Saturday, September 10, 2011

උකුසු වෙසින් ඇත- ඇස් දහසක් අප වෙත යොමු වී


මම ඉගෙනුම ලබන ආයතනයේම කෙනෙක් විදිහට කටයුතු කරන්න මට අවස්ථාවක් ලැබුණා කියමුකෝ, අපේ ආයතනයෙ ගොඩනැඟිලි දෙකක් පාරෙන් දෙපැත්තෙ තියෙන්නේ. දවසක් මට සාමාන්‍යයෙන් ඉන්න ගොඩනැඟිල්ල වෙනුවට එහා පැත්තෙ තියෙන එකට යන්න වුණා ඡායා පිටපත් වගයක් ගන්න. මේ ගොඩනැඟිල්ලෙ තමයි අර මගේ කලින් ලිපියකට පදනම් වුණ ක්ලීනින් ආන්ටි ඉන්නෙ. එයා තාම දන්නෙ නෑ මම ආයතනයේ සේවය කරන බව.

ඡායා පිටපත් ටික ගන්න පියන් කෙනෙක් එක්ක ඡායා පිටපත් යන්ත්‍රය තියෙන කාමරයට ඇතුල් වෙන්න යනකොට මම දැක්කා මේ ආන්ටි මා දිහා විමසිල්ලෙන් බලනවා.මම ඉතින් සුපුරුදු පරිදිම ඇයත් එක්ක හිනාවෙලා මගේ ගමන යන්න පිටත් වුණා.ඒත් එක්කම මම දැක්කා මේ ආන්ටි එක පාරටම තමන් කර කර හිටපු වැඩේ පැත්තක දාලා මා පස්සෙන් දුවගෙන එනවා.ඒ වෙලාවෙ මට ඒක ඒ තරම් නොතේරුණත් ඊලඟ මොහොතේ අර ඡායාපිටපත් ගන්න යන්ත්‍රය තියෙන කාමරයේ වීදුරු දොරට මූණ තියාගෙන බලාගෙන ඉන්න ඇන්ටිව දැක්කහමත් කාරණේ නොතේරෙන්න මම ඔටුවෙක් යැ?

ඊට පස්සෙ මම ඇන්ටිව ඇතුලට අරන් කතා කර කර හිටියා.ඔන්න මම ආපු කාරණේ හරියට දැනගත්තම තමයි ඇන්ටි ආපහු යන්න ගියේ.

මේ කතාව අද මම අම්මත් එක්ක කිව්වහම අම්මා කියනවා ඉස්සර අම්මලගේ තාත්තා දුන්නු උපදේශයක් ."ජීවත් වෙනකොට තමන්ට වගේම අනිත් මිනිස්සුන්ටත් ඇස් කන් තියෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන්න" කියන එක. ඇත්තටම මඟ තොටේදි සහ අවට පරිසරයෙදි අපිව කී දෙනෙක්ගෙ ඇස් වලට ලක් වෙනවද? කී දෙනෙක් අපි දිහා විමසිල්ලෙන් බලන් ඉන්නවද? සමහර විට ඒ අය අපිට සලකන විදිහ, අපිට කතා කරන විදිහ වගේම අපේ ආරක්ෂාව තීරණය වෙන්න බලපාන්නෙත් අපේ හැසිරීමම තමයි.

සියදිවි හානි කරගැනීම පරාජිතයින්ට පමණයි.


ලකී ගෙ ජීවිතේ ගොඩක් වෙනස් කම් වුනා නෙ.(හෙහ් හෙහ්. වෙන මුකුත් නෙවේ අප්පා ජොබ් කට්ටක් සෙට් උනා) සමහර වෙලාවට බ්ලොග් සංකල්පනා ඇවිත් ගියා. ලියන්න වුනේ නෑ. අන්තිමට ඔක්කොම අමතක වෙලා ගියා.හෙට ආපහු පන්ති පටන් ගන්නවා කියල මතක් වෙනකම් බ්ලොග් එක මතක් වුනෙත් නෑ. ඒත් අනිත් අය ලියපු රසවත් හරවත් බ්ලොග් වලට නම් සැරින් සැරේ ගිහින් ආවා.

අද මම හිතුවා සියදිවි හානි කරගැනීම ගැන ලිපියක් ලියන්න ඕන කියලා. ආසන්නතම හේතු දෙකක් තියෙනවා. එකක් තමඉ දුරින් මගේ ඥාතියෙක් වෙන පුද්ගලගෙක් ගිය මාසේ සියදිවි හානි කරගැනීම.අනිත් කාරණය පුවත්පතක මම දැක්ක ලිපියක්.

