Saturday, December 31, 2011

ඔබේ කවිවල අරුත ගැඹුරුය-එහෙත් හදවත තරම් මිහිරිය


”වනපෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත”

මේ කවිය මුලින්ම මගේ නෙත ගැටුණේ මගේ වයස අවුරුදු දහයක් දොළහක් තරම කාලයේදීය. එදා සිට අද දක්වාම මේ කවි පද කිහිපය මා රැගෙන යන්නේ අමුතු චමත්කාරජනක ලෝකයකට. මම කුමාරගම රසිකයෙක් වුණේ එහෙමයි.
කොළඹ යුගයේ බොහොමයක් කවිවල නොදකින අව්‍යාජ්‍යත්වයක් කුමාරගමයන්ගේ කවි වල මම දකිනවා. ඒ බොහොමයක් කවි එදා මම මොනතරම් කියෙව්වද කියතොත් මට ඒවා කටපාඩම් හිටියා. මායා, අයියනායක, වලස් දඩයම වගේ කවි පන්ති වල තිබුණු දයාව වේදනාව, මගේ හදවතට අදටත් ළඟින්ම දැනෙනවා.
මේ වසරේ අවසාන සටහන කුමාරගමයන් ගැන වෙන්න ඕනෙ කියලා මම තීරණය කරලා තිබුණේ තිස් වෙනිදාට යෙදෙන කුමාරගමයන්ගේ අනුස්මරණය නිසා.
මම වගේ තව කුමාරගම රසිකයො ඉන්නවද?

Saturday, November 26, 2011

ඔබ "ආදරය කරන කෙනෙක්" සහ "ඔබ ප්‍රිය කරන කෙනෙක්" අතර වෙනස


මේක මූණු පොත හරහා මම දැකපු දෙයක්.බොහෝ දෙනෙක් මේක කියවලා ඇති කියලා හිතුණත් මේ කරුණුවල සත්‍යතාව ගැන කිසිම සැකයක් නැති නිසා වගේම පළමු කියවීමෙන්ම මගේ සිත ආකර්ශණය කළ මේ ලිපිය නොදුටු අයත් ඉන්න පුළුවන් නිසා මේක ලියන්න හිතුනා.



ඔබ "ආදරය කරන කෙනෙක්" සහ "ඔබ ප්‍රිය කරන කෙනෙක්" අතර වෙනස.


  • ඔබ ආදරය කරන කෙනා ඉදිරියේදී ඔබේ හදවත වේගයෙන් ගැහෙන බව ඔබට දැනෙනු ඇත.නමුත් ඔබ ප්‍රිය කරන කෙනෙකු ඉදිරියේ ඔබට දැනෙන්නේ සතුටකි.


  • ඔබ ආදරය කරන පුද්ගලයා ඉදිරියේදී ඔබට ශීත ඍතුව වසන්තයක් මෙන් දැනෙනු ඇත. නමුත් ඔබ ප්‍රිය කරන පුද්ගලයෙකු ඉදිරියේදී ශීත ඍතුව සුන්දර ශීත ඍතුවක් සේ දැනෙනු ඇත


  • ඔබ ආදරය කරන පුද්ගලයාගේ දෙනෙත දෙස බැලීම අසීරුය.නෙත් හමුවූ විට ඔබේ කොපුල් රත් පැහැ ගැන්වෙනු ඇත. එහෙත් ඔබ ප්‍රිය කරන පුද්ගලෙකුගේ දෙනෙත දෙස කෙලින්ම බලා සිනාවීමට ඔබට හැකිය.


  • ඔබ ආදරය කරන පුද්ගලයා ඉදිරියේදී ඔබේ මනසේ ඇති සියළු දේ පැවසීමට නොහැකි නමුත් ඔබ ප්‍රිය කරන පුද්ගලයා ඉදිරියේදී ඕනෑම දෙයක් කීමට ඔබට හැකිය.


  • ඔබ ආදරය කරන පුද්ගලයා ඉදිරියේ ඔබ ලජ්ජා වන නමුත් ඔබ ප්‍රිය කරන පුද්ගලයා ඉදිරියේ ඔබට ඔබම විය හැකිය.


  • ඔබ ආදරය කරන පුද්ගලයා හඬන විට ඔබත් ඒ සමඟම හඬනු ඇත. එහෙත් ඔබ ප්‍රිය කරන පුද්ගලයා හඬන විට ඔබ සනසමින් ළඟ රැඳෙනු ඇත.


  • ඔබ ප්‍රිය කරන පුද්ගලයෙක් සමඟ අමනාප වූ විට දෙකන් වසා ගැනීම සෑහෙන නමුත් ඔබගේ ආදරය බිඳුණු විට දෙනෙත් වසාගත්තද ඔබේ හදවතෙහි කඳුළක් නිදන්ව තිබෙනු ඇත.

බරණ ගණිතයා සහ මුදලිවරු


මෙන්න මගේ (නෙවෙයි ආතාගේ) කයි කතන්දර පොතෙන් තවත් කතාවක්.
රාජාධිරාජසිංහ කාලෙයේ බරණ ගණිතයා නම් ප්‍රසිද්ධ කවියෙක් දකුණු පළාතේ සිටියේය. කව් බැඳීමෙහි මෙන්ම නැකැත් ශාස්ත්‍රයෙහිද මොහු ඉතා හපනෙකි.පහත් යැයි සම්මත ගෝත්‍රයක උපන් නමුත් මේ දක්ෂ කම් නිසා කවුරුත් ඔහුට ගරු කළෝය. වස් කව් කීමෙහි ද සමත් නිසා කවුරුත් ඔහුට බිය වූහ. සැබවින්ම බරණ ගණිතයා හෙළ බසට උපකාර කළ හොඳ උගතෙකි.
දිනක් බරණ ගණිතයා යම් කිසි වුවමනාවකට මුදලි වලව්වට ගියේය. ඒ කාලේ මුදලිවරු දැනටත් වඩා අභිමානයෝය. ගණිතයා යනවිට මුදලි තැන තවත් උසස් මිතුරන් කීප දෙනෙකු සමඟ කමින් බොමින් ප්‍රීති වෙමින් සිටියේය. ගණිතයා දුටු මුදලි තැන,
"හා මේ ගණිතයාත් ඇවිත් ඉන්නේ, බොහොම හොඳයි ආ වෙලාව " කියමින් ගණිතයා දෙසට හැරී,
"කියාපිය ගණිතයෝ අපට ස්තුති කවියක්" යැයි කීවේය.
බරණ ගණිතයා කවියක් කීවේය. මුදලි තැනත් ඔහුගේ මිතුරෝත් ඉතා සතුටුව ගණිතයාට තෑගි බෝග දී යැව්වේය. ගණිතයාගේ කවිය මෙසේය,

පෙර රැස නඟා පළහා අන්තිම රාසී
නොමරැස සිටි ගහන් දස එක් වන රාසී
යුග රැස වන් දනෝ එකතුව කර පෑසී
පස රැස ලෙසින් විකුමෙන් බස් දෙති වාසී

පෙර රැස- මේෂ රාශිය -මේසය
අන්තිම රැස- මීන රාශිය - මාළු
නොම රැස- රාහු -රා (රාහුගේ සංකේතය මෙයින් වෙනස් ය )
දස එක්වන රාසි-කුම්භ රාශිය - කළය
යුග රැස - වෘෂභ රාශිය - ගොනා
පස රැස- සිංහ රාශිය- සිංහයා

මේ සියල්ල එක් කළ විට කවියේ තේරුම මෙයයි'
මාළු පුළුස්සා මේසේ උඩ තබාගෙන කළයක රා පුරවාගෙන, කකා බිබී ගොනුන් වැනි මිනිසුන් පිරිසක් සිංහයන් මෙන් උදාරම්ව කතා කර කර සිටිති යන්නය.

දෙසැම්බර් දානයට ආ පිටස්තරයා


ඊයෙ අපේ ගෙදර සාංඝික දානමය පිංකම පැවැත්වුණා. මේ පිංකම අවුරුදු 36ක් තිස්සේ නොකඩවාම සෑම දෙසැම්බර් මාසෙකම පැවැත්වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මේ පිංකමට කියන්නේ "දෙසැම්බර් දානය" කියලා. 1975 දෙසැම්බර් මාසයේ මියගිය අපේ ආතාට පිං පැමිණවීම ප්‍රධාන කරගෙන පැවැත්වෙන මේ දානමය පිංකම මේ මාසයේ ටිකක් කලින් ගන්න සිද්ධවුණා පෞද්ගලික කරුණු කාරණා නිසා.
මේ දෙසැම්බර් දානය පූජා බුද්ධියෙන් සිද්ධ කරන එකක් වුනත් මට නම් මේ දානය හරිම ප්‍රහර්ශයක්. මම උපදිනකොටත් මේ දානය පවුලේ සම්ප්‍රදායක් වෙලා සෑහෙන කාලයක් ගතවෙලා. දානයට සති ගණනක් තියා ගෙවල් දොරවල් අස්පස් කිරීම්, ඒවාට උදව් වෙන්නට එන අසල්වාසීන් සහ ඥාතීන්, ඒ අයට කෙරෙන සංග්‍රහ කටයුතු ආදියත් එක්ක මේ දානය පුංචි දවස්වල ඉඳලාම මගේ හිතේ ඇති කළේ සංස්කෘතිකමය වටිනාකමක් තියෙන උත්සවයක් වගේ හැඟීමක්.
දන්න කියන කාලේ ඉඳලම දානයට සක්‍රීයව සහභාගි වුණු මට මේ පාර නම් දානය දවස වෙනකල්ම දානය දෙනවා කියන හැඟීම ආවෙම නෑ. මොකද උදේ පාන්දරම ගෙදරින් පිටවෙලා රෑ වෙලා ගෙදර එන මට කිසිම කටයුත්තකට සහභාගි වෙන්න සිද්ධ නොවුණු නිසා.දානය දවසට කලින් දවසේ කෙටි නිවාඩුවක් සහ දානය දවසට යන්තම් නිවාඩුවක් අනුමත කරගත්තත් අනිත් දවස් වලට(සති අන්තයේවත් ) ආසාවට ඉවරයක් ලැබුනෙ නෑ.
ඒ නිසාමද මන්දා මට නිකන් පිටස්තරයෙක් වගේ හැඟීමක් ඇතිවුණා. කොහොම හරි මේ පාරත් අසල්වාසීන්ගේ සහයෝගය ඉහලින්ම ලැබුණා.ඒත් මම ඒකාලෙ දැකපු මූණු කොච්චරක් වෙනස් වෙලාද? ඇසිලින් ආච්චි, ඉස්සරහ ගෙදර මහම්මා, සිරිල් ආතා වගේ මූණු ආයෙ නො එන්නම ගිහින්. අපේ නැන්දාච්චිත් නැතිවෙලා මේ මාසෙට අවුරුදු 10ක් පිරිලනේ. ඒ දවස්වල පොඩි ළමයි විදිහට දානෙට සහභාගි වුණු, ලොකු අය වැඩ කරද්දි අපිත් එක්ක සෙල්ලම් කරපු කමණි අක්කලාට දැන් දරුවොත් ඉන්නවා.කාලය නොනැවතීම යනවා. තව ටික කාලෙකින් මේ එකම සංස්කෘතික අවස්ථාව මොන විදිහට පරිණාමය වෙයිද? පිටස්තරයෙක් වුණු මට කල්පනා වෙනවා.
දානය දීලා පැන් වඩන වෙලාවෙත් පිටස්තරයාට කල්පනා වුණේ දැන් මේ පින් දෙන අය කොහේ ඇත්ද කියලයි. සමහර විට මේ අය පොඩි ළමයි හෝ වැඩිහිටියෝ විදිහට මෙතනම ඉන්නවා ඇත්ද කියලා මට හිතුණා.ඒ වගේම අපේ කලින් ජන්මයේ ඥාතීනුත් අපිට තාමත් මේ වගේ පින් දෙනවද දන්නෙ නෑ. ඒත් අපි ඒ අයව පාර තොටකදි දැක්කත් අඳුනා ගනීද? අද අපි අපේ පවුල් වලට බැඳිලා ඉන්න විදිහටම අපි ඒ පවුල් වලටත් බැඳිලා ඉන්න ඇති. ඒ අයව දාලා එන්න බෑ කියලා හිතන්න ඇති. සමහර විට ඒ ගෙවල්වල අය තාමත් අපි වෙනුවෙන් අඬනවා ඇති.
සංසාරයම මහ පුදුමයි නේද කියලා පිටස්තරයාට හිතුණා. අපි ඉන්නෙ මොන තරම් මායාවකද? ඒත් ආයිම මේ ජීවිතේ පුරුදු කටයුතු එක්ක මුහු වෙනකොට මේ කාරණය අපිට අමත වෙනවා නේද කියලත් මට ඒ එක්කම හිතුණා.

Thursday, November 24, 2011

පැමිණෙන්නටත් පෙර නික්මෙන්නට වේද?

දෙයියනේ කියලා විභාගෙ ප්‍රතිඵල මම හීනෙකින්වත් නොහිතපුවා. ඉතින් හිතාගත්තා "මේ මරණින් ගැලවුණි නම් හීල් බතට අත නොතියම්" කියලා. සිංහල වචනයක් තියෙන්නේ "narrow escape" කියලා. ඒකෙ තේරුම ලෙසටම දැනුණා. ඒ මදිවට හොයපල්ලකො real client කෙනෙක් ප්‍රොජෙක්ට් එකට. මේ ඔක්කොම ජනවාරි 13 වෙනකොට ඉවර කරගන්නත් එපෑ. ඉතින් හිතාගත්තා කාලෙකට මූණුපොත ගූග්ල් ප්ලස්,බ්ලොග් සටහන් වගේ ඒවා වර්ජනය කරන්න ඕනෙ කියලා. ඒ වුණාට කරුමෙ කියන්නේ අනිත් දෙකම කෙසේ වෙතත් බ්ලොග් සටහන් නම් මගේ ඔළුවෙ ඕසෙට පිරෙනවා මේ දවස් වල.
"වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන්" කිව්වා වගේ මෙච්චර කාලයක් කවදාවත් මගේ ඔළුවට ලියන්න හිතුණෙ නැති ඒවා දැන් හිතෙනවා.ගහක් කොලක් දැක්කත් ඒක ගැන බ්ලොග් එකක් ලියන්න හිතෙනවා.අනිත් එක ඉතින් වැඩිය කමෙන්ට් නොකළට සහ ලැබෙන සුළු විරාමයකදි කම්මැලි කමට ගූගල් එකවුන්ට් එකට ලොග් නොවී ඇනෝ කමෙන්ට් දැම්මට, දවසට තුන් හතරවතාවක් කැරකිලා එන මාර අයියගෙ, විසිතුරුගේ,නාලක සර් ගේ, දේවා ගේ, ජනූ අක්කගේ ආදී මහා දිග ලැයිස්තුවකගේ බ්ලොග් ටික නොබලා ඉන්නෙ කොහොමද කියලා මගේ හිත පෙරළි කරනවා.
මම නම් බ්ලොග් අවකාශයේ එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නෙවේනේ. අනිත් එක ලියන්නෙත් අවාරෙට පොල් වැටෙනවා වගේනේ. ඉතින් මම නැති අඩුව කාටවත් දැනෙන එකක් නෑ. ඒත් මට නම් හුඟක් දැනේවි. ජීවිතේ හුඟක් දේවල් මේ වගේ තමයි.දුරස් වෙනවා කියලා දැනෙන කොට තමයි තේරෙන්නේ මෙච්චර ළං වෙලා තිබුණද කියලා.
අනිත් එක මේ බ්ලොග් අවකාශය නිසා ආත්ම ගාණකින් ඉගෙනගන්න තියෙන ජීවිත අත්දැකීම් ඉගෙන ගන්න ලැබෙනවා.අර මාර අයියගේ, නෝටි මල්ලිගේ කතා කියවලා දවස් ගානක් ගිහිල්ලත් මගේ ඔළුවෙ හක්කලං කරනවා.
අනේ මන්දා මොකද කරන්නේ කියලා?
යනවද? ඉන්නවද? යනවද? ඉන්නවද?

Tuesday, November 22, 2011

අමරදේවත් ගායකයෙක්ද?

