Friday, October 26, 2012

ඩූඩ් සහ තිස්ස මහත්තයා වෙතටයි,


පහුගිය ටිකේම වැඩ අධික වෙලා තිබුණාට අමතරව ලකියා හිටියේ ලෙඩ ගානෙ. අන්තිමට තමයි ලකියා ලෙඩ වෙන්නත් ඈලි මෑලි වෙන්නත් තව පොඩ්ඩෙන් තට්ට බබෙක් වෙන්නත් හේතු වෙන්න තිබුණෙ යකඩ නැති කම කියලා හොයා ගත්තේ. දවස ගානෙ කන මලකඩ කාපු දිරච්ච පරාල ඇණ තොගේ දිහා බැළුවම ලකියාටම පුදුමයි මේ වෙච්චි අල කලංචිය.ඒත් ඉතින් මොනවා කරන්නද? උන්න හැටියට මළා මදෑ කියලා දැන් ඉතින් දවස ගානේ ලස්සන පෙති දෙකක් බොනවා.
පහුගිය ටිකේ ලියන්න තරම් හිතට වගේම ගතටත් පණක් තිබුනෙ නෑ. ඒත් මම ඉතින් පුරුදු පරිදි බ්ලොග් සංචාරයේ යෙදුණා. කමෙන්ට් දැම්මත් නොදැම්මත් මගේ ප්‍රියතම අඩවි වල කරක් ගහලා ආවා.ඔය අතරෙ තමයි මගේ ප්‍රියතම අඩවියක් වන හද ගී පොතේ තිස්ස මහත්තයාගෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් ආවෙ. ඒක නම් අදහගන්න බැරි පුදුමයක්.තිස්ස මහත්තයා මගේ කමෙන්ට් වලට උත්තර දීලා තිබ්බ හැටියට මූණු පොතේ මාව අඳුරගත්තෙ කොහොමද මන්දා? හිතට ලොකු සතුටක් දැනුනා. ඒ නිසා ආයිම වතාවක් මගේ මකුළු දැල් බැඳිච්ච අඩවියටත් ගියාම දැක්ක මේ කමෙන්ට් එක නිසා මගෙ ඇස් වලට කඳුළු ආවා!

Blogger Dude said...
ඇයි බං ලකී මේකෙ මොකුත් ලියන්නෙ නැත්තෙ? උඹට මොකුත් අවුලක්ද?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
October 4, 2012 9:33 PM







රයිගම ගේ විදිහට කිව්වොත් මගේ "පතෝල හොද්ද" ටත් කැමති කවුරු හරි ඉන්නවා වගේ! ඒකම මදෑ.
ඔන්න මම ආවා!

Friday, June 22, 2012

ඇයි නුඹ නාඳුනන මට මේ හද රිදුම?



දැන හැඳුනුමක් නොවුනත් කිසිදිනක අපේ
අදටත් සිහිව නෙතඟට කඳුලක්ම නැඟේ
නො එනා බවම දනිතත් යළි කිසිම දිනේ
පිළිගන්වනු කෙලෙස ඒ බව හිතට මගේ

අළුතින් යමක් ලියු විට නිතරම පැමිණ
යළි යළි බලන විට ලත් පිළිතුරු ගණන
ඒ අතරෙහි ඔබේ නම ඇති යැයි සිතෙන
නිශ්ඵල සිතුවිල්ල නැත පහ වී තවම

සමහර විටදි නව ලියුමක් ඇතෙයි සිතා
විටින් විට වැදී ඔබෙ අඩවියට ඉතා
දුක් වෙමි එකම තැන නැවතී තිබෙනු බලා
"ඇයි නාඳුනන මට මේ හද රිදුම?" සිතා

පෙර යම් දිනකදිත් අපි හමුවෙලා ඇති
මතු යම් දිනකදිත් අපි හමු නොවෙනු නැති
කියලා එන්න බැරි කියලා යන්න බැරි
පුදුමයි ඉතින් මේ අරුමැති සසර සැරි