මගේ ඥාතියා නම් නොයෙක් හේතු කාරණා නිසා අසහනයෙන් හිටපු ලකුණු පේන්න තියෙනවා. සමහර දේවල් පෞද්ගලික කාරණා. ඒ ආසන්නතම කාලයේ තමයි මට දකින්න ලැබුණෙ අර ප්‍රසිද්ධ විදුහලකදී ටයි පටියෙන් ගෙල වැලලාගෙන මියගිය දියණියගෙ මව ලියපු ලිපියක්.මීට පෙරත් හැම වසරකම ඇය ගැන දුක හිතෙන සටහනක් ඇයගෙ පියා අතින් ලියැවුණා. මෙවර ලිපියෙ ලියලා තිබුණේ ඒ පියාත් රෝගාතුර වෙලා මියගිහින් කියන එක.

සියදිවි හානි කරගැනීම කාලයක් ගෞරවාන්විත දෙයක් විදිහට සැලකිලා තියෙනවා. ඇලෙක්සැන්ඩර් ඩූමා රචනා කළ "මොන්තක්‍රිස්තෝ සිටුවරයා " පොතේ මොරේල් නම් චරිතය තමන් මූල්‍යමය බංකොලොත් භාවයට පත් වුණු වෙලාවෙ සියදිවි හානි කරගන්න උත්සාහ කරනවා.ඔහු තමන්ගේ පුතාට කියනවා "දුක් වෙන්න එපා, ලෙයින් අගෞරවය හේදිලා යනවා " කියලා.

බුදු දහමේ වුනත් සියදිවි හානි කරගැනීම ප්‍රාණඝාතය තරම්ම ප්‍රබල නැති අකුසලයක් කියලා තමයි සැලකෙන්නේ.

කොහොම වුනත් ස්වයං මෝහනයට පත්වෙලා යම් යම් දේවල් කියපු එඩ්ගා කේසි වගේම බොහෝ පුනර්භව සාධක වලත් පෙන්නුම් කරන්නේ සියදිවි හානි කරගන්න පුද්ගලයන්ගේ ඒ චර්යාව සසර පුරුද්දක් වන බව හා එබඳු පුද්ගලයන් මිතුරන් අඩු හුදෙකලා හා කනස්සලු චරිත වන බව.

අර දියණිය මොන කාරණයක් නිසාද සියදිවි හානි කරගෙන තිබුණෙ කියලා ඔයාලට මතකද? පාසැලට ජංගම දුරකතනයක් අරගෙන ඇවිත් ඒක අහුවුණු එකට. ඒක අපරාදයක් නෙවේනේ.අග්නිදිග ආසියාවේ විශාලම බෞද්ධ පාසැලටත් ඉස්සර ජංගම දුරකතන ගේනවා. ඒවා අහුවෙනවා. හැබැයි කවුරුත් සියදිවි හානි කරගත්තේ නෑ.මෙතන ප්‍රශ්නෙ වුනේ ඒක තමන්ගේ දෙමවුපියන්ට දැනගන්න ලැබෙයි කියන බය.ඒ දෙමවුපියො ඒ දුව ව මලක් වගේ සියළු සැප සම්පත් මැද හදාගෙන තිබුණත් එක දෙයක් දෙන්න අමතක කරලා තිබුණා. ඒ තමයි විශ්වාසය.ඇයට තහවුරු වෙලා තිබුණනම් මොනදේ වුනත්,ඒ වෙලාවෙදි බැන්නත් ගැහුවත්, දෙමවුපියන් තමන්ට ආදරෙයි, තමන් එක්ක ඉන්නවා කියන එක, එහෙනම් තාමත් ඇයත් ඒ දෙමව්පියොත් සතුටින් ඉන්නවා.

සියදිවි හානි කරගන්න එක ඉතාම පහසු පලායාමේ ක්‍රමයක්.මිනිස්සුන්ට ධෛර්යය අවශ්‍ය වෙන්නේ ජීවත් වෙන්න. මම කතන්දර වලට ආසයි.( ඒත් ප්‍රබන්ධ විශ්වාස කරන්නේ නෑ.)සත්‍ය කතාවක් මත පදනම් වුණු වානේ පන්නරය ලැබූ හැටි පොතේ පාවෙල් කොර්චාගින් මතකද? මුළු සිරුරම අවසඟ වෙලා ගියත් පාවෙල් සටන් කරනවා.මිනිහෙකුට අවශ්‍ය අන්න ඒ වගේ ජීවිතයක් තමයි. ඒක තමයි වීරයෙකුගෙ ජීවිතය.