අපේ නාලක සර් එක්තරා සිංදුවක් මූණු පොතෙත් දාලා තව ඒක ගැන බ්ලොග් සටහනකුත් ලියලා තියෙනවා. ඒක දැකලා තමයි මේ කතාව මට මතක් වුණේ.
මේක සිද්ධ වුණේ අපේ ඉස්කෝලෙදි. මේ කියන සිද්ධිය වෙනකොට අපේ පණ්ඩිත් අමරදේවයන්ට රාමොන් මැග්සයිසේ සම්මානය ලැබිලා වැඩි කාලයක් ගතවෙලා තිබුණෙ නෑ.
ඔය කාලෙම භාතිය සන්තුෂ් දෙන්නට මොකද්දෝ සම්මානයක් ලැබුණා මතකද? මේ සම්මානෙන් පස්සෙ තමයි එච්චර කාලයක් සිරසට විතරක් සීමා වෙලා හිටපු මේ යුගලය අර ජාතික කියන මාධ්‍ය වලට නැතුවම බැරි ජාතික තලේ ගායකයො දෙන්නෙක් වුණේ.
අපේ පන්තියෙත් හිටියා සෑහෙන තොගයක් භාතිය සන්තුෂ් රසිකයො. දවසක් අපි අතර ගීත ගැන පටන්ගත්තු කතාවක් ඇදිලා ගිහිල්ලා ටිකක් උණුසුම් වචන හරඹයක් බවට පත් වුණා. අපේ පන්තියෙ සෑහෙන තොගයක්ම හිටියා කළු සුද්දො.කියවන්නේ ඉංග්‍රීසි පොත් විතරයි. බලන්නේ ඊටීවී ඩයිනාවිශන් විතරයි ජාතියෙ සෙට් එකක්.මේ සෙට් එක ඉතින් වාදයේ මොන පැත්තෙද කියලා අමුතුවෙන් කියන්න ඕනැයැ.
වාදය කරට කර නැගලා යන අතරේ මුන් කියාපි,
"අපෝ අමරදේවව කවුද දන්නේ? මැග්සයිසෙ කියන්නෙ පිලිපීනෙන් දෙන සම්මානයක්. ඒක ආසියාවෙනෙ. ඒ වගේද භාතියලට හම්බවුණේ ලෝකෙම පිළිගන්න සම්මානයක්" කියලා. (මතක විදිහ හරි නම් ඒ සම්මාන උළෙලෙ නමට Universal කෑල්ලක් තිබුණා)
එච්චර වෙලා වාද කරපු මම එතනින් අයින් වෙලා එන්න ආවා.
එදායින් පස්සේ මම තේරුම් ගත්තා රසිකත්වය ගැන වාද කරන එකා තමයි අමනයා කියලා.


ප.ලි : නාලක සර්ගෙ බ්ලොග් අඩවියෙ සාධනීය වෙනසක් සිද්ධවෙලා තියෙනවා.කැමති අය ගිහින් බලන්නකෝ.දැන් යන්තම් බ්ලොග් එක follow කරන්නත් පුළුවන්.

Thursday, November 10, 2011

බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආගමක්ද? දර්ශණයක්ද? නැත්තම් ධර්මයක්ද?

හ්ම්ම්...අද පෝය දවස නිසා ඉතින් මං හිතුවා ටිකක් වෙනස් දෙයක් කතා කරන්න ඕනෙ කියලා. මේ කතාවට මුල් වුණේ අපේ පූස් සහෝදරයා දාලා තිබ්බ පෝස්ට් එකක්.
බුද්ධාගම කියන වචනය වැරදියි, බෞද්ධ දර්ශණය කියන වචනේ තමයි හරි කියලා තමයි ඒකෙන් කියලා තිබ්බෙ.ඒත් ඇත්තටම මට තේරෙන විදිහට නම් ඔය දෙකම වැරදියි.


ආගම කියන වචනේ නිරුක්තිය ගැන විවිධ මත තියෙනවා. ඒ කොහොම වෙතත් පොදුවේ ගත්තහම ආගමක් කියලා කියනකොටම චාරිත්‍ර වාරිත්‍ර විධි රාශියක්, වෙනම පූජනීය ස්ථාන,ඒ අනුව යන අනුගාමිකයෝ පිරිසක්, ආගමික උත්සව වගේ දේවල් රාශියක් තමයි ඔළුවට එන්නෙ.


දර්ශණයක් කියන්නෙ කාගෙහරි මතවාදයක්. ඒ මතවාදය පවතින්නෙ සබුද්ධික තර්කය උඩ ඒක තමයි කාලයෙන් කාලයට නොයෙක් දර්ශණ වලට තැන ලැබෙන්නේ.දර්ශණය කියන වචනයේ නිරුක්තිය ගත්තොත් ඒක බිඳිල තියෙන්නෙ.ප්‍රඥාවට ඇති කැමැත්ත වගේ තේරුමකින්.මගේ පෞද්ගලික වැටහීම අනුව ආගම වඩාත්ම කිට්ටුවෙන්නෙ දර්ශණයට. මොකද ආගමක් බොහෝවිට බිහිවෙන්නෙ කවුරු හරි ආගමික ශාස්තෲවරයෙක්ගෙ දර්ශණය පදනම් කරගෙන.
ඒත් බුදුරජාණන්වහන්සේගේ දේශනාව ආගමක්වත්, දර්ශණයක්වත් නෙවේ. ඒ ශ්‍රී මුඛ දේශනාවට සද්ධර්මය කියලයි කියන්නේ.


ධර්මය කියල කියන්නෙ ලෝක ස්වභාවයක්.බුදුරජාණන් වහන්සේ නමක් පහල වුණත් නැතත් ලෝකයේ ස්වභාවයක් තියෙනවා.ඒක වෙනස් වෙන්නෙ නෑ. නමුත් කාලයෙන් කාලයට මේ ස්වභාවය පිළිබඳ දැනීම වැහිලා යනවා.එහෙම වුණාම මිනිසත් බවක් ලැබුවත් මේ සංසාරයෙන් එතෙර වීමක් ගැන දැනුමක් ලබාගන්න බෑ. සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් පහළවෙලා දේශණා කරන්නේ උන්වහන්සේ ස්වයංභූ ඥානයෙන් අවබෝධ කරගන්නා මේ සත්‍යයයි.ඒක අර පුහුදුන් මනුෂ්‍යයෙක් තමන්ගේ බුද්ධියේ සීමාවට පෙනෙන ටිකෙන් ගොඩනඟන දර්ශණයකට වඩා සෑහෙන වෙනස්.ඒකමයි මේ ධර්මචක්‍රය කිසිම වෙලාවක ආපස්සට නොපෙරලෙන්නේ, කාටවත් "මෙන්න මෙතන වැරදියි, මේක අද කාලයට ඔබින්නේ නෑ" කියල වෙනස් කරන්න බැරි.


හැබැයි ඉතින් අපි කවුරුත් තේරුම් ගන්නේ තම තම නැණ පමණට නේ. ඒ නිසා බුදුදහම එක්කම බෞද්ධාගමක් ගොඩනැඟිලා තියෙනවා.ඒක වරදක් නෙවෙයි.(හැබැයි ඉතින් සමහර කට්ටිය බුදුදහම මාකට් කරන්න ගිහිල්ලා, බුදුහාමුදුරුවන්ටත් වඩා බෞද්ධ වෙලා කරන විගඩම් ගැන වෙනම කතා කරන්න ඕනේ. )

ඔන්න මට කියන්න හිතුණ දේ මම කිව්වා. වෙලාවක් කාරිය එහෙම තියෙනවනම් ඔයාලගේ අදහසුත් එකතු කරමුකෝ බලන්න.
හැබැයි ඒ ඔක්කොටම වඩා හොඳයි ලියන මාත් ඇතුළුව අපි ඔක්කොම වාද කරන එක පැත්තක දාලා, වචන වල තේරුම් හොයනකල් ගිහිල්ල බුදුහාමුදුරුවෝ දේශණා කරපු ධර්මයෙන් බිඳක් හරි ප්‍රායෝගිකව ක්‍රියාවට නැඟුවනම්, නැද්ද මං කියන්නේ?

Saturday, November 5, 2011

නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි


"ඔයා මොකට ඔය මනුස්සයට ඔච්චර කැමතිද මන්දා?" අනූපමා අක්කා මගෙන් අහනවා.
"ඔයා හිතනවද එයා ලස්සනයි කියලා?"
"ඇයි එයා ඔයාට ලස්සන නැද්ද?" පිළිතුරක් වෙනුවට මාත් ප්‍රශ්නයක්ම ඇහුවා.
"අනේ නෑ.පර්සනැලිටි එකක් තියෙනවද එයාට?" මම යන්තමට හිනාවුණා මිසක් වචනයක්වත් කිව්වෙ නෑ. අඩුම ගානෙ මගේ හිත නිදහස්වෙන්න කතා කරන්න පුළුවන් අනුපමා අක්කත් එක්ක විතරයි.
"මට නම් සල්ලිත් එක්ක දුන්නත් එයා වගේ කෙනෙක් එපා". එයා දොස් කියන්නෙ මගේ හිත හැදෙන්නම නෙවෙයි කියලා මම දන්නවා.
"ඇයි?"
"ඔහොම කෙනෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන්ද?"
ඇත්තටම මගේ හිත එතැනම නතරවෙන්න හේතුව මොකක්ද කියන්න මම දන්නෙ නෑ. මම දන්න කිසිම කෙනෙක් එයා කඩවසම් කියල හිතන්නෙ නෑ. ඒ වගේම ආකර්ශණීය චරිතයක් කියලා හිතන්නෙත් නෑ. හැමෝම දකින්නෙ එයා විකර්ශණීය චරිතයක් විදිහට.සමහර අය මගේ මූණටම එයා ගැන කියලා හිනා වෙලා තියෙනවා. එයාට කියන අන්වර්ථ නම් පවා කියලා තියෙනවා. මොනවා වුනත් මගේ හිතේ තියෙන්නෙ අනුකම්පාවකුත් නෙවෙයි. මට එයාව දැනෙන්නෙ රජෙක් වගේ. ඒක අනුකම්පාවට හාත්පසින් වෙනස් දෙයක්.
"අතඇරල දාන්න ඕක ගැන හිතන එක, ඔයා විතරයි විඳවන්නේ.එයා දන්නෙවත් නෑ."
අනූපමා අක්කා හරිම හොඳයි. ඒත් ඉතින් දවසම මගේ කන්දොස්කිරියාව අහගෙන ඉඳලා එයාට හිතෙනවද මන්දා මට පිස්සුයි කියලා.අනූපමා අක්කා ගැන මගේ හිතේ පුදුම ආදරයක් ඇතිවෙනවා. එයාවත් දන්නෙ නෑ එයා මට මොනතරම් සහනයක්ද කියලා.
ඇත්තටම මටම තේරෙන්නෙ නෑ මට මොනවා වෙලාද කියලා.ඉස්සර කවුරු හරි කෙනෙක් ඒකපාර්ශවීය ආදරයකට අහුවෙලා කිව්වොත් මම හිනාවෙන්න පුරුදුවෙලා හිටියා.ඒත් මේ මොකක්ද වෙලා තියෙන්නෙ? කෝ මම ජීවිතේ ගැන පනවගෙන හිටපු නීති රීති? මුළු දවස පුරාම මම හිතන හැම සිතුවිල්ලක්ම කෙලවර වෙන්නෙ එකම තැනින්. මඟ තොටේදිත් මටම නොදැනී මගේ ඇස්දෙක එයාව හොයනවා. ඒකනේ දකින හැම මනුස්සයෙක්ම එයාට සමාන කමක් ඇතුව පේන්නෙ. මොකක්දෝ කියාගන්න බැරි සිතුවිල්ලකින් මුළු හිතම වැහිලා ගිහිල්ලා.
"මේ ඒක නෙවේ, මොකද නාරද ගැන හිතන්නේ?" අනූපමා අක්කා හිනාවෙනවා. "එයා නරකද?"
"හ්ම්.." මාත් හිනාවෙනවා. චතුර කියපු කතාව ඇත්ත. ගෑණු ළමයෙක්ට ගෑණු ළමයෙක්ම ඉන්න ඕනෙ හොඳම යාළුවා විදිහට.
"එයා යාළුවෙක් විදිහට හරිම හොඳයි.එයා උගත්, එයාගේ අදහසුත් ලස්සනයි. මගේ අදහස් වලට ලඟින්ම යනවා.ඒත් එයා ගැන මගේ හිතේ තියෙන්නෙ එහෙම අදහසක් නෙවේ.එයාව මට පේන්නෙ වැඩිහිටියෙක් වගේ.ඔයා එහෙම හිතුවෙ මම නාරද සර් එක්ක හැම තිස්සෙම කතා කරන හින්ද ද?"
අනූපමා අක්කා හිනාවෙනවා. එයා තවත් මොන මොනවාදෝ ගැන කතා කරනවා. මාත් උත්තර දෙනවා. ඒත් මටම දැනෙනවා මගේ හිත තාම තියෙන්නේ පරණ තැනමයි කියලා.මේ දවස්වල මම ඉක්මනට නිදාගන්නවා. ඒ හිතුවිල්ලෙන් නිදහස් වෙන්න මට තියෙන එකම මඟ එච්චරයි. වාසනාවට මගේ හීන වලට තාම බලපෑමක් වුණේ නෑ.
මෙච්චර කාලයක් මේ වගේ හැඟීම් දිහා බලපු විදිහ නම් දැන් වෙනස්. ඒත් මගේ ආඩම්බරකාර හිත මේ හිතුවිල්ලට විරුද්ධව දුබල නමුත් නොනවතින සටනක් කරනවා.මටත් හොරා හිතේ පැළපදියම් වෙච්ච මේ සිතුවිල්ලට මම මෙච්චර කල් පනවාගෙන හිටපු නීති රීති බිඳින්න දෙන්නේ කොහොමද?
"නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි
සොයාගත්තොත් ගත්තු හැටියෙම වීසි කරන්නෙමි"
කියලා හිතන්නෙ මම නෙවෙයි.අර ආඩම්බරකාර හිත.

Thursday, October 20, 2011

දුෂ්ඨ ඇමතිවරුන්ගේ ඉරණම (සුරංගනා කතාවකි )

මේ කතාවත් කයි කතන්දර පොතෙන්ම තමයි.හැබැයි "අරිවන්දා" වගේ මගේ වචනයෙන් තමයි කියන්න යන්නේ.
ඔන්න එකමත් එක රටක රජෙකුට ඇමතියො හතර දෙනෙක් හිටියා.(ලංකාවෙද? අනේ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව කතාව කියවනවද?) ඉතින් මෙයින් තුන් දෙනෙක්ම කපටියො.එක ධාර්මික ඇමති කෙනයි හිටියෙ.එයා තමයි මහඇමති.(හතරෙන් එකක්වත් ධාර්මික නම් ඒක හොඳ රටක් කියලද කිව්වෙ?)


ඔන්න ඉතින් අර කපටියො තුන්දෙනාට මේ ධාර්මික මහඇමතිව පේන්න බෑ.ඉතින් මේ තුන්දෙනා එකතුවෙලා සය කන් මන්ත්‍රණයක් හෙවත් කුමන්ත්‍රණයක් දාලා රජයි මහඇමතියයි තරහ කරන්න කල්පනා කළා.
එහෙම කරලා රජතුමා මුණගැහෙන්න ගිහිල්ලා මෙහෙම කියනවා.


"දේවයන්වහන්ස,අපේ මහ ඇමතිතුමා කවි හදන්න හරිම දස්සයි.එතුමාට කියලා ඔබතුමාට සෙත් කවියක් සාදවා ගනු මැනවි"


පොතේ නැතුවට ඉතින් නැකැත්තත් මේ වැඩේ කොනක හිටියද දන්නෙ නෑ.
කොහොම හරි රජතුමත් ඉතින් මහ ඇමතිව දැක්ක ගමන්ම කතා කරල වැඩේ බාර දුන්නා.
මහ ඇමති විතරක් නෙවේ ඕන පොඩි එකෙක් දන්න දෙයක්නෙ රජ අණට පිටුපෑම මාරාන්තිකයි කියලා. හදිස්සියෙ හරි ඉබ්බෙක්ගෙන් පිහාටු අරන් එන්න කිව්වත් "බෑ" කියන වචනෙ නොකියා "එසේය මහරජතුමනි අපි කොහොම හරි ඕක කරමු" කියලා තමයි කියන්න ඕනෙ.
ඉතින් මේ ධාර්මික මහඇමතිතුමා "දේවයන්වහන්ස, මට දවසකට අවසර දුන මැනව" කියල කිව්වා.අවසරේ ලැබුණා.


