Saturday, January 14, 2012

සිහිනය මිය නොයා යුතුය


බේත් නොවැටුණොත් හරියට උණ ගතියට ඇඟ රත්වෙත
ඒ වුණාට එහෙම කියල - කොයි විදිහෙන් නවතින්නද?
ඉඳගත්තා මැෂිම ළඟින්- කොටමි අකුරු එක පිට එක
මූණු පොතට ගිහින් වරෙන් මූඩ් එකත් හැදිල එන්න.
අමුත්තක් දැනෙනවා.. හෙම්බිරිස්සාවෙ හැටි
නෑ! නෑ!! නෑ!! අමතක වුණා වගේ මොකක් හරි
කාගෙද අද උපන්දිනේ? මූණු පොතේ එහෙම නැතේ!
එහෙනම් වෙනින් මුකුත්? කෝ බලන්න අද කවදද?
දා හතරක් ගෙවී ගිහින්- ජනේරුවත් මහළුවෙමින්
දා හතර...දා හතර...දා හතර....සේකර!
ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් දුන්නා ඊයේ- තාමත් නෑ වගෙ ඒකෙ වගක්
ව්භාගෙ අතළඟ තව වැඩ කට උඩ- මළ කවියෙක් හට කුමට ඉඩක්?
ඔව්! සේකර මැරිලා තමයි! මේ කොම්පියුටර් යුගේ තමයි!
ඒත්,
පුංච් කාලෙ පොත් රාක්කෙ හිටපු මගේ හිතවතාය
ඉස්කෝලෙ පුස්තකාලෙ සැඟවී උන් රසවතාය
මං ටික ටික ලොකුවෙනකොට අළුතෙන් කියවන්නට වුණු
කියවන්නට කියවන්නට අළුතෙන් පදරුත් මතුවුණු....
සමනොළ ගිර පදනම් කර එකමුතු වී ලොවම දිනන
ප්‍රියන්තගේ නව ලෝකය සිහිනෙන් මැවුවේ ඔහුමය
"අවුරුදු තිහකට පළමුව- පැවති සුරංගනා කතා සැබෑ වෙවී
ඉතිහාසයේ පස් අතරින් පණ ඉපදී මතු වී" එන
ලෝකය ගැන මට මුලින්ම සිහින ගෙනාවේ ඔහුමය...
පරම්පරා දෙකක් පුරා තව ලයනල් ගේ යුගයයි...
පරගැති භාවයේ අවජාතක උරුමය උරුම.
සේකර නම් මිය ගොසින්ය - ලෝ දහමට උරුම ලෙසට
එනමුදු.. සිහිනය මිය නොයා යුතුය...
අළුත් ලොවක් වෙනුවෙන් වන සිහිනය පණ ලැබිය යුතුය.
සමනොළ ගිරි හිස සිඹගෙන හිරු වඩිනා හැම දිනකම
දෙනෝ දහක් තව අළුතෙන් ඒ සිහිනය දැකිය යුතුය.

Saturday, December 31, 2011

ඔබේ කවිවල අරුත ගැඹුරුය-එහෙත් හදවත තරම් මිහිරිය


”වනපෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත”

මේ කවිය මුලින්ම මගේ නෙත ගැටුණේ මගේ වයස අවුරුදු දහයක් දොළහක් තරම කාලයේදීය. එදා සිට අද දක්වාම මේ කවි පද කිහිපය මා රැගෙන යන්නේ අමුතු චමත්කාරජනක ලෝකයකට. මම කුමාරගම රසිකයෙක් වුණේ එහෙමයි.
කොළඹ යුගයේ බොහොමයක් කවිවල නොදකින අව්‍යාජ්‍යත්වයක් කුමාරගමයන්ගේ කවි වල මම දකිනවා. ඒ බොහොමයක් කවි එදා මම මොනතරම් කියෙව්වද කියතොත් මට ඒවා කටපාඩම් හිටියා. මායා, අයියනායක, වලස් දඩයම වගේ කවි පන්ති වල තිබුණු දයාව වේදනාව, මගේ හදවතට අදටත් ළඟින්ම දැනෙනවා.
මේ වසරේ අවසාන සටහන කුමාරගමයන් ගැන වෙන්න ඕනෙ කියලා මම තීරණය කරලා තිබුණේ තිස් වෙනිදාට යෙදෙන කුමාරගමයන්ගේ අනුස්මරණය නිසා.
මම වගේ තව කුමාරගම රසිකයො ඉන්නවද?