කොහොම වුනත් හැම වෙලාවෙම හැම කෙනෙකුටම වීරයෙක් වගේ හිතන්න බෑනෙ. අනිත් එක තමන්ගේ ජීවිතයේ වටිනාකම් එක්ක නොයෙක් සිදුවීම් තමන්ට දැනෙන ප්‍රමාණය වෙනස් වෙනවා. සමහරවිට හිතෙනවා "මීට වඩා වෙන්න හානියක්වත් අපහාසයක්වත් නෑ" කියලා.(කොහොම වුණත් ගොඩක් අත්දැකීම් පරණ වෙනකොට තමයි හිතෙන්නේ ඒවා සිද්ධ වෙලා තියෙන්නේ වෙන්න තිබුණු හොඳම විදිහට කියලා). ඒ වගේ වෙලාවකට පත්වෙච්ච කෙනෙක්ව තේරුම් ගන්න එකත් ඔවුන් එක්ක ඉන්න එකත් විශ්වාසය ලබාදෙමින් උදව් කරන එකත් කරන්න පුළුවන් කිසිම වෙලාවක මඟහරින්න එපා. ඒකත් අභය දානය දීමක් තමයි.

ප.ලි:මේ ලිපියට මාතෘකාවක් ලියන්න යනකොට තමයි මේක මතක් වුනේ. අහලා තියෙනවද සින්දුවක් "පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුණු විසුනුව වැටුනේ" කියලා? මම ඒ ගීතයට ප්‍රිය කරන්නෙ, සියදිවි නසා ගැනීම ගැන මම හිතනදේම ඒ ගීතයෙන් කියල තියෙන නිසා.

Saturday, May 28, 2011

යුද්දෙට ගිය අරිසෙන් අහුබුදු?



"පැතුම්, අරිසෙන් අහුබුදු මහත්තයා කියන්නේ කවුද?"
"ම්..ම්ම්..."
හද හදා හිටපු ගාණෙන් පෑන ඉවතට ගත්ත පැතුම් මා දිහා බැලුවෙ "මේ මොකක්ද මේ ඇහුවේ?" කියලා හිතන ගමන් බව මම දන්නවා. හැබැයි එයාගේ මූණේ තිබ්බ ප්‍රශ්නාර්ථ ලකුණ තත්පරෙන් දශම ගාණකදි අයින් කරගන්න පැතුම්ට පුළුවන් වුණා. ඊ ළඟට කට කොනකට පොඩි හිනාවක් ආවා.
මේ ළඟදි ඉඳලා කවුරුහරි ලොකු අයියා කෙනෙක්ව අනුකරණය කරන මේ අටේ පන්තියෙ කොලු ගැටයා එයාගේ "අයියෝ අපි නොදන්න දෙයක් තියෙනවද?" බැල්මට මූණ හදාගෙන මං දිහා බැලුවා.
"හරි මං දන්නවා"
"කවුද එහෙනම්?"
"එයා ජාතික වීරයෙක් නෙ?"
කණා පාර හරියයිද කියන සැකේ සේයාව ඇස්වල තියෙනවා.
"ම්..ම්ම් විස්තර කරමු බලන්න?"
ලැජ්ජාව... සැකය.... ආයිමත් අර "ලොකු අයියා " බැල්ම...
මම එයාගේ උත්තරේ වැරදියි නොකිව්ව නිසා කොල්ලා පරණ උත්තරේ වෙනස් නොකරන බව මම දන්නවා.
"එයා අර ඉංග්‍රීසින්ට විරුද්දව සටන් කලානේ?"
මගේ මූණේ සිදුවෙන වෙනස්වීම් සියුම්ව අධ්‍යයනය කරමින් පැතුම් කියනවා.මගේ මූණේ එක ස්නායුවක්වත් එයාට උදව් කළේ නම් නෑ.
"පින්තූර නම් දැකල තියෙනවා. වැඩිය විස්තර මතක නෑ"......
චේතිය රජ්ජුරුවෝ පරාදයි.
"කොහොමද පෙනුම?"
"ඒ කිව්වේ?"
"හැඩහුරුකම්?"
දැන්නම් කොල්ල හොඳටම හිරවෙලා. අඬනවද හිනාවෙනවද හිතාගන්න බැරුව හිටපු මගේ කට කොනකට පොඩි හිනාවක් ගියා.
"ඇයි?"
"නෑ කමක් නෑ. කුමාරතුංග මුණිදාස මහත්මයා කියන්නේ කවුද ? "
ළමයගේ මූණ එළිය වැටුණා.
"මම දන්නවා.අර කවි ලියන කෙනෙක් නේ... තව ළමා පොතුත් ලියනවා.."
"අර මම කියපු නම ලියාගන්නකෝ. ගෙදර ගිහින් හොයලා බලල මට විස්තර ටිකක් හොයාගෙන එන්න"
"ලියාගන්න ඕනෙ නෑ. මට මතකයි නම"
"කමක් නෑ ලියාගන්න. ඔය ගණන් පොතේ උඩම ලියාගන්න. පොත ගෙදර ගිහින් පෙරළනකොට එක දකිනවනේ."
"නෑ පැතුම් වු යන්න නෙවේ "හු" යන්න."
"ඉතින් මම කොහොමද මෙයා ගැන විස්තර හොයාගන්නේ? එයා ගැන ලියල තියෙන පොතක් අපේ ගෙදර නෑ නේ."
"මේ ටිකේ සති අන්ත පුවත්පත් සහ දිනපතා පුවත්පත් කියවන්නකෝ. විස්තර හම්බුවෙයි"