Monday, June 18, 2012

මම දැකපු හොඳම ගුරුතුමී

අළුත් ඉස්කෝලෙට ගිය අළුත අළුත් වැඩ කෑලි ගොඩක් තියෙන බව දැක්කම ලකීගේ සතුට ඉහවහා ගියා. අර සංගම් මේ සංගම් අර සෙල්ලම් මේ සෙල්ලම් රචනා තරඟ.. අම්මෝ තිබුණ දේවල්. ඉස්සර ඉස්කෝලෙ උදේ පාන්දරත් ඉස්කෝලෙ ඇරෙන කොටත් කිව්ව"Our father in heaven" යාඥාව වෙනුවට උදේට පන්සිල් අරන් හවසට යෝ වද තං පවරෝ මනු ජේසු කියන එකත් අමුතු දෙයක්. ලකී නං කවදත් කෝකත් යකඩ කටත් එක්කම කෑ ගහලා කියනවා. පෙළ පොත් ටිකයි අධ්‍යාපනෙයි කොහෙත් එකයි නොවැ. ලකීගෙ හිත ඇදිලා ගියේ අර වටේ තිබ්බ ආරළු බූරළු වලට. ආපු ගමන් සංගම් කීයකට බැඳුනද කියන්න අදටත් මතක නෑ.
කොහොම උනත් මං හය වසරට යනකොට අවුරුද්දෙන් හරි අඩකටත් වඩා ගෙවිල ගිහිල්ලා. ඉතින් සංගම් වලට බැඳෙන්න පුළුවන් උනාට තරඟ එහෙම වැඩි හරියකට ඉදිරිපත් වෙන්න බැරි වුණා. ඉතින් හත වසරෙදි තමයි ආයි මේ තරඟ වලට ඉදිරිපත් වෙන්න පුළුවන්.ලකීත් හිටියෙ දත කට මැදගෙන.
හැබැයි ලකීට පොඩි ලෙඩක් තිබුනා. ඒක ඉස්සර ඉස්කෝලෙදි වගේම මෙහෙදිත් තිබුණා. ඒ තමයි ලකී ගෙදර ගියාට පස්සේ ඉස්කෝලෙ ගෙනියපු පොත් ටික ආයි අතින් වත් නාල්ලපු එක. කවුරුත් ඒ ගැන මුකුත් ඇහුවෙ නැත්තෙ කෙහෙතා වගේ හැම වෙලාවෙම අතේ පොතක් තියන් හිටපු හින්දම නෙවෙයි.සාමාන්‍යයෙන් වාර විභාගෙකදි ලකුණු අනූවට අඩුවුණේ එහෙමත් වෙලාවක නිසා.එහෙම වුණේ ලකියා කියන්නෙ මාර සුපිරි වැඩකාරයෙක් නිසා කියලා එහෙම හිතනවනං අන්න ඔයාලට වැරදුණා.
ඒකට හේතුව ලකී හොඳ ගුරුවරු ලබන්න පින් කරලා තිබීම වගේම ඒ ගුරුවරු කියන දේවල් ඒ කියන වෙලාවට හොඳට අහලා තේරුම් ගන්න අවධානයකුයි නොතේරුණොත් ආයි ආයි අහලා හරි තේරුම් ගන්න ධෛර්යයකුයි තිබිච්ච එක.
(ඒත් පාඩම් කරන්න පුරුද්දක් නැතිවීම නිසා මට වෙච්ච සංගෙදිය මම පස්සෙ වෙලාවක කියන්නම් කො )
කොහොම හරි හත වසරෙදි මාත් ඉතින් දත කට මැදගෙන හිටියා සාහිත්‍ය තරඟ වලට යන්න.මේ තරඟ වලින් ප්‍රථම හා දෙවෙනි ස්ථාන ගන්න අයට විතරයි කොට්ඨාශ තරඟ වලට ඉදිරිපත් වෙන්න පුළුවන්.මේ කියන දවසෙ තරඟ වලට වෙන් කරලා තිබුණෙ උදේම කාලච්ඡේද දෙක වගේ තමයි මතක.
මේ කාලච්ඡේද දෙකේ තිබුණේ ගණිතය. සුපුරුදු පරිදිම කලින් දවසෙ පොත අතින් නාල්ලපු ලකීට මතක නැති වුණා ගෙදර වැඩ. කොහොමත් ගෙදර වැඩ කියලා ජාතියක් ලකීට තිබුණෙ නෑ. ඒවා සංශෝධනය වෙන්න ඕනෙ ඉස්කෝලෙ උදේ පාන්දර කරන වැඩ කියලා. (ආයිමත් කියන්නෙ මේක පම්පෝරියක් වත් හපන්කමක් වත් විදිහට නෙවෙයි කියන්නෙ. අදටත් මම මේ ගැන දුක් වෙනවා.)