දැන් මහඇමති ගෙදර ගිහිල්ල කල්පනා කරනවා කරනවා මුකුත් නෑ ඔළුවට එන්නෙ.වත්තට ගියා. මොන? ඒත් නෑ කවි සංකල්පනාවක් අහලකටවත් ආවේ. ඔහොම ගිහින් ගිහින් දන්නෙම නැතුව මහඇමතිතුමා නැවතුණේ කැලේ.
කැලේ ගහක් මුල ඉඳගෙන, පන්හිඳත් අතේ තියාගෙන හිත හිතා ඉන්න මහඇමතිතුමා දැක්ක කුළු මීමෙක් තමන් ඉන්න දිහාවට එනවා.බය වුණු මහඇමතිතුමා අර ගහට මුවාවුණා.
දැන් එහෙම මුවාවෙලා බලාගෙන ඉන්නවා.මේ කුළුමීමා තමන්ගේ ගමන නවත්තලා ළඟ තියෙන ගලක බෙල්ල අතුල්ලන්න ගත්තා.මහඇමතිතුමා හිතුවා වැඩේ හරි තමයි, මූ මේ ගලේ කර උලන්නෙ මට වරද්දන්න තමයි කියලා.
මහඇමතිතුමාට එකපාරටම කියැවුණා "කරගල ගගා එනවා මම නොදනිම්ද?" කියලා.
කොහොම උනත් මහඇමතිතුමාගේ වෙලාවට අර කුළුමීමා මහඇමතිතුමාව දැකලා තිබුණෙ නෑ.ඒ සතා උගේ පාඩුවේ වෙන අතක ගියා.
මහඇමතිතුමත් සැනසුම් සුසුමක් හෙලලා අර කවි පදෙත් පුස්කොලේ ලියාගෙන ගෙදර ගියා.ඒට පස්සෙත් කල්පනා කළා වෙන කිසිම කවියක් ඔළුවට ආවේ නෑ.


වෙන දෙයක් වෙච්චාවේ කියලා අර කවි පදේම හතර පාරක් ලියාගෙන පහුවදා උදේ රාජසභාවට ගියා.
දැන් අර කපටි ඇමතියො බලාගෙන ඉන්නවා සෙත් කවියක් නැතුව ඇවිත් මහඇමතිතුමා රාජ උදහසට ලක්වෙනකල්.මහඇමතිතුමා රජ්ජුරුවන්ට වැඳ නමස්කාර කරලා සෙත් කවිය තියෙන පුස්කොලේ දුන්න විතරයි මේ කට්ටියගේ මූණු හරියට කරත්තෙට අහුවුණු කජුලෙලි වගේ වුණා.
රජතුමාත් බොහොම සතුටින් කවිය අරගෙන කියෙව්වා.


"කරගල ගගා එනවා මම නොදනිම්ද
කරගල ගගා එනවා මම නොදනිම්ද
කරගල ගගා එනවා මම නොදනිම්ද
කරගල ගගා එනවා මම නොදනිම්ද"



දැන් ඉතින් මේකෙ තේරුම රජතුමාට තේරුණෙත් නෑ.අර ඇමතියන්ට තේරුණෙත් නෑ. ඒත් මහඇමති ඉස්සරහ තමන්ගේ නොදැනුවත්කම එළිවෙයි කියලා ඒ බව කියන්න ගියෙත් නෑ.
ඒ වෙනුවට මෙයාල කියනවා. "අපූරු යමක බන්ධනය(කාව්‍ය රචනා ක්‍රමයක්) රජතුමනි" කියල.
රජතුමාටත් මේ කවිය අපූරුවට පාඩම් හිටියා.
මෙහෙම කාලයක් ගතවුණා.දැන් අර ඇමතියන්ට හිතුණ රජතුමාටත් වැඩේ දෙන්න ඕනෙ කියලා.(හරිනෙ ඉතින්, අර කියමනකුත් තියෙන්නෙ ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නෙ කියලා.මුලින් මහඇමතිට වැඩේ දෙන්න හැදුවා ඒ මනුස්සය මේගොල්ලන්ට වඩා හොඳ හින්ද.දැන් රජතුමාට.)මෙහෙම කරල කරණවෑමියත් හවුල් කරගෙන උපායක් ඇටෙව්ව.
රජතුමාගේ කෙස් රැවුල් කපනකොට හිමින් සීරුවේ බෙල්ල කපන්න.(පස්සෙ අධිකරණයේදි අත්වැරැද්දක් කියල ඔප්පුකරන්න හිතාගෙන වෙන්නැති )
ඉතින් දැන් නියම කරගත්ත දිනය උදාවුණා.දැන් කරණවෑමියා සුපුරුදු පරිදි දැලිපිහිය මුවහත් කරන්න ගලගානවා.
රජතුමාටත් නිකමට වගේ තමන්ට පාඩම් වෙලා තිබුණු සෙත් කවිය කියැවුණා.
"කරගල ගගා එනවා මම නොදනිම්ද" කියලා කියනකොටම කරණවෑමියා හිතුවා තමන්ගේ මේ උපාය රජතුමාට අහුවුණා කියලා.හතරවෙනි පදේ කියනකොටම කරණවෑමියා වෙව්ලමින් රජු ළඟ බිමවැටිල පාපොච්චාරණය කළා.
රජතුමා අර දුෂ්ඨ ඇමතිවරුන්ට මරණ දඬුවම නියමකරල කරණවෑමියා සේවයෙන් පහකරල අර තමන්ගේ ජීවිතෙ බේරපු මහඇමතිතුමාට තෑගිබෝග සම්මාන දුන්න කියලා කතාව ඉවරකළාම, සුරංගනා කතාවක් කිව්ව කියල මට බනිනව එහෙම නෙවේ ඕං.
මේ පොතෙ තිබුණු හැටි!

Wednesday, October 19, 2011

පොඩි හාමුදුරුවෝ වාදෙ දිනපු හැටි

මේ කතාව මට මතක් වුණේ විසිතුරු ලියල තිබුණු සටහනක් දැකලා.මුලින්ම ඒක විසිතුරුට කමෙන්ටුවක් හැටියට දාන්නත් හිතුණට පස්සෙ හිතුණා වෙනම සටහනක් විදිහට දාන්න ඕනෙ කියලා.
මේක සෙන් කතාවක්.


එක්තරා ජපන් පන්සලක හාමුදුරුවරු දෙනමක් ජීවත් වුණා. ලොකු හාමුදුරුවෝ බොහොම බුද්ධිමත්.අනෙක් හාමුදුරුවෝ තරුණ හාමුදුරුනමක් උන්වහන්සේගේ එක ඇසක් අන්ධයි.එතරම් ධර්ම ඥානයකුත් නැති ඉක්මනින් කේන්ති ගන්නා කෙනෙක්.මේ සෙන් දහමේ වාද විවාද ආදියට බොහොම ඉහල තැනක් තියෙනවනේ.
දවසක් මේ පන්සලට වැඩමකළා සංචාරයේ යෙදෙන හාමුදුරු නමක්. මේ ස්වාමීන්වහන්සේ තමන්ගේ වාද විවාදයන්හි තිබුණු දක්ෂතාවය නිසා රට පුරා ප්‍රසිද්ධවුණු කෙනෙක්.ඉතින් මේ ස්වාමීන්වහන්සේ අභියෝග කළා අර පන්සලේ හිටපු ස්වාමීන්වහන්සේලාටත්.මුලින්ම වාද කළ යුතු වුණේ අර පොඩි හාමුදුරුවෝ එක්කයි.
ඉතින් මේ ස්වාමීන්වහන්සේලා දෙනම, ඒ කිව්වෙ අර ආගන්තුක හාමුදුරුවොයි සාමණේරයන් වහන්සේයි විහාරයට ඇතුල්වුණා වාදය සඳහා.ටික වේලාවකින් අර ආගන්තුක හාමුදුරුවෝ එලියට වැඩියා.නායක ස්වාමීන්වහන්සේ මුණගැසිලා මේ විදියට කිව්වා.


"ස්වාමීනි මට හිතාගන්නවත් බෑ හරිම පුදුමයක්.මම මහා නායක ස්වාමීන්වහන්සේලා පවා පරදවලා තියෙනවා.නමුත් පළමු වතාවට මේ තරුණ සාමණේරයන්ට මම පැරදුණා.ගෝලයා මෙහෙම නම් ගුරුවරයා ගැන මට හිතා ගන්න පුළුවනි ස්වාමීනි.ඔබවහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨයි"
දැන් ලොකු හාමුදුරුවෝ කරකවලා අතඇරියා වගේ.මොකද තමන්ගේ ගෝලයගේ හැටි දන්නවනේ.ඒත් මම කිව්වනේ මේ ලොකු හාමුදුරුවෝ හරිම බුද්ධිමත් කියලා, ඒ නිසා අර විසිතුරුගේ කතාවේ දෛවඥයා වගේම වැඩි කතාවට නොයා ඉල්ලා හිටියා සිද්ධවු දේ විස්තර කරන්න කියලා.
දැන් අර ආගන්තුක ස්වාමීන්වහන්සේ බොහොම පරාජිත විදියට මෙහෙම කියනවා.


"ස්වාමීනි හස්ත මුද්‍රා ක්‍රමයට වාඩ කිරීම ඉතාම අසීරු දෙයක්. ඒ නිසා මා හිතුවා එසේ කරන්නට.මා සාමණේරයන් වහන්සේ දිහාවට එක ඇඟිල්ලක් දිගුකලා බුදුරජාණන් වහන්සේ හඟවන්න.මහා පුදුමයි හාමුදුරුවනේ අර සාමණේරයන් වහන්සේ ඇඟිලි දෙකක් මා දිහාවට දිගුකලා බුද්ධරත්නයත් ධම්මරත්නත් පෙන්නන්න,ඒ පාර මම ඇඟිලිතුනක් දිගුකරලා පෙන්නුවා බුද්ධරත්නයත්,ධම්මරත්නයත් සංඝරත්නයත් පෙන්වන්න.මෙන්න එතකොට මේ සාමණේර ශ්‍රේෂ්ඨයන්වහන්සේ අත මිට මොලවලා මගේ මූණ ළඟටම ගෙනත් සොලවලා ආපසු ගත්තා.මේ රත්නයන් තුනම එක්වූ කළ බුද්ධ ශාසනය ඇතිවෙනවා.එය මහාබලසම්පන්නයි කියන එකයි ඒකෙ තේරුම." මෙහෙම කියපු මේ ආගන්තුක ස්වාමීන්වහන්සේ පන්සලෙන් පිටවෙලා වැඩියා කියමුකො.


සෑහෙන වෙලාවක් ගියා අර සාමණේර හාමුදුරුවො තාම විහාරගේ ඇතුලෙ.ලොකු හාමුදුරුවො ඉක්මනට සාමනේර හාමුදුරුවො හොයාගෙන විහාරගෙට වැඩියා.බැලින්නම් මෙන්න අපේ සාමනේර හාමුදුරුවො ඉන්නවා විහාරගේ ඇතුලෙ දත්මිටි කකා.ලොකු හාමුදුරුවො දැක්කා විතරයි සාමණේරයන් වහන්සෙ කේන්තියෙන් පුපුරමින් මෙහෙම අහනවා.
"කෝ අර උන්නාන්සේ? ආපහු වැඩියද? තාම ඉන්නවනම් කියන්න ගුටිනොකා බේරුණේ ඔබවහන්සේ හින්දය කියලා. "
දැන් ලොකු හාමුදුරුවො තවපාරක් කරකවලා අතෑරිය වගේ වුණා.ඇයි මෙක මහ හතර බීරි කතාවක් නොවැ.
"හරි හරි පොඩි නම, කේන්තිගන්න කාරියක් නෑ.වුණේ මොකද කිව්වනම්."


"වුණේ කියන්නෙ ලොකුහාමුදුරුවනේ,වාදයට කියලා ඇවිත් අසුන්ගත්තා විතරයි,මගේ මේ කණ ඇහ පෙන්නල ඇඟිල්ල දික්කරේ නැතැයි අර උන්නාන්සේ.ආගන්තුක හාමුදුරුවෝ වෙච්චි,ඇරත් ඉතින් ඔබවන්සේ මට නිතරම කියනවනේ කේන්තිය පාලනය කරගන්න කියලා.ඒ හින්දා මම බොහොම සුහද විදිහට ඇඟිලි දෙක දික්කරල පෙන්නුවා ඔබවහන්සේ වාසනාවන්තයි ඇස් දෙකම තියෙන නිසා කියල.ඒ ගමන ඒ උන්නාන්සෙ මා දිහාට ඇඟිලි තුනක් දික්කළා නොවැ ඔහේගෙ තනි ඇහැයි, මගේ ඇස් දෙකයි ඇස් තුනයි කියලා.අනේ අම්මපා මට ආපු කේන්තියට මම උන්නාන්සෙගෙ මූණටම දෙකක් දමලා අනින්න කියලා ගියා,ඒත් මිට මොලෝපු අත උන්නන්සෙගෙ මූණ ළඟටම ආවම ආයිත් ඒකෙන් ඔබවහන්සෙට වෙන අපහාසෙ තේරුම් ගිය නිසා යන්තම් ආයි අත ගත්තා"


කියල සාමණේර හාමුදුරුවෝ එක හුස්මට කියාගෙන ගියා.

Tuesday, October 18, 2011

අරිවන්දා..(දෛවය වලකන්නටම බැරි නිසා)

මේකත් ඔන්න අර කයි කතන්දර පොතේම කතාවක්. කියවන්න සතුටු අයට කියවල බලන්න පුළුවන්.
එක්තරා රජ කෙනෙකුට...මේ කතාව නම් ටිකක් දිගයි වගේ. ඉවසිල්ලෙන් කියවන්න වෙයි. මගේ වචනයෙන් ලිව්වොත් හොඳයි වගේ. ..
හරි.. එක්තරා රජ කෙනෙකුට දරුවන් වශයෙන් හිටියේ එකම දුවක් විතරයි. ඉතින් රජතුමා මේ කුමරිය ඉතාම ආදරෙන් හැදුවා.පරිවාර කාන්තාවන්ට අමතරව ඇගේ අත් පා මෙහෙවර සඳහා අරිවන්දා කියල කොල්ලෙකුත් හිටියා.
එක දවසක් කුමරිය උයන් කෙලියට යනකොට උයනේ එක තැනක විශාල පිරිසක් රැස්වෙලා ඉන්නව දැකපු කුමාරිකාව තොරතුරු හොයාගෙන එන්න අරිවන්දාව යැව්වා.අරිවන්දාත් තොරතුරු හොයාගෙන ඇවිත් කිව්වා දිවැස් ඇති තාපසයෙක් හිමාලයෙන් ඇවිත් මිනිස්සුන්ගේ අනාගතය ගැන කියන බව.
දැන් කුමාරිකාව අරිවන්දාව පිටත් කරල අරිනවා තමන්ගේ අනාගත ස්වාමි පුරුෂයා ගැන අහගෙන එන්න. හැබැයි මේ පාර ආපහු ආපු අරිවන්දා බයෙන් බිරන්තට්ටු වෙලා ඉන්නව මිස මොකුත් කියන්නෙ නෑ.
අන්තිමට කුමරිය තර්ජනය කළා "නොකිව්වොත් මරණවා" කියලා.


දැන් අරිවන්දා කියනවා "මට බයයි, ඒක කිව්වොත් මට දඬුවම් කරාවි"
"නෑ කියාපිය" කුමරිය වඩාත් කුතුහලයෙන් යුතුව කිව්ව.
"තාපසයා කිව්වෙ කුමරියගේ ස්වාමිපුරුෂයා වන්නේ මා යි කියලා"
කුමරියට අසූහාරදාහටම කේන්ති ගියා.
"බලපිය මුගෙ ආඩම්බර කතාවක හැටි" කියලා ලඟ තිබුණු පුටුවක් (ඒ කාලෙ තිබුණේ හොඳ බර ලී පුටු විතරනේ. ප්ලාස්ටික් පුටු නෑ නේ.)අරගෙන අරිවන්දාගේ ඔළුවටම දමලා අතෑරියා.

හොඳ වෙලාවට අරිවන්දා දුවන්න ලෑස්ති වෙච්ච ගමන්මයි හිටියෙ.ඒ නිසා ඔළුව පැළුනත් පණ බේරාගෙන දුවලා ගියා. ඒ දුවපු දිවිල්ල නැවතුනේ ගම් ගානක් ඈතට ගිහිලයි.
මෙහෙම සෑහෙන දුරක් ගිය අරිවන්දා බඩගින්න උහුලා ගන්න බැරුව විශාල මාළිගාවකට ගොඩවැදුණා කෑම ටිකක් ඉල්ලන්න හිතාගෙන. ඒත් ඒ විශාල මාලිගාවෙ කවුරුත් පේන්න හිටියෙ නැති නිසා අරිවන්දා මාළිගේ ඇතුලටම ගමන් කළා.මාළිගාවෙ කාමරයක් ඇතුළෙ හිටපු මහළු මිනිසෙක්ව අරිවන්දාට දකින්න ලැබුණා. මේ මනුස්සයාගේ මුළු ශරීරයම කුණුවෙලා දුඟද හමනවා.