මේ සංවාදය සිද්ධවුණේ දැනට පැය දෙකකට විතර ඉස්සර. මේක කියවන අයට නම් රස කතාවක් වුණත්, එකපාරටම මේක අහද්දි දකිද්දි හිනා ගියත් මේක මට නම් පේන්නේ මහා අසුභ පෙර නිමිත්තක් විදිහටයි.ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? මේ තත්වයට ඔයාලා දකින විසඳුම මොකක්ද? එක් එක් පුද්ගලයා විදිහට අපි මේකට කළයුතු පිළියම මොකක්ද?

Saturday, April 16, 2011

කුරේ ආතාගේ ඖෂධ මාෆියාව



මේ දවස්වල අපේ මක්සූද් මහත්මයා තමන්ගේ රසික පිටුවේ දාලා තියෙනවා ඉන්දියාවේ පාසල් ළමුන්ට අයඩින් පෙති ගැනීම අනිවාර්ය කරන්න ඕනෙද? කියලා. මේකට ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා දැක්කා. ඒ කමෙන්ට් වලින් ඉන්දියාවේ ඖෂධ ප්‍රතිපත්තිය ගැන රසිකයන් අතර කතිකාවතක් ඇතිවෙලා තියෙනවා. ඇත්තටම මේ තත්වය ඉතින් ලංකාවටත් පොදුයි නේ. අනිත් කාරණය තමයි අපේ දෙරටේම ඉන්න මිනිස්සුන්ගේ අක්‍රමවත් ඖෂධ භාවිතය. හුඟක් බටහිර රටවල නම් පැරසිටමෝල්, ඇස්ප්‍රින් වගේ ඖෂධ හිතුමනාපේ ගන්න බෑ. පිළිගත් වෛද්‍යවරයෙක්ගෙන් නිර්දේශයක් ඕනෙමයි. නවසීලන්තයේ නීති කොච්චර තදද කිව්වොත් තමන් වෛද්‍යවරයෙක් වුනත් තමන්ටම ප්‍රතිකාර කරගැනීම නීතියෙන් තහනම්. අනේ ඒකට අපේ රටේ උදවිය.. අපේ රටේ ඉන්න රටේ වෙද්දු දොස්තරටත් වඩා දන්නවනේ. "ඩොක්ටර් මට ටිකක් ඔළුව රිදෙනවා, සෙම ගතියත් තියෙනවා, මම කෝට්‍රිම් පෙත්තකුයි, පිරිටන් පෙත්තකුයි ගත්තට කමක් නෑ නේද?" කියල බේතත් දොස්තරටම කියල තමයි නවතින්නේ. ඖෂධීය ලොසින්ජර, වේදනා නාශක, නිදි පෙති, කැස්ස පැණි ආදී මෙකී නොකී විදි වලට නිදහසේ විකිණෙන සමහර ඖෂධ වර්ග වෙනත් රටවල නම් මේ විදිහට හිතුමතේ පාවිච්චි කරන්න බෑ. මේ ආසියාතිකයන්ගේ වැරදි ඖෂධ භාවිතයත් ඖෂධ මාෆියාවෙම එක පැතිකඩක්ලු නෙ.