දැන් අපේ පන්තිභාර හිටපු රුද්‍රාණි මිස් සමාන්තර පන්ති අටටම යමින් තරඟයට එන්න කියලා නිවේදනය නිකුත් කරනවා. රුද්‍රාණි මිස් තමයි සිංහල විෂය භාරව හිටියෙ. ඒ නිසා අපේ පන්තියේ තිබුණු තරඟයෙන් දිනලා ශ්‍රේණි තරඟයට යන මා ගැන ලොකු බලාපොරොත්තුවක් මිස් ගෙ හිතෙත් තියෙන්නැති. කිව්වට මොකද ඔය ගුරුවරු අතරත් පොඩි තරඟයක් නැතුවයැ.
මට එන්න කියලා රුද්‍රාණි මිස් එන්න කිව්ව්ම මාත් ඉතින් ටක් ගාලා නැඟිටලා එන්න ලෑස්ති වුණා කියමුකො. ඔන්න එතකොටම අපේ ගණිතය භාර ගුරුතුමිය පද්මා මිස් මට කියනවා "ගෙදර වැඩ කරපු පොත මට දීලා යන්න" කියලා. මට තරු විසි වුණා. රුද්‍රාණි මිසුත් බලාගෙන ඉන්නවා. මම ඉතින් හිස් පොත ගෙනිහින් පද්මා මිස් අතට දුන්නා. පොත දිහා බලපු පද්මා මිස් ගෙ මූණෙ වැහි වළාකුළක්. ඒ වළාකුලින් හෙණ ගැහුවෙ "මේ ටික ඉවර කරල මිසක් පන්තියෙන් යන්න දෙන්නෙ නෑ." කියලා බොහොම ස්ථිරසාර කටහඬින් කියද්දි. රුද්‍රාණි මිස්ටත් කරන්න දෙයක් නෑ."අනේ පද්මා, ඔන්නොහෙ අදට විතරක් එන්න දෙන්න" කියලා ඉදිරිපත් වෙච්ච ඉල්ලීමත් බොහොම සුහද විදිහට ප්‍රතික්ෂේප වුණා.
අනික් එවුන්ගේ මූණු දිහා බලන්නට ලැජ්ජා හිතුණු නිසා පොළොවෙ සිමෙන්තියෙ පාට කඩතොලු ගාණ එහෙම ගණන් කර කර ආපහු මේසෙට ගිය මම එක හුස්මට ගණන් ටික හදලා ඉවර කරල ආපහු පොත අරන් මිස් ගාවට දිව්වා. හැබැයි ඇත්තම කියන්න, ඒ වෙනකොට මගේ කිසිම විශ්වාසයක් තිබුණෙ නෑ මිස් යන්න දෙයි කියලා.මම හිතුවෙ මට දඬුවමක් විදිහට මේ ටිකේ හරි වැරදි බලන කල්ම ඉන්න වෙයි කියලා.ඒත් පද්මා මිස් හිනාවෙලා "දැන් ගිහින් එන්න" කිව්වම මගේ හිතේ ඇතිවුනේ හරි සංකීර්ණ හැඟීමක්.
පරක්කුවෙලා නමුත් මම තරඟෙට ඉදිරිපත් වුණා.ඊළඟ දවසෙ ගණන් පාඩම වෙලාවෙදි ගෙදර වැඩ පොත පෙන්නන්න මිස් ළඟට යනකොට මිස් හිනාවෙලා මෙහෙම කිව්වා "මේ බලන්න, ඔයාගෙ අත් අකුරුත් ලස්සනයි. හිතට ගත්තොත් ඔයා මේ හැමෝටම වඩා දක්ෂයි"
වෙන කෙනෙක් නම් රට ගිනි තියාගෙන, දකින දකින වෙලාවට මාව පාච්චල් කරන්න, මට විෂය නෙවෙයි ලෝකෙත් එපා කරවන්න හේතුවක් කරගන්න තිබුණු ප්‍රශ්නෙ පද්මා මිස් විසඳුව් එහෙමයි. ගොඩක් දෙනෙක්ට මිස් උගන්නන වේගෙ වැඩියි වගේ, මිස් සැරයි වගේ ප්‍රශ්න තිබුණත් මම ඉස්කෝලෙන් අයින් වෙනතුරුත් දැකපු හොඳම ගුරුතුමිය වුණේ පද්මා මිස්.