"මම මේ නුවර සිටුවරයෙක්, මට මේ කුෂ්ට රෝගය හැඳුණා. බොහොම වෙදකම් කළ නමුත් එන්ට එන්ටම වැඩිවුණා.ඇඟ කුණු ගඳ ගහන්නට වුණාමයි වෙද්දු කීවේ සනීප කරන්නට බැරිය, මේක බෝවෙන රෝගයක්ය කියලා. පිළිකුලත් බයත් නිසා මගේ අඹුදරුවෝත් වැඩකාරයෝත් උන්ට අහුවුණු දේත් රැගෙන මග ඇර ගියා.දැන් කුණු පණු කකා ඉන්න මට වතුර පොදක්වත් නැතිව මැරෙන්ටයි වෙලා තියෙන්නේ" කියලා අර මනුස්සයා අඬන්න ගත්තා.
දැන් අරිවන්දට හරිම දුකයි.අරිවන්දා බොහොම කරුණාවෙන් අර මනුස්සයාට සැලකුවා.බේත් කොළ කොටල ඇඟේ ගැල්වුවා. අන්තිමට සාත්තුවේ හොඳ කම නිසාම සුවවුණු මේ සිටුතුමා අරිවන්දාව පුතෙක් හැටියට බාරගෙන නීති ප්‍රකාරව තමන්ගේ මුළු ධනයම පැවරුවා.


සිටුතුමා මියගියාට පස්සේ සිටු තනතුර උරුම වෙච්ච මේ කුමාරයගේ හැබෑ නම් දැන් කවුරුත් දැන්නෙ නෑ.(හරියට අනේපිඬු සිටුතුමාගේ මුල් නම සුදත්ත කියලා මිනිස්සු දැන හිටියේ නෑ වගේ). කුමාරයා ප්‍රසිද්ධ "පින්වත් සිටුතුමා" කිව්වමයි.
මේ සිටුවරයා අර කලින් තමන් සේවය කළ රජ මාළිගාව ඉදිරිපිටම ඉඩමක් අරන් පදිංචි වුණා.
රජතුමාගේ ඇසට මේ කඩවසම් සිටු කුමාරයා හරියට රසඳුනක් වගේ.ඇයි දුවට? මේ දෙන්නම දන්නේ නෑ මේ අරිවන්දා කියලා.බොහොම කෙටිකාලෙකින්ම තමන්ගේ ගුණයහපත්කමින් වගේම ධනවත් කමින් මුළු ප්‍රදේශයේම කීර්ති ගෝසාව පතුරපු මේ කුමාරයාව විවාහ කරගන්න රජ කුමරියත් හීන මවනවා. රජතුමාත් මේක දැනගෙන බොහොම සතුටු වෙලා විවාහ යෝජනා ඇරියා. සිටු කුමාරයාත් කැමති වුණා.
ඉතින් දැන් රන් රස වාගේ ප්‍රෙමෙන් බැඳී ජීවත් වෙන මේ යුවලට ලස්සන පින්වත් පුතෙකුත් උපන්නා. දවසක් සිටුතුමා තමන්ගේ දේවියට කතා කරලා හිස කසන්න කියලා කිව්වා.දේවිය හිස කසන අතරේ අර පරණ තුවාල කැලළ (ඔව් අර පුටුවෙන් ගහපු එක තමයි ) අතට දැනුණා.දැනිලා ඒගැන විමසුවා. එතකොට සිටුතුමා මේ කවිය කියනවළු,


කලකදි ළඳේ මම බොහො දුක් වින්දාය
කලකදි ළඳේ මම සිටු සැප වින්දාය
කලකදි ළඳේ නුඹ මට පෙම් බැන්දාය
දැනගන් ළඳේ මම නම් අරිවන්දාය.


මගෙන් අහන්න එපා ඊට පස්සේ මොකද වුණේ කියලා. ඒ ටික පොතේ නම් නෑ. මාත් නොයෙක් උපකල්පන ගොඩනඟල තියෙනවා. ඔයාලත් ඔයාලගේ උපකල්පන තියේනම් මාත් එක්ක බෙදා ගන්න.
ඔයාල කුමාරි නම් මොකද කරන්නේ? ඔයාලා රජතුමා නම් මොකද කරන්නේ? අරිවන්දත් අර ගම්පෙරලියෙ පියල් වගේ කියල තමයි මට නම් හිතෙන්නේ. මිනිහා ඔය රජ මාළිගේ ඉස්සරහින්ම ඉඩමක් ගත්තේ මොකටද නැත්තම්?

බොරු හතක් ඇති කවිය

අද මම හිතුවා ටිකක් වෙනස් විදිහේ බ්ලොග් සටහනක් තියන්න. ඇත්තම කිව්වොත් මේ කියන්න යන කතාව මගේ කතාවක් නෙවෙයි. මේක මම කුඩා කාලේ ඉතා ආසාවෙන් කියවපු පොතක්.නම "කයි කතන්දර". කතෘගේ නමක් නම් නෑ පේන්න. ඒත් මේ පොත ප්‍රකාශයට පත් කරල තියෙන්නේ "විද්‍යානන්ද යන්ත්‍රාලය,පිටකොටුව,කොළඹ".පිටු ගණන 38 යි. මිල රුපියල් 1.25 යි.මේ පොතේ අයිතිකරු අපේ ආතා බවත් මතක තියාගන්නෝනැ හොඳද? මේ පොතේ අපූරු කතා ගොඩක් තියෙනවා. ඒවා නිකම් ජනකතා රසකතා වගේ දේවල්. ඉතින් මම මේ කතා ගේන්නේ පොතේ පිළිවෙලට නම් නෙවේ. මෙන්න පළමුවන කතන්දරය.
"කතන්දර සභාවට පැමිණි ඔබ සැම අප ඉතා ආදරයෙන් පිළිගනු ලබනවා. අපි අද කියන්නට යන්නේ...බොරු හතක් ඇති කවිය ගැනයි"...

බොරු හතක් ඇති කවිය


ලෝකුරු නයිදේ නම් තැනැත්තා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කවිකාර මඩුවේ සිටි කවීන්ගෙන් එකෙකි.කවිකාර මඩුවට කවීන් රැස්කරවා, නොයෙක් කව් සින්දු කියවා ප්‍රීතිවීම රජුගේ සිරිතකි.
දිනක් කවීන් රැස්ව සිටින විට රජතුමා හදිසියෙන්ම කතාකොට
"බොරු හතක් ඇති කවියක් කියාපල්ලා. කිවු අයට තෑගි ලැබේ" යැයි කීය.
සෙස්සෝ නිශ්ශබ්දව සිටියෝය. ලෝකුරු නයිදේ නැගිට,

"කිලි කුණු නැති වඳිගෙ පුතෙක්-ඇඳගෙන නිල් වලා කඩක්
මිරිඟු දියෙන් ස්නානය කර-පැළඳ දිඹුල් මල් වඩමක්
තුරඟ අඟින් රතය තනා-අඹරා ඉබි ලොමින් යොතක්
කුහුඹු අගින් රතය තනා-දැක්කිය සුරපුරට උදක්"


යන කව කීවේය.

සමහර විට කාට හරි මේකෙ තේරුම නොතේරුණොත් කියලා ඔන්න මම පැහැදිලි කරන්නම්.

1.වඳ ගැහැණු කෙනෙක්ට පුතෙක් ඉන්න බෑනේ
2.මිරිඟුව වතුර වගේ පේන මායාවක් නිසා ඒකේ නාන්නත් බෑ
3.දිඹුල් කියන ගසේ ගෙඩි මිස මල් හට නොගන්නා බවයි පිළිගැනීම
4.අස්සයන්ට අං නෑ, ඒ නිසා ඒවායින් රථයක් හදන්නත් බෑ
5.ඉබ්බන්ට ලොම් නැති නිසා ඒවායෙන් කඹයක් අඹරන්නත් පුළුවන් කමක් නෑ
6.කූඹින්ටත් අං නෑ.
7.ඒවගේම තමයි පණපිටින් සුරපුරට යන්නත් බෑ (ඒ ඒ ඒවා ඔට්ටු නෑ.මම නෙවේනේ පොත ලිව්වේ. ඉතින් ගුත්තිල පඬිතුමා පණ පිටින් දිව්‍යලෝකෙ ගිය කතාව කියපු අයගෙන් අහගන්න.)

Monday, October 17, 2011

පොඩ්ඩන් ගැන ලොකුවට හිතූ අපේ ටයි මාමා


ටයි මහත්තයාගේ නික්ම යාම ගැන ගොඩක් සටහන් මම දැක්කා. ඇත්තටම එතුමාගේ නික්මීම අහලා දුකෙන් ඇඬුවේ අපේ ඇතුලේ ඉන්න පුංචි ළමයාමයි. අපි හැමෝගෙම ළමා කාලය ටයි මහත්තයගෙන් තොරව මතක් කරන්න බෑ.
ටයි මහත්තයාගේ කාටූන් සහ හඬ කැවීම් ගැන ආදරයෙන් මතක් කරපු හැම කෙනෙක්ම වර්තමාන කාටූන් සහ හඬ දෙකැවි වැඩසටහන්වල ගුණාත්මක බව ගැනත් කතා කරල තිබුණ. ඒ ගැන මට හිතෙන දේ ලියන්න ඕනෙ කියල මම හිතුවා. මොකද ඇත්තටම මේ අදහස මගේ හිතේ ඇතිවී තිබුණේ ටයි මහත්තයාගේ නික්මීමටත් කලින්.මොකද මම තාමත් කාටූන් රසිකයෙක්. දැන්නම් බොහෝ දුරට කාල වේලාවව නැති නිසා බලන්න වුනේ නැති වුණත් ඉඩ ලැබුණොත් බලනවා.
ඉස්සර අපි රූපවාහිණියෙන් නරඹපු, පිස්සු පූසා, සෝරෝ,වලස් මාමා ඇතුළු කාටූන්, යවෙස් ලූ මිනිසා, නෝත්‍රදාමයේ කුදා, නාසරතයේ ජේසුස්,සුරඟන කතා කරලිය වගේ හඬ දෙකැවි වැඩසටහන් වගේම සිංහල උපසිරැසි යෙදූ වැනි වැඩසටහන් වලට සමාන කරන්න අද තියෙන කිසිම වැඩ සටහනකට බැරි බව කවුරුත් පිළිගන්නවනේ.
මම නම් දකින ප්‍රධානම කාරණය තමයි ටයි මහත්තයා ළමයෙක් කියන්නේ කවුදැයි හඳුනාගෙන සිටීම. ඒ වගේම ඔහු ළමයින් අවතක්සේරු කළේ නෑ. ළමයාගේ තේරුම් ගැනීමේ හැකියාව අවතක්සේරු කළේ නෑ.අනෙක් පසින් රට දැය සමය වගේම හෙළ බස අවතක්සේරු කළේ නෑ.


අද තියෙන වැඩසටහන් අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදමුකෝ.එකක් තමයි අතුල රන්සිරිලාල් මහතා හෙවත් ටයි මහත්තයාගේ අග්‍ර ගෝලයාගේ කණ්ඩායම. අනෙක් කොටස බොහෝවිට සුනෙත් හා ගාමින්ද ප්‍රමුඛත්වය ගන්නා සිරස හඬ කැවීමේ කණ්ඩායම.(මෙතනදි මම විශේෂයෙන් ස්වර්ණවාහිණිය හා ස්වාධීන රූපවාහිණිය නොසලකා හරිනවා.ඒ ගැන කතා කිරීමත් ඵලක් නැති දෙයක් නිසා).


රන්සිරිලාල් මහත්තයාගේ කණ්ඩායම ටයි මහත්තයාගේ සම්ප්‍රදාය ඉහළින්ම රකින්න උත්සාහ කරනවා. නමුත් මම දකින ලොකුම අඩුපාඩුව තමයි උවමනාවට වඩා සදාචාරාත්මක වීම.මෙහෙම කිව්වට කලබල වෙන්න එපා. ඒකෙන් මම අදහස් කළේ මේකයි. උදාහරණයක් විදිහට රොබින් හුඩ් හි සිප ගැනීම් දර්ශණ තිබුණා මතකද? ටයි මහත්තයා කවදාවත් ඒවා කැපුවේ නෑ. ඒ වගේම පිස්සු පූසා ඇතුළු බොහෝ කාටූන් වල ප්‍රේමය, ආදරය ගැන අපූරු කතා කියනවා. සුරඟන කතා කරලිය ගැන හිතන්න.ටයි මහත්තයා නැතිව රන්සිරිලාල් මහත්තයා විතරක් සුරඟන කතා කරළිය හැදුවා නම් කොහොම වෙන්න තිබුණද කියලා අපි නිතර කතා වෙනවා. මේක ටයි මහත්තයාගේ මඟ යන්න හදන රන්සිරිලාල් මහත්තයට කරන දෝෂාරෝපණයක් නෙවේ.නමුත් පොඩි ළමයෙක් කියන්නෙ වැඩිහිටි සමාජයේ වෙන දේවල් ගැන ඇස් ඇරගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම පොඩි ළමයින්ට තමන්ගේම දෘශ්ටි කෝණයක් තියෙනවා.කොහොම නමුත් ටයි මහත්තයා හැම දේකම සීමාවක් දැනගෙන හිටියා වගේම බාල ප්‍රසිද්ධියට වඩා ගුණාත්මක භාවය ගැන හිතුවා.
රසාර වැඩසටහනයි දැන් අර විකාශය වන ටිකිරි පැය වගේ වැඩසටහනුයි ගැන හිතන්න.රසාරෙ හිටිය රූකඩ වැඩිහිටි චරිත. කතා කළේ වැඩිහිටිකමට ගැලපෙන විදියට.ළමයා කියන්නෙ අර වැඩිහිටි ලෝකෙට ඇතුල් වෙන්න ආසාවෙන් සිටින කෙනෙක්.ටයි මහත්තයා ඒ සැබෑ ළමයව තේරුම් ගත්තා. ඒ වගේම ළමයින් තුළ තිබෙන හාස්‍ය හඳුනාගැනීමේ රසය හඳුනාගත්තා.හරියටම අර "හරිම පුදුම ඉස්කෝලෙ" විදුහල්පති සොසාකු කොබයාෂි ගුරුතුමා වගේ.නමුත් දැන් පොඩි ළමයින්ට කරන වැඩසටහන් වල ඉන්නෙ කවුද? අලි වගේ වැඩුණු පිරිමි බහුරූ කෝලම් ඇඳුම් ඇඳගෙන හරියට මන්දබුද්ධික වෙලා වගේ තොල් පෙරල පෙරල බබාලා වගේ කතා කරනවා.ඒකෙ තියෙන ජුගුප්සා රසය අපිට වඩා පොඩි උන්ට දැනෙනවා.


සුනෙත් ගාමින්ද දෙන්නා මේ ළමයා තුළ ඉන්න වැඩිහිටියා හොඳට හඳුනාගෙන තියෙනවා.ඒ වගේම ඔවුන් තුළ තියෙන සියුම් ප්‍රහසන හැකියාව "අපි නොදන්න ලයිව්" තුළින් පෙන්නුවා වගේම මේ රටේ ඉන්න මෝඩ ප්‍රේක්ෂකයන්ට තමන්ටම හිනාවෙන්න හොඳ අවස්ථාවක් දුන්නා. ඒ වගේම ඔවුන්ගේ "සූර පප්පා" වැනි කාටූන් වලින් ඔවුන්ගේ නිර්මාණාත්මක බවත් පෙන්නලා දුන්නා.ඒත් ඒ නිර්මාණාත්මක සුන්දරත්වය සරල සුගම බස් වහරකට ගලපන්න තරම් දැනුමක් ඔවුන්ට නැති බවයි මට හිතෙන්නේ. ටයි මහත්තයාත් ජනප්‍රිය බස් වහර, ඉංග්‍රීසි වචන ආදිය නියම තැනදී යොදාගත්තා. නමුත් "ස්කූබි ඩූ" වගේ නිර්මාණවල භාෂා භාවිතය අන්තිමයි. නිසි හෙළ වදනක් නොමැති විටෙක ඒ සඳහා වදනක් නිමවන්නට තරම් භාෂා දැනීමක් ටයි මහත්තයට තිබුණා. නමුත් මේ අය අළුතින් ශබ්දකෝෂයට එකතු කරන්න හදන්නේ සක්ක පද.අනිත් කාරණේ සිරස ජනප්‍රියත්වය මිස ගුණාත්මක බව ගැන හැඟීමක් ඇති නාලිකාවක් නෙවෙයිනේ
මම අහල තියෙනවා එක අවස්ථාවක පිටපතේ තිබුණළු "නාසරතයේ ජේසුස් මම වෙමි" කියලා කියන්න. නමුත් මේක රූප රාමුවේ තොල් සෙලවීමට අනුරූප වුණේ නැතිලු.ටයි මහත්තයා එක්වරම "නාසරතයේ ජේසුස් මමයි" කියල රූපරාමුවටවත් ව්‍යාකරණයටවත් අනතුරක් නොකර එක වරම නිවැරදි කළාලු.
ඉතින් මගේ අදහස මේ දෙපැත්තම සමබර වුනොත් විතරයි නැවතත් ටයි මාමා කරපු තරම්ම ඉහළ නිර්මාණ බිහිවෙන්නේ.