Saturday, November 26, 2011

ඔබ "ආදරය කරන කෙනෙක්" සහ "ඔබ ප්‍රිය කරන කෙනෙක්" අතර වෙනස


මේක මූණු පොත හරහා මම දැකපු දෙයක්.බොහෝ දෙනෙක් මේක කියවලා ඇති කියලා හිතුණත් මේ කරුණුවල සත්‍යතාව ගැන කිසිම සැකයක් නැති නිසා වගේම පළමු කියවීමෙන්ම මගේ සිත ආකර්ශණය කළ මේ ලිපිය නොදුටු අයත් ඉන්න පුළුවන් නිසා මේක ලියන්න හිතුනා.



ඔබ "ආදරය කරන කෙනෙක්" සහ "ඔබ ප්‍රිය කරන කෙනෙක්" අතර වෙනස.


  • ඔබ ආදරය කරන කෙනා ඉදිරියේදී ඔබේ හදවත වේගයෙන් ගැහෙන බව ඔබට දැනෙනු ඇත.නමුත් ඔබ ප්‍රිය කරන කෙනෙකු ඉදිරියේ ඔබට දැනෙන්නේ සතුටකි.


  • ඔබ ආදරය කරන පුද්ගලයා ඉදිරියේදී ඔබට ශීත ඍතුව වසන්තයක් මෙන් දැනෙනු ඇත. නමුත් ඔබ ප්‍රිය කරන පුද්ගලයෙකු ඉදිරියේදී ශීත ඍතුව සුන්දර ශීත ඍතුවක් සේ දැනෙනු ඇත


  • ඔබ ආදරය කරන පුද්ගලයාගේ දෙනෙත දෙස බැලීම අසීරුය.නෙත් හමුවූ විට ඔබේ කොපුල් රත් පැහැ ගැන්වෙනු ඇත. එහෙත් ඔබ ප්‍රිය කරන පුද්ගලෙකුගේ දෙනෙත දෙස කෙලින්ම බලා සිනාවීමට ඔබට හැකිය.


  • ඔබ ආදරය කරන පුද්ගලයා ඉදිරියේදී ඔබේ මනසේ ඇති සියළු දේ පැවසීමට නොහැකි නමුත් ඔබ ප්‍රිය කරන පුද්ගලයා ඉදිරියේදී ඕනෑම දෙයක් කීමට ඔබට හැකිය.


  • ඔබ ආදරය කරන පුද්ගලයා ඉදිරියේ ඔබ ලජ්ජා වන නමුත් ඔබ ප්‍රිය කරන පුද්ගලයා ඉදිරියේ ඔබට ඔබම විය හැකිය.


  • ඔබ ආදරය කරන පුද්ගලයා හඬන විට ඔබත් ඒ සමඟම හඬනු ඇත. එහෙත් ඔබ ප්‍රිය කරන පුද්ගලයා හඬන විට ඔබ සනසමින් ළඟ රැඳෙනු ඇත.


  • ඔබ ප්‍රිය කරන පුද්ගලයෙක් සමඟ අමනාප වූ විට දෙකන් වසා ගැනීම සෑහෙන නමුත් ඔබගේ ආදරය බිඳුණු විට දෙනෙත් වසාගත්තද ඔබේ හදවතෙහි කඳුළක් නිදන්ව තිබෙනු ඇත.

බරණ ගණිතයා සහ මුදලිවරු


මෙන්න මගේ (නෙවෙයි ආතාගේ) කයි කතන්දර පොතෙන් තවත් කතාවක්.
රාජාධිරාජසිංහ කාලෙයේ බරණ ගණිතයා නම් ප්‍රසිද්ධ කවියෙක් දකුණු පළාතේ සිටියේය. කව් බැඳීමෙහි මෙන්ම නැකැත් ශාස්ත්‍රයෙහිද මොහු ඉතා හපනෙකි.පහත් යැයි සම්මත ගෝත්‍රයක උපන් නමුත් මේ දක්ෂ කම් නිසා කවුරුත් ඔහුට ගරු කළෝය. වස් කව් කීමෙහි ද සමත් නිසා කවුරුත් ඔහුට බිය වූහ. සැබවින්ම බරණ ගණිතයා හෙළ බසට උපකාර කළ හොඳ උගතෙකි.
දිනක් බරණ ගණිතයා යම් කිසි වුවමනාවකට මුදලි වලව්වට ගියේය. ඒ කාලේ මුදලිවරු දැනටත් වඩා අභිමානයෝය. ගණිතයා යනවිට මුදලි තැන තවත් උසස් මිතුරන් කීප දෙනෙකු සමඟ කමින් බොමින් ප්‍රීති වෙමින් සිටියේය. ගණිතයා දුටු මුදලි තැන,
"හා මේ ගණිතයාත් ඇවිත් ඉන්නේ, බොහොම හොඳයි ආ වෙලාව " කියමින් ගණිතයා දෙසට හැරී,
"කියාපිය ගණිතයෝ අපට ස්තුති කවියක්" යැයි කීවේය.
බරණ ගණිතයා කවියක් කීවේය. මුදලි තැනත් ඔහුගේ මිතුරෝත් ඉතා සතුටුව ගණිතයාට තෑගි බෝග දී යැව්වේය. ගණිතයාගේ කවිය මෙසේය,