Tuesday, May 29, 2012

ඔබට......




සෑමදා දුටු දසුන් තුළ වුව ඇතිවුණා නව මිහිරියාවක්
එදිනෙදා සිදුවූ දෙයක වුව මතුකළා රස බර කතාවක්
දෙනෝදාහක් අතර සිටියද සිතට දැනෙනා හුදකලාවක්
සමඟ තනිවෙමි මුවඟ රඳවා හදවතින් නැගෙනා සිනාවක්

දින පුරාවට මනස වෙහෙසූ විඩාබර මතකයන් ගොන්නට
ඉසිඹුලන්නට එකම මොහොතක් ජීවිතය රිසි සේ විඳින්නට
මඟ බැලූයෙමි රුව දකින්නට නැතොත් කටහඬ හෝ අසන්නට
ඔබේ දෙනෙතින් ලොව දකින්නට ඔබේ සවනින් ලොව අසන්නට

දුර නොයා ළඟ නැවතුණත් ඒ පැමිණි මඟ සිත නිවාලයි
ඔබ සිටින තැන එදා වාගෙම අඳුර බිඳලන දවාලයි
පෙරදි දුටු ඇස වෙනස් වූ මුත් ඉතින් හද දුක් හමාරයි
හිමි නොවී අහිමිව ගියත් ඔබ ජීවිතය වී හමාරයි

Tuesday, May 8, 2012

කඩදාසි සුවඳ


තෙත් කැවු ටිෂූ කඩදාසි පැකට් එකක් තෑගි දුන්නම පොඩි දෙගිඩියාවක් දැනුණත් සන්තෝසෙන් බාරගත්තෙ මම කවදත් තෑගි වලට කැමති නිසා. යාළුවොන්ට ලේන්සු දුන්නම තරහ වෙනවා කියනවනෙ. දැන් ඉතින් වැඩි දෙනෙක් ලේන්සු වෙනුවට පාවිච්චි කරන්නෙ ටිෂූ නිසා තමයි ඉතින් පොඩි පහේ දෙගිඩියාවක් ආවෙ. ඔයවගේ තේරුමක් නැති දේවල් හිතන්න මම ඉතින් කවදත් දස්සයා නෙ.
කොහොම හරි පාවිච්චි කරන්නෙත් නෑ කියලා හිතාගත්ත ටිෂූ පෙට්ටිය එදාම කඩන්න වුණා. දැන් ඉතුරු ටිෂූ 9 යි.
පහුවදා කෙටි නිවාඩුවක් දාලා සුපුරුදු කොට්ට පුළුන් ගහ යට බස් නැවතුමට එනකොට කාන්තාවක් ටිකක් කලබලෙන් එහෙ මෙහෙ යනවා.බලනකොට මේ ගහ යටට එන බොහෝ දෙනෙක්ට වෙන දේම තමයි ඇයටත් වෙලා තියෙන්නෙ. ඔය කුරුළු වර්චස් නාන්න වෙන බව දන්න පුරුදුකාරයො නම් සාමාන්‍යයෙන් ගහ යට රැඳෙන්නෙ නෑ.
ඇය අත පිරිසිඳු කරගන්න වතුර ටිකක් හොයනවා. මොන වතුරද එතන. අනිත් එක මම අත්දැකීමෙන්ම දන්නවා ඔය වසුරු තලිය උඩට වතුර දැම්මහම වෙන වැඩේ. අර ටිෂූ පැකට් එක මගේ මතකයට ආවා. ඒත් එක්කම මහා ලෝබකමකුත් ආවා. මොකද ටිෂූ පැකට් එකෙ තියෙන්නෙ මූල්‍යමය වටිනාකමක් නෙවෙයි නෙ. මගේ ලෝබ හිත ජය ගන්නකොට අර කාන්තාව පාරෙ වැටිලා තිබුණු කොල කෑල්ලක් අතට අරගෙනත් තිබුණා. ටිෂූ කොල දෙක සලස්සපු සහනය මට ඇයගෙ මූණෙන්ම පෙනුණා. මගේ හිතටත් කියාගන්න බැරි තරම් සතුටක් දැනුණා. ඇය මට ස්තුති කරල ඊළඟ බසයට ගොඩවුණා. මට එකපාරටම සඳුන් සුවඳක් දැනුණා. මම හෙමින් සැරේ මගේ අත නාහෙ ගාවට ගෙනාවා. මගේ අත සඳුන් සුවඳයි. ඒ තෙත් කැවූ ටිෂූ කඩදාසි සඳුන් සුවඳ කවපුවා වුනත් ඊයෙ මට සඳුන් සුවඳ දැනුණෙ නෑ නෙ. ඇයි මේ වෙලාවෙම?