ප.ලි : ටයි මාමා ගැන මතක් කරන වෙලාවේ ටයි මාමාට ඒ නිර්මාණ ඒතරම් ඉහළින් ඉටු කරන්න අතහිත දුන් හෙන්රි ජයසේන මහත්මයා වැනි ඒ කාලෙ රූපවාහිණියේ ඉහළම පුටු හෙබවූ අය වගේම,ගීත බොහොමයක් රචනා කළ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා, හඬ දෙකැවි ශිල්පීන් වූ ගැමුණු විජේසූරිය, ලෙස්ලි රාමනායක, ධර්ම ශ්‍රී මුණසිංහ වැනි අද අපි අතර නැති සියළු දෙනාවත් මතක් කරලා පින් දෙන එක අපේ යුතුකමක් කියලයි මම හිතන්නේ

හීනයක් නිසා යාළුවෙක් මියයාම (මරා ගැනීම )

මේ කතාවත් හීන හා හීන ඵලාපල වලට සම්බන්ධයි. මම කිව්වනේ මම එච්චර හීන ඵලාපල ගැන දන්නෙ නෑ කියලා.ඒත් මම ප්‍රත්‍යක්ෂයෙන් විශ්වාස කරන හීන ඵලාපල දෙකක් තියෙනවා.මම හිතන්නේ හීන ඵලාපල එක එක්කෙනාට වෙනස් වෙනවත් ඇති.(මොකද මම ඕනෙ තරම් හීනෙන් මගේ දත් විතරක් නෙවෙයි ඇසුත් ගලෝගෙන තියෙනවා.)
ඒත් හීනෙන් වතුර දැක්කොත් අනිවාර්යෙන් හෙම්බිරිස්සාවක තරම වත් සෙම් කලබලයක් වෙනවාමයි. ඒ වගේම තමයි, කවුරුහරි කෙනෙක් විශේෂිතව හිනාවෙවී හොඳ සනීපෙන් හිටියොත් (විශේෂිත කිව්වෙ එ හීනෙට අදාලත්වයක් නැති විදිහට.ඒක තේරෙන්නෙත් හීනෙන්ම තමයි ) ඒක ඒ පුද්ගලයාට හොඳ නෑ.(ඇත්තම කිව්වොත් මෙච්චර කාලෙකට ඒ විදිහට දැකපු අය මැරුණා)
ඉතින් මම ළඟදි දැක්කා මං අඳුරන කෙනෙක් ඒ විදිහට හිනා වෙවී ඉන්නවා. දැන් මගේ හිතට මාර විදියට අවුල්.එදා දවසෙම මගේ ඔළුවෙ වැඩ කරන්නෙම ඕක විතරයි.මේක කිව්වොත් ඉතින් අහපු මනුස්සය හිනා වෙනවා මිසක් වෙන මොකක්ද? ඒත් ඉතින් නොකියත් බෑ.ඇරත් දැකපු කෙනාගෙ හැටියට නිකම් යාලුවෙක්ට වගෙ"මම අද ඔයාව හීනෙන් දැක්කා " කියන්නත් බෑ.(කිව්වොත් මගේ මොලේ කචල් කියලා හිතයි )අන්තිමට වටෙන් ගොඩෙන් පරිස්සම් වෙන්න කියල කිව්වා.
එදාම මහ පුදුම විදිහට මගේ කකුල තුවාල වුණා. පුදුම විදිහට කියලා කිව්වේ ඇයි දන්නවද? මම ගමන් කළේ ඉතාම හිමින් ඒ වගේම සාමාන්‍ය විදිහට කකුල වැදුණනම් වැදෙන්න ඕනෙ සෙරෙප්පුව නැත්තම් මහපට ඇඟිල්ලේ නියපොත්ත.මේ ඔක්කොම බේරලා කකුලේ මහපට ඇඟිල්ල පොලොවෙන් අඟලක් වත් උඩට නො ආපු යකඩයක වැදිලා සෙන්ටිමීටරයක විතර පැල්මක් ඇතිවුණා.
මගේ මොළේ මොනතරම් අර හීනෙ සීරියස් අරගෙන තිබුණද කිව්වොත් දැන් මං වටේ ඉන්න අනිත් ඔක්කොම බයවෙලා ඉඳිද්දී මං විතරක් සතුටෙන් ඉන්නවා.මොකද මට හිතෙන්නෙම දැන් මේ සිද්ධවෙච්ච අරුම පුදුම දේ නිසා අර හීනෙ ප්‍රතිඵලය වෙනස් වෙන්න ඇති කියලා (හරි හරි මනෝ විද්‍යාඥයෙක් නම් කියයි ඉතින් ඒ අපි අපේ මනසට බියක් ඇති වුණාම මඟහරවා ගැනීම සඳහා ගන්න උපක්‍රම කියලා). ඉතින් ලේ ගලන කකුල හෝදන්නෙවත් නැතුව ලේ ගලද්දිම මම පාරෙ යනවා.
මෙහෙම යනකොට මගේ යාලුවෙක් මට කතාවක් කියනවා. කා ගැනද? මම අර හීනෙන් දැකපු පුද්ගලයා ගැන.මේ කතාව මීට කලින් මම අහල තිබ්බා වගේ මතකයක් මට තිබුණා. ඒකෙ ඒතරම් විශේෂයක් තිබුණෙ නෑ. ඒත් මේ යාළුවා මේක කියපු විදිහට මට බොහොම තදින් දැනුණා.මොකද ඔහු මගේ ලෝකෙ වීරයෙක් වගේ කෙනෙක්.කතා කළත් හරවත් යමක් ගැන කතා කරපු කෙනෙක්.කාලෙකින් මම දැකපු හොඳ හරවත් මනුෂ්‍යයෙක්.
ඒ අදහස් වල තියෙන රසවත් කම නිසාම මම ඔහුට චැට් කරලා වද දෙන සිරිතක් තිබුණා.මොකද මොකක් හරි මාතෘකාවක් ගැන කතා කරන්න පටන්ගත්තොත් ඒ මාතෘකාව ඉවරවෙද්දි හිතන්න දෙයක් ඉතුරුවෙනවා.අනිත් එක ඔහු මට වඩා හුඟක් වයසින් වගේම දැනුමෙනුත්, බුද්ධියෙනුත් ප්‍රඥාවෙනුත් උසස් කෙනෙක්.මාත් එක්ක කතාකිරීම ඔහුට කිසිම ඵලක් නැති දෙයක් වුනත් ඔහු කතාකළා.
අන්තිමට එදා මම මෝඩයෙක් වගේ කතා කරන අතරතුර අර යාළුවා කිව්ව කතාව ඔහුට කියන්න ගියා.ඒ චැට් එක තනිකරම මහ බහුබූතයක් කියලා මට තේරුණේ පස්සේ වතාවක නැවත චැට් එක කියවලා බලද්දි.
ඒත් ඒ වෙනකොට මම මගේ යාළුවෙක් වෙමින් හිටපු කෙනෙක්ව නැතිකරගෙන ඉවරයි.ඔහුගේ වයසත් මට සාපේක්ෂව ඔහු ඉන්න තැනත් ,ආදී කරුණු බහුතරයක් නිසා ඒ සිද්ධවුණු මෝඩකම නැවත හදන්න බෑ. අනිත් එක ඒ කාරණයෙන් පස්සෙ මිසක් ඉස්සෙල්ලා මට හිතුණෙ නෑනෙ මිත්‍රත්වයක් නැත්තම් මම වගේ සාපේක්ෂව පොඩි ළමයෙක් එක්ක කතා කරලා කාලෙ නාස්ති කරගන්නවට වඩා ඔහුට හුඟක් වැඩ තියෙන්න ඇති කියලා.
අන්තිමට කොහොම හරි හීනෙ ඇත්ත වුනා. පුද්ගලයා නොමැරුණත් ඒ තුල හිටිය මගේ යාලුවා නැවත නො එන්නටම මියැදුණා කියලයි මම හිතන්නෙ.
යාළුවෙක් තරහ වීම දරන්න පුළුවන්. ඒත් තමන්ගෙම වැරැද්ද නිසා මේ විදිහට යාළුවෙක් නැතිවීම මොනතරම් සිත් වේදනාවක්ද කියලා මට දැනුණා
සතියක් විතර කාලයක් මම කිසිම දෙයක් කතා නොකර හිටියා.ඒ කාලය තුළ මම පුදුමාකාර විදිහට පසුතැවුණා.ඒත් අන්තිමේදි මම හිත හදාගත්තා.නැවත වතාවක් මම ඒ වරද කරන එකක් නෑ.දෙයක් කතාකරන්න කලින් මම සියවරක් හිතාවි.
ඒත් ඒ නැතිවුණු මිත්‍රත්වය නැවත ඇති නොවෙනවා වගේම,ඒක ඇති කරන්න ගන්න කිසිම පියවරක් නිසා එතුමා වගේ කෙනෙක් මගේ ජීවිතයෙන් සදහටම ඈත් කරගන්න මට වුවමනාවක් නෑ.මොනවා වුනත් යාලුවා මැරිලා හරි පුද්ගලයා ජීවත් වීම ගැන මම සතුටු වෙනවා.දැන් අධ්‍යාපනික කටයුත්තක් වගේ බොහොම නිල කාර්යයන් සඳහා පමණයි මම චැට් කරන්නෙ. ඒත් නොකරම බැරි වුණොත් විතරයි.නැත්නම් මම දුරකථනය පාවිච්චි කරනවා.
ඔන්න ඕක තමයි මම මෙතුවක් දැකපු නරකම ප්‍රතිඵලය උදා කරපු හීනය. ඒත් ඒක කරගත්තෙ මම ම තමයි.

සිහින රසිකයා

හීන ගැන කතා කරන්න හුඟක් දවසක ඉඳන් හිතා හිටියත් නොයෙක් හේතු නිසා ඒක මඟහැරුණා.ඇත්තටම මුලින්ම මේ හීන ගැන ලිපිය පළ කරන්න හිටියෙ ජනූ අක්කගේ මේ ලිපිය දැක්ක වෙලාවෙ. අද ලෙඩ ගානෙ ඉඳගෙන කරන්න වැඩක් නැති නිසා තැපැල් පෙට්ටිය අස්පස් කරනකොට තමයි ආයිම මතක් වුණේ.
හීන ගැන ඉතින් නොයෙක් අර්ථකථන තියෙනවනේ. මම නම් ඉතින් හීන ඵලාපල ගැන එච්චර තේරුමක් තියෙන කෙනෙක් නෙවෙයි.
මම හීන රසවිඳින්නේ මගේම ක්‍රමයකට(අනේ හැබෑට මම හිතාගෙන හිටියෙත් ඒක මටම ආවේණික විදිහක් කියලා ඒත් තව කට්ටිය ඉන්නවනේ.මෙන්න මේ ලිපියත් බලන්නකෝ.)
මම දකින හීන සම්පූර්ණයෙන්ම වර්ණ හීන.බ්ලැක් ඇන්ඩ් වයිට් නම් දැකලම නෑ. ඒ වගේම තමයි මම දැන් හීන දැකල කම්මර වෙලා ඉන්නෙ.(හරි හරි තෙම්පරාදු වෙලා කියන්නෙත් ඕකටම තමයි ඉතින්. අපි ගමේ ගොඩේ මිනිස්සු නොවැ ආයිබොවන්ඩ!) ඉතින් ගොඩක් වෙලාවට හීනෙ හසුරුවාගන්න විදිහ මම දන්නවා. හීනයක් දකිනකොට ඒ හීනෙ මට හොඳට දැනෙනවා.හීනෙන් දුවනවා කියන්නෙ ඉතින් මටත් හති..තුවාල උනොත් රිදෙනවා. කොච්චර අපූරුද කිව්වොත් අර සමහර අය කියනවනේ ඇස් පොඩි කළාම, කෙනිත්තුවාම හීනයක් නම් ඇහැරෙනවා කියලා, ඒක මට නම් හරියන්නෙ නෑ. හීන ඇතුලෙම ඒවගේ දේවල් ගොඩක් කරල තියෙනව මම.
අනිත් එක තමයි සමහර වෙලාවට කොටස් වශයෙන් හීන පේනවා.අන්න ඒක නම් හරිම මරු වැඩේ. ටෙලි නාට්‍යක ඊළඟ කොටස විකාශය වෙනකම් ඉන්නවා වගේ.තව සමහර ඒවා මැද්දෙදි කවුරුහරි මාව ඇහැරෙව්වොත් මම ආයි නිදාගන්නවා.එතකොට නවත්තපු තැන ඉඳලා පේනවා.(සමහර විට මීඩියා ප්ලේයර් හොයාගන්න ඇත්තෙත් මේ මම වගේ හීන දැකපු කෙනෙක්ද දන්නෙ නෑ)
ඊයෙ මම හීනෙන් ජුමාන්ජි සෙල්ලම් කළා. අද දවල් පිස්සු විද්‍යාඥයෙකුගෙන් ලෝකය බේරගන්න මාර සටනක් දුන්නා.ඇයි ඉතින් එක දිගට චිත්‍රපටි තුනක් බැලුවනේ.ඒ වගේ ඉතින් සමහර හීනවල හේතුව හිතාගන්න පුළුවන්.සමහර ඒවා දකින්නේ ඇයි කියලා හිතාගන්න බෑ.
තවත් සමහර හීන තියෙනවා නිතර දකින, උදාහරණයක් විදිහට මම හැමතිස්සෙම දකිනවා සර්පයෝ ගොඩක් මාව පන්නගෙන එනවා.(තාත්තා කියන්නෙ දෙවි දෝසෙද මොකක්ද එකක් කියලා. තවත් සමහර වෙලාවක මම අහසේ පියාඹනවා. නැත්තම් ගොඩක් වෙලාවට දකින්නෙ රෑ අහසේ අලංකාර එළි විහිදෙනවා.
තවත් සමහර තැන් මට පේන්නේ මටම ආවේණික විදිහට.ඒ වගේ එක තැනක් තමයි අපේ වත්ත පහළ. ඒක මට පේන්නේ දියඇළි තියෙන අඳුරු මහ කැලෑවක් වගේ.ඉවර වෙන්නෙ ලස්සන පරණ මාලිගාවකින්.
මොනවගේ හීනයක් වුනත් මම ඒක රස විඳිනවා.(අනිත් කාරණේ තමයි හීනවල ඉන්නෙ ඇත්ත මම නෙවේ. පිරිමි ළමයෙක් නේ.එයා හුඟක් වෙලාවට බය නැතුව මහ කරුවලෙත් පාපැදියකින් යන්නේ ඒකයි )
ඉස්සර නම් මම හිතුවේ මේ වගේ හීන පේන්නෙ මට බාගෙට පිස්සුද දන්නෙ නෑ කියල. ඒත් අර ලිපි ටිකයි ඒවයේ කමෙන්ට් ටිකයි දැක්කම මට ආපු සතුට....
ඒ වගේම තමයි සමහර නරක හීනත් තියෙනවා.දෙතුන් පාරක් හීනෙන් බයවෙලත් තියෙනවා. එකම එක පාරක් විතරක් එහෙම බයවෙලා කෑ ගහල තියෙනවා. ඒ පඹයෙක් මං පාරෙ එලවගෙන එනවා දැකලා.ඒත් මෙච්චර කාලෙකට මම දැකපු සවුත්තුම අවැඩදායීම හීනෙ දැක්කෙ ගිය මාසෙ.

ඔයාලත් මං වගේම හීන රසිකයෝද?

Sunday, October 2, 2011

වන්නියේ ගණන් හදන ක්‍රමේ!