පෙර රැස නඟා පළහා අන්තිම රාසී
නොමරැස සිටි ගහන් දස එක් වන රාසී
යුග රැස වන් දනෝ එකතුව කර පෑසී
පස රැස ලෙසින් විකුමෙන් බස් දෙති වාසී

පෙර රැස- මේෂ රාශිය -මේසය
අන්තිම රැස- මීන රාශිය - මාළු
නොම රැස- රාහු -රා (රාහුගේ සංකේතය මෙයින් වෙනස් ය )
දස එක්වන රාසි-කුම්භ රාශිය - කළය
යුග රැස - වෘෂභ රාශිය - ගොනා
පස රැස- සිංහ රාශිය- සිංහයා

මේ සියල්ල එක් කළ විට කවියේ තේරුම මෙයයි'
මාළු පුළුස්සා මේසේ උඩ තබාගෙන කළයක රා පුරවාගෙන, කකා බිබී ගොනුන් වැනි මිනිසුන් පිරිසක් සිංහයන් මෙන් උදාරම්ව කතා කර කර සිටිති යන්නය.

දෙසැම්බර් දානයට ආ පිටස්තරයා


ඊයෙ අපේ ගෙදර සාංඝික දානමය පිංකම පැවැත්වුණා. මේ පිංකම අවුරුදු 36ක් තිස්සේ නොකඩවාම සෑම දෙසැම්බර් මාසෙකම පැවැත්වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මේ පිංකමට කියන්නේ "දෙසැම්බර් දානය" කියලා. 1975 දෙසැම්බර් මාසයේ මියගිය අපේ ආතාට පිං පැමිණවීම ප්‍රධාන කරගෙන පැවැත්වෙන මේ දානමය පිංකම මේ මාසයේ ටිකක් කලින් ගන්න සිද්ධවුණා පෞද්ගලික කරුණු කාරණා නිසා.
මේ දෙසැම්බර් දානය පූජා බුද්ධියෙන් සිද්ධ කරන එකක් වුනත් මට නම් මේ දානය හරිම ප්‍රහර්ශයක්. මම උපදිනකොටත් මේ දානය පවුලේ සම්ප්‍රදායක් වෙලා සෑහෙන කාලයක් ගතවෙලා. දානයට සති ගණනක් තියා ගෙවල් දොරවල් අස්පස් කිරීම්, ඒවාට උදව් වෙන්නට එන අසල්වාසීන් සහ ඥාතීන්, ඒ අයට කෙරෙන සංග්‍රහ කටයුතු ආදියත් එක්ක මේ දානය පුංචි දවස්වල ඉඳලාම මගේ හිතේ ඇති කළේ සංස්කෘතිකමය වටිනාකමක් තියෙන උත්සවයක් වගේ හැඟීමක්.
දන්න කියන කාලේ ඉඳලම දානයට සක්‍රීයව සහභාගි වුණු මට මේ පාර නම් දානය දවස වෙනකල්ම දානය දෙනවා කියන හැඟීම ආවෙම නෑ. මොකද උදේ පාන්දරම ගෙදරින් පිටවෙලා රෑ වෙලා ගෙදර එන මට කිසිම කටයුත්තකට සහභාගි වෙන්න සිද්ධ නොවුණු නිසා.දානය දවසට කලින් දවසේ කෙටි නිවාඩුවක් සහ දානය දවසට යන්තම් නිවාඩුවක් අනුමත කරගත්තත් අනිත් දවස් වලට(සති අන්තයේවත් ) ආසාවට ඉවරයක් ලැබුනෙ නෑ.
ඒ නිසාමද මන්දා මට නිකන් පිටස්තරයෙක් වගේ හැඟීමක් ඇතිවුණා. කොහොම හරි මේ පාරත් අසල්වාසීන්ගේ සහයෝගය ඉහලින්ම ලැබුණා.ඒත් මම ඒකාලෙ දැකපු මූණු කොච්චරක් වෙනස් වෙලාද? ඇසිලින් ආච්චි, ඉස්සරහ ගෙදර මහම්මා, සිරිල් ආතා වගේ මූණු ආයෙ නො එන්නම ගිහින්. අපේ නැන්දාච්චිත් නැතිවෙලා මේ මාසෙට අවුරුදු 10ක් පිරිලනේ. ඒ දවස්වල පොඩි ළමයි විදිහට දානෙට සහභාගි වුණු, ලොකු අය වැඩ කරද්දි අපිත් එක්ක සෙල්ලම් කරපු කමණි අක්කලාට දැන් දරුවොත් ඉන්නවා.කාලය නොනැවතීම යනවා. තව ටික කාලෙකින් මේ එකම සංස්කෘතික අවස්ථාව මොන විදිහට පරිණාමය වෙයිද? පිටස්තරයෙක් වුණු මට කල්පනා වෙනවා.
දානය දීලා පැන් වඩන වෙලාවෙත් පිටස්තරයාට කල්පනා වුණේ දැන් මේ පින් දෙන අය කොහේ ඇත්ද කියලයි. සමහර විට මේ අය පොඩි ළමයි හෝ වැඩිහිටියෝ විදිහට මෙතනම ඉන්නවා ඇත්ද කියලා මට හිතුණා.ඒ වගේම අපේ කලින් ජන්මයේ ඥාතීනුත් අපිට තාමත් මේ වගේ පින් දෙනවද දන්නෙ නෑ. ඒත් අපි ඒ අයව පාර තොටකදි දැක්කත් අඳුනා ගනීද? අද අපි අපේ පවුල් වලට බැඳිලා ඉන්න විදිහටම අපි ඒ පවුල් වලටත් බැඳිලා ඉන්න ඇති. ඒ අයව දාලා එන්න බෑ කියලා හිතන්න ඇති. සමහර විට ඒ ගෙවල්වල අය තාමත් අපි වෙනුවෙන් අඬනවා ඇති.
සංසාරයම මහ පුදුමයි නේද කියලා පිටස්තරයාට හිතුණා. අපි ඉන්නෙ මොන තරම් මායාවකද? ඒත් ආයිම මේ ජීවිතේ පුරුදු කටයුතු එක්ක මුහු වෙනකොට මේ කාරණය අපිට අමත වෙනවා නේද කියලත් මට ඒ එක්කම හිතුණා.