Monday, April 2, 2012

පූටියාගේ කතන්දරේ අංක එක (බල්ලන්ට ආදරේ කරන අයටයි )


ඉස්සර මටයි අපේ නංගිටයි බළල්ලු පේන්න බෑ. ප්‍රධානම හේතුව තමයි බළල්ලු හරිම ආඩම්බරකාර සත්තු ජාතියක් වීම. ඒ වගේම තමයි අපේ ගෙදර වැඩියෙන්ම ඇති කළේ බල්ලො තමයි. අපේ නැන්දාච්චිට පුළුවන් කාලෙ නම් බළල්ලු ඇති කළා. ඒත් අපි බළල්ලු එක්ක වැඩි බජනයක් නෑ.
මේ ඔක්කොම වෙනස්වුනේ අපේ ලෑලි කාමරේ ඇතුලෙ කොහේද යන බැළලියක් පැටව් තුන්දෙනෙක් දැම්මහම. මේ පැටව් තුන්දෙනා යන්තම් ඇවිදින්න පුළුවන්කාලෙ වෙනකොට ලෑලි කාමරේ ලෑලි වලින් එහාට මෙහාට ඇවිදින් ඒ ගොල්ලන්ගෙ අම්මා කෑම හොයාගෙන එනකල් ඇවිද ඇවිද ඉන්නවා. හරියට පාට පාට වූල් බෝල තුනක් ඇවිදිනවා වගේ. අපිත් ඉතින් ළඟට කිට්ටුවෙලා බලාගෙන ඉන්නවා. මේ බැළලි මීට කළිනුත් අපේ ලෑලි කාමරේ පැටවු දාලා උන්ට ඇවිදින්න පුළුවන් කාලෙ වෙනකොට අපිට කරදර නොකර අරන් ගියා. ඒ නිසා අපේ අම්මා කැමති වුණේ නෑ අපි මේ බළල් පැටව් ළඟට වැඩිය කිට්ටු වෙනවට. මේ පැටව් තුන්දෙනාගෙන් දෙන්නෙක් හරිම ක්‍රියාශීලීයි. (පස්සෙ දැනගත්තා තුන්දෙනාම බැළලි පැටව් කියලා) කොහොම හරි එක බැළලි පැටියෙක් හිටියා හරිම කෙට්ටුයි, දුබලයි ඒ වගේම ලෙඩ පාටයි. අපි හරියට දුක් වුණා මේ බැළලි පැටියා මැරෙයි කියලා. ඒ නිසා අපි දෙන්නත් එක්ක අම්මගෙන් බැනුම් අහගෙන මේ පැටවුන්ට ලෑලි කාමරේ ඇතුලෙම කෑම දෙන්න පටන්ගත්තා. වැඩි සැලකිල්ල අර දුබලයාට. හැබැයි අපි හරි බයෙන් තමයි මේ වැඩේ කළේ. මොකද බළල් අම්මා නම් අපිව කොයි වෙලාවෙවත් විශ්වාස කළේ නෑ. අපෙන් පැටවුන්ට හානියක් නෑ කියලා දැනගත්තත් එයා අපි ගැන ඇහැ ගහගෙනමයි හිටියෙ. අපි කන්න දුන්නත් එයා ඒක කෑවෙ පැටව් ඉන්න පැත්තට හැරිලා පැටව් දිහා බලාගෙන. තවත් පුදුම වැඩක් තිබුණා. අපි මේ බැළලිට ගේ ඇතුලෙ කෑම දෙන්න බෑ. ඌ කන්නෙ නෑ. එළියටම අරන් ගිහින් දෙන්න ඕනෙ. පස්සෙ තමයි අපිට කාරණේ තේරුණේ. එයා තමන්ගෙ ස්වාමි පුරුෂයාගේ පංගුව දීලා මිසක් කන්න කැමති නෑ. මම පළවෙනි වතාවට තමයි බළල්ලු අතරේ එහෙම දෙයක් දැක්කෙ.