මේක මේ දැන් අපේ නංගි තමයි කියලා ගියේ.
ඔන්න එක දවසක් එක්තරා වන්නියෙ ඉස්කෝලෙකට ගුරු උපදේශකවරයෙක් ආවා ලු. ගණිත ගුරු උපදේශකවරයෙක් හොඳද? දැන් මෙයා පොඩි පන්තියකට ගිහින් මෙහෙම අහනවා ලු.
"හොඳයි දැන් ඔය පුතාල කඩේකට යනවා, ගිහිල්ලා ටොෆී 7 ක් ගන්නවා.එකක් අම්මටයි තව එකක් තාත්තටයි දීලා එකක් පුතා කනවා.දැන් පුතාල ළඟ ටොෆී කීයක් තියෙනවද?"
ළමයි ටික බලාගෙන ඉන්නවා මිසක් උත්තරයක් දුන්නෙ නෑළු.ඉතින් මේ ගුරු උපදෙශක මහත්මයා බොහොම කේන්තියෙන් පාසැලේ ගණිත ගුරුතුමා ළඟට ගිහින් මෙහෙම කියනවළු,
"මේ ළමයින්ගේ ගණිත දැනීම බොහොම දුර්වලයි නේ?"
ගුරුතුමාත් වෙච්ච දේ බොහොම සාවධානව අහගෙන ඉඳලා උපදේශක මහත්මයත් එක්කම පන්ති කාමරයට ගියාලු. ගිහින් ළමයින්ට මෙහෙම කියනවලු,
"අඩා තොපි කඩපිලට ගෙහුං ඇට සීනි බෝල හතක් අරන් එකක් තොපේ මහ එකාටයි එකක් තොපේ මහ එකීටයි දීල තව එකක් තෝ කොටාබෑවා නම්, දැන් තෝ ලඟ කීයක් තියෙනවැයි?"
අන්න ඒ පාර තමයි මුළු පන්තියම එකසැරේට උත්තර දුන්නෙ!:D

ගණිත ගුරුවරිය සහ ලකී


අනිත් බොහොමයක් ලිපි වගේම මේකත් පෞද්ගලික අත්දැකීමක්ම තමයි. මේක හදිස්සියෙ මතක් වෙන්න හේතු දෙකක් මතක් වුණා.එක හේතුවක් නම් කියන්න බෑ. අනිත් හේතුව තමයි බ්ලොග් අවකාශයේ මගේ ප්‍රියතම ලේඛකයන් අතරට ටිකක් මෑතකදි එකතුවුණු තවත් ලේඛකයෙක් වන නාලක ගමගේ මහතා ලියූ ලිපියක්.ඒ ලිපියෙ තිබුණෙ ego කියන සංකල්පය ගැන. මේකට කියන නිවැරදි සිංහල වචනය එතුමාගෙන්ම අහගන්න එක හොඳයි.
මේ සිදුවීම වෙනකොට මම හිටියෙ දහයෙ පන්තියෙ. අපේ පාසැලේ දක්ෂ ළමයි අතර මගේ නමත් තිබුණු කාලයක් මේක. විශේෂයෙන්ම ගණිතයට මගේ ලොකු ඇල්මක් තිබුනෙ එකපාරින් තේරුම් අරගත්තට පස්සෙ ආයි පොඩ්ඩක්වත් පොත නොබැලුවත් ලකුණු අනූවට වඩා රිපෝට් කාඩ් එකේ දාගන්න පුළුවන් විෂයය නිසා.
මේ අතරෙ නමය වසරෙදි අපේ පන්ති මාරුකළාට පස්සේ ආයිත් එකොලහ ශ්‍රේණිය වෙනකල්ම අපි ඉන්න ඕනෙ එකම පන්තියේ. අපිට නමය වසරෙ උගන්නන්න ආපු ගුරුතුමිය මුල් දවසෙම මාව අඳුනගත්තෙ අනිත් කාටවත් කරන්න බැරිවුණු ගැටළුවක් මම විසඳපු නිසා.නමය වසර අග වෙනකල්ම මාත් එක්ක ඉතාම හොඳට හිටපු ගුරුතුමිය එක පාරටම ටික ටික වෙනස් වෙන්න ගත්තා. මට මුලින්ම මුකුත් හිතාගන්න බැරුව ගියා.ඇය දැන් කරන එකම දේ මගේ නැති වැරැද්දක් හරි හොයාගෙන මට බනින එක. මේ වගේ දේකට කවදාවත්ම පුරුදුවෙලා නොහිටපු මම අන්තිමටම මානසිකව වැටුණා.මේ නිසාම මගේ ගණිතයට තිබුණු ඇල්ම වගේම පාසැල් ගමනත් පුදුම විදිහට අඩපණ වුණා.
හැබැයි ලස්සන වැඩේ කියන්නෙ මම ගුරු විවේකාගාරයට ගියොත් අනික් ගුරුවරු මා එක්ක කතා කරල මා ගැන හොඳ කියනකොට ඇයත් අනිත් අයත් එක්ක එකතුවෙලා මට හොඳ කියනවා.දැන් මම මොකද කරන්නෙ? කාට කියන්නද? කවුද පිළිගන්නෙ? මට ජීවිතේම තිත්ත වුණා. මම කාගෙන්වත් මේ විදිහෙ අපහාසයකට ලක්වෙලා නෑනේ. ඒ මදිවට මේ ගුරුතුමිය ටිකක් අමුතු විදිහේ ළමයෙක්ව ගණිතය නායිකාව කළා. ඒ ළමයත් අනිත් කෙනෙක්ව අපහාසයට ලක් කරන්න බලාගෙන ඉන්න කෙනෙක්. හදිසියෙවත් මේ ළමයා නැති වෙලාවට ගුරු උපදේශක කෙනෙක් ආවොත් මා ළඟට අර ගුරු උපදේශකවරයාව තියාගෙන ගණිත නායිකාවගේ නැති හොඳත් කියන්න අර ගුරුතුමිය පටන්ගත්තා.
අන්තිමට වැඩේ නතර වුණේ මීට කලින් අනූවට අඩුවෙන් නොගත්ත මම වාර විභාගෙට ලකුණු පනස් හතරක් අරගත්තට පස්සෙ.
මගේ අම්මත් තාත්තාත් මා වටේ හිටියා. ඔවුන් මාව ශක්තිමත් කළා මිස කෙහෙවලු පටලවාගන්න ගියේ නෑ අර ගුරුතුමියත් එක්ක.අන්තිමට මට ගණිතය උපකාරක පන්තියකටත් යන්න වුණා.අම්මත් තාත්තත් ඇරුණු කොට මා ළඟ හිටිය ප්‍රබලම උපකාරකයා තමයි පානදුර කොට්ඨාශයේ විද්‍යා ගුරු උපදේශකවරයක් වුණු ගුණසිරි පෙරේරා ගුරුතුමා.(ලකී ලේසියෙන් කාටවත් අත්දෙක උස්සල වඳින්නෙ නෑ.ඒත් මම දණගහල වඳින කෙනෙක් තමයි ඔහු )
ටිකක් හිත ශක්තිමත් වුණාම කොහොම හරි මේ වද විඳින්න බැරිම තැන මම තීරණය කළා මේ ගැන කෙළින්ම කතා කරලා අහන්න.ඇය දීපු උත්තරය දන්නවද?
"ඔයා බොහොම සැප පහසුවට හුරතලේට හැදුණු කෙනෙක් නිසා මම හිතුවා ඔයාව ශක්තිමත් කරන්න."
මොන විදිහට ඇය මේ උත්තරේ හිතාගත්තද මන්දා? මගේ පාසැලේ මට වඩා සිය දහස් ගුණයක් හුරතලේට හැදුණ තොත්ත බබ්බු ඕනතරම් ඉන්නවා. ඒ නිසා අදටත් ඇයගේ උත්තරේ බොරුවක් කියලා මගේ හිත කියනවා. ඒ දීපු දසවදය විඳගෙන සියදිවි හානි නොකරගන්න තරම් මම ශක්තිමත්ද කියලා වෙන්න ඇති බලන්න ඇත්තේ?
අදටත් කවුරුහරි මම හුරතලේට හැදුණු පොඩි ළමයෙක් වගේ කෙනෙක් කිව්වොත් මට ඒක තදින් බලපානවා.මටත් නොදැනි මට ඇයව මතක් වෙනවා.ego එකට පාර වදිනවා වෙන්න ඇති.
කොහොම නමුත් මම සාමාන්‍ය පෙළ ගණිතයට විශිෂ්ඨ සාමාර්ථයක් අරන් ප්‍රතිඵල කියන්න ගිය වෙලාවෙ ඇය මගේ අම්මත් එක්ක හිනාවෙලා මෙහෙම කිව්වා.
"මම දැනන් හිටියා මෙයා මේ ප්‍රතිඵලය ගන්නවා කියලා"

Saturday, September 10, 2011

උකුසු වෙසින් ඇත- ඇස් දහසක් අප වෙත යොමු වී


මම ඉගෙනුම ලබන ආයතනයේම කෙනෙක් විදිහට කටයුතු කරන්න මට අවස්ථාවක් ලැබුණා කියමුකෝ, අපේ ආයතනයෙ ගොඩනැඟිලි දෙකක් පාරෙන් දෙපැත්තෙ තියෙන්නේ. දවසක් මට සාමාන්‍යයෙන් ඉන්න ගොඩනැඟිල්ල වෙනුවට එහා පැත්තෙ තියෙන එකට යන්න වුණා ඡායා පිටපත් වගයක් ගන්න. මේ ගොඩනැඟිල්ලෙ තමයි අර මගේ කලින් ලිපියකට පදනම් වුණ ක්ලීනින් ආන්ටි ඉන්නෙ. එයා තාම දන්නෙ නෑ මම ආයතනයේ සේවය කරන බව.

ඡායා පිටපත් ටික ගන්න පියන් කෙනෙක් එක්ක ඡායා පිටපත් යන්ත්‍රය තියෙන කාමරයට ඇතුල් වෙන්න යනකොට මම දැක්කා මේ ආන්ටි මා දිහා විමසිල්ලෙන් බලනවා.මම ඉතින් සුපුරුදු පරිදිම ඇයත් එක්ක හිනාවෙලා මගේ ගමන යන්න පිටත් වුණා.ඒත් එක්කම මම දැක්කා මේ ආන්ටි එක පාරටම තමන් කර කර හිටපු වැඩේ පැත්තක දාලා මා පස්සෙන් දුවගෙන එනවා.ඒ වෙලාවෙ මට ඒක ඒ තරම් නොතේරුණත් ඊලඟ මොහොතේ අර ඡායාපිටපත් ගන්න යන්ත්‍රය තියෙන කාමරයේ වීදුරු දොරට මූණ තියාගෙන බලාගෙන ඉන්න ඇන්ටිව දැක්කහමත් කාරණේ නොතේරෙන්න මම ඔටුවෙක් යැ?

ඊට පස්සෙ මම ඇන්ටිව ඇතුලට අරන් කතා කර කර හිටියා.ඔන්න මම ආපු කාරණේ හරියට දැනගත්තම තමයි ඇන්ටි ආපහු යන්න ගියේ.

මේ කතාව අද මම අම්මත් එක්ක කිව්වහම අම්මා කියනවා ඉස්සර අම්මලගේ තාත්තා දුන්නු උපදේශයක් ."ජීවත් වෙනකොට තමන්ට වගේම අනිත් මිනිස්සුන්ටත් ඇස් කන් තියෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන්න" කියන එක. ඇත්තටම මඟ තොටේදි සහ අවට පරිසරයෙදි අපිව කී දෙනෙක්ගෙ ඇස් වලට ලක් වෙනවද? කී දෙනෙක් අපි දිහා විමසිල්ලෙන් බලන් ඉන්නවද? සමහර විට ඒ අය අපිට සලකන විදිහ, අපිට කතා කරන විදිහ වගේම අපේ ආරක්ෂාව තීරණය වෙන්න බලපාන්නෙත් අපේ හැසිරීමම තමයි.

සියදිවි හානි කරගැනීම පරාජිතයින්ට පමණයි.


ලකී ගෙ ජීවිතේ ගොඩක් වෙනස් කම් වුනා නෙ.(හෙහ් හෙහ්. වෙන මුකුත් නෙවේ අප්පා ජොබ් කට්ටක් සෙට් උනා) සමහර වෙලාවට බ්ලොග් සංකල්පනා ඇවිත් ගියා. ලියන්න වුනේ නෑ. අන්තිමට ඔක්කොම අමතක වෙලා ගියා.හෙට ආපහු පන්ති පටන් ගන්නවා කියල මතක් වෙනකම් බ්ලොග් එක මතක් වුනෙත් නෑ. ඒත් අනිත් අය ලියපු රසවත් හරවත් බ්ලොග් වලට නම් සැරින් සැරේ ගිහින් ආවා.

අද මම හිතුවා සියදිවි හානි කරගැනීම ගැන ලිපියක් ලියන්න ඕන කියලා. ආසන්නතම හේතු දෙකක් තියෙනවා. එකක් තමඉ දුරින් මගේ ඥාතියෙක් වෙන පුද්ගලගෙක් ගිය මාසේ සියදිවි හානි කරගැනීම.අනිත් කාරණය පුවත්පතක මම දැක්ක ලිපියක්.

මගේ ඥාතියා නම් නොයෙක් හේතු කාරණා නිසා අසහනයෙන් හිටපු ලකුණු පේන්න තියෙනවා. සමහර දේවල් පෞද්ගලික කාරණා. ඒ ආසන්නතම කාලයේ තමයි මට දකින්න ලැබුණෙ අර ප්‍රසිද්ධ විදුහලකදී ටයි පටියෙන් ගෙල වැලලාගෙන මියගිය දියණියගෙ මව ලියපු ලිපියක්.මීට පෙරත් හැම වසරකම ඇය ගැන දුක හිතෙන සටහනක් ඇයගෙ පියා අතින් ලියැවුණා. මෙවර ලිපියෙ ලියලා තිබුණේ ඒ පියාත් රෝගාතුර වෙලා මියගිහින් කියන එක.

සියදිවි හානි කරගැනීම කාලයක් ගෞරවාන්විත දෙයක් විදිහට සැලකිලා තියෙනවා. ඇලෙක්සැන්ඩර් ඩූමා රචනා කළ "මොන්තක්‍රිස්තෝ සිටුවරයා " පොතේ මොරේල් නම් චරිතය තමන් මූල්‍යමය බංකොලොත් භාවයට පත් වුණු වෙලාවෙ සියදිවි හානි කරගන්න උත්සාහ කරනවා.ඔහු තමන්ගේ පුතාට කියනවා "දුක් වෙන්න එපා, ලෙයින් අගෞරවය හේදිලා යනවා " කියලා.

බුදු දහමේ වුනත් සියදිවි හානි කරගැනීම ප්‍රාණඝාතය තරම්ම ප්‍රබල නැති අකුසලයක් කියලා තමයි සැලකෙන්නේ.

කොහොම වුනත් ස්වයං මෝහනයට පත්වෙලා යම් යම් දේවල් කියපු එඩ්ගා කේසි වගේම බොහෝ පුනර්භව සාධක වලත් පෙන්නුම් කරන්නේ සියදිවි හානි කරගන්න පුද්ගලයන්ගේ ඒ චර්යාව සසර පුරුද්දක් වන බව හා එබඳු පුද්ගලයන් මිතුරන් අඩු හුදෙකලා හා කනස්සලු චරිත වන බව.

අර දියණිය මොන කාරණයක් නිසාද සියදිවි හානි කරගෙන තිබුණෙ කියලා ඔයාලට මතකද? පාසැලට ජංගම දුරකතනයක් අරගෙන ඇවිත් ඒක අහුවුණු එකට. ඒක අපරාදයක් නෙවේනේ.අග්නිදිග ආසියාවේ විශාලම බෞද්ධ පාසැලටත් ඉස්සර ජංගම දුරකතන ගේනවා. ඒවා අහුවෙනවා. හැබැයි කවුරුත් සියදිවි හානි කරගත්තේ නෑ.මෙතන ප්‍රශ්නෙ වුනේ ඒක තමන්ගේ දෙමවුපියන්ට දැනගන්න ලැබෙයි කියන බය.ඒ දෙමවුපියො ඒ දුව ව මලක් වගේ සියළු සැප සම්පත් මැද හදාගෙන තිබුණත් එක දෙයක් දෙන්න අමතක කරලා තිබුණා. ඒ තමයි විශ්වාසය.ඇයට තහවුරු වෙලා තිබුණනම් මොනදේ වුනත්,ඒ වෙලාවෙදි බැන්නත් ගැහුවත්, දෙමවුපියන් තමන්ට ආදරෙයි, තමන් එක්ක ඉන්නවා කියන එක, එහෙනම් තාමත් ඇයත් ඒ දෙමව්පියොත් සතුටින් ඉන්නවා.

සියදිවි හානි කරගන්න එක ඉතාම පහසු පලායාමේ ක්‍රමයක්.මිනිස්සුන්ට ධෛර්යය අවශ්‍ය වෙන්නේ ජීවත් වෙන්න. මම කතන්දර වලට ආසයි.( ඒත් ප්‍රබන්ධ විශ්වාස කරන්නේ නෑ.)සත්‍ය කතාවක් මත පදනම් වුණු වානේ පන්නරය ලැබූ හැටි පොතේ පාවෙල් කොර්චාගින් මතකද? මුළු සිරුරම අවසඟ වෙලා ගියත් පාවෙල් සටන් කරනවා.මිනිහෙකුට අවශ්‍ය අන්න ඒ වගේ ජීවිතයක් තමයි. ඒක තමයි වීරයෙකුගෙ ජීවිතය.