ලකීට නම් හොඳ ඖෂධ ප්‍රතිපතියක් තියෙනවා නොවැ. ලකීට පොඩි කාලෙ ඉඳලම පැරසිටමෝල් පෙත්තක් පොවාගන්න ගියත් ගෙදර මිනිස්සු දස වද විඳින්න ඕනේ. මේ වැඩේ නිසා සමහර වෙලාවල මම මදි නොකියන්න මට්ටු වෙලා තියෙනවා. මං පුංචි කාලේ අපේ ගමේ හිටියා කුරේ ආතා කියලා කෙනෙක්. එයා ගෝනියක් අරගෙන දවල්ට අපේ ගේ ඉස්සරහින් යනවා. අපේ ගෙදර අය මාව බය කරලා තිබුනේ එයා ගෝනි බිල්ලෙක් කියලා. ඔයාල දැකලා තියෙනවද රූපවාහිණියේ තේමා ගීතය ("නෑදෑයෝ අපි නෑදෑයෝ") ඉස්සර විකාශය වෙද්දි අර ජනප්‍රිය රූපරාමුවක් තිබුනේ වැවක ඔරු පදිමින් මල් නෙලන ගැමියෙක්. අන්න එයා තමයි කුරේ ආතා කියන්නේ. ඉතින් ඕනෙම මහ රෑක මම මගේ බේත් වේල ප්‍රතික්ෂේප කරමින් පෙරලි කරනකොට තාත්තා බයිසිකලයෙන් යනවා කුරේ ආතාව එක්ක එන්න. ඒ අහිංසක මනුස්සයත් ඕනෙ රෑක ඇඳන් ඉන්න අමුඩෙ පිටින් හරි තාත්තත් එක්ක එනවා. එයා මිදුලට සම්ප්‍රාප්ත වෙනවත් එක්කම කොච්චර එපා කරපු තිත්ත බේතක් උනත් (විශේෂයෙන්ම කැල්පෝල්) එක උගුරට ගිලෙනවා.ඉතින් අපේ කුරේ ආතත් ඖෂධ මාෆියාවේ කොටසක්ද මන්දා?

මේ හැඟීමට නමක් දෙන්නට ඔබට හැකිදැයි බලන්න!




මගේ ජීවිතයේ මේ දිනවල විශාල පෙරළියක් ඇතිවී ඇතැයි මට සිතේ. මා දකින සෑම දෙයක් දෙසම මම වෙනස් ආකාරයකින් බලන්නට උත්සාහ දරමි. එය හිතාමතා සිදුවන්නක් නොවේ.මම විටෙක මගේ දෙනෙත පියාගෙන ලෝකය විඳින්නට උත්සාහ දරමි.වර්ණ හැඩතල නොහඳුනන ලෝකයක් ගැන සිතාගන්නට උත්සාහ කරමි. එහෙත් පෙර පුරුදු හැඩතල හා වර්ණ ඇති නිසා දෑස් පියාගත්තද ඔවුන් විඳින අත්දැකීම මට නොලැබෙන බව මම දනිමි. මේ හැඟීම අතිශය සංකීර්ණ එකකි. එය මානය,ශෝකය,විශ්මය වැනි සියල්ලම කැටිකරගත් එකකි.

උසස් ජාතික ඩිප්ලොමාව( Edexcel HND in computing) හදාරණ අපගේ මිතුරු මිතුරියන් පිරිසත් අපගේ ගුරුතුමියත් නිසාම ඔවුන්ගේ ව්‍යාපෘතියට සම්බන්ධ වූවා මිස එහි යනතෙක්ම මට කිසිදු විශේෂිත හැඟීමක් ඒ පිළිබඳ නොතිබිණි. එහෙත්එහි ගිය තැන් පටන්ම මගේ සිත ආගන්තුක හැඟීම් සමූහයකින් වෙලෙන්නට පටන් ගති. රත්මලාන නගරයේ පිහිටි තම දැකුම්කළු ගාම්භීර පාසැල් ගොඩනැඟිල්ල දෑසින් දකින්නට ඒ දරු දැරියන්ට පිනක් නැත. අප විසින් ඔවුන් වෙනුවෙන් පැවැත්වූ ඒඅපූරු අවුරුදු උත්සවය ඔවුන්ට වඩා අපූරු වූයේ අපට යැයි හඟිමි.