කොහොම හරි මේ කියන කාලෙ සිංහල අවුරුද්දක් පහුවෙච්ච ගමන්ම වගේ. අර කවුරුත් කන්නැතුව අතින් අත යන කේක් තියෙනවනේ. අපි කළේ ඒ වගේ කේක් ගෙඩියක් අරගෙන කිරි වල පොඟවලා මේ බළල් පැටවුන්ට කන්න දෙන එක. ඇත්තටම ඒක කළේ අර ලෙඩ ගාණෙ ඉන්න බළල් පැටියා වෙනුවෙන්. අපේ හිත කියනවා මේ සතා අද හෝ හෙට මැරෙයි කියලා. කොටින්ම ඒ දවස්වල උදේ නැඟිට්ට ගමන්ම අපි හිතාගෙන යන්නෙ අනේ මේ සතා මැරිලද දන්නෙ නෑ කියලා. එයාගෙ ඇස්දෙක කහම කහ පාට කබ තට්ටුවකින් වැහිලා ඇස් ඇරගන්නත් බෑ. මම කරන්නෙ ප්‍රථමාධාර පෙට්ටියෙන් පුළුන් උස්සගෙන ගිහිලා ලාවට ඩෙටොල් මුසු කරපු වතුරෙන් කබ අයින් වෙන තුරුම පිහදාන එක. ටික දවසක් යද්දි සතා සනීප වුණා. හැබැයි තාමත් ඔතෑනියි. ඒත් අර අනිත් පැටව් දෙන්නා වයසටත් වඩා ක්‍රියාශීලියි. දවසක් අපි බලනකොට එයින් එක පැටියෙක් ළිඳේ වැටිලා මැරිලා. අනිත් පැටියාටත් මොකක් හෝ වෙනසක් තේරෙන්න ඇති. ඌත් එදා ඉඳලාම දුකින් ඉන්න බව පෙනුණා. දවසක් ඌ දොරක් අස්සෙන් රිංගන්න ගිහින් ආබාධිත වුණා. එයින් පස්සෙ මැරිලා ගියා. ඉතුරු වුණේ ඔතෑනියා විතරයි. සහෝදරියො දෙන්නම නැතිවෙච්ච ඔතෑනියාට අපේ අනුකම්පාව සහ අවධානය තදින්ම හිමිවුණා. අපි ආදරේට ඌට "චූටි පූසෝ - පූටි චූසෝ" කියන්න ගත්තා. චූටි පූස් කතාව හැලිලා ටික දවසක් යනකොට එයා පූටි චූස් වුණා. අන්තිමේදි ඒකත් කොට වෙලා "පූටි" වුණා. බළල්ලු අප්‍රිය කළ ගෙදරක නිත්‍ය සාමාජිකයෙක් වෙන්න පූටිට පුළුවන් වුණා. දැන් එයාගෙ සම්පූර්ණ නම කිව්වොත් "පූටි වික්‍රමසිංහ!"