කොහොම වුනත් හැම වෙලාවෙම හැම කෙනෙකුටම වීරයෙක් වගේ හිතන්න බෑනෙ. අනිත් එක තමන්ගේ ජීවිතයේ වටිනාකම් එක්ක නොයෙක් සිදුවීම් තමන්ට දැනෙන ප්‍රමාණය වෙනස් වෙනවා. සමහරවිට හිතෙනවා "මීට වඩා වෙන්න හානියක්වත් අපහාසයක්වත් නෑ" කියලා.(කොහොම වුණත් ගොඩක් අත්දැකීම් පරණ වෙනකොට තමයි හිතෙන්නේ ඒවා සිද්ධ වෙලා තියෙන්නේ වෙන්න තිබුණු හොඳම විදිහට කියලා). ඒ වගේ වෙලාවකට පත්වෙච්ච කෙනෙක්ව තේරුම් ගන්න එකත් ඔවුන් එක්ක ඉන්න එකත් විශ්වාසය ලබාදෙමින් උදව් කරන එකත් කරන්න පුළුවන් කිසිම වෙලාවක මඟහරින්න එපා. ඒකත් අභය දානය දීමක් තමයි.

ප.ලි:මේ ලිපියට මාතෘකාවක් ලියන්න යනකොට තමයි මේක මතක් වුනේ. අහලා තියෙනවද සින්දුවක් "පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුණු විසුනුව වැටුනේ" කියලා? මම ඒ ගීතයට ප්‍රිය කරන්නෙ, සියදිවි නසා ගැනීම ගැන මම හිතනදේම ඒ ගීතයෙන් කියල තියෙන නිසා.

Saturday, May 28, 2011

යුද්දෙට ගිය අරිසෙන් අහුබුදු?



"පැතුම්, අරිසෙන් අහුබුදු මහත්තයා කියන්නේ කවුද?"
"ම්..ම්ම්..."
හද හදා හිටපු ගාණෙන් පෑන ඉවතට ගත්ත පැතුම් මා දිහා බැලුවෙ "මේ මොකක්ද මේ ඇහුවේ?" කියලා හිතන ගමන් බව මම දන්නවා. හැබැයි එයාගේ මූණේ තිබ්බ ප්‍රශ්නාර්ථ ලකුණ තත්පරෙන් දශම ගාණකදි අයින් කරගන්න පැතුම්ට පුළුවන් වුණා. ඊ ළඟට කට කොනකට පොඩි හිනාවක් ආවා.
මේ ළඟදි ඉඳලා කවුරුහරි ලොකු අයියා කෙනෙක්ව අනුකරණය කරන මේ අටේ පන්තියෙ කොලු ගැටයා එයාගේ "අයියෝ අපි නොදන්න දෙයක් තියෙනවද?" බැල්මට මූණ හදාගෙන මං දිහා බැලුවා.
"හරි මං දන්නවා"
"කවුද එහෙනම්?"
"එයා ජාතික වීරයෙක් නෙ?"
කණා පාර හරියයිද කියන සැකේ සේයාව ඇස්වල තියෙනවා.
"ම්..ම්ම් විස්තර කරමු බලන්න?"
ලැජ්ජාව... සැකය.... ආයිමත් අර "ලොකු අයියා " බැල්ම...
මම එයාගේ උත්තරේ වැරදියි නොකිව්ව නිසා කොල්ලා පරණ උත්තරේ වෙනස් නොකරන බව මම දන්නවා.
"එයා අර ඉංග්‍රීසින්ට විරුද්දව සටන් කලානේ?"
මගේ මූණේ සිදුවෙන වෙනස්වීම් සියුම්ව අධ්‍යයනය කරමින් පැතුම් කියනවා.මගේ මූණේ එක ස්නායුවක්වත් එයාට උදව් කළේ නම් නෑ.
"පින්තූර නම් දැකල තියෙනවා. වැඩිය විස්තර මතක නෑ"......
චේතිය රජ්ජුරුවෝ පරාදයි.
"කොහොමද පෙනුම?"
"ඒ කිව්වේ?"
"හැඩහුරුකම්?"
දැන්නම් කොල්ල හොඳටම හිරවෙලා. අඬනවද හිනාවෙනවද හිතාගන්න බැරුව හිටපු මගේ කට කොනකට පොඩි හිනාවක් ගියා.
"ඇයි?"
"නෑ කමක් නෑ. කුමාරතුංග මුණිදාස මහත්මයා කියන්නේ කවුද ? "
ළමයගේ මූණ එළිය වැටුණා.
"මම දන්නවා.අර කවි ලියන කෙනෙක් නේ... තව ළමා පොතුත් ලියනවා.."
"අර මම කියපු නම ලියාගන්නකෝ. ගෙදර ගිහින් හොයලා බලල මට විස්තර ටිකක් හොයාගෙන එන්න"
"ලියාගන්න ඕනෙ නෑ. මට මතකයි නම"
"කමක් නෑ ලියාගන්න. ඔය ගණන් පොතේ උඩම ලියාගන්න. පොත ගෙදර ගිහින් පෙරළනකොට එක දකිනවනේ."
"නෑ පැතුම් වු යන්න නෙවේ "හු" යන්න."
"ඉතින් මම කොහොමද මෙයා ගැන විස්තර හොයාගන්නේ? එයා ගැන ලියල තියෙන පොතක් අපේ ගෙදර නෑ නේ."
"මේ ටිකේ සති අන්ත පුවත්පත් සහ දිනපතා පුවත්පත් කියවන්නකෝ. විස්තර හම්බුවෙයි"

මේ සංවාදය සිද්ධවුණේ දැනට පැය දෙකකට විතර ඉස්සර. මේක කියවන අයට නම් රස කතාවක් වුණත්, එකපාරටම මේක අහද්දි දකිද්දි හිනා ගියත් මේක මට නම් පේන්නේ මහා අසුභ පෙර නිමිත්තක් විදිහටයි.ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? මේ තත්වයට ඔයාලා දකින විසඳුම මොකක්ද? එක් එක් පුද්ගලයා විදිහට අපි මේකට කළයුතු පිළියම මොකක්ද?

Saturday, April 16, 2011

කුරේ ආතාගේ ඖෂධ මාෆියාව



මේ දවස්වල අපේ මක්සූද් මහත්මයා තමන්ගේ රසික පිටුවේ දාලා තියෙනවා ඉන්දියාවේ පාසල් ළමුන්ට අයඩින් පෙති ගැනීම අනිවාර්ය කරන්න ඕනෙද? කියලා. මේකට ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා දැක්කා. ඒ කමෙන්ට් වලින් ඉන්දියාවේ ඖෂධ ප්‍රතිපත්තිය ගැන රසිකයන් අතර කතිකාවතක් ඇතිවෙලා තියෙනවා. ඇත්තටම මේ තත්වය ඉතින් ලංකාවටත් පොදුයි නේ. අනිත් කාරණය තමයි අපේ දෙරටේම ඉන්න මිනිස්සුන්ගේ අක්‍රමවත් ඖෂධ භාවිතය. හුඟක් බටහිර රටවල නම් පැරසිටමෝල්, ඇස්ප්‍රින් වගේ ඖෂධ හිතුමනාපේ ගන්න බෑ. පිළිගත් වෛද්‍යවරයෙක්ගෙන් නිර්දේශයක් ඕනෙමයි. නවසීලන්තයේ නීති කොච්චර තදද කිව්වොත් තමන් වෛද්‍යවරයෙක් වුනත් තමන්ටම ප්‍රතිකාර කරගැනීම නීතියෙන් තහනම්. අනේ ඒකට අපේ රටේ උදවිය.. අපේ රටේ ඉන්න රටේ වෙද්දු දොස්තරටත් වඩා දන්නවනේ. "ඩොක්ටර් මට ටිකක් ඔළුව රිදෙනවා, සෙම ගතියත් තියෙනවා, මම කෝට්‍රිම් පෙත්තකුයි, පිරිටන් පෙත්තකුයි ගත්තට කමක් නෑ නේද?" කියල බේතත් දොස්තරටම කියල තමයි නවතින්නේ. ඖෂධීය ලොසින්ජර, වේදනා නාශක, නිදි පෙති, කැස්ස පැණි ආදී මෙකී නොකී විදි වලට නිදහසේ විකිණෙන සමහර ඖෂධ වර්ග වෙනත් රටවල නම් මේ විදිහට හිතුමතේ පාවිච්චි කරන්න බෑ. මේ ආසියාතිකයන්ගේ වැරදි ඖෂධ භාවිතයත් ඖෂධ මාෆියාවෙම එක පැතිකඩක්ලු නෙ.

ලකීට නම් හොඳ ඖෂධ ප්‍රතිපතියක් තියෙනවා නොවැ. ලකීට පොඩි කාලෙ ඉඳලම පැරසිටමෝල් පෙත්තක් පොවාගන්න ගියත් ගෙදර මිනිස්සු දස වද විඳින්න ඕනේ. මේ වැඩේ නිසා සමහර වෙලාවල මම මදි නොකියන්න මට්ටු වෙලා තියෙනවා. මං පුංචි කාලේ අපේ ගමේ හිටියා කුරේ ආතා කියලා කෙනෙක්. එයා ගෝනියක් අරගෙන දවල්ට අපේ ගේ ඉස්සරහින් යනවා. අපේ ගෙදර අය මාව බය කරලා තිබුනේ එයා ගෝනි බිල්ලෙක් කියලා. ඔයාල දැකලා තියෙනවද රූපවාහිණියේ තේමා ගීතය ("නෑදෑයෝ අපි නෑදෑයෝ") ඉස්සර විකාශය වෙද්දි අර ජනප්‍රිය රූපරාමුවක් තිබුනේ වැවක ඔරු පදිමින් මල් නෙලන ගැමියෙක්. අන්න එයා තමයි කුරේ ආතා කියන්නේ. ඉතින් ඕනෙම මහ රෑක මම මගේ බේත් වේල ප්‍රතික්ෂේප කරමින් පෙරලි කරනකොට තාත්තා බයිසිකලයෙන් යනවා කුරේ ආතාව එක්ක එන්න. ඒ අහිංසක මනුස්සයත් ඕනෙ රෑක ඇඳන් ඉන්න අමුඩෙ පිටින් හරි තාත්තත් එක්ක එනවා. එයා මිදුලට සම්ප්‍රාප්ත වෙනවත් එක්කම කොච්චර එපා කරපු තිත්ත බේතක් උනත් (විශේෂයෙන්ම කැල්පෝල්) එක උගුරට ගිලෙනවා.ඉතින් අපේ කුරේ ආතත් ඖෂධ මාෆියාවේ කොටසක්ද මන්දා?

මේ හැඟීමට නමක් දෙන්නට ඔබට හැකිදැයි බලන්න!




මගේ ජීවිතයේ මේ දිනවල විශාල පෙරළියක් ඇතිවී ඇතැයි මට සිතේ. මා දකින සෑම දෙයක් දෙසම මම වෙනස් ආකාරයකින් බලන්නට උත්සාහ දරමි. එය හිතාමතා සිදුවන්නක් නොවේ.මම විටෙක මගේ දෙනෙත පියාගෙන ලෝකය විඳින්නට උත්සාහ දරමි.වර්ණ හැඩතල නොහඳුනන ලෝකයක් ගැන සිතාගන්නට උත්සාහ කරමි. එහෙත් පෙර පුරුදු හැඩතල හා වර්ණ ඇති නිසා දෑස් පියාගත්තද ඔවුන් විඳින අත්දැකීම මට නොලැබෙන බව මම දනිමි. මේ හැඟීම අතිශය සංකීර්ණ එකකි. එය මානය,ශෝකය,විශ්මය වැනි සියල්ලම කැටිකරගත් එකකි.

උසස් ජාතික ඩිප්ලොමාව( Edexcel HND in computing) හදාරණ අපගේ මිතුරු මිතුරියන් පිරිසත් අපගේ ගුරුතුමියත් නිසාම ඔවුන්ගේ ව්‍යාපෘතියට සම්බන්ධ වූවා මිස එහි යනතෙක්ම මට කිසිදු විශේෂිත හැඟීමක් ඒ පිළිබඳ නොතිබිණි. එහෙත්එහි ගිය තැන් පටන්ම මගේ සිත ආගන්තුක හැඟීම් සමූහයකින් වෙලෙන්නට පටන් ගති. රත්මලාන නගරයේ පිහිටි තම දැකුම්කළු ගාම්භීර පාසැල් ගොඩනැඟිල්ල දෑසින් දකින්නට ඒ දරු දැරියන්ට පිනක් නැත. අප විසින් ඔවුන් වෙනුවෙන් පැවැත්වූ ඒඅපූරු අවුරුදු උත්සවය ඔවුන්ට වඩා අපූරු වූයේ අපට යැයි හඟිමි.

අප අසලින්ම ඇවිද යන ඔවුන් කිසිම සුදු සැරයටියක් නැතිව අපව සංජානනය කර ගන්නේ අප සිත තුළ මහත් විශ්මයක් දනවමිනි. තාලයක් වාදනය වන සැනින් ගීතය හඳුනාගන්නා ඔවුන්ගේ තියුණු කන් වලට ස්වර තාල වරදින්නේ නැත. "අකුරට යන්නට කම්මැලි හිතිලා" ගීතය ගැයූ දෙවන ශ්‍රේණියේ උගන්නා මිහිරි හඬැති දියණිය මා හැඬවූයේ නිරායාසයෙනි.
එදින ඔවුන්ගේ පාසැලේ මේ වාරයේ අවසාන දිනයයි. උත්සවය නිම වන්නට මඳකට පෙර බාලිකාවන් කිහිප දෙනෙකු පාට ඇඳුමින් සැරසී ගමන් මළු පිටේ එල්ලාගෙන සිටින්නේ මන්දැයි උපන් කුහුල සංසිඳුනේ යගුලියක බර සිතට එක්කරමිනි. දෙමාපියන්ගේ හව්හරණ නොලබන ඔවුන්හට වාරයක් පුරා පාසැල ලබාදුන් සෙවණද නිවාඩුව සඳහා අහෝසි වන බවත් ඔවුන් රජයේ ළමානිවාසයක භාරයට පත්වන බවත් දැනගැනීමෙන් දැනුණු කම්පනයේ නින්නාදය මේ ලියන මොහොතේදීත් මම අත් විඳිමි.

ඔවුන්ට අවැසි අනුකම්පාව නොවන බව මම දනිමි. සියළුම ඉන්ද්‍රියයන් හොඳින් පිහිටි අපට වඩා ඔවුන් ලෝකය ජයගෙන ඇත. කිසිදා නොපෙනෙන දෙනෙත ගැන වද වීමක් හෝ තැවුල් සිතක් නැති ඔවුහූ තමන්ගේම ක්‍රමයකට ලෝකය දකිති. ජීවිතය සතුටින් විඳිති. එකිනෙකා කෙරෙහි බැඳෙති. උපකාර කරගනිති. එහෙයින්ම ඔවුන් දැකීමෙන් මගේ සිතට දැනෙන හැඟීම් පුංජයට කිව හැකි නමක් සොයමි.

සුප්පම්මා සහ අපේ අම්මා

සමහර මිනිස්සුපොදු දේපල ගැන දක්වන ආකල්පය ගැන නම් ඇත්තටම දු
ක හිතෙනවා. විශේෂයෙන්ම වැසිකිලි භාවිතයේදී. මම ඉගෙනුම ලබන පෞද්ගලික අධ්‍යාපන ආයතනයේදී අත්දකින්නට සිදුවුණු දෙයක් නිසා තමයි මේ කතාව මගේ මතකයට ආවේ. අපේ ආයතනය පිරිසිදු කරන්න ලංකාවේ ප්‍රකට ආයතනයකින් සේවයේ යොදවල තියෙනවා. මේ කාන්තාවන් තමන්ගේ කාරිය ඉතාමත් අපූරුවට ඉෂ්ට කරනවා. වැසිකිලි ආදිය ඉතාමත් පිරිසිදුව තියාගන්න මේ අය වගබලාගන්නවා පමණක් නෙවෙයි ඉතාමත් ප්‍රිය මනාප ලෙසත් හැසිරෙනවා.ඒ නිසා ඔවුන් සමඟ වචනයක් දෙකක් හුවමාරු කරගන්න අපි අමතක කරන්නේ නෑ.

එක්තරා දවසක මම වැසිකිලිය ළඟට යනකොටම අවට හිටිය අයගේ මුහුණුවලින්ම මට පෙනුණා වැසිකිලියේ තත්වය අවුල් බව.කතාව දැනගත්ත ගමන්ම මම ඉක්මනට අර "ඇන්ටි"ව හොයාගෙන ගියා.කොමෝඩ් එක පාවිච්චි කරන්න නොදන්නා කමටත් වඩා හිතාමතාම ඒක නොහොඹිනා විදිහට පාවිච්චි කරපු බව තමයි අපි කාගෙත් අදහස උනේ. ආයේ හංගන්නේ මොකටද, මේ කියවන අය අතරත් ඕනේ තරම් ඇතිනේ පොදු වැසිකිලියකට හියාම අප්පිරියාවට ඒක උඩ නැගලා හරි බාගෙට ඉඳගෙන හරි ශරීර කෘත්‍ය කරන අය. ඇත්තටම මේ වගේ අය නිසා තමයි ඒවගේ අප්‍රසන්න තත්ව ඇතිවෙන්නේ.