අප අසලින්ම ඇවිද යන ඔවුන් කිසිම සුදු සැරයටියක් නැතිව අපව සංජානනය කර ගන්නේ අප සිත තුළ මහත් විශ්මයක් දනවමිනි. තාලයක් වාදනය වන සැනින් ගීතය හඳුනාගන්නා ඔවුන්ගේ තියුණු කන් වලට ස්වර තාල වරදින්නේ නැත. "අකුරට යන්නට කම්මැලි හිතිලා" ගීතය ගැයූ දෙවන ශ්‍රේණියේ උගන්නා මිහිරි හඬැති දියණිය මා හැඬවූයේ නිරායාසයෙනි.
එදින ඔවුන්ගේ පාසැලේ මේ වාරයේ අවසාන දිනයයි. උත්සවය නිම වන්නට මඳකට පෙර බාලිකාවන් කිහිප දෙනෙකු පාට ඇඳුමින් සැරසී ගමන් මළු පිටේ එල්ලාගෙන සිටින්නේ මන්දැයි උපන් කුහුල සංසිඳුනේ යගුලියක බර සිතට එක්කරමිනි. දෙමාපියන්ගේ හව්හරණ නොලබන ඔවුන්හට වාරයක් පුරා පාසැල ලබාදුන් සෙවණද නිවාඩුව සඳහා අහෝසි වන බවත් ඔවුන් රජයේ ළමානිවාසයක භාරයට පත්වන බවත් දැනගැනීමෙන් දැනුණු කම්පනයේ නින්නාදය මේ ලියන මොහොතේදීත් මම අත් විඳිමි.

ඔවුන්ට අවැසි අනුකම්පාව නොවන බව මම දනිමි. සියළුම ඉන්ද්‍රියයන් හොඳින් පිහිටි අපට වඩා ඔවුන් ලෝකය ජයගෙන ඇත. කිසිදා නොපෙනෙන දෙනෙත ගැන වද වීමක් හෝ තැවුල් සිතක් නැති ඔවුහූ තමන්ගේම ක්‍රමයකට ලෝකය දකිති. ජීවිතය සතුටින් විඳිති. එකිනෙකා කෙරෙහි බැඳෙති. උපකාර කරගනිති. එහෙයින්ම ඔවුන් දැකීමෙන් මගේ සිතට දැනෙන හැඟීම් පුංජයට කිව හැකි නමක් සොයමි.

සුප්පම්මා සහ අපේ අම්මා

සමහර මිනිස්සුපොදු දේපල ගැන දක්වන ආකල්පය ගැන නම් ඇත්තටම දු
ක හිතෙනවා. විශේෂයෙන්ම වැසිකිලි භාවිතයේදී. මම ඉගෙනුම ලබන පෞද්ගලික අධ්‍යාපන ආයතනයේදී අත්දකින්නට සිදුවුණු දෙයක් නිසා තමයි මේ කතාව මගේ මතකයට ආවේ. අපේ ආයතනය පිරිසිදු කරන්න ලංකාවේ ප්‍රකට ආයතනයකින් සේවයේ යොදවල තියෙනවා. මේ කාන්තාවන් තමන්ගේ කාරිය ඉතාමත් අපූරුවට ඉෂ්ට කරනවා. වැසිකිලි ආදිය ඉතාමත් පිරිසිදුව තියාගන්න මේ අය වගබලාගන්නවා පමණක් නෙවෙයි ඉතාමත් ප්‍රිය මනාප ලෙසත් හැසිරෙනවා.ඒ නිසා ඔවුන් සමඟ වචනයක් දෙකක් හුවමාරු කරගන්න අපි අමතක කරන්නේ නෑ.

එක්තරා දවසක මම වැසිකිලිය ළඟට යනකොටම අවට හිටිය අයගේ මුහුණුවලින්ම මට පෙනුණා වැසිකිලියේ තත්වය අවුල් බව.කතාව දැනගත්ත ගමන්ම මම ඉක්මනට අර "ඇන්ටි"ව හොයාගෙන ගියා.කොමෝඩ් එක පාවිච්චි කරන්න නොදන්නා කමටත් වඩා හිතාමතාම ඒක නොහොඹිනා විදිහට පාවිච්චි කරපු බව තමයි අපි කාගෙත් අදහස උනේ. ආයේ හංගන්නේ මොකටද, මේ කියවන අය අතරත් ඕනේ තරම් ඇතිනේ පොදු වැසිකිලියකට හියාම අප්පිරියාවට ඒක උඩ නැගලා හරි බාගෙට ඉඳගෙන හරි ශරීර කෘත්‍ය කරන අය. ඇත්තටම මේ වගේ අය නිසා තමයි ඒවගේ අප්‍රසන්න තත්ව ඇතිවෙන්නේ.

