනවනේ."
"නෑ පැතුම් වු යන්න නෙවේ "හු" යන්න."
"ඉතින් මම කොහොමද මෙයා ගැන විස්තර හොයාගන්නේ? එයා ගැන ලියල තියෙන පොතක් අපේ ගෙදර නෑ නේ."
"මේ ටිකේ සති අන්ත පුවත්පත් සහ දිනපතා පුවත්පත් කියවන්නකෝ. විස්තර හම්බුවෙයි"

මේ සංවාදය සිද්ධවුණේ දැනට පැය දෙකකට විතර ඉස්සර. මේක කියවන අයට නම් රස කතාවක් වුණත්, එකපාරටම මේක අහද්දි දකිද්දි හිනා ගියත් මේක මට නම් පේන්නේ මහා අසුභ පෙර නිමිත්තක් විදිහටයි.ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? මේ තත්වයට ඔයාලා දකින විසඳුම මොකක්ද? එක් එක් පුද්ගලයා විදිහට අපි මේකට කළයුතු පිළියම මොකක්ද?