ඊට පහුවෙනිදා යනකොටත් අර ඇන්ටි අපිව දැක්ක ගමන්ම කිව්වේ කලින් දවසේ වගේම සිද්ධියක් සිද්ධවෙලා තිබ්බ බව. ඇය නිරීක්ෂණය කරලා තිබුණා මොන පන්තිවල අය අතින්ද මේක සිද්ධවෙන්නෙ කියල. ඇත්තටම කියන්නත් කනගාටුයි අනිත් දේවල් මදිවට ජල කරාමයේ කරකවන හිස චොකලට් පදාසයකින් වැහිලා ගිහිල්ලා තිබුණා.

මට පුදුම කණගාටුවක් ඇතිවුණා. මා ඉගෙනුම ලැබූ පාසැලේ පිරිසිදු කිරීම් කටයුතු කලේ සුප්පම්මා කියල දෙමළ ජාතික කාන්තාවක්. මගේ විදුහල්පතිනිය "ජිනසේන මැඩම්" නිතරම අපිට දුන්නු අවවාදයක් තමයි "සුප්පම්මාත් අම්මා කෙනෙක් කියලා හිතන්න" කියන කාරණය. දාහක් වැල්වටාරම් අවවාද සහ වැසිකිලි භාවිතය ගැන පනවන නීති වලට වඩා ඒ කාරණය අපිව සංවේදී කළා. අද මේ කාරණයේදීත් අර "ඇන්ටි" කාගේහරි අම්මා කෙනෙක් නේද කියලා හිතනකොට මට පුදුම දුකක් ඇතිවෙනවා. කිසිම පුද්ගලයෙක් ආසාවෙන් තෝරා නොගන්නා රැකියාවක් වුනත් ඒ කාරිය කිසිම නොරිස්සුමක් නොපෙන්වා අකුරටම කරන ඇය අතින් සිදුවන සේවය ගැන සංවේදී නැති මිනිස්සුන්ගේ මනුස්සකම මහ ප්‍රශ්නාර්ථයක්. අද නව යෞවනයේ පසුවෙන මේ අය හෙට සමාජයේ පෙම්වතියන්,බිරින්දෑවරු,අම්මලා උනාම ඇතිවන තත්වය හිතාගන්නත් බය හිතෙනවා නේද?

Saturday, March 12, 2011

සොඳුරු කලාකරුවා යනු ...... (කරුණාරත්න අමරසිංහ මහතා වෙනුවෙනි )


මීට වසර ගණනකට පෙර එක්තරා දිනෙක මම ලංකාවෙහි ප්‍රකට පෞද්ගලික ආරෝග්‍යශාලාවකට ගියෙමි. ඒ ගිය ගමන අත්දැකීම් තුනක් නිසා මගේ මතකයේ සදාකාලිකව පවතී. ඉන් පළමුවැන්න නම් මරබියයි. දෙවැනි අත්දැකීම නම් මට නිසි ලෙස පහදාගත නොහැක්කකි. තුන්වන අත්දැකීම දෙවැන්න හා බැඳී පවතින සොඳුරු මිනිසෙකු ගැන මතකයකි.

එකල මම පාසැල් සිසුවෙක් වීමි. මා අධික ලෙස වෙහෙසටත් ආතතියටත් පත්ව සිටි මොහොතක මම අසනීප වීමි. බෙහෙත් ගන්නට ගිය විට මගේ රුධිර පීඩනය මැන බැලූ ඇපොතිකරි දොස්තර මහතා පැවසුවේ මගේ රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස වැඩි බවයි.

"අපොයි දෙයියනේ! මම සදාකාලික රෝගියෙකු වෙන්නයි යන්නේ" මා අසීමාන්තික මර බියකට පත්කළේ වෛද්‍යවරයා මගේ නැන්දා පසෙකට කැඳවා ඒ ගැන කියූ ආකාරයටය. මරණයට නියම කළ එකෙකු තුළ ඇතිවන හැඟීම ගැන පළමු වරට මට හැඟීමක් ඇතිවිය.

දෙවන හා තුන්වන අත්දැකීම් ලැබෙන්නේ සම්පූර්ණ පරීක්ෂාවක් සඳහා වෛද්‍ය වසන්ත හෙට්ටිආරච්ච් මහතා හමුවට යාමේදීය.

බියෙන් හෙම්බත් වී සිටි මම වෙන කිසිවක් ගැන සිතන්නට උත්සාහ කරමින් සිටියෙමි. ගමනට ගතවන මුළු කාලය තුලම බියෙන් ගතකර මගේ රුධිර පීඩනය තවත් වැඩිකරගනු වෙනුවට වෑන් රියෙහි පිටුපස ආසනයට හේත්තු වී යම්කිසි සුන්දර දෙයක් ගැන සිතන්නට වූ මට මතක් වූයේ එකල ලක්බිම පුවත්පතෙහි වූ මගේ ප්‍රියතම ලිපිය වූ අමර සැමරුම යි. ඒ සමඟම අද දක්වාත් මට විස්තර කළ නොහැකි යම් සිඩුවීමක් සිදුවිය. එය සිහිනයකට සමානය. මා නින්දට වැටුනා විය යුතුය. මා දුටුවේ මා අදාල ආරෝග්‍යශාලාවට ගොස් සිටින අයුරුයි.

මට මතක ඇති කාලයේ නම් කිසිම දිනෙක ඉන් පෙර මම එහි ගොස් නැත්තෙමි. එහෙත් මා දුටුවේ රතු පැහැ ආසන පේළියක් සහිත තැනක මගේ ප්‍රියතම ලිපියෙහි ලේඛකයා සිටින ආකාරයයි. මම ඔහු සමඟ කතා කරමින් සිටියෙමි. යළි පියෙවි ලොවට පැමිණි වහාම මම උත්සාහ කළේ මගේ ප්‍රියතම ලේඛකයා සමඟ කතාකරන්නට අවශ්‍ය තරම් කරුණු සිහියට නඟා ගැනීමයි. එය මා කළේ හුදෙක්ම අවධානය වෙනතක හරවා ගැනීම පිනිස පමණි.

එහි ඇතුළු වූ වහාම මා අධික ලෙස විමතියට පත් වීමි. ඒ මා මොහොතකට පෙර මනසින් දුටු පරිසරය සියයට සීයක්ම සමාන වූ නිසා පමණක් නොවේ. මා දුටු මගේ ප්‍රියතම ලේඛකයා ඒ දුටු ඇඳුමෙන්ම සැරසී එහි සිටීම නිසාය. එහෙත් අර මා දුටු සංවාදය සිදුවූයේ නම් මා අර මනසින් දුටු දර්ශනයේ නොසිටි වෙනත් කෙනෙකු නිසාය. ඇය අපේ පවුලේ හිතවතියකි. ඈ පැමිණ සිටියේ යටකී ලේඛකයාගේ රෝහල්ගත කර සිටි බිරිය බැලීම සඳහායි. ඇය සිදුකළ හැඳින්වීම නිසා අප අතර කතාබහ ආරම්භ විය.

එතුමා ඉතාම නිහතමානී විය. එසේම එතුමා බියට පත්ව සිටි මගේ සිත සැනසෙන අයුරින් කතා කළේය. ඒ දින ගණන තුල මගේ නිරෝගී බව තහවුරු වූයෙන් මම ඉතාමත් සතුටට පත් වුණෙමි. මා එහි පැමිණි අවසාන දිනයේ එතුමාගේ බිරිඳ දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන බව මට දැනගන්නට ලැබුණි.

එහෙත් එතුමා ඒ දින කීපය ගතකර තිබූ අයුරු මට දැන ගන්නට ලැබුනේ ඉන් මඳ කලකට පසු ලක්බිමෙහිම පළවූ ලිපියක් නිසාවෙනි. එතුමා ඒ දින ගණනම නිදාගෙන තිබුනේ එතරම් සැපපහසු නොවූ අර පුටුව උඩමය. එසේම දැඩි ජීවිත අවදානමක පසුවූ එතුමාගේ බිරිඳ එම රෝහලේදීම දින කිහිපයකට පසු අවසන් හුස්ම හෙලා තිබුනි. මගේ සිතේ එතුමා පිළිබඳව මහත් ගෞරවයක් හා පුදුමයක් ඇතිවිය.
අවදානමකදී හෝ කරදරයකදී මිනිසෙකු හැසිරෙන ආකාරය ඔහු පිළිබඳව මනින්නට ඇති හොඳම ක්‍රමයයි. මේ සුන්දර මිනිසාගේ හැසිරීම කිසිදා මගේ හිතින් නොමියෙන්නේ ඒ නිසාය.

සොඳුරු කලාකරුවාණෙනි, ඔබතුමා හට තව දිගු කලක් මෙම කලා අඹරෙහි යෙහෙන් බැබලෙන්නට දිරිය හා සවිය පතමි!

ඔබ මම සහ මගේ රැජිණ




ඔබට මා පෙම් කළ තරම් ඔබ නොදනිතත් ඇය එය දනී
ඔබ නිසා විඳි වේදනා ඔබ නොදනිතත් ඇය එය දනී
සඳ තරු වලට දුක කියා වැලපුණු මගේ හඬ ඈ හට ඇසී
මා වෙතට ඈ පැමිණි'යුරු ඔබ මෙන්ම හෙට මුළු ලොව දකී

මගේ හදවත ගැහෙන රිද්මය ඇගේ හද වෙණ පිරිමදී
එයින් නැගෙනා මිහිරි ස්වරයෙන් වසන්තය එයි නොමරැඳී
මගේ දෑසින් ලොව දකී ඈ- සැනසුමට එය වුව ඇතී
දැන් ඉතින් ඔබ පමා වැඩි යැයි පලක් නෑ ඔබ පසුතැවී

ඔබේ ලොව මෙන් ඇගේ ලොව එලි කරන්නේ රන් මසු නොවේ
සැමට පොදු හිරු සඳු නැගී ඇගෙ දිරිය ලෝකය ඔප වැටේ
සැනසුමයි සහනයයි අතරේ ගොඩනැගෙන හද මන්දිරේ
රැජිණියයි ඈ හෙට දිනේ සිට මතු මතුත් මගෙ ජීවිතේ.

මගේ හිත රිදී තිබේ! (කාටවත් ඵලක් නැති කතාවක්)


කුඩා කළ පටන්ම මා හට මිතුරන් සිටින්නේ අතේ ඇඟිලි ගණනටය. ආශ්‍රය කරන, සුහදශීලී පිරිස කොතෙක් සිටියද මගේ මිතුරන් වන්නේ එයින් ඉතා සුළු ගණනක් පමණකි. එසේ යම් කෙනෙකු මිතුරෙකු ලෙස සැලකූ පසු ඒ මිතුරු කම ලෙහෙසියෙන් බිඳෙන එකක් නොවේ. එසේම මිතුරු කමේ එකම සුදුසු කම මිතුරුකම පමණක්ම යැයි මම සලකමි.අපගේ සියලු ප්‍රබලතා මෙන්ම දුබලතා සඳහාද කීර්තිය මෙන්ම අපකීර්තිය සඳහාද බුද්ධිමත් කම් මෙන්ම මෝඩ කම් සඳහාද එහි ඉඩ තිබේ.බලය වත් පොහොසත්කම් උගත්කම් එයට කොහෙත්ම අදාල නොවේ. මගේ මිතුරන් කුලකය ගැන දන්නා අය එය දනිති.

ඒ නිසා මම පෞද්ගලිකව මුහුණට හමුවී නැති අය මගේ මුහුණු පොතට ඇතුලත් කර නොගැනීමේ ප්‍රතිපත්තියක මෑතක් වනතුරුම සිටියෙමි. එහෙත් මේ නිවාඩු කාලයේදී මගේ මිතුරියක කියූ දෙයක් නිසා මම ඒ ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට කල්පනා කලෙමි. එහි පළමු පියවර ලෙස මම එක් නව ඉල්ලීමක් මගේ මිතුරියකගේ මිතුරෙකුට යැවූ අතර මා වෙත මින් පෙර පැමිණ පොරොත්තු ලැයිස්තුවේ තිබූ ඉල්ලීම් අතුරින් දෙකක් පිළිගතිමි

මින් කී පලමු පුද්ගලයා කෙරෙහි මගේ සිතේ යම් ප්‍රමාණයක පැහැදීමක් තිබුණි. ඒ ඔහු සොයන ලියන දේ පිළිබඳවය. සතියකට වරක් කියවන්නට ලැබෙන දේ අනුව ඔහු සුන්දර අදහස් ඇති සොයුරෙකු වනු ඇතැයි හැඟීමක් විය. ඒ නිසා මා විසින් අනුගමනය කරන සාමාන්‍ය රීති වලින් බැහැර ගොස් මම වත් පොතෙහි පලමුවෙන් සංවාදය ඇරඹුවෙමි. එහෙත් එහිදී මා ඔහුව සැලකුවේ යහලුවෙකුගේ යහලුවෙක් ලෙස විනා ඔහුගේ පාඨකයෙකු ලෙස නොවේ. මා සිතන ලෙස මට වැරදුණේ එතනය.

ඔහු එයට සැබැවින්ම අකමැති විනිද නැතහොත් ආඩම්බර කාරයෙකුදැයි මට තවම වටහා ගන්නට නොහැකිය. නොදන්නා කෙනෙකු විසින් යහළුවෙකුට මෙන් අමතනු ලැබීමෙන් ඔහුට රිදුනා වන්නට ඇතැයි මම සිතුවෙමි. එහෙයින්ම ඒ වරද නිවැරදි කළ හැකිදැයි බලන්නට මම උත්සාහ කළෙමි. එහෙත් අළුත් සිංහලෙන් කියතොත් කිසි දිනෙක නොවූ පරිදි නෝන්ඩි වන්නට මට වුවමනා නැත.

එහෙයින් මගේ බාල සොයුරෙකුගේ වයසේ පසුවන ඔහුගෙන් ප්‍රසිද්ධියේ සමාව අයදිමින් මම නිහඬ වෙමි.

එහෙත් මගේ සිත රිදී ඇත.
මිනිසෙකු සමඟ සන්නිවේදනය කිරීම මෙතරම් අපහසු යැයි මා සිතුවේ නැත.

Monday, March 7, 2011

කඩා වැටෙන තරුව හෙවත් ප්‍රාර්ථනා ඉෂ්ට කර ගැනීමේ නොවරදින ක්‍රමවේදය




අපි හැමෝටම කොච්චර ප්‍රාර්ථනා තියෙනවද? කවදාවත් හිතල තියෙනවද ඒව ඉෂ්ට වෙන්න මෙච්චර ලේසි විදිහක් තියෙනව කියල. මේක ඔයාල හැමෝම පොත්වලින් කියවල චිත්‍රපටි වලින් දැකල තියෙන විදිහක්. ඒත් මේක සුරංගනා කතාවලට අයිති එකක් කියලනේ මෙච්චර දවසක් හිතුවේ.
ඒ විදිහ තමයි කඩා වැටෙන තරුවක් එහෙමත් නැත්තම් උල්කාපාතයක් දිහා බලාගෙන ඔයාලගේ ප්‍රාර්ථනාව කරන එක.

ඒක සිද්ධ වෙන්නේ බොහොම තර්කානුකූල ක්‍රමවේදයකට අනුව.ඒ මෙන්න මෙහෙමයි. කඩාගෙන වැටෙන තරුවක එළිය පවතින්නේ කොච්චර ටික වෙලාවද? ඇහිපිය ගහන්නත් කලින් ඒක නිවිල යනවනේ. ඒ තරම් ටික කාලයක් ඇතුලත අපෙ මනසට එන්න නම් ඒ ප්‍රාර්ථනාව අපේ හදවතේ හැමවෙලාවෙම තදින්ම තියෙන ප්‍රාර්ථනාවක් වෙන්න ඕනනේ. ඒ වගේ මොහොතකත් අපේ හදවතට එන ප්‍රාර්ථනාව තමයි අපේ ජීවිතයේ ප්‍රධානම අරමුණ, අපි ඇත්තටම හොයාගෙන යන දේ. එහෙම ප්‍රාර්ථනාවක් තියෙනවද කියලා කඩා වැටෙන තරුවක් දිහා බලලා හොයාගන්නකෝ.
එහෙම තියෙන බව තේරුනු දාට කිසිමදේකට බයවෙන්න එපා. ඒ වගේ ප්‍රාර්ථනාවක් අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවාමයි.

මොකද හිතන්නේ?