ඊට පහුවෙනිදා යනකොටත් අර ඇන්ටි අපිව දැක්ක ගමන්ම කිව්වේ කලින් දවසේ වගේම සිද්ධියක් සිද්ධවෙලා තිබ්බ බව. ඇය නිරීක්ෂණය කරලා තිබුණා මොන පන්තිවල අය අතින්ද මේක සිද්ධවෙන්නෙ කියල. ඇත්තටම කියන්නත් කනගාටුයි අනිත් දේවල් මදිවට ජල කරාමයේ කරකවන හිස චොකලට් පදාසයකින් වැහිලා ගිහිල්ලා තිබුණා.

මට පුදුම කණගාටුවක් ඇතිවුණා. මා ඉගෙනුම ලැබූ පාසැලේ පිරිසිදු කිරීම් කටයුතු කලේ සුප්පම්මා කියල දෙමළ ජාතික කාන්තාවක්. මගේ විදුහල්පතිනිය "ජිනසේන මැඩම්" නිතරම අපිට දුන්නු අවවාදයක් තමයි "සුප්පම්මාත් අම්මා කෙනෙක් කියලා හිතන්න" කියන කාරණය. දාහක් වැල්වටාරම් අවවාද සහ වැසිකිලි භාවිතය ගැන පනවන නීති වලට වඩා ඒ කාරණය අපිව සංවේදී කළා. අද මේ කාරණයේදීත් අර "ඇන්ටි" කාගේහරි අම්මා කෙනෙක් නේද කියලා හිතනකොට මට පුදුම දුකක් ඇතිවෙනවා. කිසිම පුද්ගලයෙක් ආසාවෙන් තෝරා නොගන්නා රැකියාවක් වුනත් ඒ කාරිය කිසිම නොරිස්සුමක් නොපෙන්වා අකුරටම කරන ඇය අතින් සිදුවන සේවය ගැන සංවේදී නැති මිනිස්සුන්ගේ මනුස්සකම මහ ප්‍රශ්නාර්ථයක්. අද නව යෞවනයේ පසුවෙන මේ අය හෙට සමාජයේ පෙම්වතියන්,බිරින්දෑවරු,අම්මලා උනාම ඇතිවන තත්වය හිතාගන්නත් බය හිතෙනවා නේද?

Saturday, March 12, 2011

සොඳුරු කලාකරුවා යනු ...... (කරුණාරත්න අමරසිංහ මහතා වෙනුවෙනි )


මීට වසර ගණනකට පෙර එක්තරා දිනෙක මම ලංකාවෙහි ප්‍රකට පෞද්ගලික ආරෝග්‍යශාලාවකට ගියෙමි. ඒ ගිය ගමන අත්දැකීම් තුනක් නිසා මගේ මතකයේ සදාකාලිකව පවතී. ඉන් පළමුවැන්න නම් මරබියයි. දෙවැනි අත්දැකීම නම් මට නිසි ලෙස පහදාගත නොහැක්කකි. තුන්වන අත්දැකීම දෙවැන්න හා බැඳී පවතින සොඳුරු මිනිසෙකු ගැන මතකයකි.

එකල මම පාසැල් සිසුවෙක් වීමි. මා අධික ලෙස වෙහෙසටත් ආතතියටත් පත්ව සිටි මොහොතක මම අසනීප වීමි. බෙහෙත් ගන්නට ගිය විට මගේ රුධිර පීඩනය මැන බැලූ ඇපොතිකරි දොස්තර මහතා පැවසුවේ මගේ රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස වැඩි බවයි.

"අපොයි දෙයියනේ! මම සදාකාලික රෝගියෙකු වෙන්නයි යන්නේ" මා අසීමාන්තික මර බියකට පත්කළේ වෛද්‍යවරයා මගේ නැන්දා පසෙකට කැඳවා ඒ ගැන කියූ ආකාරයටය. මරණයට නියම කළ එකෙකු තුළ ඇතිවන හැඟීම ගැන පළමු වරට මට හැඟීමක් ඇතිවිය.

දෙවන හා තුන්වන අත්දැකීම් ලැබෙන්නේ සම්පූර්ණ පරීක්ෂාවක් සඳහා වෛද්‍ය වසන්ත හෙට්ටිආරච්ච් මහතා හමුවට යාමේදීය.