Sunday, April 1, 2012

පංචායුධයේ රහස හෙළිවෙයි!


පංචායුධය අඳුනන්නැති කෙනෙක් ඉන්නවා කියලා මම නම් හිතන්නෙ නෑ.(නෑ නෑ පචායුධය නෙවෙයි හරි වචනේ, පංචායුධය තමයි ). අපි හැමෝම වගේ පංචායුධය පළඳලා තියෙනවනේ. ඒත් ඉතින් අපි කීයෙන් කීදෙනෙක් දන්නවද මේ පංචායුධයේ කොටලා තියෙන ආයුධ මොනවද කියලා? ෂිහ්! ලැජ්ජයි ලැජ්ජයි.... දන්නෙ නෑ? අනේ අනේ තියන්න වටින්නෙ නෑ නෙ! ඇත්තටම ගොඩක් දෙනාට රහසක් වෙලා තිබුණ මේ පංචායුධයේ ආයුධ වල රහස මීට අවුරුදු කීපයකට පෙර හෙළිදරව් කරගන්නට මට පුළුවන් වුණා. ඒක මට කියාදුන්නෙ අපේ අල්ලපු ගෙදර ශානි.

මේ මීට අවුරුදු පහකට විතර කලින් අපේ ශානි කෙලීට වයස අවුරුදු පහක් විතර කාලෙ වෙච්ච දෙයක්. ශානි නිතරම අපේ ගෙදර එනවා එයාගේ ඉංග්‍රීසි පන්තියෙ පාඩම් අහගන්න. මේ කාලෙ වෙනකොට ශානිගේ පොඩි මාමා එහෙම නැත්තම් අපේ ඉස්සරහ ගෙදර සමන්ත අයියගේ පුතා ඉපදිච්ච අළුත. පොඩි එකා මල්ලිට හරි ආදරෙයි. මොකද ඉතින් ශානිට එයාගෙම කියලා නංගියෙක් හම්බවුණේ වයස අවුරුදු අටකුත් පහුවෙලානේ. ඉතින් අපේ ගෙදර ආවම පාඩම් පැත්තක. මල්ලි ගැන විස්තර තමයි කියන්නේ.

කොහොම හරි දවසක් පාඩම් කියාදීම අපේ නංගිට සෙට් වුණා කියමුකෝ. මාත් බිම ඉඳන් මොකක්දෝ වැඩක් කරන ගමන් මේ දෙන්නගේ කතාවටත් ඇන්ටනාව දාගෙන ඉන්නවා. කතාව මල්ලිගෙන් පටන් අරන් මල්ලිගේ කරේ බඳින පංචායුධේ පැත්තට ගියා. ටිකක් වෙලා යනකොට කෙල්ල ෆුල් සීරියස් එකේ අපේ නංගිට මෙහෙම කියනවා. "අක්කෙ අක්කෙ මං දන්නවා පංචායුධේ මොනවද තියෙන්නෙ කියලා". ෂහ් මාර ළමයෙක්නෙ. අපි හිතුවට වඩා කෙල්ල මාර මීටරයක් නෙ.
අපේ නංගිත් ඉතින් කිව්වා "ආ කවුද අම්මද කියලා දුන්නෙ?කියන්නකො බලන්න. "

පොඩි එකා පටන්ගත්තා.... "හැන්ද, ගෑරුප්පුව, පිඟාන....". ළමයා කියාගෙන යනවා.අපි දෙන්නා හිනාව නවත්තගන්න බැරුව බිම පෙරළෙනවා. ඔන්න ඔහොමයි එදා අපි ශානිගෙන් පංචායුධයේ ආයුධ ගැන අළුත් අර්ථකථනයක් ඉගෙන ගත්තේ.

ළමයාගෙ වැරැද්දක් නෑ. ඒ ටික පේන්නෙ ඒ වගේනෙ. ඇරත් අද කාලෙ "කඩුව, තෝමරය, හක්ගෙඩිය, දුන්න, පාරාවලල්ල" වගේ දේවල් කවුද අඳුනන්නේ? අනේ මම දැකලත් නෑ පාරාවලල්ල. තෝමරය කියන්නෙ හෙල්ලට කියල තමයි මට නම් තේරුණේ. අනිත් එක එක එක පංචායුධ එක එක විදිහයි.මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය ලියපු Some Customs and Superstitions Associated with the Childbirth in Sri
Lankan Sinhalese Society (ශ්‍රී ලාංකික සිංහල ජන සමාජයේ දරු උපත් හා බැඳුණු ඇතැම් චාරිත්‍ර හා විශ්වාස )
කියන මේ ලිපියෙ තියෙන විදිහට නම් කඩුව,හෙල්ල,දුන්න, කෙටේරිය හා පළිහ තමයි මේ ආයුධ ටික. ඒත් සුළබව දකින්න ලැබෙන පංචායුධ වල තෝමරය වෙනුවට තියෙන්නෙ තිශූලයක්. තව හක්ගෙඩිය සහ පාරාවලල්ලත් තියෙනවා.
දැන් ඉතින් ඉක්මනට තියෙන තැනකින් පංචායුධේ එළියට අරන් ආයුධ ටික බලලා මටත් කියන්නකෝ.