Thursday, November 24, 2011

පැමිණෙන්නටත් පෙර නික්මෙන්නට වේද?

දෙයියනේ කියලා විභාගෙ ප්‍රතිඵල මම හීනෙකින්වත් නොහිතපුවා. ඉතින් හිතාගත්තා "මේ මරණින් ගැලවුණි නම් හීල් බතට අත නොතියම්" කියලා. සිංහල වචනයක් තියෙන්නේ "narrow escape" කියලා. ඒකෙ තේරුම ලෙසටම දැනුණා. ඒ මදිවට හොයපල්ලකො real client කෙනෙක් ප්‍රොජෙක්ට් එකට. මේ ඔක්කොම ජනවාරි 13 වෙනකොට ඉවර කරගන්නත් එපෑ. ඉතින් හිතාගත්තා කාලෙකට මූණුපොත ගූග්ල් ප්ලස්,බ්ලොග් සටහන් වගේ ඒවා වර්ජනය කරන්න ඕනෙ කියලා. ඒ වුණාට කරුමෙ කියන්නේ අනිත් දෙකම කෙසේ වෙතත් බ්ලොග් සටහන් නම් මගේ ඔළුවෙ ඕසෙට පිරෙනවා මේ දවස් වල.
"වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන්" කිව්වා වගේ මෙච්චර කාලයක් කවදාවත් මගේ ඔළුවට ලියන්න හිතුණෙ නැති ඒවා දැන් හිතෙනවා.ගහක් කොලක් දැක්කත් ඒක ගැන බ්ලොග් එකක් ලියන්න හිතෙනවා.අනිත් එක ඉතින් වැඩිය කමෙන්ට් නොකළට සහ ලැබෙන සුළු විරාමයකදි කම්මැලි කමට ගූගල් එකවුන්ට් එකට ලොග් නොවී ඇනෝ කමෙන්ට් දැම්මට, දවසට තුන් හතරවතාවක් කැරකිලා එන මාර අයියගෙ, විසිතුරුගේ,නාලක සර් ගේ, දේවා ගේ, ජනූ අක්කගේ ආදී මහා දිග ලැයිස්තුවකගේ බ්ලොග් ටික නොබලා ඉන්නෙ කොහොමද කියලා මගේ හිත පෙරළි කරනවා.
මම නම් බ්ලොග් අවකාශයේ එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නෙවේනේ. අනිත් එක ලියන්නෙත් අවාරෙට පොල් වැටෙනවා වගේනේ. ඉතින් මම නැති අඩුව කාටවත් දැනෙන එකක් නෑ. ඒත් මට නම් හුඟක් දැනේවි. ජීවිතේ හුඟක් දේවල් මේ වගේ තමයි.දුරස් වෙනවා කියලා දැනෙන කොට තමයි තේරෙන්නේ මෙච්චර ළං වෙලා තිබුණද කියලා.
අනිත් එක මේ බ්ලොග් අවකාශය නිසා ආත්ම ගාණකින් ඉගෙනගන්න තියෙන ජීවිත අත්දැකීම් ඉගෙන ගන්න ලැබෙනවා.අර මාර අයියගේ, නෝටි මල්ලිගේ කතා කියවලා දවස් ගානක් ගිහිල්ලත් මගේ ඔළුවෙ හක්කලං කරනවා.
අනේ මන්දා මොකද කරන්නේ කියලා?
යනවද? ඉන්නවද? යනවද? ඉන්නවද?