බියෙන් හෙම්බත් වී සිටි මම වෙන කිසිවක් ගැන සිතන්නට උත්සාහ කරමින් සිටියෙමි. ගමනට ගතවන මුළු කාලය තුලම බියෙන් ගතකර මගේ රුධිර පීඩනය තවත් වැඩිකරගනු වෙනුවට වෑන් රියෙහි පිටුපස ආසනයට හේත්තු වී යම්කිසි සුන්දර දෙයක් ගැන සිතන්නට වූ මට මතක් වූයේ එකල ලක්බිම පුවත්පතෙහි වූ මගේ ප්‍රියතම ලිපිය වූ අමර සැමරුම යි. ඒ සමඟම අද දක්වාත් මට විස්තර කළ නොහැකි යම් සිඩුවීමක් සිදුවිය. එය සිහිනයකට සමානය. මා නින්දට වැටුනා විය යුතුය. මා දුටුවේ මා අදාල ආරෝග්‍යශාලාවට ගොස් සිටින අයුරුයි.

මට මතක ඇති කාලයේ නම් කිසිම දිනෙක ඉන් පෙර මම එහි ගොස් නැත්තෙමි. එහෙත් මා දුටුවේ රතු පැහැ ආසන පේළියක් සහිත තැනක මගේ ප්‍රියතම ලිපියෙහි ලේඛකයා සිටින ආකාරයයි. මම ඔහු සමඟ කතා කරමින් සිටියෙමි. යළි පියෙවි ලොවට පැමිණි වහාම මම උත්සාහ කළේ මගේ ප්‍රියතම ලේඛකයා සමඟ කතාකරන්නට අවශ්‍ය තරම් කරුණු සිහියට නඟා ගැනීමයි. එය මා කළේ හුදෙක්ම අවධානය වෙනතක හරවා ගැනීම පිනිස පමණි.

එහි ඇතුළු වූ වහාම මා අධික ලෙස විමතියට පත් වීමි. ඒ මා මොහොතකට පෙර මනසින් දුටු පරිසරය සියයට සීයක්ම සමාන වූ නිසා පමණක් නොවේ. මා දුටු මගේ ප්‍රියතම ලේඛකයා ඒ දුටු ඇඳුමෙන්ම සැරසී එහි සිටීම නිසාය. එහෙත් අර මා දුටු සංවාදය සිදුවූයේ නම් මා අර මනසින් දුටු දර්ශනයේ නොසිටි වෙනත් කෙනෙකු නිසාය. ඇය අපේ පවුලේ හිතවතියකි. ඈ පැමිණ සිටියේ යටකී ලේඛකයාගේ රෝහල්ගත කර සිටි බිරිය බැලීම සඳහායි. ඇය සිදුකළ හැඳින්වීම නිසා අප අතර කතාබහ ආරම්භ විය.

එතුමා ඉතාම නිහතමානී විය. එසේම එතුමා බියට පත්ව සිටි මගේ සිත සැනසෙන අයුරින් කතා කළේය. ඒ දින ගණන තුල මගේ නිරෝගී බව තහවුරු වූයෙන් මම ඉතාමත් සතුටට පත් වුණෙමි. මා එහි පැමිණි අවසාන දිනයේ එතුමාගේ බිරිඳ දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන බව මට දැනගන්නට ලැබුණි.

එහෙත් එතුමා ඒ දින කීපය ගතකර තිබූ අයුරු මට දැන ගන්නට ලැබුනේ ඉන් මඳ කලකට පසු ලක්බිමෙහිම පළවූ ලිපියක් නිසාවෙනි. එතුමා ඒ දින ගණනම නිදාගෙන තිබුනේ එතරම් සැපපහසු නොවූ අර පුටුව උඩමය. එසේම දැඩි ජීවිත අවදානමක පසුවූ එතුමාගේ බිරිඳ එම රෝහලේදීම දින කිහිපයකට පසු අවසන් හුස්ම හෙලා තිබුනි. මගේ සිතේ එතුමා පිළිබඳව මහත් ගෞරවයක් හා පුදුමයක් ඇතිවිය.
අවදානමකදී හෝ කරදරයකදී මිනිසෙකු හැසිරෙන ආකාරය ඔහු පිළිබඳව මනින්නට ඇති හොඳම ක්‍රමයයි. මේ සුන්දර මිනිසාගේ හැසිරීම කිසිදා මගේ හිතින් නොමියෙන්නේ ඒ නිසාය.

සොඳුරු කලාකරුවාණෙනි, ඔබතුමා හට තව දිගු කලක් මෙම කලා අඹරෙහි යෙහෙන් බැබලෙන්නට දිරිය හා සවිය පතමි!