Tuesday, November 22, 2011

අමරදේවත් ගායකයෙක්ද?

අපේ නාලක සර් එක්තරා සිංදුවක් මූණු පොතෙත් දාලා තව ඒක ගැන බ්ලොග් සටහනකුත් ලියලා තියෙනවා. ඒක දැකලා තමයි මේ කතාව මට මතක් වුණේ.
මේක සිද්ධ වුණේ අපේ ඉස්කෝලෙදි. මේ කියන සිද්ධිය වෙනකොට අපේ පණ්ඩිත් අමරදේවයන්ට රාමොන් මැග්සයිසේ සම්මානය ලැබිලා වැඩි කාලයක් ගතවෙලා තිබුණෙ නෑ.
ඔය කාලෙම භාතිය සන්තුෂ් දෙන්නට මොකද්දෝ සම්මානයක් ලැබුණා මතකද? මේ සම්මානෙන් පස්සෙ තමයි එච්චර කාලයක් සිරසට විතරක් සීමා වෙලා හිටපු මේ යුගලය අර ජාතික කියන මාධ්‍ය වලට නැතුවම බැරි ජාතික තලේ ගායකයො දෙන්නෙක් වුණේ.
අපේ පන්තියෙත් හිටියා සෑහෙන තොගයක් භාතිය සන්තුෂ් රසිකයො. දවසක් අපි අතර ගීත ගැන පටන්ගත්තු කතාවක් ඇදිලා ගිහිල්ලා ටිකක් උණුසුම් වචන හරඹයක් බවට පත් වුණා. අපේ පන්තියෙ සෑහෙන තොගයක්ම හිටියා කළු සුද්දො.කියවන්නේ ඉංග්‍රීසි පොත් විතරයි. බලන්නේ ඊටීවී ඩයිනාවිශන් විතරයි ජාතියෙ සෙට් එකක්.මේ සෙට් එක ඉතින් වාදයේ මොන පැත්තෙද කියලා අමුතුවෙන් කියන්න ඕනැයැ.
වාදය කරට කර නැගලා යන අතරේ මුන් කියාපි,
"අපෝ අමරදේවව කවුද දන්නේ? මැග්සයිසෙ කියන්නෙ පිලිපීනෙන් දෙන සම්මානයක්. ඒක ආසියාවෙනෙ. ඒ වගේද භාතියලට හම්බවුණේ ලෝකෙම පිළිගන්න සම්මානයක්" කියලා. (මතක විදිහ හරි නම් ඒ සම්මාන උළෙලෙ නමට Universal කෑල්ලක් තිබුණා)
එච්චර වෙලා වාද කරපු මම එතනින් අයින් වෙලා එන්න ආවා.
එදායින් පස්සේ මම තේරුම් ගත්තා රසිකත්වය ගැන වාද කරන එකා තමයි අමනයා කියලා.


ප.ලි : නාලක සර්ගෙ බ්ලොග් අඩවියෙ සාධනීය වෙනසක් සිද්ධවෙලා තියෙනවා.කැමති අය ගිහින් බලන්නකෝ.දැන් යන්තම් බ්ලොග් එක follow කරන්නත් පුළුවන්.